විහඟ පියාපත් 6

අකලංක සවස නවාතැනට පැමිණියේ දැඩි වෙහෙසකිනි. බන්ධනාගේ ඇසුර නිසා වූ මානසික වෙහෙස උපරිම විය. අකලංක එහෙමම යහනට වැටුණේය. අනතුරුව යමක් සිහිවූවාක් මෙන් කුඩා පරිඝනකය පාන ගන්වා එහි මුහුණු පොතට එබුණේය. සිතුවා සේම, ඇය; ශයිනි අන් ගිණුමකින් අමයුරු වෙත පණිවිඩයක් එවා තිබුණි.

“අනේ මිස්ටර් අමයුරු , මට ඔයාට රීච් වෙන්න බැහැනේ… ප්ලීස්, කන්ටැක් මී..”

අකලංක තොල් පෙරලමින් ඒ දෙස බලා උන්නේය.අනතුරුව පරිඝනකය පිළිවෙලක් නැතිවම වසාදමා, යහනේ පෙරලුණේය. 

ලිපිය පළවීමෙන් පසු සිදුවිය හැකි දේවල් පිළිබඳව අකලංක සිතන්නට ගත්තේ ඉන් පසුවය. 

පළමුව ශයිනි අමයුරුව සම්බන්ධ කර ගැනීමට උත්සාහ කරනු ඇත. එය සාර්ථක නොවන කල, පුවත්පත් කාර්‍යාලයට ඇමතුමක් ලබාදී අමයුරු සම්බන්ධ කර ගන්නට උත්සාහ කරනු ඇත. එහිදීද සාර්ථක වන්නට ඉඩ නොලැබෙන නිසා, ඇතැම් විට ඇය පුවත්පත් කාර්‍යාලයට පැමිණෙන්නට හෝ කිසිවෙකු එහි එවා අමයුරු පිළිබඳව තොරතුරු සොයන්නට උත්සාහ කරන්නටද හැක.

 දින දෙක තුනකදී ඔය කාරණා සියල්ලම අසාර්ථක වෙද්දී ඇය අතිශය පීඩනයකට හෙලෙනවාට සැකයක් නැත.  ඉන් පසුව ඇයගේ  ප්‍රතිචාරය කුමක් වේදැයි සිතා ගැනීම පහසු නැත. ඇය පහසුවෙන් නැවී, පරාජය දරාගන්නා ගැහැණියක් නොවන නිසා අනිවාර්යයෙන් කුමක් හෝ සිදු කරන්නට උත්සාහ දරනු ඇත. 

අකලංක වහා ප්‍රබාත්ට ඇමතුමක් ගත්තේය. ශයිනිගෙන් ලැබුණ මුදල පාසැල් සංවර්ධන කටයුතු සඳහා බැර කර,ඒ සඳහා වන ස්තුති පත්‍රිකාව ශයිනි වෙත යොමු කරගන්නට අවශ්‍ය කටයුතු සකස් කරවන්නයැයි ප්‍රබාත් ට කීවේය. එවිට මූල්‍ය වංචාවක් පිළිබඳව ඇය යම් චෝදනාවක් හෝ කිරීමෙන් ගැලවියහැක. ඒ සඳහා පිළිතුරු ගිණුම් අංශයෙන් සපයනු ඇත.

අකලංක කමිසය ගලවා දමා එහෙමම යහනේ අනෙක් පසට පෙරළුණේය. වෙනදා ලිපියක් සම්පාදන කිරීමෙන් පසු දැනෙන අස්වැසිල්ල අද නොදැනෙන හේතුව සොයා ගැනීම ඔහුට පහසු නැත. 

ඇතැම් විට . මෙය ශයිනි විසින්  කල ගෙවීම ලබා ගත් නිසා විය හැක. එසේත් නොවේනම්, වසරේ විශිෂ්ටතම ව්‍යවසායිකාවගේ අනාගතයට තමා විසින් යම් කකුලෙන් ඇදීමක් කලා යැයි දැනෙන පසුතැවීම වෙන්නටද හැක.

 එලෙසත් නොවේ නම්, ඇය තමා නොදන්නා ජීවිත කතාවක සිරවී ගෙවන පීඩනාත්මක ජීවිතයක් ගැන දැනෙන ඉඟියක් නිසාද වියහැක. අකලංක මහ හඬින් ගීත ඛණ්ඩ කිහිපයක් වාදනය වෙන්නට දමා, පිටපත අතට ගත්තේය.

අමයුරුගෙන් කිසිඳු ප්‍රතිචාරයක් නොමැති වීම තුළ ශයිනි උන්නේ යම් නොසන්සුන්කමකිනි. මුදල් ලබා දීමෙන් පසු ඔහු මඟ හරින්නට උත්සාහ කරන වග ඇය තහවුරු කරගත්තේ ඔහු විසින් තමාව ගිණුමෙන් අවහිර කර දමා ඇති වග වටහා ගැනීමෙන් පසුවය. 

එහෙත්, ඒ වගක් නොදන්නවා මෙන් ඇය කලේ අන් ව්‍යාජ ගිණුමකින් ඔහුට පණිවිඩයක් තැබීමය. එහෙත් දිනය අවසාන වන තුරුම එයට පිළිතුරක් ලැබුණේ නැති වෙද්දි ඕ ඒ පිළිබඳව තිළිණි හා කතා කරන්නට තීරණය කලාය.

අමයුරුගේ ලිපි පිළිබඳව කිසිඳු අදහසක් තිබුණේ නැති නිසා  තිළිණි නම් කීවේම ශයිනි යම් වංචාවකට හසු වී ඇති වගය. එහෙත් අමයුරු විසින් ලියා පල කර ඇති ලිපි ඉරිදා ප්‍රධාන පුවත්පතක පල වන වගදැන ගැනීමෙන් පසුව තිළිණි එම තීරණයෙන් මදක් මෙපිටට ආවාය. එහෙත් අමයුරු දිසානායක ශයිනිව මුහුණු පොතෙන් අවහිර කර දැමූ හේතුව දෙදෙනාටම සිතා ගත හැකි වූයේ නැත.

“මට සල්ලි නම් අවුලක් නෑ. මට සැක මේ මිනිහා වෙන මොකක් හරි නාඩගමක් නටාවි කියලා ..”

ශයිනි නළලේ මැද්දෑවේ අත්ල තබාගෙන කීවාය. 

” හෙටත් බලමු… ඔය කියන විදියට අනිද්දා පත්තරේ නම් ආර්ටිකල් එක යන්නේ, බැලන්ස් එක ගැන අහන්න හරි ඔය මිනිහා මැසේජ් කරාවි…”

“හ්ම්… ඔව්….”

දෙදෙනාම චරිත්ට කිසිත් නොකියා සිටීමට තීරණය කලේ හෙට දවසද අවසාන වනතුරු කුමක් සිදුවේද ඉවසීමෙන් බලා සිටින්නට සිතමිනි. ශයිනි සිදු කර ඇත්තේ මෙවෙලෙහි සිදු කල යුතු  දෙයක් නොවේයැයි තිළිණිටද සිතුනද ඇය ඒ ගැන කිසිත් පැවසුයේ නැත.

 වසරේ විශිෂ්ටතම ව්‍යවසායිකාව වූවාට ඇගේ ජීවිතය තුළ කලමනාකාරණය නොවූ පැත්තක්ද ඇති බව දන්නේ තිළිණිය. හදිසි තීරණ  ගැනීම  පිළිබඳව ඇයට කෙතරම් පැහැදිලි කලද  ඇය එය නිවැරදි කරගන්නේ නැත. 

ශයිනි නිවෙසට නොගිසින් හෝටලයේම නැවතුණේද, සිත තුළ වූ නොසන්සුන්කම නිසාමය. පසුදිනද කිසිම ප්‍රතිචාරයක් නොමැතිව ගෙවී යද්දී ශයිනිගේ ඉවසීම අවසාන විය.  පසුදින ඕ වහා චරිත් අමතා සිදුව ඇති සියල්ල පැවසූවාය. චරිත් ඇය පැවසූ සියල්ලට සවන්දී වහා ඇය හමුවෙන්නට පැමිණෙන වග පවසමින් ඇමතුම විසන්ධි කලේය. චරිත් පැමිණියේ කලු කරගත් මුහුණෙනි. 

ඔහුගේ  වෙනස පළමුව හඳුනාගත් තිළිණි ඒ කුමක් නිසාදැයි විමසන්නට මෙන් බලා උන්නාය. ශයිනි උන්නේ චරිත්ගෙන් විසඳුමක් බලාපොරොත්තුවෙන් ය. චරිත් ශයිනි ගේ මේසය ඉදිරියේ සිටගත්තේය .අතෙහි වූ පුවත්පතක ඇතුළු පිටු පෙරළා, එය එක් කොළයක් වන සේ නවා, හොඳින් දිග හැර ශයිනිගේ ඉදිරියෙන් තැබුවේ මේසය වෙත නැඹුරු වෙමිනි. තිළිණිද වහා ශයිනි අසලට ආවාය.

“ගිං ගං කොමළිය – වනසන කොමළිය “

රතු අකුරින් තිබු ප්‍රධාන සිරස්තලයෙන් ඇයට එක්වරම කිසිත් වැටහුණේ නැත. එහෙත්, තත්පර කිහිපයක් ඇතුළත ඕ ලිපියේ හරය උකහා ගත්තාය. එහෙන් මෙහෙන් ඇස් අලවමින් ලිපියේ ඇත්තේ කුමක්දැයි වටහා ගත්තාය. තිළිණි පසෙක වූ අසුනට වැටුණේ මුව සුරතින් වසා ගනිමිනි. 

චරිත් අසල වූ බිත්තියට කිහිප වරක්ම වැරෙන් පහර දුන්නේ ශයිනිට පහර දෙන්නට නොහැකිවාට මෙනි. ශයිනි ඉවසීමෙන් ලිපිය යළි කියවන්නට උත්සාහ කලාය.

| අපේක්ෂා ගුණරත්න | 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles