(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)
“මට එපා වෙලා ඕයි තියෙන්නෙ තමුසෙ එක්ක මේ ගෙදර ඉඳල, පුදුම කරුමයක්නෙ තියෙන්නෙ. ගෙදරට එන්න බෑ තමුසෙගෙ කන් කරච්චලේ පටන් ගන්නව.
මොන කරුමයක්ද ඕයි මේක? තමුසෙට මාත් එක්ක ඉන්න බැරි නම් දමල ගහල යනව, මගේ ඔලුව කන්නෙ නැතුව”
ගුණවිර පවුලට ඉතින් මේ අඩ දබර අමුතු දෙයක් නෙවෙයි. මධුරි සේනාරත්නයි, කෝලිත ගුණවීරයි බඳිද්දි අවුරුදු 20ක් වගේ තමයි දෙන්නගෙම වයස. ඉස්කෝලෙ යන කාලේ ඉඳලම යාලුවෙල උන්න ජෝඩුව නිසා දෙන්නට බඳින්න උවමනාව තිබුන වගේම දෙන්නව බන්දල දෙන්න දෙපැත්තෙම දෙමව්පියන්ටත් ලොකුවටම උවමනාව තිබුනා.
මධුරියි කෝලිතයි බැඳලත් දැන් අවුරුදු විස්සක්. දෙන්නගෙ පුතාගෙ වයස අවුරුදු දාහතක්.
අවුරුදු ගාණක් ආදරේ කරල තරුණ වයසෙම බැන්දට මොකද දෙන්න මේ අවුරුදු විස්ස ඇතුලෙ සන්තෝසෙන් ඉඳපු වාර ගාණ හරි අඩුයි. තරුණ කාලෙම කසාද බැඳල, දරුවොත් හදාගෙන, උසස් අධ්‍යාපන වැඩ අහවර කරගෙන රස්සාවෙන් උඩට යන්න උත්සහ කරපු මධුරි සහ කෝලිතට මේ අවුරුදු විස්ස ඇතුලෙ තමන්ට තමන්ව වගේම ජීවිතෙත් මග ඇරුණ බව හිතෙන්න පටන් අරගෙන තිබුනා.
“යන්න තිබුන ළමයෙක් ඉඳියෙ නැත්තම්. තමුන් පොඩ්ඩක්වත් හිතනවද ඔෆිස් ඉවර වෙලා යාලුවො එක්ක පාටි දාලා එද්දි ගෙදර ගෑණියෙක් ළමයෙක් ඉන්නව, උන් දෙන්න මේ ගෙදරක වැඩ තනියම කරගන්නෙ කොහොමද කියල?
තමුන්ට පොඩ්ඩක්වත් මතකද මට ලබන මාසේ පී එච් ඩී එකේ තිසීස් එකක් භාර දෙන්න තියෙන බව?
කොහෙද බොන්න ගියාම ඒව මතක තියෙනවද ඕයි? කණමදය වගේ බීගෙන ගෙදර එනව. වීකෙන්ඩ් එකේවත් තමුසෙ ගෙදරක නෑ යාලුවන්ගෙ ගෙවල් අස්සෙ රිංගන්න යනව, උන් එනවද නිකමට මේව අස්සෙ රිංගන්න? උන්ට උන්ගෙ වැඩ තියෙනව”
මධුරිගෙ ඉවරයක් නැති වචන ගංගාව කණ අස්සෙන් හිත ඇතුලට රිංගල හිත අස්සෙ තැම්පත් උන බව කෝලිතට තේරුණා. ඒත් දැනටම එපා වෙලා තියෙන විවාහ ජීවිතේ ඇතුලෙ ඉවසීමෙන් හොයාගන්න පුලුවන් සැනසීමක් තියෙන බව කෝලිතටවත් මධුරිටවත් තේරුණේ නෑ.
තමන්ගෙ වචන වලින් ලොකුම පාඩුවක් වේදනාවක් අත්වෙන්නෙ තමන්ගෙ දරුවට කියන එක ගැනවත් ඒ දෙන්නට තේරුමක් තිබුනෙ නෑ.
“මම කරගත්ත ලොකුම වරද තමුසෙ වගේ ගෑණියෙක්ව කසාද බැඳගත්ත එක?
“මම කරගත්ත ලොකුම වරදත් ඒක, මට දැන් මේ වෙන කරගන්න දෙයක් නැති හන්දා මම මෙහෙම ඉන්නෙ.”
“ඇයි ඉන්නෙ ඉතින් යනවකො මම දෙන්නම් ඩිවෝස් එක ඕන මගුලක මකබෑවෙනව මට සැනසීමෙන් ඉන්න දීල. පුදුම කරුමයක්නෙ මේක. ගෑණු උනාම ගෙදර වැඩ කරනව තමයි. තමුසෙට මේ නාකි වෙනකම් විබාග ලියන්න කියල මම නෙවෙයිනෙ කිව්වෙ. පුලුවන් නිසා වෙන්නැතිනෙ උඩ දාගෙන ඔක්කොම කරන්න පටන් ගන්න ඇත්තෙ? එහෙනම් දැන් මේ මට කියන්න එපා එක එක කතා. මට සැනසීමක් තියෙන්නෙ මේ ගෙයින් එලියෙ විතරයි ඒකයි මං එලියට යන්නෙ අන්න ඒක තේරුම් ගන්නව”
“මමත් සැනසීම හොයාගෙන ගෙයින් එලියට ගියානම් කෙරිල තියෙයි මෙච්චර හරියක්”
හැමදාම අම්මගෙයි තාත්තගෙයි අතර වෙච්ච රණ්ඩු ඇහිල ඇහිල සඳරු හිටියෙ ඇත්තටම ගෙදර ජීවිතේ ගැන කලකිරිලා. “ඔයාලගෙ ගෙවල්වලත් අම්මයි තාත්තයි මේ විදියට රණ්ඩු වෙනවද?” කියල අහන තරමටම ගෙදර රණ්ඩු වැඩිවෙද්දි සඳරුට දැනුනෙ තමන්ගෙ ඔලුව පුපුරන්න වගේ.
“අනේ ප්ලීස් කෑගහන්න එපා අම්මේ, මට දැන් ඩොක්ටර් කෙනෙක් ළඟට යන්න වෙලා තියෙන්නෙ ඔයාලගෙ මේ කෑ ගැහිල්ල අහගෙන ඉඳල ඇතිවෙලා”
මධුරිවයි කෝලිතවයි මගෙ ළඟට අරගෙන ආව හේතුව උනේ සඳරුගෙ ඒ වචන.
තමන්ගෙ බැන ගැනීම්, රණ්ඩු සරුවල් නිසා ජීවිතේ වැඩිපුරම විඳවල තියෙන්නෙ තමන්ගෙ දරුව කියන කතාව දරාගන්න ඇත්තටම අම්මා කෙනෙක් සහ තාත්තා කෙනෙක් විදියට මධුරිටයි කෝලිතටයි පුලුවන් කමක් ලැබුනේ නෑ.
“අපි දෙන්න මැරි කරද්දි දෙන්නම හරිම තරුණයි. එච්චර පොඩි වයසකින් බැඳල තරුණ කාලෙදිම දරුවො හදාගෙන ජොබ්ස් වලින් උනත් උඩට යන එක ගැන අපි මුල් කාලේ ගොඩක් සතුටු උනා. ඒත් කාලයක් යද්දි තමයි අපිට තේරුනේ කොහෙදි හරි තැනකදි අපිට ජීවිතේ මග ඇරිල කියල.
මට කෝලිතව දකින හැම වාරයකම මට එයාව මරන්න හිතෙනව.හරියට මාව මේ කරදරයකට ඇදල දැම්මෙ එයා වගේ කියල”
අනික් අතට කෝලිතටත් ඒ සිතුවිලිම වෙනස් විදියට මාත් එක්ක බෙදාගන්න පුලුවන් උනා.
“මම ඉස්සර මෙච්චර ඩ්‍රින්ක්ස් ගත්තෙ නැ. ඒත් හොඳ සිහියෙන් ගෙදර ආවම මධුරි කියන දේවල් අහගෙන ඉන්න බැරිම තැන තමයි මම හැමදාම වගේ බාර් එකට යන්න පුරුදු උනේ.
මධුරි හැමතිස්සෙම කරන්නෙ ඇඟට කඩන් පනින එක, එයාට එක්සෑම් තියෙන කාලෙට එයා යකෙක් වගේ හැසිරෙන්නෙ. මම මොන දේ කරත් එයා කවදාවත් ඒකෙ හොඳක් දකින්නෙ නෑ. හැමතිස්සෙම මම කිසිම දෙයක් නොකරන කෙනෙක් ගාණට දාල කතා කරන්නෙ.
මම යාලුවො එක්ක ගොඩක් එලියට යන්නේ ඒ නිසා. මම නිකන් ඉන්නව දැක්කොතින් මධුරි මොකක් හරිම වැඩක් ඇඟේ ගහන්නයි හදන්නෙ.
මට හිතෙනව ඇත්තටම මම මේ අඩු වයසෙන් බැන්ද එක මොන අපරාදයක්ද කියල”
විවාහය කල් යන්න යන්න එකිනෙකා අතර තියෙන තේරුම් ගැනීම විශාල වෙනව කියල අපි හිතුවට අනෙකාව තේරුම් ගන්න අපි සූදානම් නැත්තම් ඒ අවුරුදු ගාණ පුරාවටම අපි හිතෙන් විඳවන්න තියන ඉඩ වැඩියි.
මධුරි සහ කෝලිතට වුණෙත් ඒක.
ඉතාම තරුණ වයසකදි විවාහ වෙලා දරුවෙක් හදාගෙන රැකියාවද අධ්‍යාපනයද අතින් ඉතාම ඉහලට ගිය කෝලිත මධුරි ජෝඩුවට ඇත්තටම රණ්ඩු වෙන්න තරම් ප්‍රශ්න තියෙනවද කියල කෙනෙක්ට හිතෙන්න පුලුවන්.
ඒත් ඒ අවුරුදු විස්සක විවාහ ජීවිතේ ඇතුලෙ, අනෙක් අවශ්‍යතා සහ අරමුණ ළඟඳි කෝලිතට මධුරිවත් මධුරිට කෝලිතවත් මග ඇරිලා තිබුනා.
මුල් කාලේ ඒ දෙන්නට සපුරා ගන්න තිබුන අරමුණු සහ ඉලක්ක එක්ක ඒ දෙන්නට දෙන්න මග හැරීගෙන යන බව තේරුනේ නෑ. දරුවෙකුත් හම්බවෙලා ඒ දරුවට අවුරුදු දාසයක් දාහතක් වෙනකම්ම තමන් අතර තිබුන ප්‍රශ්න වලට හේතුව, ඒ ප්‍රශ්න නිස්කලංකව කතා බස් කරන්නෙ නැතුව ගැටුමක් ඇති කරගන්න හේතුවක් කරගත්ත එක බවවත් ඒ දෙන්නට තේරුනේ නෑ.
මධුටරියි කෝලිතයි විතරක් නෙවෙයි මේක අපි ඕනම කෙනෙක් සැබෑ ජීවිතයෙදි මූණ දෙන්න පුලුවන් අන්දමේ ප්‍රශ්නයක්.
සබඳතාවයක් ඇතුලෙ ආදරය තරම්ම එකිනෙකාව තේරුම් ගැනීම සහ අදහස් සාවධානව ප්‍රකාශ කිරිම කියන කාරණාත් ශක්තිමක් වෙන්න ඕන.
සබඳතාවයකදි එකතුවෙන්නෙ එකිනෙකට වෙනස් මිනිසුන් දෙදෙනෙක්. දෙයක් දිහා බලන විදිය, හිතන පතන විදිය, අදහස් එකිනෙකාට වෙනස්. ඒත් ඕනම ප්‍රශ්නයක් අපිට කතාබහ කරල සාවධානව විසඳගන්න පුලුවන්. විශේෂයෙන්ම දරුවන් ඉන්න විවාහක යුවලක් මේ ගැන වඩාත් සැලකිලිමත් වෙන්න ඕන.
මොකද අපි ආවේගශීලීව හුවමාරු කරගන්න වචන නොමැකෙන විදියට දරුවන්ගේ පුංචි මනස ඇතුලෙ තැන්පත් වෙන්න පුලුවන්. ඒ ඔස්සේ “හැම සම්බන්ධයක්ම මේ වගේ කරදර සහ වේදනාව පිරුණු එකක් වෙන්න පුලුවන්” කියන වැරදි මතය හිත ඇතුලෙ තැම්පත් වෙලා දරුව සබඳතාවලට බය මිනිසෙක් විදියට සමාජයට අවතීර්ණ වෙන්න පුලුවන්.
විවාජ ජීවිතයක් ඇතුලෙ සැමිය සහ බිරිඳ වගේම දරුවන් කියන සාධකයට වැඩි ඉඩක් සහ වටිනකමක් ලැබෙනව. අනෙක් හැමදේම එන්නෙ ඒ පවුල කියන සංකල්පයට පස්සෙ.
අනන්ත අප්‍රමාණ ප්‍රශ්න වලට විවාහ ජිවීතයක් ගෙවන ඕනම දෙපාර්ශවයක් මුහුණ දෙනව. ඒක ඉතාම සාමාන්‍යයි.
ඒත් අමතක කරන්න එපා ඒ ගැටලුවලට ඔබ ගන්න තීරණ වලින් පවුල් සංස්තාව ආරක්ෂා වනවා මිසක බිඳ වැටීමකට ලක් නොවිය යුතුයි.
පවුලක් කියන්නෙ ඉතාම වටින අංගයක්. ජීවිතේ එක ගැටලුවලට පවුලක් විදියට සාවධානව කතාබහ කරල පිළිතුරක් සොයාගන්න ඔබට පුලුවන්.
ඉතින් කලබල වී හදිසි කෝපය මත හේතු කරගෙන තීරණ ගන්න එපා කියල ආදරයෙන් මතක් කරනවා.