සියක් සියපත් 11

මදිරා ගේ සුසුදු හා මටසිළිටි වූ අප්‍රාණික දෙපා වල සියපත් බෙහෙත් තෙල් ගෑවා ය. පිරිමැද්දා ය. සම්බාහනය කළා ය. ඒ දෙපා සීතල ය. අප්‍රාණික වූ ස්නායූ සෛල ප්‍රාණවත් කරන ජීවක වරයෙකැයි මේ වෙද මහතා ගැන ඔත්තුවක් දුන්නේ ශාන්ත ය. සියපත් ගේ ඉල්ලීම පරිදි සනාතන මදිරා ව ඒ වෙද මහතා වෙත ගෙන ගියේ පසු ගිය සතියේ ය. උපදෙස් දුන් පරිදි ම, බුද්ධ පූජාවක් සේ පේ වී සියපත් ඒ වතාවත් කරයි. ව්‍යායාම වලින් ද භෞත චිකිත්සක ප්‍රතිකාර වලින් ද පස්සේ තෙල් බෙහෙත් සාත්තුව සිදු කරයි. බෙහෙත් පොට්ටනි වලින් තවයි.

“කොයි එකෙන් හරි හොඳ වෙන්නනෙ ඕනෙ. අක්කගෙ කකුල් බිම තියල ඉක්මනට නැගිටිනව දකින්නයි මට ඕනෙ”

තෙල් බෙහෙත් සාත්තුවෙන් පස්සේ සියපත් එහෙම කියන්නේ මුළු හදින් ම ය. එසේ වූ දාක ඇගේ රැකියාව අහිමි වෙනවා වුණත් මදිරා දෙපයින් නැගී සිටිනවා දකින්නට  ඇගේ ඇස් පතා හිඳී.

ගුරු පාර ළඟ දී සදාතන දකින්නට ලැබුණ එක තවමත් සියපත් ට සිහිනයක් සේ ය. ඒ වෙලාවේ ඇය ඕනෑවටත් වඩා කතා කළේ හදවතට දැනුණා වූ අපහසුතාවය නිසා ම ය. සනාතන එතැන හිටියා නම් ඇයට ඒ විදිහේ අපහසුවක් නො දැනෙන්නට තිබිණ. අප නො සිතන අය නො සිතන මොහොත වල නො සිතූ දේ කරත්දී අපි තිගැස්සී යන්නෙමු.

රිය ගමන් ඇරඹුවාට පස්සේ සදාතන කතා කළේ ම නැත. සියපත් හොරෙන් වාගේ ඔහු දෙස බැලුවා ය. ඒ වෙලාවේ ඔහු ගේ මුහුණේ ආඩම්බරයක් හෝ ලැජ්ජාවක් හෝ නපුරුකමක් හෝ නොවූ බව ඇයට සහතික ය. කිසිදු කලබලයක් නැති රාත්‍රී අහසක් වාගේ ඔහු සව්මිය වූයේ ය. වත මත සිනහවක් නැතත් හිත තුළ වූ සිනහවක් සරැලි නගනා හැටි පිටතට පෙනිණ. ඔහු තෘප්තිමත් ව සිටියේ ය. ආත්ම අභිමානයට පත්ව සිටියේ ය. තමන් ගැන විශ්වාසයට පත් ව සිටියේ ය. සමාදානයට පත් ව සිටියේ ය. නමුත් සියපත් ගේ හදවත අධි තීව්‍රතාවයකින් යුත් අනවරත වූ ගැස්මක දිගට ම පසු විය.

රිය කහවණුගොඩ මැදුර අභියස නතර වන විට සනාතන හිටියේ ගෙදොරකඩ ය. සදාතන ගේ රියෙන් බට සියපත් දුටු කල ඔහු ට කිසිත් සිතා ගත නො හැකි වූයේ ය. 

“ගුඩ් මෝනිං”

කියා ගෙන ඇය ඉක්මනට ගෙතුළට ගියා ය. පෙරළා සුබ පතන්නට හෝ අමතක වන තරමට සනාතන නූල් බෝලයක පැටලී සිටියේ ය.

“ජගත්ට එන්න වෙන්නෑ කියල කෝල් කළා හදිස්සියෙම. වෙන ඩ්‍රයිවර්ස්ල කවුරුත් ඇවිත් නෑ. ඒ ගමන මං ගියා සියපත් පික් කරන්න”

සදාතන සොයුරා ගේ කුහුල ලෙහුවේ ය. 

“අපරාදෙ රස්තියාදු වුණේ. ටැක්සි එකක් දාං එන්න කිව්වනං අපි මෙහෙං පේ කරනවනෙ”

“මට එච්චර දෙයක් මතක් වුන්නෑ. අක්ක බලං ඉන්නවනෙ සියපත් එනකල්. ඉතිං ටක්ගාල ගියා”

සදාතන කාමරයට රිංගා ගත්තේ එසේ කියමිනි. එදා ඔහු කාර්යාලයට යන්නට පෙර මදිරා ගේ කාමරයට ගියේ හෝ නැත.

“අනේ ඔය ඇති සියපත්. ඔයාගෙ අත් දෙකත් රිදෙනව ඇති”

මදිරා ගේ හඬ කෙතරම් ළතෙත් වී ද සියපත් තිගැස්සී ගියා ය. තෙල් බෙහෙත් ගල්වමින් වී ද සිය සිත මෙතැනින් ඈතක වීම ගැන තමන් ගැන ම ඇය නොරිස්සුම් වූවා ය.

“මගෙ අත් රිදිල හරි ඔයාට ඉක්මනට ඇවිදින්න පුළුවන් වෙන්නයි ඕනෙ අක්කෙ”

“අනේ…මගෙ කොල්ලො දෙන්න වගේම ඔයත් මං ගැන හිතන්නෙ…සමහර විට ගිය ආත්මෙක හරි ඔයා මගෙ නංගි වෙලා ඉන්න ඇති”

“අපි කවුරුත් මේ සංසාර චක්‍රෙ කොතනකදි හරි අපේ අපේ වෙලා ඉන්නැති අක්කෙ”

“මං එදා සියපත්ට කිව්ව නේද මං ප්‍රපෝස්ඩ් මැරේජ් එකකට කැමති වෙන්නත් හේතුවක් තිබුණ කියල”

“හ්ම්. අක්ක කාට හරි ආදරේ කරන්නැති…එයාට සර් කැමති වෙන්න නැතුව ඇති කියල මට හිතුණා. ආදරේ කොච්චර ලස්සනට පිටට පෙනුණත්…ඒක ඇත්තක් කර ගන්න ලේසි නෑ නේද අක්කෙ…විශේෂයෙන් ම වත් පොහොසත්කම් කොච්චරද කියල ගණං හදද්දි…”

තමන් ගේ හදවත මේ තරම් බර වී තිබෙන්නට කාරණා කිම් දැයි සියපත් සිතන්නට ගියේ නැත. එක අතකට සමනල ගිරි හිස තරණය කළාට පස්සේ එ’ගිරෙහි ම හිස ගසා මිය යන එක සමනලයෙකුට සැපතක් විය නො හැකි ද?  

“නෑ සියපත්. ඇත්තටම එහෙම නෙවෙයි. ආදරයක් ගැන හිතන්න මට වෙලාවක් තිබුන්නෑ. අම්ම නැති වුණාට පස්සෙ පවුලක වැඩිමල් ගෑනු ළමයට සොබා දහම අම්ම කෙනෙක්ගෙ හදවතක් බද්ද කරනවද කොහෙද…මල්ලිල දෙන්නව මං මගෙ පපුවට තුරුල් කරගෙනයි හිටියෙ. අම්ම නැති වෙනකොට තාත්ත තරුණයි. අම්ම නැති වෙලා ටික කාලෙකට පස්සෙ තාත්ත කම්පනි එකේ වැඩ කරන ලේඩි කෙනෙක් එක්ක සම්බන්දයක් ඇති කර ගෙන කියල ආරංචි වුණා. ඒක මට කොච්චර ශොක් එකක් වුණාද කියල මේ දැනුත් කියන්න තේරෙන්නෑ”

සියපත් සිය ළැමෙහි දෑත ම තද කොට ගත්තා ය. ඇගේ රතදර වෙව්ලා ගියේ ය. ‘අනේ’ කියා හෝ කියා ගන්නට බැරි තරමට ඇය දුර්වල වී සිටියා ය.

“හැබැයි දැන් ඒ ශොක් එක නෑ. ටික ටික ඒක තුනී වෙලා ගියා. මං හිතුව තාත්ත අපේ ගෙදරට කුඩම්ම කෙනෙක් ගෙනෙයි කියල. ඒ කුඩම්ම අපිට වෙනස්කං කරයි කියල. අම්ම විතරක් නෙවෙයි තාත්තවත් අපිට නැති වෙයි කියල. මල්ලිල දෙන්නව එයාගෙ කරදර වලින් බේරගන්න එක ගැන විතරයි මගෙ හිතේ තිබුණෙ. තාත්ත ඒ ලේඩි එක්ක එකට ජීවත් වෙන්න පටං අරං කියල  දැනගන්න ලැබුණ. කුකුළු පැටව් දෙන්නව තුරුල් කර ගත්ත කිකිළියක් වගෙයි ඒ දවස් වල මං හිටියෙ. මල්ලිල දෙන්නට කිසිම දුකක් දැනෙන්න දෙන්නෑ කියල විතරයි මං හිතන් හිටියෙ. තාත්ත ඒ ලේඩිට ගෙයක් අරං දීල තිබුණ. තාත්තත් එහෙ යන්න එන්න ඉන්න ඇති. ඒත් එයා අපේ ජීවිත වලට කිසිම විදිහකින් සම්බන්ද නෑ කියල මං තේරුං ගත්තෙ හුඟක් පහු වෙලා. එයා කවදාවත් මෙහෙ ඇවිත් නෑ. ඒත් අපි එයාව දැකල තියනව. සමහර ටුවර්ස් තාත්ත එයත් එක්කයි ගියේ කියල අපි දන්නව. එතකොට හිත් රිදිල තියනව. හැබැයි තාත්ත අපි වෙනුවෙනුත් වෙලාව වෙන් කළා. අපිව හැම තැනම එක්කන් ගියා. ඒ කිසි ගමනකට අර ලේඩි සම්බන්ද වුණෙ නෑ. තාත්ත ගොඩක් බිස්නස් වලින් දියුණු වෙන්න ගත්තෙ එයා හම්බ වුණාට පස්සෙ. මං අදටත් දන්නෑ ඒ දෙන්න මැරි කරලද කියල. හැබැයි වෙන ළමයිනං නෑ. බිස්නස් ඔක්කොම තාත්ත මල්ලිලට තමයි බාර දීල තියෙන්නෙ. ඒ වගේ දරුණු මානසික පීඩනේකයි මගෙ හුඟක් තරුණ කාලෙ ගෙවුණෙ. ආදරයක් ගැන හිතන්න මට කිසිම උවමනාවක් තිබුන්නෑ. මගෙ පොඩි උන් දෙන්න වෙනුවෙන් මංවත් ඉතුරු වෙලා ඉන්නෝනෙ කියන හිතිවිල්ල මහ ලොකු ගහක් වගේ මාව වහගෙන තිබුණා. මං කාට හරි ලං වුණොත් මල්ලිල දෙන්න තවත් තනි වෙයි වගේ මෙන්ටැලිටි එකක් ඇති වෙලා තිබුණෙ කොහොමද මන්දා. ඒක නිසාම අෆෙයා එකක් පටන් ගන්න අහපු දෙතුන් දෙනෙක්වම මං මගෑරිය. අන්තිමට තමයි තාත්ත ප්‍රපෝසල් එකක් ගෙනාවෙ. එතකොට මට විසි හතත් පැනල. මල්ලිල දෙන්නම රික්වෙස්ට් කළා දැංවත් මැරි කරන්න කියල. එයාල ගැන බලාගන්න දැන් එයාලට පුළුවන් කියල. ඒ අතරෙ තමයි ඇක්සිඩන්ට් එක වුණේ. මැරි කරන්න කලින් මෙහෙම වුණෙ මගෙ පෙර පිණක් නිසා වෙන්නැති සියපත්. එහෙම නොවුණනං…පහු ගිය කාලෙ මං සුයිසයිඩ් කරගෙන තියෙයි”

“අනේ අක්කෙ”

“කම්පනි එකේ අය ඒ ලේඩි ගැන දන්නව. ඒත් මං පිටස්තර කෙනෙකුට ඉස් ඉස්සර වෙලාම මේ කතාව කිව්වනං…ඒ ඔයාට විතරයි”

“මං මගෙ අම්ම තාත්තටවත් කියයි කියල හිතන්නෙපා”

“දැන් ඕව රහස් නෙවේ සියපත්. මමත් දැං ඉස්සර වගේ හිතන්නෑ. කොටින්ම තාත්ත ගැනවත් ඒ ලේඩි ගැනවත් කිසිම තරහක් දැන් මට නෑ. එයා හිටිය නිසා තාත්තගෙ ජීවිතේ පාළුව නැති වෙන්න ඇති. ඒ ලේඩි වුණත් කරල ඇත්තෙ ලොකු කැපකිරීමක් වෙන්නැති. අපිට පිටින් බලල කාටවත් චරිත සහතික දෙන්න බෑ. සල්ලි නිසා එයා තාත්තගෙ කරේ එල්ලුණා කියල කියපු කිසි කෙනෙක් එයා නිසා තාත්තගෙ ජීවිතේ තිබුණ පාළුව නැති වෙලා ගිය එක ගැන දන්නෑනෙ. මිනිස් හැඟීම් හරි සංකීර්ණයි සියපත්. අපිට පුළුවන්නං චුට්ටක් හරි ඒව තේරුං ගන්න…සංවේදී වෙන්න…කාවවත් විනිශ්චය නොකර ජීවත් වෙන්න පුළුවන් නං…ඒක තමයි ජීවත් වෙන්න පහසුම විදිහ. අනික අපේ විනිශ්චය දශමයක්වත් හරි නැති වෙන්න පුළුවන්”

“ඔයාට හුඟාක් ආදරේ කරන කෙනෙක් හම්බවෙන්න ඕනෙ අක්කෙ..ඔයාගෙ ඔය ලස්සන හිත කවදාවත් තනි නොකරන කෙනෙක්…”

මදිරා මඳහසක් නගා ගත්තා ය. දැන් ඇයට උවමනා සදාතන හා සනාතන වෙනුවෙන් ලස්සන ලෝකයක් ගොඩ නගා දෙන්නට ය. 

“සනාතනටනං මෙලහකටත් කෙල්ලො ඕන තරං ඇති. ඒක නිසා සදාතනට වියානා ව ප්‍රපෝස් කරපු එකට මං කැමතියි. ඒ කොල්ලා කවදාවත් ගෑනු ළමයෙක් තෝර ගන්න එකක් නෑ නැත්තං”

හදවත මැද්දේ ම බෝම්බයක් පුපුරා ගිය කලෙක සේ සියපත් බිඳී ගියා ය. කුඩු වී ගියා ය. ඒ හැම කැබැල්ලක ම රිදුණු හදවතක කොටසක් ඉතිරි වී තැන් තැන් වල හිඳ ඉකි බිඳිනවා සේ ඇයට ඇසිණි. ඒ ඉකි හඬ නෑසෙන සෙයින් ඕ මඳහසක් නගා ගත්තා ය. වියානා! ඒ ලස්සන නමකි. ගෑනු ළමයා අනිවාර්යයෙන් ම ලස්සන විය යුතු ය! 

මදිරා මල්ලිලා දෙන්නා ගේ ඇත්ත ඇති සැටියෙන් සියපත් ට කීවේ හිතා මතා ම ය. ඔවුන් දෙදෙනාගේ ම ඇස් සියපත් වටා කැරකෙන්නට පටන් ගෙන ඇති බව වෙන කාටත් වඩා හොඳින් මදිරා ට දැනේ. සියපත් වූ කලී අවිහිංසක දුප්පත් කෙල්ලකි. එවන් කෙල්ලක ගේ හදවත බිඳීමකට නොව ඉරි තැලීමකට වුව ලක්වීම පාපයකි. ඇයට අහිංසක හීන තිබේ. හදවතක් බිඳී ගියාට පස්සේ හීන අහෝසි වී යා හැකි බව මදිරා ඉතා හොඳින් දනී. අල්ලා ගන්නට පිදුරු ගසක් හෝ සොයා ගත නො හැකි මිනිසුන් කිසි දා චණ්ඩ දිය පහරට හසුව ගසා යා යුතු නැත! 

මයිකල් කහවණුගොඩ එදා දවල් කෑම මේසයෙහි වූයේ නැත. එහෙම දවසට ඔහු දිවා ආහාර ගන්නේ වසන්ති ගේ ගෙදරදී ය. කෑම මේසයේ ඔහු නොවූ දින ගණනාවක් ම තිබි බව සියපත් ට සිහි විය. 

සියපත් ගේ මූණේ මඳහසක් වූයේ ය. නමුත් හදවතෙහි වූයේ සැහැල්ලුවක් නොවේ. හිමි වෙන්නටත් පෙර කුමක් හෝ දෙයක් අහිමි වී ගියා වන් සංකාමය හැඟීමක් ඇය පෙළයි. උපදින්නටත් පෙර බලාපොරොත්තුවක් මිය ගියා වන් සන්තාපයක් ඇය පෙළයි. නමුත් එවැන්නක් නැතිවා සේ ඉන්නට ඇයට උවමනා විය. 

කෑම මේසයෙහි පියා නොවන දින වලට සනාතන කොහොමත් අනිත් දින වලට වඩා සැහැල්ලුවෙන් හැසිරෙයි. ඔහු ගේ විහිළු තහළු වැඩි වෙයි. එවන් පෙර දිනකටත් වඩා සියපත් අද සනාතන ගේ විහිළු වලට සිනාසුණා ය. ඔහු ඇගේ කොණ්ඩයෙන් අදිත්දීත්, බූල් බෑන්ඩ් එක ගලවා දමත්දීත් සිනහ වෙවී ඔහේ සිටියා ය. සියපත් ගේ හැසිරීම සනාතන ට අනුබල දීමකැයි සදාතන තරහෙන් සිතුවේ ය. නමුත් ඔහු ට ඒ වෙනුවෙන් යමක් කළ නො හැකි විය. කොහොමටත් සියපත් උදේ හිටියාට වඩා වෙනස් වී ඇති බවක් සදාතන ට දැනිණ. ඇය ඔහු ගේ ඇස් මගහරින්නට තරම් ප්‍රවේසම් වූවා ය. සනාතන සමග ඇගේ කුළුපග බව ද වැඩි වී තිබිණ. ඔහු ගේ සමාගමය ඇය ප්‍රිය කළා සේ පෙනුණේ ය.

“අක්ක කිව්වෙ සියපත් ඩිග්‍රි එකක් කරන්න කැමැත්තෙන් ඉන්නව කියල. ඉතින් ඔය මොකක් හරි කැමති එකක් බලල කරන්න ගන්නකො. දැන් ඔන්ලයින් වුණත් කරන්න පුළුවන් කෝස් ඕන තරං තියනවනෙ. අක්ක එක්ක ඉන්න ගමං වුණත් ඔයාට වෙලාවක් වෙන් කර ගන්න පුළුවන්නෙ”

දිවා ආහාරයෙන් පස්සේ මදිරා කාමරයට ගිය ඉක්බිති සනාතන සියපත් ව කතාවට අල්වා ගත්තේ ය.

“ඔව්…මොකක්හරි බලල කරන්න ඕන අයියෙ. කම්මැළිකමකුත් තියනව හැබැයි”

“කම්මැළි වෙලා බෑ”

“තව ටික දවසක් ගිහිං මොකක් හරි බලනව”

“සියපත් කැමති කෝස් එකක් බලල කියන්නකො. ෆී එක අපි මොකක්හරි කරමුකො”

සියපත් සිනහ වුණේ කතා කළ දේ ගැන හොඳ සිහියකින් තොරව ය. ඇගේ හිත තුළ උසස් අධ්‍යාපනය ගැන කිසිදු ආශාවක් හෝ බලාපොරොත්තුවක් මේ මොහොතේදී නම් නොවිණ. නමුත් සිනහ වෙමින් කතා කරන්නට කුමක් හෝ මාතෘකාවක් අවශ්‍ය බව නම් දැනිණ. එතකොට මතු වෙන්නට දඟලනා රිදුමක් හිතේ පත්ලට ඔබා තැබිය හැක.

මතු මහලේ සිට සදාතන මේ දර්ශනය බලා සිටියේ ය.  උදේ රියෙහි පැමිණෙත්දීවත් සියපත් ඔය විදිහට ඔහු සමග නම් කතා බහ කළේ නැත. සනාතන ළඟදී ඇය වඩාත් ලිහිල් ලෙස හැසිරේ. මල්ලී සියපත් ගැන විශේෂ කැමැත්තකින් පසු වෙනවා ද යන පැනය සදාතන තුළ විදුලි කෙටීමක් ඇති කරවූයේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles