ආදරය බොහෝ විට අප බලාපොරොත්තු නොවූ විලසින් සිත තුලටත් අනතුරුව ජීවිතය තුලටත් බලාපොරොත්තුවක්ව පැමිණේ. එය හරියට නිස්කලංක දිනයක හදිසියේ හමා එන සුළඟක් වැනිය. එය කාර්යබහුල වීදියක අහම්බෙන් හමුවීමක් වුවද, ආපන ශාලාවක අහඹු හමුවීමක් හෝ ආගන්තුකයෙකු සමඟ අහඹු සංවාදයක් වුවද, ආදරය අපව වඩාත් ප්‍රීතිමත් සහ අනපේක්ෂිත ආකාරවලින් පුදුමයට පත් කරන බව පිළිගතම යුතුය.
මෙම අනපේක්ෂිත සම්බන්ධතා අවස්ථාවන් අපට මතක් කර දෙන්නේ ආදරයට අපගේ ජීවිතයට පිවිසීමට අද්විතීය හැකියාවක් ඇති බවත්, බොහෝ විට කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව, එය ගෙන එන මායාව ගැන අපව පුදුමයට පත් කිරීමටත් කෘතඥ වීමටත් ඉඩ ඇති බවත්ය.
මෙම විස්මිත අවස්ථාවන්හිදී, හදවත් සහ ඉරණම්වල සුන්දර ඝට්ටනයකින් ආත්මයන් දෙකක් එකට එකතු විය හැකිය.
එය හරියට විශ්වය අහඹු හමුවීමක් නිර්මාණය කිරීමට කුමන්ත්‍රණය කරනවා හා සමානයි, ඒ මොහොතේම සියල්ල වෙනස් වේ. සරල බැල්මක්, බෙදාගත් සිනහවක් හෝ හුවමාරු කරගත් වචන කිහිපයක් අනපේක්ෂිත ලෙස අපේක්ෂා කල කිසිවෙකුගේ ආදරණීය පැමිණීමක් ගැන අපට දැනුම් දීම් සිදු කරයි.
උශාලි උන්නේ ඒ හැඟීම විඳ දරා ගනිමිනි.
අරුණිගේ විවාහ මංගල්‍යය උත්සවයේදී දුලන්‍යාගේ තාත්තාව දකින්න බලාපොරොත්තු වූවා යැයි කිවහොත් එය බොරුවකි. එවන් බලාපොරොත්තුවක් කිසිත් මොහොතක සිත තුල නොතිබුණ බව උශාලිට සක්සුදක් සේ පැහැදිලිය.
අනෙක් අතට එකී ප්‍රේමය සිත තුලම පිපී පරවී යනවා හැරෙන්නට කිසිදිනක ඔහුට පවසන්නට හෝ අඟවන්නට අවශ්‍යතාවයක් උශාලිගේ තුන් සිතකවත් තිබුනේ නැත. සිහිනයෙන් හෝ පමණක් ඔහුව හමුවීම සිතට ප්‍රමණවත් යැයි සිතා හුන්නාට ඔහුව දකින සෑම මොහොතක සිත හුණු වූ වැගිරෙන අයුරු දෑස් ඔස්සේ බලාගත හැකි බව උශාලි දැන් හුන්නා නොවේ.
විවාහක පුද්ගලයන් සමඟ ආදර සබඳතාවලට එළඹීමට එරෙහිව ස්ථාවරයක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය මූලධර්මයකි, මන්ද එය විවාහයේ පාරිශුද්ධභාවය සහ සදාචාරාත්මක හැසිරීම ප්‍රවර්ධනය කරන හෙයිනි. එසේ වුවද, මිනිස් හදවතේ ඇති සංකීර්ණතා සමහර විට අපව අනපේක්ෂිත මාර්ග කරා ගෙන යයි.
සමාජ සම්මතයන් සහ අපගේම අභිප්‍රායන් ඉක්මවා යන අනපේක්ෂිත තත්වයන් තුළ ආදරයේ මල් පිපෙන්නට පුළුවන. ඒ අපට වළක්වා ගත නොහැකි කාරණාවකි. එවැනි අවස්ථාවන්හිදී, අපගේ හැඟීම් සහ අපගේ සදාචාරාත්මක භාවයන් අතර ගැටුම් ඇතිවීම වළක්වා ගන්නට අපහසු කාරණාවක් බව සැබෑවකි.
මේ මොහොතේ උශාලි උන්නේද එවන් ගැටුමක් අතර සිතෙන් සිරවීය.
මේ වූ කලී සදාකාලයේම අප්‍රකාශිතවම තබා ගත යුතු අදරයකි.
එහෙත් ඒ මොහොතේ නොසිතූ ලෙස ඔහු පැමිණ තමා හා කතාබස් කිරීම සිතෙන් අමතක කරලන්නට උශාලිට පුලුවන් වූයේ නැත.
ඒ කතා බහ සඳහා ඔහුව දිරි ගැන්වුයේ එවෙලේ ඔහු තුල වූ මත් බවද නොඑසේ නම් මිතුරන් සියල්ල නැටුම් බිම මත හැසිරෙද්දී සිතට පිළිපන් පාලුව සහ තනිකම ද යන්න උශාලිට විග්‍රහ කරගන්නට හැකි වූයේ නැත.
එහෙත් ඒ ඇරඹුණේ ඇසත්, මුවත් ගොලුවෙද්දී සිත දොඩමලු වූ වේලාවකි.
“දැන් ඉතින් ඔයා මට සර් කියනවා මම ඔයාට ටීච කියනවා. ඉස්කෝලෙක වගේ. පොඩ්ඩක් හරියන්නෙ නෑ වගේ නේද?”
ඔහු විමසන වදන් වලට දෙතොල් මෑත් කර මද සිනාවක් හෙලනවා මිස කල යුත්තේ කුමක්ද යන්න ගැන අදහසක් උශාලිට නොවුනි. මෙවන් මොහොතකට තමා මෙයට පෙර මුහුණ දී නැති බව උශාලිට පැහැදිලිය.
එහෙත් මේ සිනහවකට පමණක් පිළිතුරු දිය හැකි මොහොතක් නොවේ.ඔහුගේ දොඩමලු වන දෑස තමා වෙතටම යොමු වී තිබෙනු දුටු උශාලිට එසේ සිතුණාය. මේ තමා සිහිනයෙන් දකින්නාය. සිතෙන් ඒකපාර්ශ්වීය ප්‍රේමයකින් බැඳී හිඳින්නාය.එහෙත් සැබෑ ජීවිතයේ තමා අතර ඇති පරතරය උශාලි නොදන්නවා නොවේ.
උත්සව ශාලාවම ඇත්තේ කන් බිහිරි කරවන සංගීතයකින් වැසීය. එහෙත් ඒ ශබ්ධයන් මැද්දේත් කියාගහ නොහැකි අන්දමේ පුදුමාකාට නිහඬතාවයක් තමාත් ඔහුත් අතර වූ බව උශාලිට තවමත් මතකය.
අහඹු හමුවීම් නිහඬතාවයකින් ඇරඹී නිහඬතාවයකින්ම නිම වෙන්නටම නියමිත බව කොහේදී හෝ කියවූ බවක් උශාලිට මතකය. එහෙත් මේ නිහඬව වුවද හමුවන්නට නියමිත කතාබහක් නොවන බව පැහැදිළිය. අනුන් සතු උයනක පිපුණු මල් නෙලාගන්නට අවසරයක් කිසිවෙකුට නොහැක. අනුන් සතු උයනක පිපුණු කෙතරම් සුවදැති මලක් වුවද නෙලාගන්නට හැකිවුවද, එය කිසිදු ආත්මයක ඒ මල තම උයනේ පුබුදුවා ගන්නට නොහැකි අන්දමේ පවක් විය හැක.
ඒ වූ කලී සිතෙන් ඉවතලිය නොහැකි අන්දමේ බියකි.
එහෙත් ඒ හැඟීම්වලට සහ නිහඬතාවයන්ට විරාමයන් තබමින් ඔහු මත් වී දොඩමලු වෙයි.
“මම කතා කරන එක වරදක් ද? ඔයා ඒකට අකමැතිද? මම යන්නද?”
“නෑ”
ඒ වූ කලී වචනයක් පමණක්ම නොවේ.පිලිතුරක් පමණක්ම නොවේ. වචනයක සැඟවී තිබුණ පිළිතුරු සමුදායකි. පිළිතුරක් තුළ සැඟවී තිබුණ හැඟීම් වරුසාවකි.සිත තිබෙන්නේ ඒ හැඟුම් වරුසාවේ නැහැවෙමිනි.
“එහෙනම් මම කලින් අහපු දේට උත්තරයක් දෙනවද?”
“මොකද්ද?”
“සර් ටීච නැතුව නම කියල කතා කරමුද? මගෙ නම අනුප”
මම ඒක දන්නවා යැයි කියා කියන්නට සිතුණද එය පමණට වඩා එකිනෙකාට ලංවීමක් ය යන බිය උශාලිගේ සිත ඇතුලේ විය. සතුකරගන්නට නොහැකි අයෙකුට ලංවීමේ වේදනාව මෙපමණකැයි කියා කියන්නට නොදැන උන්නද ඒ වේදනාව ගැන නොසිතා ඉන්නට පුලුවන් කමක් උශාලිට වූයේ නැත.
එහෙත් නිහඬව හිඳින්නට ඔහුගෙන් ඉඩක් නැත.
“ඔයාගේ නම මොකද්ද?”
ඇගේ නම මතක තිබුණද ඒ වග අඟවන්න අනුපට සිතුනේ නැත.
“උශාලි”
“උශාලි” තමා කියූ දේම නැවත කියමින් ඔහු නැවත වරක් රන්වන් පැහැ දියරය අඩක් පමණ පිරුණ විදුරුව දෙතොල මත තබන්නට විය. බිඳෙන් බිඳ ඔහුගේ උගුරෙන් පහලට යන ඒ රන්වන් පැහැ ද්‍රාවණයේ වූ මත් බව ඔහුගේ නෙත් මතට ගෙන එන්නේ කාන්තිමත් බවකි. ඒ වූ කලී ආදරයද? ශෘංගාරයද? සෙල්ලක්කාර බවද යන්න ගැන උශාලිට තේරුමක් නැත.
“උශාලි විතරද?”
“නෑ තව තියෙනවා”
“එහෙනම් කියන්න. මට පුලුවන් අහන් ඉන්න”
ඔහුගේ මුවින් නික්මෙන ගැඹුරු එහෙත් කෙඳිරුම් හඬ වඩා සමීප ආදරයටද කියා තේරුමක් නැත. එහෙත් එය දෙනෙත් විනිවිද ගොස් සිත විපරම් කරන්නට හැකි අන්දමේ බැල්මකි. උගුර සීතල කරමින් නැගීඑන හැඟීමකි.
“උශාලි මහර්ඝා රණවීර”
“කියන තරම්ම වටිනවද ඉතින්?”
“මොනවද?”
“ඔයාව”
“ඇයි එහෙම ඇහුවෙ?”
“මහර්ඝයි කිව්ව නිසා ඇහුවෙ”
“දන්නෙ නෑ ඒකනම්” කියා තමා නැගූ සිනහවට ඔහුද එක්වූයේ සුන්දරම සිනහවක් එක්කරමිනි.
“ඇයි කවුරුවත් එහෙම කියල නැද්ද?”
“කවුද එහෙම කියන්න ඉතින්”
“ඇයි එහෙම කියන්න කවුරුත්ම නැද්ද?”
“එහෙම කෙනෙක් තාම නෑ”
ඒ සංවාදය පුරාවටම රැඳී තිබුණේ උණුහුමකි. කිතියකි. වචනයෙන් කියාගන්නට නොහැකි ආදරයක් මුසු වූ ලැජ්ජාවකි.එහෙත් ඒ මෙතෙක් කලක් සිත ඉල්ලූවක් නොවේද? මද මත් බවක් රැඳුණ ඔහුගේ බැල්මත් කෙඳිරුම් ගැඹුරුහඬත් එක එල්ලේ තමා වෙතටම නැඹුරු වී තම සිත මන්මත් කරයි.
ඔහුගේ මත් බව නිසාවෙන් අඩවන් වූ දෙනෙත් තමාගේ නෙත් වෙතටම ඇලවී ඇත. එහෙත් එයින් බැල්ම මුදවාගන්නට උවමනාවක් නැති තරම් ය.
“ඔයා දන්නෙ අරුණිවද? මධුකවද?”
මේ එකම පැනය ඔහු අසන දෙවනි වතාවය.ඉතින් ඒ මත් බවම මිස වෙන කිසිවක් නොවන බව උශාලිට පැහැදිලිය. අනෙක් අතට තමාගේ සිත තුල ඒකපාර්ශ්වීය ආදරයක් තිබුණද ඔහුට ඒ ගැන අදහසක්වත් නොමැති බව උශාලි දනි.
එහෙත් තමා වෙතම නැඹුරු වී ඇතිබැල්ම කියන්නට තනන්නේ වෙනත් කතාවක් විය නොහැකිද?
“අරුණිව”
“මම ඒ ප්‍රශ්නෙ මීට කලිනුත් ඇහුව නේද? සොරි” කියමින් ඔහු සිනාසෙද්දී ඒ සිනහවට එකතු නොවී හිඳින්නට පුලුවන්කමක් උශාලිට තිබුනේ නැත.
“කොහොමද ඔයාලා අඳුරන්නේ?” මත් බව අමතක කරන්නට මෙන් මදක් එසවී පුටුවේ හරිබරි ගැසී හිඳගත් ඔහු එසේ ඇසුවේ දිග කතාවකට මුල පුරන්නට මෙනි.
“ඉස්කෝලේ කාලෙ ඉඳල දන්නවා”
“ඔයත් මියුසියස් ද ගියේ?”
“ඔව්”
“මම තර්ස්ටන්, මධුයි මමයි ඉස්කෝලෙ යන කාලෙ ඉඳලම යාලුවො. කොටින්ම අපි ජපුරෙදි ස්ටඩි කරෙත් එකට එකම ෆැකල්ටි එකේ”
ඒ දිගු පැහැදිලි කිරිමෙන් පසු යළි එතන මැවුණේ නිහඬතාවයකි.ඒ නිහඬතාවය යළි යළිත් බිඳිමින් ඔහු විසින් කතා බහ කරන්නට යෙදුණු කතාවන් ආසාවෙන්ද ආදරයෙන්ද ඉවසීමෙන්ද දරා හිඳින්නට උශාලිට නොහැකි වුයේ නැත.
“අපි නටමුද?”
තමා වෙත අත දිගුකරමින් ඔහු විමසද්දී උශාලිට මතක් වූයේ තමා දුටු සිහිනයයි. ඔරුවේ දෙපස වාඩි වී සිහිනයේ හුන් තමා සහ ඔහු අතර වූ ශරීර පරතරයට වඩා අඩු පරතරයක් මෙතනදී වුවද දන්නා හඳුනන අය ඉදිරියේ ඔහුත් සමග නටන්නට සිත පැකිලේ. අනිත් අතට මේ කතාබහෙන් ලැබෙන ආශ්වාදය නැටුමෙන් ලැබෙන සතුටට වඩා වැඩිය.
“අනේ මට නටන්න ලැජ්ජයි”
“ලැජ්ජ නටන්නද එහෙම නැත්තම් මාත් එක්ක නටන්නද?”
ඒ නොසිතූ පැනයකි. ඒ වදන් වල රැඳී ඇත්තේ වේදනාවක් ය යන හැඟීම “අනේ එහෙම නෙවෙයි. මම ඔහොම නටන්න ආස නෑ” කියන වදන් සමග මුවින් ගිලිහුණේ නොසිතාම ඔහුගේ දෑත මත තම දෑත රඳවා සමාව ඉල්ලන බැල්මක් ඇස් අස්සේ තබා ගනිමිනි.
ඔහුගේ අත්වල වූයේ සීතලකි. ඒ සීතල හැඟීම සමග උශාලි අනුපගේ අතින් තම අත මුදවාගත්තට ඔහුගේ නෙත් රැහැනින් මිදෙන්නට හැකියාවක් හෝ උවමනාවක් වූයේ නැත.
“එහෙනම් කමක් නෑ”
ඒ වදන් වල අමනාපය බිඳක්වත් තැවරී නැත. සැනසුම හැරෙන්නට.
ඔහු අසන දේට පිලිතුරු දෙමින්, ඔහු හා දොඩමලු වෙමින් ගත වුනු කාලය අවසන් වූයේ අරුණි සහ මධුකට නික්මෙන්නට වෙලාව ළං කරවමිනි.
දෙමව්පියන්ගේ කඳුලු වරුසා ද මිතුරු මිතුරියන්ගේ ආසිරි වරුසා මැද ද අරුණිත් මධුකත් නික්ම ගිය පසු, දුලංජලී සහ නිකිණිද උඩු මහලේ ඔවුන් හැඳ පැළඳගත් කාමර වෙත නික්මුනෙ උශාලි සමග දොඩමලු වීමෙන් පසුවය. සිත් පුරවා ගත් සතුටද, විවාහ උත්සවයේ විචිත්‍රවත් වර්ණවලින් පිරුණු මනසද තුරුලු කරගෙන උශාලි දුරකතනය අතට ගත්තේ නිවසට බලා යාමට පික් මී ඔස්සේ වාහනයක් ඇනවුම් කරගන්නටයි.
සමුගන්නට පෙර ඔහුට යනවා යැයි කියන්න අදහසක් වුවද ඔහුව දකින්නවත් උන්නේ නැත. බාගදා ඔහු කලින්ම සමුගෙන යන්නට ඇත
දවල් තුනට පමණ ලං වී තිබුන වේලාව පික් මී රියක් සොයාගන්නට අපහසු වේලාවක් නොවුවද කුමක්දෝ හේතුවකට එවෙලේ රියක් හමු වූයේම නැත.
ජීවිතය අප නොසිතන වෙලාවල් වල අපව ගෙනවිත් නතර කරන්නේ ඊලඟ අඩිය කෙසේ තැබිය යුතුදැයි කියා සිතාගන්නටවත් නොහැකි තැන්වලය. මුල්ම මොහොතේ ඒ අවස්තාව ආදරයෙන් භාරගත්තා වුවද ඉන් පසුව එන නිමේශයන්ට මුහුණ දෙන්නේ කෙසේද යන්න ගැන අදහසක් ඒ මොහොතේ අප නොදනී.
ජීවිතය ගැන දිගුදුර ඇසකින් බලා කටයුතු කිරිම වඩාත් උචිත යැයි පවසන්නේ එබැවිනි. මක් නිසාද යත් ඇතැම් නිමේෂයන් ආයේමත් ජීවිතයට නොඑන තරම් වටිනා, ආදරබර නිමේශයන් වුවද, ඒ නිමේශය අවසාන වන්නේ ජීවිතය සතු සියලු සන්තකයන් උදුරාගෙනය.
අනුපගේ කටහඬ ඇසුණේ ඒ මොහොතේ ය. ගතට වඩා සිතට ළඟින් ය.
“කොහොමද යන්නේ?”
උශාලි ගැස්සුණේ නොසිතූ මොහොතක කණ අද්දරින් ඇසුණ ඒ පිරිමි හඬටත්, නාසයට වඩා සිතට දැනුන පිරිමි සුවඳටත්ය.
“පික් මී වල යන්න ඕන නෑ මම ඩ්‍රොප් කරන්නද මුකුත් හිතන්නෙ නැත්තම්?” කියා උශාලිගේ පිලිතුර අවසානයට ඇසූ ඔහුගේ පැනයට සිනාවකින් පිලිතුරු දෙන්නට සිතුනේ ඇයිද?
ඒ පිළිතුරු අපේක්ෂා නොකල යුතු පැනයකි.
ඔහු විසින් වාහනයේ ඉදිරිපස අසුනට නගින්නට ඉඩකඩ සකසා දුන්නේත්, උස් රියට සාරි හැඳ අඩි උස සපත්තු දමා නගින්නට අපහසු නිසාවෙන් ඔහුගේ සීතල අතට වාරු වෙන්නට ඉඩ දුන්නේත් “ඉස්සරහින් නගිමු, නැත්තම් මම ඩ්‍රයිවර් වගේ” කියා සිනාසෙමින්ය.
ඒ සැහැල්ලු හැඟීමකි. එහෙත් ඒ අන්දකාරපැහැ දෑසේ කෙලවරකම වේදනාවක් රැඳී ඇති බව උශාලි දුටුවාය.
“මාත් එක්ක යන්න බයද?”
එහාපසින් විත් වාහනයට නගින අතරඔහු අසන්නේ සිනා වීය.
“ඇයි බයවෙන්නේ?”
“බීල ඉන්න නිසා”
සිනාවක් මිස පිළිතුරක් නැති මොහොතකි.
“බයවෙන් එපා. පරිස්සමෙන් ගිහින් ගෙදරින්ම බස්සන්නම්” විහිලු තහලුවෙන් හැමදේම කියන ඔහුගේ කතාවලට සිනාවෙනවා හැරෙන්නට වෙන කියන්නට කිසිවක් නැති තරම් ය.
“තරහෙන් නෙවි නේද ඉන්නේ?”
ඔහු අසන්නේ හදිසියෙනි.
“ඇයි එහෙම ඇහුවෙ? මොකටද තරහ වෙන්නේ?”
“මම බිව්ව එකට, වැඩිය බිව්වෙත් නෑ.මම එහෙම නිතරම බොන්නෙ නෑ. නැත්තම් ඔයා හිතාවිනෙ මම කරටි කැඩෙන්න ගහනව කියල”
පිරිමිකම වෑහෙන සිනාවක් සමග ඔහු කියන ඒවාට කියන්නට දෙයක් සොයාගන්නට බැරිම තැන උශාලි සිනාවක් හෙලයි. එහෙත් ඒ සිනාවම ප්‍රශ්න රැසකට පිළිතුරු බව අනුපට සිතේ.
ඔහුගේ වාහනයේ විත් නිවසට මදක් එපිටින් බහින අතරතුර බොහෝ දේ කතා බස්නොකලද ඔහු විසින් දුලන්‍යා ගැන අසනට යෙදුණු කාරණා ඔස්සේ බොහෝ දේ සිතාගන්නට උශාලිට නොහැකි වූයේ නැත.
ඒ දුවෙකුට බොහෝ ආදරය කරන තාත්තෙකි.රියෙන් බහින්නට පෙර ඔහු පැවසූ වදන්වල වූයේ තම දරුවා ගැන පියෙකුට ඇති බියය.
“උශාලි”
“ම්ම්”
“ඔයා ආදරෙයි නේද?”
තිගැස්මකි. සිත වෙව්ලුම් කෑමකි. එහෙත් සතුටකි. සතුට අග පැනයකි.
“කාටද?”
ඒ පැනය තුළ බොහෝ ප්‍රශ්න රැසක් රැඳී තිබුනි.
“දුලන්‍යට, ඔයා එයාට ආදරෙයි නේද?”
ඒ තමාට හිමි හෝ තමාට සිතෙන්වත් ළංවිය නොහැකි ලෝකයකි. එතරම්ම සුන්දර දිනයක් තමා වෙත ළං කර දීම ගැන සිතෙන් ඔහුට ස්තුති වීමම සිතෙන් පමණක් හෝ මෙතෙක් දිනක් ගොඩනගන්නට යෙදුණු පව්කාර සිතුවිලි කමා කරවන්නට හේතුවක් වන්නයැයි පැතුමක්, සුසුමක් සමග උශාලිගේ මුවින් නික්මිණ.