පෙඟුණු මල් පෙති 26

මම ලොකේශන් එක දාලා තියෙන්නේ,නුවරට යන්න තියෙන්නේ”

කියමින් චරිත්‍රා පික් මී යෙදවුම ඔස්සේ ඇනවුම් කරගත් කුලී රියට නැග්ගේ තමා නුවර යන බවට මිහිකට පණිවිඩයක් තබා ලහිරුට දුරකතන ඇමතුමක් ලබා දෙමිනි.

චරිත්‍රා උන්නේ දරාගත නොහැකි කම්පනයකි.

තමා ඇයගේ පුතුව තම ජීවිතයෙන් මුදා හරින්නට යන බව පවසන්නට සිතා ගත් මොහොතේම එය වළක්වනු පිණිස මෙන් මෙලොව හැර ගිය ස්වර්ණා පිළිබඳව ඇති වූ කම්පාවකි.

ඒ ඇය පිළිබඳව කෝපයක් නොව, වේදනාවකි.

ස්වර්ණා තමාට ආදරය කලේ නැන්දම්මා කෙනෙකු ලෙස නොව මවක් ලෙසය. අනෙක් අතට තමාට සහ ඇයට නැන්දම්මා සහ ලේලියක ලෙසින් සර්ව සම්පූර්න ජීවිතයක් ගෙවන්නට කාලයක් හමු වුනේ නැති නමුදු ඉඳහිටක හෝ තමා අමතමින් කැවාද බිව්වද යන්න පිළිබඳ සොය බැලු ඒ මව්වත් ගතිගුණ පිරුණු කාන්තාවට චරිත්‍රා ආදරේය.

මිහිකගේ අනේක නෑයන් තමා පාතරට එකියක ලෙස නොසලකා හරිද්දී තම කුස ඔත් දරුවෙකුට මෙන් සුන්දරම සෙනෙහසකින් තමාට සත්කාර කල ඒ මාතාව මිය ගොසින් ඇත යන්න චරිත්‍රාට දරාගන්නට හෝ විශ්වාස කරන්නට අපහසු කාරණාවක් විය.

තමා නුවර නෑයෙකුගේ මල ගෙදරක යන බව පැවසූ පසු ළහිරු තමා ඇයව ඇරලවන්නට එන්න යැයි ඇසීම වෙන මොහොතක සතුටක් වන්නට හැකි වුවත් චරිත්‍රාට ඒ මොහොතේ අවශ්‍ය වූයේ තනිවන්නටය. තනිව කල්පනා කරන්නටය.

“උඹ මිහිකව අතාරින බව දැන හිටියනම් ඒ අම්මගෙ පපුව මැරෙන්න මීට ඉස්සර”

හිතේ මෙතෙක් කලල් මතුපිටට විවර නොවූ අන්තයක් හිමින් එහෙත් දැඩි හඬින් කොඳුරමින් තමාට යමක් ඒත්තු ගන්වන්නට තනන බව චරිතාට තේරුම් යයි.

ඉයර් පොඩ්ස් කණෙහි රුවා ගනිමින් සින්දු අසමින් කුලී කාරයේ වීදුරුවෙන් එපිට පෙනෙන ලෝකය දෙස බලමින් කල්පනා කරමින් යෑම සිතට නිදහසකි. සිත අයාලේ යාම තරම් නිදහසක් තවත් තිබේද?

තමා විසින් මිහිකට කරන්න ගිය දේ හොඳ දෙයක් නොවුන මුත් එය නොකල නොහැකි දෙයක් බව චරිත්‍රා තම සිතට පළමුවරට ඒත්තු ගන්වමින් උන්නාය. තමා මිහිකව අතාරින්නට යන බව මිහිකට මෙයට පෙර කියා තිබුනානම් මේ වේදනාවන් ද්විත්වයම මිහික කෙසේ නම් දරාගන්නද යන කුකුස චරිත්‍රාගේ සිතට ඇතුලු නොවුණා නොවේ.

එහෙත් එය තමාටා එකඟ විය හකි කාරණාවක්ද නොවේ.

මවගේ මරණය හේතු කරගෙන මිහික හැර දමා නොයන්නට කටයුතු කිරීම තමා ජීවත්ව හිඳියදී තම සිත මරණයට පත් කිරීමකි. තම ආදරය මරණයට පත් කිරීමකි. මේ වේදනාව තමන් විසින් ඔහු වෙත ගෙන යන්නට තනන “නිදහස් කිරීමේ වේදනාව” ට සාපේක්ෂව ඉතාමත් වැඩිය. ඉතින් තමාගේ නික්ම යාම මිහිකට දරාගන්නට අපහසු නොවනු ඇත.

මිහික තමාට අම්මා මිය ගොසින්‍ ය යන පණිවිඩය ලබා දුන්නේ හඬමින් නොවුනමුත් ඔහුගේ කටහඬ ඉසියුම් ව වෙව්ලුම් කමින් තිබුනි. බාගදා ඔහු හිතින් හඬමින් හෝ ඉකියක් පාලනය කරගන්නට උත්සාහ දරමින් හුන්නා විය හැක.

මෙබඳු දිනයක් තමාටත් කෙදිනක හෝ එන බව චරිත්‍රා දැන හුන්නාය. තමන්ගේ අම්මා සහ අප්පච්චිද කෙදිනක හෝ මෙලොවින් සමුගන්නා බව දැන හුන්නද මෙතරම් තදට ඒ හැඟීම සිතට ආ මොහොතක් පිළිබඳව චරිත්‍රාට මෙයට පෙර මතකයක් නොමැත.

ජීවිතයේ ඇත්තේ අත් හැරීමම නම් මිහිකව අත හැරීම වරදක් විය නොහැක.

පැය තුනකට ආසන්න කාලයකට පසුව නුවර මිහිකගේ නිවසට එද්දීත් වෙනදා වසන්තයේ සුන්දරම ස්වර්ණ වර්ණයන්ගෙන් පිරී තිබුන එකී නිවහන මරනයේ ශ්වේතා වර්ණයෙන් වැසි ගොස් තිබුණි.

අවට පරිසරයේ වූ නිසල බවේ පවා වූයේ මහා සසැලුමකි.

නිවසට ඇතුලු වන දොරටුව වෙතට තණ පලස මත අතුරා තිබූ සිමෙන්ති කැට ඔස්සේ ඇවිද ගිය චරිත්‍රා දෙනෙත් ඔසවා වටපිට බැලුවේ අපහසුවෙනි.

  මිහිකත් අම්මාත් හැරෙන්නට තමාට මෙහි ලඟ යයි කිවහැකි කිසිවෙක් නොවේ. තමාගේ මව් දෙමව්පියන් පවා මෙහි එන්නට හෙටවත් වනු ඇත.

සෑම දිනකම තමාට වෙනස් කම් කරන්නට බලා හුන් නෑයන්ගෙන් තමා මුදවා ගත් තැනැත්තිය දැන් මේ නිවසේ නොවේ. ඉතින් තමාව පිළිගන්නට කෙනෙකු මෙහි නොමැත.

“දූ දැන්ද ආවේ? පුතා කතා කරලා කිව්වා එන බව”

පිටුපසින් ඇසුණ ඒ හඬ සිතට සැනසුමක් එක්කරයි.

ඒ සුරංගි නැන්දාය. මිහික තම නෑ පරපුරෙන් වඩාත්ම ආදරය කරන්නේත් ලැදියාවක් දක්වන්නේත් සුරංගි නැන්දාට සහ ඇයගේ පුතු මිතුන අයියාටය. අනුන්ගේ ඕපදූප කුලමල සොයා නොබලන, මිනිසුන්ගේ මනුසත් ගතිම අගය කරන සුං‍රගි නැන්දා මෙහි සිටීම සතුටකි.

“නැන්දේ… දැන් ටිකක් වෙලා ඇවිත්”

“එන්න පුතේ ඇඳුම් බෑග් උඩ තට්ටුවෙ පුතාගේ කාමරෙන් තියන්ට. පුතේ මේ නංගිගෙ බෑග් ගිහින් තියන්ට උඩ අයියගෙ කාමරෙන්. අපි අහරෙට යන් පුතේ” 

සුරංගිගේ පිටුපස ඇවිද ගිය චරිත්‍රා යොමුවුනේ පිටුපස එලිමහන් මුලුතැන් ගෙයටයි.ආ සියල්ලන්ටම සංග්‍රහ කරනු පිණිස තේ පැන් වත් කලේත් කෑම බීම සැකසුවේත් මෙහිය.

විවාහයෙන් අනතුරුව තම මව් දෙමව්පියන්ද මෙහි නැවතී හිඳි දිනකම මේ එළිමහන් කුස්සියේම අම්මා කොකිස් බැද බැද තේ මේසයට එවූ අයුරු චරිත්‍රාට මතක් වූයේ කඳුලු පටලයක් අතරිනි.

“මේ මෙහෙ පුතාගේ නෝන මහත්තැන් වෙන්ටැ”

කියමින් ගමේ හිඳිනා තමා නොදන්නා කාන්තාවන් පැමිණ කතා බස් කිරීම චරිත්‍රාගේ කල්පනා ලෝකයට බාධාවක් වූවද මේ මේ මිනිසුන් මනුස්සකම පෙන්වන අයුරුය.

ඉතාම කාර්‍යබහුල වටපිටාවක, සුරංගි නැන්දා හැරෙන්නට තමාව නොසලකා හරින නෑ පිරිවරක් හිඳින තැනක මේ ගමේ දුප්පත් මිනිසුන් හෝ පැමිණ දොඩමලු වීම එක්තරා අතකින් සැනසුමකි.

“තාම මිනිය ගෙනාවේ නෑ දූ. ඔක්කොම සූදානම් කරලා එද්දි ඉතින් එකොලහ පහුවෙයි කියල අයියල නම් කිව්වෙ, හිතුවෙවත් නැති දෙයක්නෙ එක පාරටම උනේ”

පැමිණ හුන් අයට තේ කෝප්ප අල්ලා හිස් තේ කෝප්ප රැගෙන යලි කුස්සිය පැත්තට එමින් සුරංගි චරිත්‍රා සමග දොඩමලු වේ. ඇයට සහයට තේ අල්ලන්නට එක්වී උන්නේ නයනතාරා ය.

ඇය හොරැහින් තමා දෙස බලමින් එහෙ මෙහෙඅ යන අයුරු චරිත්‍රාගේ දෙනෙතට කීප වරක්ම හසු වුවද ඇය සමග කතා කිරීමේ පිරියක් චරිත්‍රාට නැත.කොහොමත් තමාට ඇයව එහෙමකට දිරවන්නේ නැත. අනෙක් අතට පමණට වැඩි කතා බහ ප්‍රශ්න ඇති කරයි.

අනෙක් අතට නයනතාරා තමා  සඟවන්නට හදන තමා ගැන යමක් දන්නේද යන ගැටලුවද හිතට බරකි. කතාබහකට එකතු වීම එනිසා අපහසුය.

“අම්මා අසනීපෙන් ඉඳියෙ නෑනෙ නැන්දෙ”

චරිත්‍රා තමා ඉදිරියේ බංකුවක වාඩි වී හුන් සුරංගි නැන්දාගෙන් ඇසුවේ නයනතරාව දෑස් වලින් ඉවතට ඇද දමමිනි.

“ඒක තමයි දරුවො අපිටත් හිතාගන්ට බැරි. අක්කා පෙරේදත් කතා කරල මගෙන් මිතුන හෙම යන්නෙ කවද්ද කියලත් ඇහුව ගෙනියන්න මොනව හරි හදල දෙන්ට ඕනය කියල. මේ හොඳින් උන්නු මනුස්සය එකපාර හිතාගන්න බැරි විදියට නැති වුණේ”

“අප්පච්චිද දැකල තියෙන්නෙ?”

“ඔව් අක්කා දවල් කාලා ඉවර වෙලා නිදාගන්ටවනෙ. ආය නැගිටින්නෙ තුන හමාරට විතර හවස තේ හදන්ටලු. අයියා කොහෙද ගිහිල්ල එද්දිත් අක්ක නැගිටල නැත්තෙ මොකද කියල බලද්දි තමා දැනගෙන තියෙන්නෙ”

“දඟලලවත් තිබ්බෙ නෑලු නේද හාමිනේ” කියමින් කතාවට එක්කාසු වුණේ මිහිකගේ නිවස අසල කාන්තාවකි.

“අනේ ඒකනේ අක්කෙ කියන්නෙ. අපි මේ මොනතරම් දුක් උනත් වාසනාවන්ත මරණයක් ඉතින්. නින්දෙන්මනෙ”

“කොච්චර පින් දහම් කරපු මනුස්සයෙක්ද ලොකු හාමිනේ” කියමින් ඒ කාන්තාවද තේ කහට කෝප්පයක් තොලගායි.

අවට පරිසරයේ තිබුනේ දරාගත නොහැකි අයුරින් කම්පිට වූ බවකි. වෙනදාට හමාගෙන යන සිහිල් මද පවනට අද හමා යන්නට අමතක වූ නිසාවෙන් ශරීරයට දැනෙන්නේ උණුහුමකි. ඒ උණුහුමට ගින්දර එක්කහු කරන්නට මෙන් හදවත නිරත්තරයෙන්ම දැවෙමින් හිඳී.

මිහිකට හෙට අනිද්දා දිහාටවත් ඒමට හැකියාවක් ලැබේවිද යන්න කුකුසකි.

එහෙත් ඔහු එනතුරු යැයි කියා මේ කටයුතු පමා කිරීමේ හැකියාවක්ද නොපවතී.

චරිත්‍රා හිඳගෙන උන් තැනින් නැගිට්ටේ මිතුන සහ මිහිකගේ මාමා කෙනෙකු සමග කුස්සියට ආ අප්පච්චි දැකීමෙනි. 

“බලන්න පුතේ අපිට වුණ දේ” කියමින් වෙවලන ස්වරයකින් චරිත්‍රාගේ දෑත් අල්වා ගත් ඒ මිනිසා ඉසියුම්ව වෙව්ලන බව චරිත්‍රාට දැනුනි.

තාත්තෙකුගේ දෑස්වල දකින්නට හැකි කඳුලු කෙතරම්ම බරද? තාත්තගේ සිතේ වූ වේදනාවෙන් කොටසක් ඒ අත්වැල හරහා හදවතට ගෙන්වා ගත් චරිත්‍රා උඩ බලා උන්නේ කඳුලු වැක්කෙරෙන්නට වූ හෙයිනි. වේගයෙන් ඇසි පිය හෙලමින් කඳුලු මගාරින්නට උත්සාහ කරද කම්මුල් වලට දැනෙන උණුසුම කියන්නේ වෙනත් කතාවකි.

ගෙවුණු පැය තුන හතරකට අප්පච්චි වැහැරී ඇත්තේ පුදුම හිතෙන තරම් වේගයෙනි.

“තමා මිය ගිය දිනක මිහිකත් මේ අයුරින් දුක් වෙනු, විඳවනු ඇතිද” යන පැනය සිතට ආවේ අහම්බයෙනි.

ඒ ඇයිද කියා චරිත්‍රාට සිතාගන්නටවත් නොහැක. 

තමා මිහික හැරදමා යන්නට බලාපොරොත්තුවෙන් හිඳි මොහොතක සිතේ අලුතෙන් විවර වුණු කොටසක් එබන්දක් විමසන්නේ ඇයිද යන්න චරිත්‍රාට සිතා ගන්නට නොහැක.

ළහිරු වෙනුවෙන් මුලු සිතත් ගතත් පුද කල ඇතැයි සිතුවද තවමත් මිහිකගේ ආදරය සිත තුළ රහසින් පණ ගැහෙන්නේද?

ඒ සිතුවිල්ලට පවා චරිත්‍රාව සසල කරවන්නට හැක.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles