ප්‍රශ්න එන්නේ එක පිට එකය. කරදර කාලවල කරදර මෙසේ පේලියට මෙන් එන බව අනුප තේරුම් ගනිමින් උන්නේ ජීවිතේ පලවන වතාවටය. දෙවියන් විසින් පරීක්ශා කරමින් හිඳින්නේ තමන්ගේ කුමන අන්දමක ගුණාංගයක්ද කියා තේරුම් ගන්නට නොහැකි අන්දමේ ප්‍රශ්න රැසකට අනුප තනිවම මුහුණ දෙමින් උනේය.
එක් අතකින් දික්කසාදය ඉල්ලමින් බැණ වදින ෂෝබිතාය. අනෙක් අතින් දුලන්‍යාය. දුලන්‍යා වෙනස්ම ආකාරයේ නිහඬ පිලිවෙතක් අනුගමනය කරන බවටත්, අම්මා ගැන පවසා පෙර පාසලේදී හඬා වැලපෙන බවටත් විදුහල්පතිනිය පවසද්දී අනුපට කෑගසා හඬන්නට තරම් වේදනාවකුත්, ඉන්නා තැනකට ගොසින් ෂෝබිතාගේ බෙල්ල මිරිකා දමන්නට තරම් වන කෝපයකුත් සිතුණි.
එහෙත් මේ දුලන්‍යා ගැන සිතා ඉවසීම ඉස්සර කරගත යුතු මොහොතක් බව අනුප දැන හුන්නේය. එක් දිනක් නිවාඩු දමා අනුප නිවසෙ නැවතුනේ දුලන්‍යාව තමා විසින්ම පෙර පාසල වෙත රැගෙන ගොස් ගෙන එන්නටත් එදින දවසම ඇයත් සමග ගත කර ඇගේ සිත සනසන්නටත් සිතාය.
එහෙත් මවක් නැති අඩුව දරුවකුගේ ජීවිතයෙන් මකාලන්නට තාත්තා කෙනෙකුට නොහැකි බව අනුප නොදන්නවා නොවේ.
සති අන්තය අල්ලා සිකුරාදා දිනයේ නිවාඩුව ගත් අනුප උදෑසන දුලන්‍යාව පෙර පාසලට හැරලවා නිවසට පැමිණියේ කෙසේ හෝ මේ දින තුනම කල්පනා කර සිත පෙලන මේ ගැටලුවට විසඳුමක් සොයා ගන්නට සිතාය.
ජීවිතය වංගු සහිත ගංගාවක් බඳුය. මඟ දිගේ අභියෝග රැසකට මුහුණ දෙමින් අපි මේ ගඟ හරහා ගමන් කරයි. මෙම අභියෝග ගං පත්ලේ ඇති, සමහර විට මතුපිටට යටින් සැඟවී, අපගේ සුමට ගමනට බාධා කිරීමට බලා සිටින දෙපාවල ඇනී රිදවන උල් ගල් බඳු ය.
ජීවිතය හිස් පිටු සහිත පොතක් ලෙස ගතහොත් අප ඉපදුණ දා සිට මියෙන දින තෙක්ම කරන්නෙ එකී හිස් පිටු පුරවමින් ජීවිත කතාව ගොඩ නැංවීම නොවේද? නමුත් අපි පිටු පෙරළන විට, පිටු ඉරා දැමීමට තර්ජනය කරන අනපේක්ෂිත කුණාටු වැනි බාධක අපට හමු වේ. ඒ වනාහී අපට මුහුණ නොදි හිඳිය හැකි කුණාටු නොවේ.
නමුත් අප ජීවත් වීමට අවශ්‍ය ශක්තිය සොයාගන්නේ මේ අභියෝග මැද ය. විපත්ති සුළඟ හමා එන විට පවා අපි වනාන්තරයක හිඳින ගස් මෙන් උසින් හා ශක්තිමත්ව සිටින අතර අපේ මුල් පොළොවගැඹුරට ළඟා වන අතර, අපගේ අත්දැකීම් වලින් පෝෂණය ලබා ගනිමින්, අපි දිනෙන් දින වර්ධනය වන බව ජීවත්ව හිඳින සියල්ලන්ම හොඳින් දන්නා කරුණකි.
ජීවිතයේ ගැටලු ප්‍රහේලිකා වැනිය, ඉබේ නොවිසෙඳන අතර අප විසින් ඒවා විසඳාලිය යුතුය. ඇතැම් ගැටලුවක් ඉදිරියෙදි අප ගෙන එක පිළිතුර එකී ගැටලුව විසඳාලීමට උදව්වක් නොවන, නමුත් ඉවසීමෙන් සහ නොපසුබට උත්සාහයෙන්, ඒවා විසඳාගැනීමට උත්සාහ කිරීමම මේ මිනිස් ජීවිතය තුළ අප උගත හැකි විශිෂ්ටතම පාඩම ලෙස කිව හැක..
මිනිසෙකු වනාහී තරුවක් වැනිය. අන්ධකාරාම රාත්‍රීන් වැනි ජීවිතයේ ගැටලු ඉදිරියෙදී දීප්තිමත්ව හිඳින්නට හැක්කේ මිනිසාට හැර වෙන කවුරුන්ටද?
අනුප උන්නේද එකී අන්ධකාරය තුල සිරවීය. දීප්තිමත් තාරකාවක් ලෙස දිලෙන්නට අවැසි ශක්තිය අපමණ සිත තුල තිබුනා වුවද දුලන්‍යාට ජීව්තයේ හරිමග සොයා ගෙන ඉදිරියට යන්නට එකී තාරකා එළිය පමණක් ප්‍රමාණවත් ද යන ගැටලුව අනුපගේ සිත තුල ද නොතිබුණා නොවේ.
“එක පුන් සඳින් දුරුවෙයි ලොව ගන අඳුරූ – නෙක තරු රැසින් එලෙසට නොම වේය දුරූ” යන කියමන බොරුවක් විය නොහැක.
අම්මා කෙනෙකු යනු දුවෙක්ගේ ජීව්තයට සඳක් වැනිය. තම ආදරණීය දරුවාට එකී මව් සෙනෙහස අහිමි කරවනු පිණිස තීරණයක් ගන්නට තරම් අවාසනාවන්ත පියෙකු වන්නට හැකිද යන්න අනුපට සිතාගන්නට නොහැක.
“ඔයාට මේ ගැන තව එකපාරක්වත් හිතන්න බැරිද ෂෝබිතා?”
අසරණකමින් දොවාලූ වදන් වලින් එසේ අසන්නට තරම් ෂෝබිතා තමාව අසරණ කලේ ඇයිද යන්න ගැන අනුපට සිතාගන්නට නොහැක. අනෙක් අතට අතීතයේ හැරදමා ආ ප්‍රේමයක් වෙනුවෙන් තම කුසින් වැදූ තම කිරෙන් පෝෂණය කල දරුවා අමතක කල පලායන්නට හැකියාවක් මවකට තිබෙන්නට හැකිද?
එහෙත් මේ ආත්මානුකම්පාව පසෙක ලා තීරණයක් ගතයුතු මොහොතකි. විටෙක ඇඳ මත හාන්සි වීද, තවත් විටක බැල්කනියේ එහා මෙහා ඇවිදමින්ද හුන් පුතා කල්පනා කරන්නෙ මේ නිවස දවා හලුකරනවනු පිණිස ලේලිය ගත් තීරණය ගැන බව ආරියලතාට තේරුම් ගත හැක.
“අනේ ඔන්න ඔය දික්කසාදෙ දීල නිදහස් වෙන්න පුතේ” යැයි කියන්නට බැරිකමක් ආරියලතාව ගොලුකරයි. දරුවකට විවාහය අතාරින්න යැයි කියන්නට හැකියාවක් මවකට නැත. එහෙත් එය තම මුවින් කියාගන්නට බැරිකම නිසාවෙන් තම දරුවා දුක් විඳිනු දකින්නට හැකියාවක්ද මවකට නැත.
අනෙක් අතට මෙතන තම ඖතු තරමටම මිණිපිරිය දුලන්‍යාද දුක් විඳිමින් හිඳිනබව ආරියලතාට අරුමයක් නොවේ. එවන් කුඩා දරුවකු අත හැර තම සතුට සොයා යන්නට තරම් එක නිවසේ වසර හයකට ආසන්න කාලයක් ජීවත් වූ ලේලියට හැකියාව තිබීම ගැන තේරුම් ගන්නට ගුරුවරියක ලෙස සේවය කල තමාට නොහැකි වූයේ ඇයිදැයි යන්න ගැන ආරියලතාට සිතාගන්නටවත් නොහැක.
“දූව ගන්න එකොලහමාරට විතර යන්න නේද පුතේ?”
ආරියලතා මහත්මිය උඩුමහලට ආවේ දහයමාරට සැකසූ තේ කෝප්පයක් රැගෙනය. අම්මා එනතුරුත් අනුප උන්නේ මහා කල්පනාවකට බර වී බැල්කනියෙන් එපිට පෙනෙන ඈත් ආකාසය දෙස බලමිනි.
සතියේ දිනක දහවල් වරුවේ මෙසේ නිවසට වී හිඳීම පුරුදු නැති බැවින් සිතට දැනෙන කම්මැලිකම පහ කරගන්නට ඉඟුරු කෑල්ලක් තලා දැමූ කහට තේ කෝප්පයක් අපුරු ය. එය තොල ගාන ගමන් අනුප අම්මා දෙස බැලුවේ ඇය ඇසූ පැනයට පිළිතුරු දෙමිනි.
“නෑ අම්මේ ප්‍රින්සිපල් කෝල් කරා ටිකක් කලින් එන්න කියල පොඩ්ඩක් කතා කරන්නත් එක්ක”
බිඳෙන් බිඳ තොල ගාන ඉඟුරු රසැති තේ උගුරු සිත නිවාලන්නට මෙන් උගුරින් පහලට ගලා යයි. එහෙත් ඒ සැනසීම තාවකාලිකය. ඉතින් මෙතනින් එහාට ලැබෙන ජීවිතයේ සියලු සතුටු නිමේෂයන් තාවකාලිකය.
“මොකක් හරි කරදරයක්ද පුතා?”
ඒ ඉතින් අම්මා කෙනෙකුගේ සිතේ ඇතිවන සාධාරණ බියකි. අම්මා කෙනෙකුට සියලුම දරුවන් දරුවන් ය. තම දරුවාද දරුවාගේ දරුවාද කියන කාරණාවන් වල වැදගත්කම මව්වත්කමේ මහ තුරු මුදුන් ඉදිරියේ කුඩා අංකුර වැනිය.
“දුලා පොඩ්ඩන් දුකෙන් වගේ ඉන්නෙ කියල ප්‍රින්සිපල් කිව්ව පොඩ්ඩක් කතා කරන්න එන්න කියල. එයා ලොකු කල්පනාවක ඉන්නවලු ක්ලාස් එකේ වැඩ අස්සෙත්, අනික් එක පහුගිය දවස් කීපෙකම අම්මා ගැන කියල අඬල”
අනුප ඒ වදන් මුවින් පිටකරගත්තේ ඉතා අපහසුවෙනි. කියාගන්නට ලැජ්ජා හිතෙන වේදනාව පිරුණු එවදන් මුවින් බැහැරකරගන්නට තරම්වත් ශක්තියක් තමා ළඟ තිබේද යන්න අනුපට සැකයකි, අනෙක් අතට ඒ තමන්ගේ අම්මා සමග වුවත් බෙදාගන්නට නොහැකි අන්දමේ දුක්බර කතාවන් ය.
“අනේ මන්ද පුතේ මට තේරෙන්නෙ නෑ මේ ප්‍රහ්නෙට දෙන්න ඕන උත්තරේ මොකද්ද කියල. පුතාම හොඳට තීරණය කරල හරිම තීරණයක් ගන්න.
අපි අපිට මිනිස්සුන්ගෙන් අහන්න වෙන කතා ඒව මේව ගැන හිතල මේ ප්‍රශ්නෙ ගැන තීරණයක් ගන්න පරක්කු වෙන එකෙන් වෙන්නෙ ඔය පොඩි දරුව දුක් විඳින එක විතරයි. අන්තිමේ ඒ ළමය ලෙඩෙක් වෙයි කියල මට පරාණ බයයි මේ වෙන දේවල් හින්දා.
පුතා හොඳට හිතල බලල, ඒ පැත්තෙ මව් දෙමව්පියොන්ටත් දැනුම් දීලා හරි තීරණයක් ගන්න.අනික පුතේ ෂෝබිතාට ආය එන්න උවමනාවක් නැත්තම් අපි බලෙන් අරන් ආවත් ආපහු එයාට යන්න බැරිකමක් නැතුව නෙවෙයිනෙ.
මම මේ හිතකින් කියනව නෙවෙයි මෙහෙම කරන්න කියල, අම්මා කෙනෙක්ට තමන්ගෙ දරුවෙක්ගේ පවුල් ජිවිතේකට උනත් එහෙම බලපෑම් කරන්න බෑනෙ. පුතා හොඳටම දන්නවනෙ මමයි තාත්තයි එහෙම කවදාවත් උවමනාවක් තිබුනෙ නැති බව ඔයාලගෙ උනත් ජීවිතවලට ඇඟිලි ගහන්න.
ඒ නිසා පුතා හොඳට හිතල බලල තීරණයක් ගන්න. මොන තීරණේ ගත්තත් පුතයි පොඩි දරුවයි එක්ක ඉතින් අපි ඉන්නවා. ඒක ගැන පුතා බයවෙන්න එපා”
ජීවිතය නම් උයනේ පිපෙන් බොහෝ පුෂ්පයන් මැද ආදරය සහ බලාපොරොත්තුවේ සුබවාදී සුවඳ නිති හමන පුෂ්පයක් වේ නම් ඒ අම්මා කෙනෙකුගේ ආදරය්. එය වෙල්වට්මය මතුපිට ස්තරයක් ඇති රෝස මලක් මෙන් සියුම් වන නමුත් ශක්තිමත් ඕක් ගසක මුල් මෙන් ඔරොත්තු දෙන, නොසැලෙන සහයෝගයක් දරුවකුගේ ජීවිතයට සපයන බව අරුමයක් නොවේ.
සෘතු වෙනස් වන විට, දළඹුවෙක් විශ්මය ජනක සමනලයෙකු බවට විචිත්‍රවත් පරිවර්තනය වනවාක් මෙන් මවගේ ආදරය ඔස්සේ ඕනම් කුණාටු කාලයක හිඳ ගොඩබිමක් කරා ගමන් කරන්නට දරුවකුට සහයෝගයත් ශක්තියත් සපයයි. අනුප තම විවාහ ජීවිතයේ මේ සා විශාල බිඳ වැටීමක් වී තිබෙන මොහොතක පවා මෙතරම් ශක්තිමත්ව නැගී උන්නේ අම්මාගේ ඒ ආදරයේ ශක්තිමත් අත්වැල නිසාවෙනි.
ජීවිතයේ හුන් කාන්තා චරිත දෙකකින් එක් අයෙක් විසින් අවුලුවන ලැබූ ගින්නක් නිවාලන්නට අනෙක් කාන්තා චරිතය උත්සාහ දරමිනි හිඳී.
ඒ වූ කලී දරන්නට අමාරු ඇත්තකි.
“නුවර වීදි යට කරගෙන, නින්දා වැහි වැගිරුණ දා බිරිඳකගේ සෙනේ ගියා යෝධ ඇලේ නැම්මේ- ඔබෙ සෙනෙහස සුවඳ දිදී දැනුනා මට අම්මේ” යනුවෙන් ගුණදාස කපුගේ මහතා පවසන්නට ඇත්තේ හැබෑවටමය.