ජීවිතයට අහම්බයන් එන්නේ අහම්බයකිනි. ජීවිතයද අහම්බයකි.
මනුෂ්‍ය පැවැත්ම තුළ, ප්‍රේමය අපගේ ජීවිතයේ සංකීර්ණ රටා හරහා ගමන් කරමින් වඩාත් ගැඹුරු අත්දැකීම් සහ නිමේෂයන් මවයි. අපගේ ගමන සහ අප ළඟා වීමට උත්සාහ කරන ගමනාන්තය යන දෙකම මෙහෙයවන්නේ මේ ආදරය යන දියරයෙන් පණ ගැහෙන හදවත නැමැති මාලිමා යන්ත්‍රයයි.
අපි මේ ලෝකයට ඇතුළු වූ මොහොතේ සිටම ආදරය අපව වට කර ගනී. එය මවකගේ වැලඳගැනීමේ උණුසුමයි, අපව නින්දට ගෙන යන සැනසිලිදායක ගායනයයි, ජීවිතයට අපව පිළිගන්නා පළමු සිනහවයි. ආදරය යනු අපගේ සබඳතා ගොඩනඟා ගැනීමටත්, අපගේ විශ්වාසයන් හැඩගස්වා ගැනීමටත්, අපගේ අත්දැකීම් අර්ථවත් කිරීමටත් පදනමයි.
ආදරය යනු අන් අය සමඟ සම්බන්ධ වීමට, සේද මෙන් සියුම් සහ පැරණි ගස්වල මුල් තරම් ශක්තිමත් බැඳීම් ඇති කර ගැනීමට අපව පොලඹවන අදෘශ්‍යමාන බලවේගයයි. එය අපව ඇසුරු කිරීම, මිත්‍රත්වය සහ ඥාතිත්වය සෙවීමට පොලඹවයි, මන්ද අපගේ මානව අත්දැකීම්වල පොහොසත්කම සහ ගැඹුර අප සොයා ගන්නේ මෙම සම්බන්ධතා තුළ බැවිනි.
එහෙත් ආදරය සැමවිටම අප වෙත ගෙන එන්නේ සුන්දරම අත්දැකීම් නොවේ. ජීවිතයේ බොහෝ අත්දැකීම්වලට පදනම වන්නේද ජීවිතය ඉදිරියට ගෙන යන ශක්තිය වන්නේද මේ ආදරය නිසාවෙන් සිතට හිමිවන වේදනාකාරී අත්දැකීම් ය.
අනුප උන්නේද එවන් වේදනා පැහැ අන්ධකාර රාත්‍රියක සිහින අතර කිමිදෙමින් අඩ නින්දකය.
ඒ සිහින වල වූයේ සුවපහසු බවක් නොවේ. ෂෝබිතාව සිහිනයෙන් දුටුවද එකී සිහින තුල වියරුවෙන් මෙන් මහ හඬින් සිනාසෙමිනුන් ෂෝබිතාගේ රුව සිතට ගෙන එන්නේ භීතියකි.
අනෙක් අතට කොහේදෝ කෙලවරක හිඳ දුලන්‍යා ඉකිබිඳන හඬට කලබල වූ අනුප හිස හරවමින් දෙපස බලමින් හෙව්වේ දුලන්‍යා කොහේදැයි කියාය. ඇයගේ ඉකිබිඳුම් හඬ මිස ජායාමාත්‍රයක්වත් දැකගන්නට නොවූ විට අනුප කලබල වූවේය. ෂෝබිතාගේ සමච්චල් සහගත සිනහව මැඩගෙන දුලන්‍යාගේ ඉකිබිඳුම් හඬ උඩට මතුව ඒ. ඒ හඬ පිහිතුඩක් මෙන් හදවත පසාරු කරගෙන යද්දී අනුප අවදිවුයේය.
තමා හිඳින්නේ සිහිනයේමද නොඑසේනම් ඇහැරී ද යන්න ගැන පවා හරියාකාර අදහසක් නැති මුත් දුලන්‍යාගේ ඉකිබිඳුම් හඬ තවමත් ඇසේ. ඒ පෙරටත් වඩා ළඟින් සහ ඉහළිනි.
අඳුරේම දෑස් හැර බලන්නට අපහසු උත්සහයක යෙදුණ අනුප ඒ ඉකිබිඳුම් හඬ මැද්දේම අතපත ගා ගෙන නැගිට්ටේය.
ඇඳ අසල ඇති විදුලි පහන දල්වා අනුප නිදිබර දෑස් දෑතින් පිරිමැද සැබෑ ලෝකයට එන්නට තවත් තප්පර කිහිපයක වෙලාවක් ගත්තේය.
දුලන්‍යා සුපුරුදුලෙස නිදා හුන්නේ තම කාමරයෙන් ඇතුලු විය හැකි යාබද කුඩා කාමරයේය.
ඉකිබිඳුම් හඬ එන්නේ ඒ කාමරයෙන් බව තේරුම් ගිය අනුප වේගයෙන් ඇඳෙන් නැගිට එදෙසට ඇවිද ගියේ ප්‍රධාන පහන් දැල්වීමද අමතක කරය.
දුලන්‍යාගේ කාමරයේ ළමා ඇඳ අසල දල්වා ඇති කහපැහැ රාත්‍රී ලාම්පුවෙන් පෙරී එන ආලෝකයෙන් ඇඳ මත දෙපසට හැරෙමින් කෙඳිරි ගාණ දුලන්‍යාගේ රුව පෙනේ.
ඒ දර්ශනය සිතට ගෙන එන්නේ මහත් බියකි. දුක්බර බියජනක සිහින හිමිවන්නේ වැඩිහිටියන්ටම පමණක් නොවේ. සිහිනයෙන් විත් වියරුවෙන් සිනාසෙන ෂෝබිතාට සිහිනයෙන්ම දුලන්‍යාගේ ලෝකයටද පිවිසෙන්නට බැරිකමක් නොමැත. ඒ බිය අනුපගේ සිත තුළට ගෙන එන්නෙ පුදුමාකාර නොසංසුන් බවකි.
“මයි ප්‍රින්සස් වයි ආ යූ ක්‍රයින්?” කියමින් සෙනෙහෙබර වදන් වලින් ඇයගේ නොසංසුන් බව සනසවන්නට උත්සහ කලද දුලන්‍යා උන්නේ ඒ වදන් වල සනසවාලිය හැකි අපහසුවක නොවේ. ශරිරය දෙපසට සොලවමින් නිදිබර දෑස් අපහසුවෙන් විවර කරමින් තාත්තා දුටු දුලන්‍යාගේ ඉකිබිඳිම සහ කෙඳිරිය හැඬුමක් බවට පරිවර්තනය වූයේ නිරායාසයෙනි.
දෙපසින් වට කොට ඇති දුලන්‍යාගේ ළමා ඇඳ වෙත ලං වූ අනුප දුලන්‍යා වඩා ගන්නට උත්සහ කලද ඇයගේ සිරුරේ වූයේ ඉතා තද රස්නයකි.
“උණ නේද?” කියන වචන එළියට පැන්නේ නිරායාසයෙනි.
හෙමින් දුලන්‍යව වඩාගෙන පහත මාලයට යන්නට අනුප පියවර තැබුවේ බියෙනි. වේලාව උදෑසන තුන පසුවී විනාඩි හතලිස් පහක් පමණ වන බව අනුප දුටුවේ පහත මාලයට යන්නට පියවර තබද්දීය.
අම්මාත් තාත්තාත් ඉන්නේ සුව නින්දක බව දැන හුන්නද ඔවුන් අමතනු හැරෙන්නට කල හැකි වෙන කිසිවක් අනුප දැන උන්නේ නැත.
කවුරුන් හෝ අමතන ශබ්ධය ඇසී ඇහැරුණේ ආරියලතාය. ස්වාමියාගේ තද ගෙරවුම් හඬ අස්සෙන් පුතු “අම්මේ” කියමින් අමතන හඬ සයනයෙන් නැගිට දොර හැර බැලීමට ආරියලතා මහත්මියට අවශ්‍ය ශක්තිය සැපයීය.
“ඇයි පුතේ” යැයි අසන්නටත් කලියෙන් අනුපගේ මුවින් එකී ප්‍රශ්නයට අදාල පිළිතුරු විසිරෙන්නට විය.
“දුලාට උණ”
“දෙයියනේ”
දුලන්‍යාගේ ඇඟ ගිනිකබලක් මෙන් රත් වී ඇත. ඒ වේදනාවටමද මන්දා ඇස් බරවී මුවින් වේදනාබර කෙඳිරියක්ද පිට වේ.
“හොස්පිටල් ගෙනියන්න වෙයිද අම්මේ?”
කෙල්ලගේ ඇඟේ රස්නෙ හැටියට කල යුතු හොඳම දේ එය වුවද හිරු පායන්නට ඇත්තේ තව පැය දෙකහමාරක් පමණ වන බැවින් හිස මත ඕඩිකොලෝන් වලින් පෙඟවූ රෙදි කඩක් අතුරා බලමු යැයි ආරියලතා කිව්වේ කෝකටත් ය.
කුලරත්න මහතා ඇහැරුණේ ආරියලතාගේ හඬට සහ ශරීරයට දැනුන සෙලවීමටය. ඔහු මුලින් දුටුවේ ඇඳ මත වාඩිවී හිඳින අනුපවය. නිදිබර දෑස් කුහුලෙන් විවර කරමින් බලද්දී තමාට එහාපසින් ඇඳ මත හාන්සි වී නිදියන මිණිපිරිය දුටුවේය.
“මොකෝ”
“කෙල්ලට උණ හොඳටම”
“අප්පා, ඉස්පිරිතාලෙට එක්කන් යන්න වෙයිද?”
“තව ටිකක් බලලම එක්ක යමු කියලයි මං කිව්වේ”
සියල්ලටම උත්තර දෙන්නේ බිරිඳය. කණස්සල්ල සහ බිය මුසු වූ දෑසින් අනුප දුලන්‍යා දෙසම බලා හිඳී.
වැසිකිලියට යාම පිණිස කාමරයෙන් පිට වෙද්දී බිරිඳත් තමා පසුපස එන්නේ යමක් කියනු පිණිස බව කුලරත්න මහත්මයා නොදන්නවා නොවේ.
රත්න මහතා නොදන්නවා නොවේ.අනෙක් අතට ඉතින් අම්මා නැති දරුවා ගැන අත්තම්මා බිය වීම සාධාරණය.
“මොකෝ”
සිත අස්සෙන් දොඩමලු වෙමින් එහෙත් නිහඬ මුවින් හිඳින ආරියලතාගෙන් කුලරත්න එය ඇසුවේ එසේ අසා හෝ සිතේ ඇති බරින් කොටසක් අඩු කරනු සිතාය.
දුලන්‍යගේ අත්තම්මා වුවද ආරියලතා යනු මව් ගුණය පමණටත් වඩා වෑහෙන හිතක් ඇති කාන්තාවක බව කුලරත්න නොදන්නවා නොවේ. ඉතින් එහෙම ගැහැණිය මෙවන් මොහොතක කලබලව, දුක්බරව හිඳීම අරුමයක් නොවේ.
“මට බයයි මහත්තය මේ දවස්වල ඩෙංගු හෙමත් තියෙන හන්දා”
ඒ වචන ඔස්සේ එතී එන්නේ සාදාරණ බියකි. එහෙත් අද වන් කාලයක නිසි ප්‍රතිකාර ඔස්සේ සුව කරගත හැකි බැවින් ඩෙංගු ගැන වුව බියවන්නට අවශ්‍ය නැතැයි කියා ආරියලතාගේ සිත සැනසීමට කුලරත්න ඉන්පසු මද වේලාවක් වැය කලේය. එහෙත් තම හිත අස්සේද එකී බියම කැරකෙනු කුලරත්න නොදන්නවා නොවේ.
පෞද්ගලික මෙන්ම රජයේ රෝහල්ද අත නුදුරේ තියෙන තැනක වාසය කලා වුව කුඩා දරුවෙකු අසනීප වූ විට වැඩිහිටියන් බියවීම සාදාරණය.
අනෙක් අතට අනුප උන්නේද බියෙනි. දුලන්‍යා මීට වඩා කුඩා අවදියේදීවත් එහෙමකට කියා ලෙඩ වූ දරුවකු නොවේ. ඉතින් මෙවන් මොහොතක, අම්මා ළඟ නැති මොහොතක උණ වේදනාවේ ගිලී හිඳිමින් “අම්මා ඕන” යැයි කියා හඬන පොඩි කෙල්ල ගැන අනුප උන්නේ බියෙනි. ෂෝබිතා අමතා එන්න යැයි කීවද ඇය නොඑන බව ඉතින් ආයම අමුතුවෙන් දුක් විය යුතු කාරණාවක් නොවේ. ඇය පහසුවෙන්ම තමා හා ඇති බැඳීම් ගලවා තිබුණද මේ කිසිත් නොදත් පුංචි දුලන්‍යාට තම මව සමග ඇති බැඳීම් එසේ පහසුවෙන් ගලවාලිය නොහැක.
උදෑසන හත අට වෙද්දීද උණ අඩුව නොතිබුණ නිසාවෙන් අනුප අම්මා සමග දුලන්‍යාවද රැගෙන ගියේ නයින්වෙල්ස් රෝහලටය. මිල ටිකක් අධික පෞද්ගලික රෝහලක් වුවද ජීවිත රක්ෂණයෙන් වියදම් පොයවා ගැනීමට හැකියාවක් ලැබෙන බැවින් මෙන්ම පහසුකම්ද හොඳින් තිබෙන නිසාත් අම්මාට සහ තමාට මාරුවෙන් මාරුවට හෝ නතර වී දුලන්‍යාව බලා ගැනීමේ පහසුකම තිබීම සැනසුමකි.
වෛද්‍යවරයා එනතුරු අනුප කොරිඩෝව දෙපස ඇවිදිමින් කල්පනා කරමින් උන්නේ දුලන්‍යාට ඇති රෝගය සහ ෂෝබිතාට මේ ගැන පවසනවාද යන්න ගැන සිතමිනි. හැඬීම නිසාම මහන්සියට දෝ කෙල්ලට නින්ද ගොසිනි. එහෙත් යලිත් අවදි වූ පසු අම්මාව සෙවීම ඇය විසින් අත නොහරින බව අනුප දනී.
එහෙත් ෂෝබිතා ඇමතුවද ඇය ඒද යන්න පවා ගැටලු සහගතය.
ජීවිතයේ දී, ඊළඟට කුමක් සිදුවේදැයි අපි බොහෝ විට නොදනිමු. අනාගතය යනු අපට සහතික විය නොහැකි විශාල අභිරහසක් වැනිය. සමහර විට, එය අනුගමනය කිරීමට පැහැදිලි මාර්ගයක් නොමැතිව අඳුරේ ඇවිදීම වැනි ය. සෑම විටම සිදුවන්නේ කුමක්දැයි නොදැන අපට තීරණ ගත යුතු අවස්තා ජීවිත ගමනේදී බොහෝ විට හමුවේ.
ජීවිතය යනු කල්තියා කියවිය නොහැකි පිටු සහිත පොතක් වැනිය.
එකී ජීවිත පොතේ පිටු අපට කියවන්නය ලැබෙන්නේ ඒ මොහොත අප ඉදිරියට පැමිණි විටදීම පමණකි.