ඔබ දකින තුරා 32

නිරිත දිග මෝසම සක්‍රිය වී වස්සානය ඇරඹී තිබුණෙන් නිතර වැහි වසින්නට වූයේ ය. විශේෂයෙන් ම මේ හැන්දෑවට වැහි වැටෙන දවස් විය. අවන්හලෙන් පිටත වැහි වැටෙන හැන්දෑව මනහර දර්ශනයක් මවා තිබුණේ ය. ඉබි ගමනේ හෙමිහිට ඉදිරියට ඇදෙනා පෙළ දෙසත්, ඈතින් පෙනෙනා දිය නාන රොබරෝසි ගස් පෙළ දෙසත් අමාරසී මාරුවෙන් මාරුවට බැලුවා ය. පිටත දර්ශනය සැබෑවක් නොව සිතුවමකැයි සිතන්නට ඇය වඩාත් කැමති වූවා ය.

දිසත් ගේ නෙතු තාරකා මෑතින් ඇය මත පායා තිබිණි. ඉතා අගනා කෝපි සුවඳක් අවන්හල පුරා පැතිර තිබිණි. එහි තැන් තැන් වල වන කුඩා මේස වල ලං ව හිඳ සිටියේ පෙම් යුවල කිහිපයකි. වැස්ස ගැනවත් අවට ඉන්නා අය ගැනවත් ඔවුන්ට නිනව්වක් ඇති බවක් නො පෙනිණ.

ඇය දිසත් ව හමු වන්නට ඕනේ කියා බල කළේ කිම දැයි අමාරසී හිතමින් සිටියා ය. ඔහු ට දුරින් සිටියදී කියන්නට බොහෝ දේ ඇති බවක් දැනිණ. නමුත් ඔහු ළඟ ඉන්නා විට ඒ කිසිත් සිහිපත් වන්නේ නැති තරම ය.

“මුකුත් නොකියා හිටියට අම්මයි තාත්තයි දෙන්නම අවුලෙන් ඉන්නෙ කියල මට දැනෙනව. තාත්ත මාව කූල් ඩවුන් කරන්න හුඟක් දේවල් කිව්වට එයා පිච්චි පිච්චි වෙන්නැති ඉන්නව ඇත්තෙ. මට මහ වැරදිකාර හැඟීමක් දැනෙනව මිස්ට දිසත්”

“තාමත් මිස්ට දිසත්ද..”

ඔහු සිනා සී ඇසුවේ ය. අමාරසී ට ද සිනහ නැගිණ.

“ඒගොල්ලො පව්. අපිටත් දුවෙක් ඉන්න දවසක ඒක කොහොම හැඟීමක් ද කියල දැනෙයි”

“මං නොදන්නව නෙවෙයි. ඔයාගෙ අම්මටයි තාත්තටයි මං හරි කැමතියි. එයාල වගේ පොළොවෙ පය ගහල ජීවත් වෙන අය එක්ක ජීවත් වෙන එක හරි සුන්දර දෙයක්. මට ඕන්නං තාත්තත් එක්ක මේ ගැන කෙළින් ම කතා කරන්න බැරි කමක් නෑ. ඒ නැතත් මං හිතන්නෙ…එයා අනුමාන කරනව අපි ආදරේ කරනවයි කියල”

“ගෙදරදි මට මහ අපහසුවක් දැනුණ ඊයෙ වෙච්ච සිද්දියත් එක්ක. උදේ මං දොට්ට බැස්සෙ අම්මගෙ මූණ දිහා කෙළින් බලන්නෙ නැතුව. මේ හැම දේම හිතට හරි බරක්..”

“ඩිවෝස් එක ලැබෙන්න අවුරුද්දක්වත් යන්න පුළුවන් කියලයි ලෝයර් කිව්වෙ. ටිකක් හරි ඒ දේවල් සෙට්ල් වෙනකල් අපි ඔයාගෙ අම්මටයි තාත්තටයි මේ ගැන කෙලින් ම නොකියා ඉන්න එක හොඳයි කියලයි මට හිතුණෙ. ඒක ඒගොල්ලන්ට අනවශ්‍ය ප්‍රෙශර් එකක් වෙන්න පුළුවන් නිසා. හැබැයි ඔයාට සේෆ්නං කියන එක..අද වුණත් මට පුළුවන් මෙහෙමම ඇවිත් ඇත්ත කියන්න”

“මං කැමතියි දෙවෙනි එකට”

“අපි එහෙම කරමු”

අමාරසී ට සැනසීමක් දැනිණ. ඒ වගේ බරක් තනිව හිත මත පටවා ගෙන ඉන්නවා ට වඩා අම්මා තාත්තා එක්ක බෙදා ගන්නා එක පහසුවක් යයි ඇය සිතුවා ය. කොහොමටත් අම්මා ඇගේ විවාහය ගැන හිත් කරදරයෙන් ඉන්නා එකේ, ඇය මේ සබඳකම කෙසේ පිළි ගත්ත ද දැනුවත් කොට තබනා එක හොඳ ය.

රිය පණ ගන්වන්නට පෙර, පාළු රථ ගාලේ දී පමා වූ උපන්දින හාදුව ලැබිණ.  

“යාළුවො දෙන්නට කියන්න ණය තියල නෑ කියල”

ඇය දෙතොල් තද කොට ගෙන බිම බලා ගත්තා ය. එදා ඔහු කාර්යාලයේ වැඩ බාර ගත් මුල් ම දිනයේ, ඔහු ගේ මුදු ඇඟිල්ලේ වූ මංගල මුද්ද දුටු මොහොත අමාරසී ට සිහි විය. ඒ වෙලාවේ ඒ කඩවසම් අංශ ප්‍රධානියා ගැන ප්‍රේමයට ආසන්න හැඟීමක් හෝ ඇය වෙත වූයේ නැත. ඉන් පසුව ද කවදා එවන් හැඟීමක් හිතට රිංගා ගත්තා ද කියා සිහිපත් කර ගන්නට එවෙලේ ඇය අපොහොසත් වූවා ය.

දිසත් ගේ රිය ගෙමිදුල නතර වන විටත් වැස්ස තුරල් වී තිබුණේ නැත. තෙමීගෙන ගෙදර ආ අජිත් දිය නා ගෙන පිටතට ආවා පමණකි. නිර්මලා තේ හදමින් සිටියා ය. රිය දොර ඇරෙන වැහෙන හඬට අජිත් ඉස්සරහාට කර පෙව්වේ ය. ඒ වෙලාවේ අමාරසී රියෙන් බහිමින් සිටියා ය.

“කවුද ඒයි…”

නිර්මලා එසේ ඇසුවේ අජිත් ගේ තේ කෝප්පය ද ඔහු වෙත ගෙන එන අතරේ ය. අමාරසී ගේ කුඩා කුඩය යටට නො ගොස් දිසත් වැස්සට යටින් මඳක් නැවීගෙන, එතකොට තෙමීම අඩු වෙනවා වාගේ ඉස්තෝප්පුවට පැන ගත්තේ ය.

“මං හිතුව රසී අදත් ත්‍රීවීල් එකක එයි කියල”

අමා කිසිත් නො කියා ම ගෙට ගොඩ වූවා ය.

“මාත් මේ තෙමීගෙන ඇවිත් නා ගත්ත විතරයි. පුදුම වැස්සක්නෙ අප්ප මේක. හරියටම වැඩ ඇරෙන වෙලාව වෙද්දි කඩං හැලෙනවනෙ කිසි අනුකම්පාවක් නැතුව”

කියන්නට යමක් සිහිපත් නොවෙනවා වාගේ ය දිසත් ට දැනුණේ. අද ඔහු ගෙට ගොඩ වන විට නිර්මලා ට වෙනදා නො දැනුණ විදිහේ අමුත්තක් දැනිණ. අමාරසී වනාහි, ඊයේ වූ සිදුවීමෙන් පසු අදත් දිසත් ගේ රියෙන් ගෙදර පැමිණෙතැයි සිතිය හැකි විදිහේ ගෑනු ළමයෙකු නොවේ.

“මේ පුතාටත් තේ එකක් හදමු නේද නිර්මලා…”

නිර්මලා මඳහසක් දිසත් ට දී කුස්සිය දෙසට හැරුණා ය. බෑග් එක කාමරයෙන් තැබූ අමාරසී කුස්සියට ගියා ය.

“නංගිත් ඇවිත් ගියෙ”

අමාරසී කතා කිරීමේ අපහසුවකින් සිටිනා බව දැනුණෙන් නිර්මලා ම මාතෘකාවක් සොයා ගත්තා ය. නමුත් දිසත් ගැන ඈ කී කතා අමා හා නො කියන්නට ඇය තීරණය කර ගෙන සිටියේ දවල් ම ය.

“අපරාදෙ…ඊයෙ එන්නනෙ තිබුණෙ එයාට..පුතාවත් අරං”

එක අතකට එසේ නො ආ එක මැනවැයි ඊළඟ මොහොතේ ඇය ට සිතෙමින් තිබිණ. ඒ නො ආවත් සියල්ල ලුණු ඇඹුල් සහිත ව දැනටමත් පබා දැන සිටින බවක් අමා නො දත්තා ය.

නිර්මලා අතින් තේ කෝප්පය ගන්නා ගමන් දිසත් කතාවට මුල පිරුවේ ය.

“මං අංකලුයි ආන්ටියි එක්ක කතා කරන්නමයි ආවෙ. ඩිවෝස් එක ලැබුණට පස්සෙ…මං අමාව බඳින්න කැමතියි”

නිර්මලා තිගැස්සුණා ය. මෙවැන්නක් ගැන අනුමාන කරමින් සිටිය ද මේ තරම් ඉක්මනට එය මෙසේ අසන්නට ලැබෙතැයි ඇය බලාපොරොත්තු වූයේ නැත. අනිත් අතට අප දැන ඉන්නා දේ වුව එය තහවුරු වෙත්දී අලුත් කම්පනයක් දැනෙන්නේ ම ය.

අමාරසී බිත්තියට හේත්තු වූවා ය.

“ඇත්තටම…ඒක පිළිවෙලක් වුණහම මේ ගැන අංකල්ලට කියන්න ඕන කියල මං හිතං හිටියත්…දැං දේවල් සිද්ද වෙන හැටියට…මේ ගැන අංකල්ල දැනං ඉන්න එක අමාගෙ පැත්තෙං වැඩිය හොඳයි කියල අපි හිතුව”

අජිත් උගුර පාදා කතාවට සූදානම් වූයේ ය. අමා ට දැනුණේ සිය හෘද ස්ඵන්දනය විසි තිස් ගුණයකින් ඉහළ නැංවී ඇතිවා මෙනි. තවමත් ඇයට සියත වන තේ එකෙන් එක උගුරක් හෝ බොන්නට හැකි වූයේ නැත.

“මං සතුටු වෙනව මොනා වුණත් මේ ගැන අපිත් එක්ක කෙළින් කතා කරපු එකට..හැබැයි පුතාල…මේක ටිකක් අමාරු කතන්දරයක්. තේරුණා ද…දිසත් පුතා දික්කසාද වෙනකල්…අපේ කෙල්ලට ‘අනියම්’ ලේබල් එක ඇලවෙන එක දෙයියන් වහන්සෙටවත් නතර කරන්න බෑ”

අමා හිස වඩාත් බිමට හරවා ගත්තා ය..

“මොන තත්වයක් ඇතුළෙ තිබුණත් මිනිස්සු දේවල් දිහා බලන්නෙ පිටිං. ඒ ගැන තීන්දු තීරණ වලට එන්නෙත් පිටිං බලල. තේරෙනව ඇතිනෙ මං කියන දේ. මේක ගැන දැනටමත් අර ගෑනු මනුස්සය කලබල වෙලා ඉන්න එකේ…රසීට නරකක් නපුරක් කරන්න වුණත් දෙපාරක් හිතන්නෙ නෑනෙ. ඒක නිසා මං කැමතියි පුතාල එළියෙදි කොහෙත්ම මුණ නොගැහි ඉන්නවනං. ඔෆිස් එක ඇතුළෙ ගෞරවේ ආරක්ෂා කර ගෙන ඉන්න ඕනයි කියන එක මං අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. කතා බහ කරන්න ඕන නං ඒක ගෙදරට ඇවිත් කර ගන්න. එහෙම නේද හොඳ..ආ නිර්මලා…”

“අනේ මන්දා මේව කොහෙං කෙලවර වෙයිද කියල”

නිර්මලා දිග සුසුමක් හෙළුවා ය. අමාරසී අම්මා ගේ උරහිසක් මත අත තියා ගත්තා ය. නිර්මලා දියණිය ගේ ඒ අත ඇගේ අතකින් අල්ලා ගත්තේ මේ මොහොතේ ඇය තනි කරන්නේ නැති බව නො කියා කියන්නට මෙනි.

“අංකල්…තෑන්ක්යූ මේක තේරුං ගත්තට…”

“අපේ ළමයිංව අපි තේරුං ගන්නෙ නැතුව රටේ ලෝකෙ මිනිස්සු ඒක කරයි කියල බලාපොරොත්තු වෙන්නෙ කොහොමද පුතා…”

දිසත් හැදුවේ ඒ තේ එක බීමෙන් පස්සේ නික්ම යන්නට ය. නමුත් කෑම කා යන්නයි නිර්මලා ඇරයුම් කළා ය.

“බෑණා බත..”

අජිත් කුස්සියට විත් විහිළු කළේ ය.

“මට මතකයි ඕගොල්ලොන්ගෙ අම්මත් ඉස්සර මං එන දවසට උයන්නෙ ඔහොම…හරි උවමනාවෙං..එතකොට ඔයාගෙ මල්ලි කියනව  ඔය හමන සුවඳවල් වෙනදට උයනකොට නෑ කියල. ඒක නිසා මල්ලි ඒකට කිව්වෙ බෑණා බත කියල”

“තමංගෙ දුවව දෙන මනුස්සයගෙ හිත සතුටු කරන එක වෙන්න ඇති අම්මා කෙනෙක් ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ. මටත් දැන් තමයි අපේ අම්ම එදා ඒ උයපු හැටි මතක් වෙන්නෙ. බුද්ද පූජාව ලෑස්ති කරනව වගේ තමයි එදාට අම්ම ඉව්වෙ. අල්ලපු ගෙදර ඉඳල වැට පැනල එන මනුස්සයට වුණාට…”

“ඒ කිසි දෙයක් වෙනස් වෙන්නෙ නෑ නිර්මලා…ඒ හැම දේම හැම දාම ඒ විදිහටම තියෙයි”

එදා රාත්‍රී භෝජනය, දිසත් මෙහි විත් කා බී ගිය අනිත් දින වලට වඩා විශේෂ වූයේ ය. ඒ, පවුලට එකතු වෙන්නට නියමිත බෑණා වශයෙන් ඔහු මේ ගෙදරින් කෑම වේලක් කන ප්‍රථම අවස්ථාව වූ බැවිනි. හැම හිතක ම යට ගින්දරක් නො තිබුණා නොවේ. නමුත් වාචික එකඟතාවයකට පැමිණියා සේ කිසිවෙකු ඒ ගින්දර ගැන කතා නොකර සිටියහ.

දිසත් නික්ම ගිය ද සැහැල්ලුවක් ද අලුත් බරක් ද කියා නො දන්නා යමක් ගෙදර තුන් දෙනා ගේ ම හිත් වල විය.

“අර ළමය ගියාද කියල බැලුවද…”

නිදන්නට කාමරයට යන්නට පෙර අජිත් අමාරසී විමසුවේ ය.

“ගියා කියල කිව්ව”

ඇය තාත්තා දෙස බලා බිම බලා ගෙන කීවා ය. අජිත් කාමරයට වැදුණේ ඉක්බිති ය. එදා ඔහු හුඟක් කල්පනා කළේ ය. සුසුම් හෙළුවේ ය. මේ මොහොත ගැන බලාපොරොත්තුවක් වූවත්, එය මේ තරම් ඉක්මනින් උදා වෙතැයි බලාපොරොත්තුවක් කිසි සේත් ඔහු වෙත නො විණි.

“දැන් ඉතිං කල්පනා කරල වැඩක් නෑනෙ”

නිර්මලා මිමිණුවා ය. නමුත් ඊට හෝ ඔහු ප්‍රතිචාර දැක්වූවා නොවේ.

ඒ රාත්‍රියේ දිසත් නිදන්නට යහනට වැටුණා ට ද පසු ව ඔහු ගේ දොරට තඩිබාන හඬක් ඇසිණ. මඳක් කන් දුන් දිසත් විත් දොර ඇරියේ ය. දොරකඩ වූයේ පරාක්‍රම ය. ඔහු ගේ මුහුණේ වූයේ වියරු ස්වභාවයක් බව එක ම බැල්මකින් දිසත් ට හැඳිනිය හැකි විය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles

සුහදිනී -26

"ට්වින් ෆ්ලේම් ගැන මොකද හිතන්නේ" කතා කරන්නට වඩාත්ම පහසු වන්නේ හොඳින්ම දන්නා දේවල් සම්බන්ධයෙන් ය.සකී මේ සම්බන්ධයෙන් දන්නා දෙයක්...

(අ)හිමි සිහින – 186

මේ කතාව සත්‍ය කතාවක් බව නොකියා ලියා තැබුවානම් එය පිළි ගන්නටත් බැරි තරම් මහා ව්‍යාකූල සිද්ධීන් හා පුද්ගල චරිතවලින් පිරුණු එකක් බව...

ප්‍රේමයේ අභිමන් -19

කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි ග්‍රාමයක් වී ද එහි දුර ඈක ගමක වන ගති ලක්ෂණ මැනවින් වූයේ ය. ඇල ගලා ගියේ සසංක ගේ...

අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ

"නඟා ඇයි මූණ නාළු කොරගෙන, මෙච්චර හොඳ දවසෙ?" රේන්ද අල්ලාපු මහ බර ඔසරියකුත් ඇඟ වටේ ඔතාගෙන, සුදු පාටම හින්නික්කිතර...

පුතු ලබාගැනීම වෙනුවෙන් ගුවන් යානයක් පැහැරගත් ශ්‍රීලාංකික පියා..

පුතු සෙනේ මස්‌ නහර හම සිඳඇට සොයා ගොස්‌ ඇට තුළට වැදඇට මිදුලු මත රඳා සිට දුක්‌ දෙයි නිබන්දා" සිංහබාහු...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content