පතිදම්වැල් 33

ඉවසීම අපට උගන්වන්නේ ඉක්මන් නොවී බලා සිටීමටයි. හොඳ දේට කාලය ගතවන බවත්, සමහර අවස්ථාවලදී, සාමකාමී මනසකින් දුෂ්කරතා විඳදරාගත යුතු බවත් එය අපට මතක් කර දෙයි.

එහෙත් ඒ ඉවසීම වුවද කල හැක්කේ සීමිත කාලයකට පමණක් බව උශාලිට රහසක් නොවේ. දුලන්‍යා අසනීප වීම නිසා පෙර පාසල් නොපැමිණෙන බව පවසා දැන් දින දෙකක් පමණක් ගෙවී ගොසිනි. ඊයේ දිනයේද ඇය පෙරපාසල් නොආ අතර අදද නොමැත.

“දුලන්‍යා කුලරත්න ඊස් නොට් වෙල්, ශී ඊස් ඩවුන් විත් ෆීවර්”

උදෑසන රැස්වීමෙන් පසු විදුහල්පතිනිය කියූ පසුව හිතට ආ වේදනාවට හේතුව කුමක්දැයි උශාලිට සිතාගන්නට නොහැක. එහෙත් ඒ ආදරය සමග මුසුවුණ දෙයකි. දුලන්‍යා තමාගේ දරුවෙක් ලෙස සිතෙන්නේ සිතෙන් ඇයගේ තාත්තාට ආලය කරන නිසාවෙන්ම නොවන බවත් පැහැදිළිය.

විදුහල්පතිනිය එතනින් එහා කුමක් වත් නොකියූ නිසාවෙන් ඒ පිළිබඳ හාරවුස්සන්නට හැකියාවක් නැත. ඉතින් නිහඬ වන්නට සිදු වුණද සිතෙන් ගැලවීමක් නැත.

“කෝල් එකක් දීලා බලනවද?” කියන සිතුවිල්ල සිත අස්සේම හංගාගෙන ඉන්නට උත්සහ දැරීම අපහසුවකි. වතුර යට ගිල්වා තබන්නට තනන ටෙනිස් බෝලයක් අත උඩට ගන්නා විට එයත් සමග උඩට එනවාක් මෙන් ඒ සිතුවිල්ල නිතර නිතර උඩට මතුව ඒ.

ඒ බව සිතා නිහඬව නොසොයා නොබලා හිඳීම සිතට ගෙන එන්නේ ඉමහත් පීඩාවකි. දුලන්‍යාට උණ සැදී ඇති බව දන්නවා වුවද ඇයට දැන් කෙසේද යන්න අසන්නට උවමනාවක් සිත ඇතුලතින් නැගී එයි.

අනෙක් අතට මේ වනවිට ඇයගේ මවද ඇය බලන්නට පැමිණ ඇති බව නිසැකය. හදිසි කෝපය සහ වේදනාව මුල් කරගෙන නිවසින් නික්ම ගියද දරුවකුගේ අසනීපයක් ලඟඳී අම්මා කෙනෙකුට නොතැවී ඉන්නට නොහැකි බව උශාලි අත්දැකීමෙන් දනී.

ඉතින් දුරකතන අංකය තම දුරකතනයේ තිබුනද දුලන්‍යාගේ තාත්තාට කතා කර දුලන්‍යාට කෙසේ දැයි අසන්නට බැරිකමක් ද බියක්ද සිත ඇතුලේ වෙයි.

ඔහුට අනුව තමා දුලන්‍යාගේ පෙර පාසල් ගුරුතුමිය පමණක් වුවද තමාගේ සිත තුල ඔහු ගැන වූ හැඟීම ගැන දන්නේ තමාය. එවන් හැඟීම් හිතේ ගොඩගසාගෙන ඔහුට කතාකිරීමට සිත මැලිවීම සාදාරණය.

එහෙත් එදා දවසම උශාලි ගෙවා ගත්තේ අපහසුවෙනි. දුරකතනය කීපවරක්ම ගෙන දුලන්‍යාගේ තාත්තා ලෙස දුරකතන පොතට එකතු කර තිබූ අංකය වෙත ගියද ඔහු වෙත ඇමතුමක් ගන්නට සිත තුල වූයේ බියකි, පසුබෑමකි.

දරුවන් සියල්ලම පෙර පාසලෙන් ගියයින් පසුව වුවද වෙනදා මෙන් ඉක්මනින් ගෙදර යන්නට උවමනාවක් උශාලිට තිබුනේ නැත. සිතට පිවිස තිබුනේ කම්මැලි කමකි. බෑගය රැගෙන පෙර පාසලෙන් නික්මී වෙනදාට බසයට නගින නැවතුම පසුකර ඉදිරියට ගියේ ඒ කම්මැලිකමත් සමග සිතට පිවිසෙන සිතුවිලි ගංගාවෙන් කොටසක් හෝ සිතා අහවර කරන්නට ඇවිදින එක උදව්වක් වන නිසාය.

බසයේ නැගී නිවස බලා ගියා වුවද උශාලිට ඒ සිතුවිලි කන්දරාව සිතා අහවර කරන්නට හැකියාවක් තිබුනේ නැත. දහවල් කෑම අරගෙන සුපුරුදු පරිදි ඇඳ මත හාන්සි වී උශාලි මැතක මිල දී පොතක් කියවන්නට පෙලඹුනේ සිතට වදදෙන එකී සිතුවිලි ගංගාවෙන් සිත මුදාගනු සිතාය.

ඔහුවත් දුලන්‍යාවත් බලන්නට යන්නට තිබුණා නම් හොඳය. ගොස් සනසන්නට තිබුණා නම් හොඳය. ඔහුට ගෙදර යන්නය කියා තමා දුලන්‍යා ළඟ නැවතී මවක් මෙන් ඇයව බලාගන්නට තිබුණා නම් හොඳය. ඔහුත් දුලන්‍යාත් තමාගේ යැයි කියන්නට සිතන්නට තිබුණා නම් හොඳය.

තමාට ඔහු කෙරේ කිසිදිනක ආදරය ප්‍රකාශ කල නොහැකි විය හැක. එහෙත් ඔහු අමතා දුලන්‍යාට කෙසේ දැයි අසන්නට බැරිකමක් නොමැත.

අනෙක් අතට ඒ දුරකතන ඇමතුම අරගන්නට හොඳම වේලාව මේ මොහොතයි. අම්මා ඉන්නේ දිවා ආහරයෙන් පසුව කෙටි නින්දකය. ඇගේ කාමරය ඇත්තේ තම කාමරයෙන් එපිටය. ඉතින් එබැවින් තමා කාමරයේ සිට අරගන්න දුරකතන ඇමතුම ඇයට ඇෂෙන්නට හැකියාවක් නැත. අම්මා අවදිවන්නට තවත් වේලා තිබෙන බැවින් අත ඉක්මන් කල යුතුය.

වතුර වීදුරුවක් බොන්නට කුස්සියට යන අයුරින් අම්මාගේ කාමරයට එබිකම් කල ඇය සුවපහසු නින්දක වග තහවුරු කරගත් පසුව සිතේ වූයේ බොරුවක්, රහසිගත යමක් කරන්නට යද්දි සිත තුල ඇතිවන බියත් ප්‍රමෝදයක් එකට කැලතුණ හැඟීමකි. ඒ වූ කලී ඔංචිල්ලාවක් උඩට ගොස් පහලට එද්දී කුස තුලින් නැගෙන මේ මෙයයැයි කියා වීග්‍රහ කරගන්නට බැරි අන්දමේ අමුතුම හැඟීමකි.

දුරකතන ගෙන ඔහුගේ අංකය අමතද්දී අත වෙව්ලයි. අනුප තමා ගැන මොනව හිතාවිද කියන බය එයට හේතුවය. 

එකී සිතුවිලි ගංගාව අවසන් වූයේ එහා පසින් ඒ ගැඹුරු හඬ ඇසීමත් සමගය.

“හෙලෝ”

මද නිහැඬියාවට හේතුව උගුර කට වියලී තිබිමය. අනෙක් අතට කිවයුත්තේ කුමක්ද කියා පවා අදහසක් නැත.

ඉතින් මේ නිහැඬියාවේ ගෙවෙන තප්පර කල්පයක් තරම් දිගය.

“හෙලෝ මේ දුලන්‍යාගේ තාත්තා නේද?”

“ උශාලි”

ඔහුට තමාව මතක බව සිතට ගෙන එන්නේ සුමිහිරි සතුටකි. ඒ හිතේ තමා වෙනුවෙන් ඉඩක් වෙන් වී ඇති බව සතුටකි.

“හෙලෝ  මම කතා කරේ දුලන්‍යාට කොහොමද කියල අහන්න”

ඒ තරම් දුරට හෝ වචන ගලපාගන්නට හැකිවීම ගැන උශාලිගේ සිත අස්සේ වූයේ සන්තෝසයකි.

“දුලාට ඩෙංගු උශාලි, අපි මේ හොස්පිටල් එකේ ඉන්නෙ. පෙරේදා රෑ හොඳටම අමාරු වුනානේ. උණ වැඩිවෙලා නිසා ඇඩ්මිට් කරගත්තට දැන් ටිකකට කලින් තමයි ඩෙංගු කියල කන්ෆර්ම් කරගත්තේ. පොඩි නිසාද කොහෙද ඇඟට අමාරුයි. කෙඳිරි ගගා ඉඳල දැන් චුට්ටකට කලින් නිදාගත්තේ”

ඒ වචන තුල වූයේ වේදනාවකි. බරකි. මහන්සියකි. ඒ වදන් ඔස්සේ ඇවිද ගොසින් ඔහුගේ වේදනා බරිත හිත සනසන්නට තිබුණා නම් කෙතරම් අපූරුද යන්න නොසිතුනා නොවේ.

“උණ කියල ආරංචි උනාට ඩෙංගු බව අපි දැනගෙන හිටියෙ නෑ. ගොඩක් අමාරුද?”

“අපිත් ඩෙංගු කියල දැනගත්තෙ දැන් ටිකකට කලින්. මම උදේ හොස්පිටල් එන ගමන් තමයි ප්‍රින්සිපල්ට ඉන්ෆෝම් කරේ. මොකද මේ දවස්වල හරියට වයිරල් ෆ්ලූ තියෙනවනෙ. අනිත් බබාලගෙ අම්මලටත් ඉන්ෆෝම් කරන්න කියල. ඩොක්ටර් නම් කිව්වා බයවෙන්න දෙයක් නෑ කියල. හැබැයි ඉතින් හොස්පිටලයිස් වෙලා ඉන්න වෙයි කියල නම් කිව්ව”

“කොයි හොස්පිටල් එකේද ඇඩ්මිට් කරල තියෙන්නේ?”

“නයින්වෙල්ස් එකේ”

ඉන්පසුව ඇසුනේ අසන්නට උන් පණිවිඩයක් නොවන වගට සහතිකවන්නට නොහැක. එහෙත් සිත අස්සෙ තෙරපෙමින් තිබූ එකී වදන් මුවින් එලියට පැන්නේ දෙවරක් සිතන්නට පෙර බව සහතිකය.

“මම..මම එයාව බලන්න ආවට කමක් නැද්ද?”

අවසර ගත යුත්තේ ඇයිදැයි නොදනී.  එහෙත් ඒ අවසරය තුල බොහෝ කතාවන් සැඟව තිබූ බව ඒකපාර්ශ්වීය ආදරයක සිරවී හුන් සිත දැන උන්නාය.

“නයින්වෙල්ස් එකේ රූම් නම්බර් ටූ සීරෝ ත්‍රී. ඩොක්ටර් පුංචිහේවගේ වෝඩ් එක. අනේ එන්න උශාලි. ඔයා එන එකට දුලා සතුටුවෙයි”

දුලා විතරද ඔයාට සතුටු නැද්ද කියා අසන්නට තවමත් තමා අතර තියෙන පරතරය වැඩිය.

“මොනවහරි ගේන්න ඕනද එද්දි?”

“මුකුත් එපා. ඔයා එන්න ඒ හොඳටම ඇති”

ඉතින් එපමණකි. ඒ හොඳටම ඇතිය.

ඒ වචනවල එල්ලී සුන්දරව සැරසී දුලන්‍යාවත් අනුපවත් බලන්නට යන්නට උශාලි සැරසුණේ සතුටිනි. “මගේ ක්ලාස් එකේ බබෙක් අසනීප වෙලා හොස්පිටල් ඇඩ්මිට් කරල අම්මේ, බලල එන්න යනවා” කිව් පසුව අම්මා “අත් දෙක වන වන යන්න එපා ඉතින් ඉන්න සුප් එකක්වත් හදා දෙන්න” කියා පැවසීමද සිතට සතුට ගෙන ආ කාරණවකි.

මේ දුලන්‍යාගේ සුවදුක් විමසා බැලීමටම යන ගමනක් නොවන බව සිත දන්නා නිසාදෝ සිත අස්සෙන් මතුව ආ ලා රත් පැහැ හැඟුම් දහරාවක පැහැය කම්මුල් මත ඉහිරී මුහුණට ගෙනවිත් තිබුනේ මලක ලස්සනය. කණ්ණාඩියෙන් තම රුව දෙස බලද්දී සිත අස්සෙන් තමාට දකුණු පසින් අනුපගේ රුව මැවුණේ ඇයිදැයි සිතාගන්නට නොහැක.

එහෙත් ඒ ඇඳුණු සිතුවිල්ල ලස්සනය. තමාට වඩා උසින් වැඩි වුවද අනුපත් තමාත් අතර ඇත්තේ පුදුමාකාර ලස්සන ගැළපීමකි.

“බස් එකේද යන්නේ?”

අම්මා උණුසුම් බඳුනකට දැමූ සුප් එක තවත් බෑගයක දමා ගෙන එමින් අසද්දීත් උශාලි උන්නේ කණ්ණාඩියෙන් ඒ රුව දෙස බලාගෙනය.අම්මාගෙ හඬ ඔස්සේ කණ්ණාඩියෙන් ඒ රුව මැකුණද සිත තුලට එය තදින් කාවැදී ඇත.

“නෑ ත්‍රීවිල් එකක යනවා. සුප් එක අරගෙන බස් එකේ යන්න බෑනෙ”

“දැන් ඔය ඒ බබා අසනීප බව ඔයාල දැනගත්තෙ කොහොමද?”

“එයාගේ පෙයරන්ට්ස්ලා කතා කරල කිව්වෙ” කියද්දිත් සිතට පිවිසියේ රහස් සතුටකි. කතාකලේ තමා ආදරය කරන දරුවාගේ තාත්තා බව වචනයෙන් කියන්නට බැරි වුණද සිත එය දන්නා නිසා කිතිකැවීම් සහගත සිතුවිලි රැලි එවමින් සිත වෙහෙසට පත් කරයි.

එහෙත් ඒ ආශ්වාදජනක සිතුවිල්ලකි.

“ඉක්මනට එන්න රෑ වෙන්න එපා, මේ දවස්වල වැස්සත් නිසා හවසට වාහනයක් හොයා ගන්න අමාරු වෙයි”

අම්මාගේ වදන් වලට සිනාවෙන් පිලිතුරු දී ත්‍රිවිලයට නගිද්දීත් උශාලි උන්නේ පුදුමාකාර සන්තෝසයකිනි.

දුලන්‍යාගේ අම්මා එහි සිටියහොත් ඇය කුමක් කියනු ඇතිද, ඇය හිඳින තැනක ඔහු දෙස නිසංසලේ බලා හිඳින්නට හැකිද යන්න සිතට කුහුලක් එක් නොකලා නොවේ.එහෙත් ආදර සිතුවිලි වලට තහංචි දමනට හැකියාවක් නැත. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles