සියක් සියපත් 27

වියානා ගැන විවාහ යෝජනාව ඉදිරිපත් වන විට සදාතන ගේ ජීවිතය හතර මායිමේ ගැහැනියක සිටියේ නැත. විවාහයක හෝ ස්ත්‍රියක ගේ අවශ්‍යතාවයක් නො දැනුණ හින්දා ඔහු ට ඒ යෝජනාවට එකඟ වන්නට ඕනෑ වූයේ නැත. නමුත් විරුද්ධ නොවූ නිසා කිසිවෙකුට එය වෙනස් කරන්නට ඕනෑ වූයේත් නැත. මදිරා හා සනාතන වුව සිතුවේ ඔහුට හුරු පුරුදු ලැජ්ජාව පහ වී ගිය පසු වියානා ව තෝරා නො ගන්නට හේතුවක් සදාතන ට නැති බවයි. සියපත් ඔහු ගේ දෑස මානයට නෑවිත් හිටියා නම් ඒ සියල්ල සැලසුම් කළ පරිදි ම සිදු වෙන්නට තිබිණ. නමුත් කෙනෙකු ගේ ජීවිතය මත්තේ යම් යම් සිදුවීම් සිදු වෙන්නට උතු නියාමය නම් නියාම ධර්මය ද වැදගත් මෙහෙයක් සිදු කරයි. සදාතන ගේ ජීවිතය වෙනස් කළ ඍතුව සියපත් සඳපිනි සූරියගොඩ නම් වේ.

වියානා ගේ ජීවිතය හෝ ප්‍රේමය හෝ අනාගතය සමග සෙල්ලමක් කළ නො හැකි බව වඩා හොඳින් හා වඩා ගැඹුරින් සදාතන ට දැනෙන්නේ දැන් ය. එය වූ කලී පොඩි කාලේ කළ සෙල්ලමක සෙල්ලම් ගෙයි මනාලිය වාගේ මට බෑ කියා මාරු කළ හැක්කක් නොවේ. මේ විවාහ යෝජනා සමග ව්‍යාපාරික ගනු දෙනු බැඳී තිබියදී තත්වය වඩාත් උග්‍ර වේ. තමන් දැන් වගකිව යුතු මිනිසෙකු සේ සිතිය යුතු බව සදාතන තීරණාත්මක ලෙස සිතුවේ වියානා සියපත් ගේ ගෙදර රාත්‍රියක් ගත කොට පැමිණි දාට පසු දා උදයේ ය. තවමත් ඒ කිසිදු බැඳීමක ස්ථාවර බවක් නොමැත්තේ ය. වගකිව යුතු මිනිසෙකු ලෙස සියපත් ගේ ජීවිතය තමන් අතට නො ගත්තේ වී නම් ඇගේ ජීවිතය වෙත අනතුරක් එල්ල විය හැකි බව ද ඔහු දැන සිටියේ ය. ලොකු මිනිසුන් ගේ ජීවිත තීරණය කරන්නේ ඉරණම නොවේ. ඒ අය විසින් ම ය. ඔවුන් සිතනා පරිදි ඉරණම සකස් විය යුතු ය. ඔවුන් ලියනා ඉරණම වෙනස් කරන්නට ඉදිරියට එන්නා වූ සියලු බාධක ඉවත් කරන්නට අවශ්‍ය පමණටත් වඩා ධනය ද බලය ද ඔවුන් සතු වන බැවිනි. ජීවිතය මත්තේ අත පත ගාන්නේ නැතිව සියපත් සමගින් මේ ගැන මුලින් ම කතා කරන්නට ඔහු තීරණයක් ගත්තේ ය. 

සියපත් දැන් මදිරා ගේ කාමරයට සීමා වූ චරිතයක් නොවේ. අමදෝරු මහත්මියගෙන් හිස් වූ නිවසේ හැම අස්සක් මුල්ලක් ම ඇගේ අණසකට නතු වී තිබේ. නමුත් දිවා කාලය පුරා වැඩිපුර සදාතන හෝ සනාතන ගෙදර රැඳෙන්නේ නැත. උදේ කාර්යාලයට ගිය පසු ඔවුන් යළි පැමිණෙන්නේ දිවා ආහාරයට ය. අත්‍යවශ්‍ය වැඩක් තිබේ නම් හවස් වරුව ගෙවෙන්නේ ද කාර්යාලයේ ය. මදිරා ව උද්‍යානයට ගෙන යන එන අතරේ හැරුණ විට සියපත් සමග නිදහස් ව කතා කිරීමේ අවස්ථාවක් ගෙදර දී උදා කර ගත නො හැකි ය. අවස්ථාවක් උදා කර ගත්ත ද සියපත් පණ බයේ ගැහෙන බව ඔහු දනී. 

“මටත් එන්නෝනෙ එහෙ”

එදා උඩු මහලේ දී තනිව ඈ අල්වා ගත් වෙලාවේ සදාතන කීවේ ය.

“ඇයි…”

සියපත් ගේ වටකුරු ඇස් වල පොලිස් පරීක්ෂයෙකු ගේ විමසිල්මත් බව වූයේ ඕනෑ ම මොහොතක මතු මහලට පැමිණිය හැකි වියානා නිසා ය.

“මටත් එහෙම කන්න ඕනෙ”

යුවතිය දෙතොල් තද කර ගෙන සිනහ වූවා ය.

“අයියෝ…මහ ලොකු කෑමද සර් ඒව…”

“මට ඔයාගෙ අම්මයි තාත්තයි එක්කත් කතා කරන්න ඕනෙ. මං දන්නව දැන් පා වෙවී ඉඳල බෑ කියල.”

“සර්…මොනාද මේ කියන්නෙ…”

“ඇයි…වියානා වුණත් ඇත්ත දැන ගන්න ඕනෙ නේද…”

“අනේ ප්ලීස් සර්…වියානා මිස්ටනං මුකුත් කියන්නෙපා”

සියපත් ගේ ඇස් වල තැවරුණ භීතිය  අවංක ය. අනුන්ගේ වස්තුවක් ගැන හිතක් ඇති කර ගැනීමත් පාපයක් බව ඇය විශ්වාස කළා ය. සදාතන ගේ අහංකාර ගති වලට හිත බැඳී යත්දී ඒ කිසිවක් ගැන කල් ඇතිව හොයා බලන්නට හිතට ඕනෑ වූයේත් නැත. පස් මහ බැලුම් නො බලා ප්‍රේමය හැඳින ගත් හිත හකුළා ගෙන පසෙකට වෙනවා මිස අනුන් ගේ ජීවිත වල ඉරණම වෙනස් කරනා සාධකයක් වෙන්නට තරම් ඇගේ වැදගත් කමක් සියපත් ට දැනෙන්නේත් නැත. 

රියදුරු ජගත් ව සදාතන විසින් වතු බංගලාවට යවන ලද්දේ හිතා මතාම ය. සනාතන හෝ නො දැනුවත්ව ඔහු උදයෙන් ම සියපත් ගේ ගෙදරට යන ගුරු පාර දිග රිය පැදවී ය. මීට පෙර ඔහු ගේ ළඟට ම ගොස් නැත. නමුත් වියානා ගේ ජංගම දුරකතනයේ සනිටුහන් වී තිබූ ඡායාරූප වල වන පැරණි ගෙය හොයා ගන්නට බැරි වෙන්නේ නැති බව ඔහු දැන සිටියේ ය.

සදාතන ගේ රිය නැවතෙන විට ඇය සිටියේ ගෙයි දොරකඩ පඩිය මත හිඳ හති දමමිනි. මේ වෙලාවේ කම්මුල් මත කඳුළු නො තිබුණේ ශෝකය කෝපයකට හැරවී තිබි නිසා ය. කොහොමටත් සියපත් කියන්නේ හැම පුංචි දේකට ම කඳුළු සලනා ගෑනු ළමයෙකු නොවේ. කඳුළු කියන්නේ එහෙම අවතක්සේරු නොකළ යුතු හැඟීමක් බව ඇය ජීවිතයෙන් ඉගෙන ගෙන තිබුණා ය. සදාතන ගේ මෝටර් රථය දුටු ගමන් ඇය විශ්මයෙන් වාගේ නැගිට ගත්තා ය. ඇගේ අතේ තවමත් මන්නා පිහිය විය. ඇස් වල වූ දැඩි බැල්ම ද, අවුල් වී තිබූ හිස කේ ද වේගයෙන් උස් මහත් වන ළැම ද යම් කිසිවක් සිදු වී ඇති වග නො කියා කීවේ ය. සදාතන වහ වහා රියෙන් බැස ගත්තේ ය.

“සියපත්”

“සර්…සර්ට තිබුණෙ මෙහෙට එන්නැතුව ඉන්නනෙ. මං එනවනෙ පාර ළඟට…”

ඇගේ හඬ බිඳී ගියේ එතකොට ය. කඳුළක් ඇස් පුච්චමින් ඉස්සරහාට ආවේ එතකොට ය.

“මොකද්ද වුණේ…ආ…සියපත්…මොකද්ද දැං සිද්ද වුණේ…කෝ අම්මයි තාත්තයි”

“අම්මයි තාත්තයි උදේම ආර්ථිකේට ගියා එළවළු මාළු ගන්න. කඩේ දැන් රයිස් ඇන්ඩ් කරිත් දානවනෙ. නංගිත් ඉස්කෝලෙ ගියා. අර මිනිහ..සුපුන්.. ඕක නෝට් කරං ඉන්න ඇත්තෙ. ජීවිත කාලෙටම හිරේ ගියත් මං ඌට මේකෙං කො ට න ව සර්…වෙලාවට ඌ පැන ගත්ත”

ඇගේ ළය නැවත ද වේගයෙන් උස් පහත් වන්නට පටන් ගත්තේ ය. 

“මං එන්නං සර්. මට විනාඩි පහක් දෙන්න”

කියා ගෙතුළට ගිය ඕ යළිත් නාන කාමරයට වැදී ඇඟ සේදුවා ය. සුපුන් ගේ අත් වලින් අල්ලන ලද සිය දෑත් හා සිරුර මහත් කිළිටි අප්‍රසන්න හැඟීමක් සියපත් ට දනවයි. ඇය පුළුවන් තරම් සබන් යොදා අතුල්ලා ඇඟ සේදුවා ය. වෙනත් ඇඳුමක් හැඳ ගෙන ඉක්මනට ම කොණ්ඩයට බූල් බෑන්ඩ් එකක් දමා ගෙන විත් රියට නැගුණා ය. එතකොටත් ඇගේ ආශ්වාස ප්‍රශ්වාසය වේගවත් බව ආසන පටිය දමත්දී සදාතන ට දැනුණේ ය.

සියපත් ඇස් දෙක තද කොට ගත්තා ය. ඒ සිදුවීම සිහි වෙත්දීත් අප්පිරියාවක් බඩ බොකු කලතයි. සුපුන් කියන්නේ මේ තරං පිළිකුල් සත්වයෙකු යයි ඇය සිතුවේ ම නැත. ඔහු ගෙට ආවේ හොරෙකු සේ කිසිදු හඬක් නො නැගෙන පරිදි ය. එතකොට සියපත් බිත්තියේ ගැසූ පුංචි කණ්ණාඩියෙන් මූණ බලාගෙන කොණ්ඩය පීරමින් සිටියා ය. සාරි රෙද්දක් කපා දමන ලද තිර රෙද්ද මෑත් කර ගෙන ඔහු එක් වර ම කාමරයට ඇතුලු වෙත්දී ඇයට කෑ ගැසිණ.

“මොකද කෑ ගහන්නෙ…”

ඔහු ගේ මූණේ වූයේ කිසිදු ප්‍රතිරෝධයකින් තොර ව ගොදුරක බෙල්ලට ම පැනිය හැකි තත්වයකදී සිවලෙකු ගේ මූණේ තිබිය හැකි පිළිකුල් බැල්ම ය. සියපත් වහා සිහි එලවා ගත්තා ය. කෑ ගැසුවා කියා ඔහු ට ගොදුරු නොවෙන්නට හේතුවක් නැත. මේ වෙලාවේ මොළය කල්පනා කොට වැඩ කළ යුතු බවට ඇගේ ගැහැනු ඉව වහ වහා තීරණය කළේ ය.

“මොකට කෑ ගහන්නද මං….අපේ ගෙදර ඉඳගෙන…එකපාරට කාමරේට ඔළුව දාපු හින්දයි මං බය වුණේ”

ඇය අඩ බැල්මක් හෙළමින් කාමරයේ සාරි තිරයෙන් පිටතට පැන ගත්තා ය. සුපුන් මුලින් ම ඇගේ අතකින් ඇල්ලූයේ ඒ වෙලාවේ ය. සියපත් සිය මිදීම වෙනුවෙන් පොර බැදුවා ය. ඔහු ගේ නියපොතු වැදී අත් වල ඇතැම් තැන් වල දැවිල්ලක් ඇයට දැනිණ. නමුත් කිසි සේත් ගොදුරක් නො වන්නෙමැයි ඇය අදිටන් කර ගෙන සිටියා ය. කෑ ගැසුවාට වැඩක් නො විය හැක. අසල් වැසි නිවෙස් වල අය මේ වෙලාවට රැකියා වලට හෝ පාසල් වලට ගොසිනි. රැකියාවන්ට නො යන ගෘහණියන් පවා දරුවන් ගෙන පාසල් යති. කෑ ගසන්නට වැය කරනා ශ්‍රමය අපතේ නො යවා සුපුන් සමග පොර බදන්නට එය යොදා ගත යුතු යයි සිතු සියපත් කෙසේ හෝ කුස්සියට පැන ගත්තා ය. එසේ කළේ හිතා මතාම ය. මේස තට්ටුව කොනක වන මන්නා පිහිය ඇගේ අතට හසු විය. ඇය වේගයෙන් එය සුපුන් වෙතට එල්ල කළා ය. ඔහු වහා ඇය අතැර ආලින්ද කොටසින් මිදුලට පැන්නේ ය.

“ලං වුණොත් කොටන එක කොටනව. කිසි සමාවක් නෑ සුපුන්..”

ඇය දත් මිටි කෑවා ය. කොණ්ඩය ගිලිහී මුහුණ වියරු වැටී ඒ වෙලාවේ ඔහු ඇය දුටුවේ යකින්නක සේ ය.

“බලමු දිනන්නෙ උඹද මංද කියල. නයාට ගහල පොල්ල වරද්ද ගත්ත කියල හිතාගනිං”

ඔහු ගේ වචන වලින් ද මුහුණෙන් ද වෛරය කඩා හැලිණ.  සුපුන් ඉක්මන් ගමනින් පිටුපස බලමින් නො පෙනී ගියේ ය. සියපත් පඩිය උඩ හිඳ ගත්තේ ඉනික්බිති ය.

“මොකද්ද දැං කරන්න ඕනෙ. තාත්තට කතා කරල සිද්ද වෙච්ච දේ කියනවද…එහෙම කරල පොලිස් කම්ප්ලේන් එකක් දාන එක හොඳයි”

“එපා එපා සර්. මෙහෙම දෙයක් කිව්වොත් තාත්තට අද වැඩක් කරගන්න වෙන්නෑ. පොලීසි කොහොම වුණත් තාත්ත සුපුන් හොයං ගිහිං ම ර යි. ඊළඟට හිරේ යන්න වෙන්නෙ තාත්තට”

“ළමයො…නීතියක් කියල දෙයක් තියෙනව. මිනිස්සුංගෙ ආරක්ෂාවට”

“ආයෙ මොකක් හරි වුණොත් එහෙම කරන්නං සර්. මට දැං ඕනෙ ඒක අමතක කරන්න. මට අප්පිරියයි…”

සියපත් රිය අසුනට හිස බර කොට ඇස් දෙක පියවා ගත්තා ය. යළි නෙතු හරිත්දී රිය ඇදෙමින් තිබුණේ අධි වේගී මාර්ගයේ ය. සියපත් තිගැස්සෙමින් හිස හරවා සදාතන දෙස බැලුවා ය. ඇගේ මුවින් වචන පිට වූයේ නැත ද ඒ හිතේ වන වචන ඔහු හඳුනයි.

“ඔයා ටිකක් රිලැක්ස් වෙන්න..හයි වේ එකේ මෙහෙම ගාල්ලට ගිහිං…ආයෙ එමු”

සදාතන ගේ හඬෙහි පිරිමියෙකුට ගැහැනු හිතක් මත දැනවිය හැකි රැකවරණය තිබිණි.

“ඒත්..”

“අපි  වැලිපැන්නෙදි අක්කට කෝල් එකක් ගමු”

“වියානා දැනගත්තොත්…”

සියපත් නැවත ද ඇස් දෙක තද කළා ය. ඒ වූ කලී බියකරු හීනයක් වාගේ ය. වැලිපැන්නේ සේවා ස්ථානයේදී රිය නවතන තෙක් සදාතන ඇයගේ සිතිවිලි ලෝකයට බාධා කළේ නැත. කුඩා අවන්හලකින් ඔහු සැන්ඩ්විචස් හා කට්ලට් ද තේ ද ඇනවුම් කළේ ය.

“බඩගින්නෙනෙ ඇත්තෙ..කාල ඉන්න”

ඔහු සැන්ඩ්විච් එකේ ආවරණය ඉවත් කොට එය සියපත් අත තැබුවේ ය. ඇයට අස්වැසුම් හැඟීමක් දැනිණ. ඊළඟට සදතන ජංගම දුරකතනය ගෙන මදිරා ට ඇමතුමක් ගත්තේ ය.

“අක්ක. සියපත් එන්න ටිකක් ලේට් වෙයි”

ඒ ඇස් චන්ද්‍ර කාන්ති පාෂාණ සේ දිලිසිණි. සියපත් ගේ වත රතු වන්නට විය.

“කොහෙද ඒ ළමයව එක්කං ගියේ…මල්ලා…කරන දෙයක් පරිස්සමෙන්. ඔයා දන්නවනෙ…ජයකොඩි අංකල්ල රට හැම තැනම ඇවිදින්න යනව. සියපත් ගැන අපිට වගකීමක් තියනව මල්ලි”

“මං දන්නව. පරිස්සමට එයාව එක්කං එන්නං”

සදාතන සියපත් ගේ සවනට දුරකතනය ලං කළේ ය. ඈ එය අල්ලත්දී ඇඟිලි තුඩු ඔහු ගේ ඇඟිලි මත ගැටිණ. සියපත් තව තවත් රතු වූවා ය.

“අක්…කෙ…”

“මං දන්නෑ අපේ එකා මොකක් කරන්න හදනවද කියල. පරිස්සමෙං සියපත්. ටිකක් කතා කරල ඔන්න ඕකාව එක්කගෙන ගෙදර එන්න”

“හරි අක්කෙ..”

සදාතන ගේ මුහුණ මත ජයග්‍රාහී බවක් විය. සියපත් ඒ හිතුවක්කාර පිරිමි කමට රිසි වූවා ය. හිතේ දුකකට වූයේ වියානා පමණක් ම ය. දන්නා කියන කවුරුවත්ම නැති ලෝකයක සදාතන එක්ක මේ විදිහට හුදෙකලා වෙන්නට ලැබුණා කියන්නේ ම හීනයකි. හෙට ඒ හීනයෙන් ඇහැරෙන්නට වුණත් ඇය මේ මොහොත තුළ ඒ හීනය තදින් බදා ගෙන සිටියා ය. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles