කූඩැල්ලෝ 

සහනිව බලන්න මනමාලයෝ කිහිප දෙනෙක්ම ඇවිල්ලා ගියා. ඒත් ඒ එක සම්බන්ධතාවයක් වත් සතියක දෙකක කෙටි කත බහකට වඩා ඇදුණේ නැහැ. ඇත්තටම සහනි ට ඒ කිසිම කෙනෙක් එක්ක විවාහයක් ගැන අදහසක් ඇති නොවුණ තරම්. අනෙක් පාර්ශවයත් සහනිව වැඩි උනන්දුවෙන් ආශ්‍රය කරන්න උත්සාහ නොකර නිසා ඒ සම්බන්ධතා දිග ඇදුනේම් නැහැ 

සතිපතා සතිඅන්ත වල මනමාලයොන්ට හිනා වෙලා සහනිට එපා වෙලා තිබුණත්, අම්මලාගේ හිත් හොඳ නැති වෙන නිසා සහනි හැම සති අන්තේකම ඒ අත්දැකීමට ආයේ ආයේ ඉඩ දුන්නා.

සචිත් සහනිව බලන්න එන බව කිව්වේ එන්න දවස් පහකට විතර කලින්. අම්මලා පුරුදු විදියට තේ මේසේට සූදානම් වුණා. සහනි සාරියක්  ඇඳලා ලෑස්ති වුණා.

සචිත් ආවේ අම්මයි කපු මහත්තයයි එක්ක. කඩවසම් තරුණයෙක්. ලස්සන හිනාවක්. පිළිවෙල ඇඳුම්. ඉතිරෙන හිනාව සහනිගේ හිතටත් පොඩි කිතියක් නොගෙනාවා නෙවෙයි.  කෙටි කතා බහකට පස්සේ තේ මේසෙට ආරාධනා කලේ ගමන් වෙහෙස අමුත්තන්ට දැනෙන්න දෙන්න හොඳ නැති නිසා.

සචිත්, සචිත්ගේ අම්මා, කපු මහත්තයා , සහනි, සහනිගේ අප්පච්චි වගේම සහනිගෙර් මල්ලිත් තේ මේසෙට ඉඳ ගත්තා. 

“සචී… කෙසෙල් ගෙඩියක් ගන්න පුතා…”

අම්මා එහෙම කිව්වම සචිත් කෙසෙල් ගෙඩියක් ගත්තා. කෙසෙල් ගෙඩිය කන්න සූදානම් වෙන අතරේ අම්මා ආයෙම,

“කේක් කෑල්ලකුත් කන්න පුතා.. මඟින් මුකුත් කෑවේ නෑනේ..”

එතකොට සචිත් කේක් කෑල්ලකුත් ගත්තා. සහනි ඒ දිහා බලාගෙම හිටියේ පොඩි රතු කොඩියක් ඈත වැනෙද්දී.

“අනේ මෙයා කිරි පිටි බොන්නේ නෑ.ෆ්‍රෙශ් මිල්ක් නේ බොන්නේ.. ඔයාට කූල් වතුර එකක් දෙන්නද පුතා..”

සහනිගෙර් අම්මා තේ හදලා බොන්න ආරාධනා කරනකොට සචිත්ගේ අම්මා පැනලා එහෙම කිව්වා.ඒ කියන ඇසිල්ලෙන් සහනි සචිත්ගේ මූණ බැලුවා. සචිත් හිනා වෙවීම හිටියා මිසක් අම්මගේ ඒ පාලනයට විරෝධයක්වත් පෙනුනේම නැහැ. සහනි මල්ලි දිහා බැලුවේ ඊට පස්සේ. මල්ලී ත් හිටියේ සහනි දිහා බලාගෙන. සහනි තොල පෙරලලා මල්ලිට ඉඟියක් විතරක් කලා.

“පුතේ අතේ තෙල් නේද ? සෝදගන්න..”

අවුරුදු තිස් හතරක උපාධිධාරී ගුරුවරයා අම්මගේ යෝජනාවට පස්සේ අත සෝදලා පිහිදගත්තා. 

ඊට පස්සේ ආයෙම කට්ටියම සුහද කතා බහට වැටුණා. සහනි නම් වැඩේ අතෑරලමයි හිටියේ. ඒත් අම්මලා නම් කලින් හැම කෙනෙක්ටම වඩා උනන්දුවෙන් සචිත් ගැන කතා කලා.

“ඟුරුවරයෙක් කියන්නේ කොච්චරක් හොඳයිද ? ටියුශන් එකක් දා ගත්තම ඉතින් ගොඩ…”

අම්මා කිව්වේම ඒක.  ඒ කතා බස් දිගේ අම්මලා අම්මලා දෙන්නාගේ සම්බන්ධතාවය ඉස්සරහට ඇදගෙන යන ගමන් හිටියේ. ඒත්  සහනිට සචිත් එක්ක ඉස්සරහට යන්න නොතේරෙන බයක් තිබුණා. 

සහනි මල්ලි එක්ක කතා කලේ ඊට පස්සේ.

“මොකෝ අක්කේ…?”

“මන්දා ඕයි…අර සචිත් ගැන ඔයා මොකෝ හිතන්නේ ?”

“මමාස් සන්…”

“හ්ම්ම්… මටත් හිතුණා ඕයි මල්ලී…”

“ආයේ හිතෙන්න දෙයක් නෑ අක්කේ.. තාත්තා චූටි කාලෙම නැතිවෙලානේ. ඉතින් ඒ ආන්ටි එක්ක තමා බොන්ඩ් එක ඇත්තේ..ඒ ආන්ටිටත් ඒමම ඇති…. ඉතින් දැන් ඒක බිඳෙන්නෙ නෑ…”

“අනේ මන්දා…”

“අම්මලට් කියලා දානවා ඕයි…”

“අම්මා සචිත්ට හොඳටම කැමති …”

“අනේ අක්කේ මේහ්…. අම්මා නෙවෙයි ඔයයි කසාද බඳින්නේ… ඔහොම මිනිහෙක් එක්ක ඔයාට ෆ්‍රී නැන්දම්මා කෙනෙක් හම්බෙනවා.. ඒකේ හොඳම වැඩේ වෙන්නේ ඒ මිනිහාගේ ඇගේ කූඩැල්ලෙක් වගේ එල්ලිලා ඉන්න නැන්දම්මෙක් ලැබෙන එක…. ඒකෙන් ගැලවීමක් නෑ… ගැලෙව්වත් අක්කා ආයෙම එල්ලෙනවා…”

“අනේ මන්දා මල්ලී… අම්මා කෙනෙක්නේ ඒත්…”

“අම්මලා තමා.. ඒත් දරුවොන්ගේ ජීවිත වල ස්පේස් එක දෙන්න ඕනි නේ…”

මල්ලි සහනිගේ පැත්තේ හිටපු නිසා ඒ සම්බන්ධතාවයටත් තිත වැටුණා. 

.

.

.

අවුරුද්දකට පස්සේ සහනි විවාහ වුණා. සැහැල්ලුවෙන් ගෙවෙන ජීවිතයක් ලැබුණා. 

“මේ… අර සචිතයා බැන්දේ අපේ බැච් එකේ කෙල්ලෙක්නේ.. ආන් ඩිවෝස් වෙලා..  “

“සිරාවටම ?”

“ඔව්ව්… ඒ අම්මා උන් දෙන්නා නිදාගන්න රූම් එකේ ඇඳක් දාගෙන….. ඒකිට එපා වෙන්නැති…”

මල්ලී එක්ක කතාව ඉවර වෙලා, සහනි චන්දනට ඇමතුමක් ගත්තා.

“කියන්න සහනි…”

“ඔයාලෑ අම්මලාවත් එක්කන් එන්න රෑ කෑමට…. මම කෑම හදන්නම්…”

මානසික වද නොදෙන පුතෙක් හැදුවට , එ පුතාගේ ජීවිතේ ට මානසික වදයක් නොවුනට අම්මව වැලඳගන්න සහනිට ඕනේ වුණා.

| අපේක්ෂා ගුණරත්න |

More Stories

Don't Miss


Latest Articles