සියක් සියපත් 30

සනාතන අල්මාරි ලාච්චුව ඇරියේ සොයා ගත නො හැකි වූ ලියකියවිලි වගයක් සොයමිනි. එහි ඉදිරියෙන් ම ඒ මංජුසාව තිබිණි. සියපත් වෙනුවෙන් විවාහ යෝජනාවක් ගෙන එනු වස් මිල දී ගත් දියමන්ති මුදුව සහිත මංජුසාව! එය එසේ ම තිබියදී ඔහු මොහොතක් එදෙස බලා සිටියේ ය. ඉන්පසු එය අතට ගෙන විවර කොට බැලුවේ ය. මේ මුදුව තව දුරටත් සිය ලාච්චුවෙහි තිබීමේ හේතුවක් ඔහුට පේන්නේ නැත. එක අතකට එය ළඟ තබා ගැනීම ගැන ලැජ්ජා විය යුතු යයි ඔහු ට සිතිණ. සදාතන සියපත් ට පෙම් කරයි. ඒ ප්‍රේමය පරිපූර්ණ වූවකි. ඔහු ඉදිරියේ දැවැන්ත අභියෝගයක් තිබෙනා බව දැන දැනත් ඔහු ඇයට පෙම් කරයි. ඒ සියල්ල කෙසේ විසඳෙන්නට නියමිත ද කියා කිසිවෙකු දන්නේ නැත. මොනවා කෙසේ සිදු වුණත් සදාතන සියපත් ව අත් නො හරින බව සනාතන ට විශ්වාස ය.

“එක්කො මේක සියපත්ට ම තියාගන්න දෙන්න කියල සදාතනට දෙනව”

ඔහු එහෙම සිතුවේ ය. නමුත් එය සදාචාර සම්පන්න නො විය හැක. සදාතන එවැනි දේකට සතුටු වේවියි සිතිය නො හැකි ය.

“එක්කො අක්කට දීල දානව. මේක ලස්සන නිසා එයා කැමැත්තෙං ගනී”

 ඔහු එහෙම හිතා හැරුණා විතර ය. ඔහු ට පිටුපසින් වියානා එබී බලා සිටියා ය. ඇය උඩු මහලට එන විට සනාතන ගේ කාමරයේ දොර හැර දමා තිබිණ. ඔහු විනාඩි කිහිපයක් තිස්සේ ම එක ම ඉරියව්වක යමක් දෙස බලා සිටිනු දුටු නිසා, ඒ කුමක් දැයි දැක ගැනීමේ කුහුලක් ඇයට දැනිණ. පියවර හඬක් හෝ නො ඇසෙන ලෙස පා ඇඟිලි තුඩු වලින් ඇවිද විත් ඇය ඔහු ගේ පිටුපසින් හිඳ බැලුවේ එතකොට ය. ඒ ලස්සන දියමන්ති මුදුව ගන්නට ඇය අත දිගු කරත්දී ම සනාතන හැරුණේ ය. නමුත් ඇයට ඒ ඔහු ගෙන් උදුරා ගත හැකි විය.

“කාටද මේ රිං එක”

“දෙනව ඕක…වියානා…මෙහෙට දෙනව…”

“බෑ බෑ. කාටද කියන්නකො…නැත්තං මං ගන්නව මේක”

“විකාර නොකර දෙනව අප්ප ඕක. මගෙ ළඟ තිබුණ එකක්. මං මේ අක්කට දෙන්නයි ගත්තෙ”

සනාතන එය වියානා වෙතින් ලබා ගන්නට උත්සාහ කළේ ය. ඇය කාමරයෙන් පිටතට පැන මතු මහල පුරා දිව්වා ය. සනාතන ඇය හඹා ගියේ ය. ඒ අතරේ වියානා මුදුව සිය අතැඟිල්ලකට දමා ගෙන ඉවර ය.

“මේ..මට හරියටම ෆිට් වෙනව”

දුවන ගමන් ම ඇය අත දිගු කොට පෙන්වූවා ය. කෙසේ වෙතත් සනාතන ඇය හඹා ආවෙන් වියානා නැවත ද ඔහු ගේ කාමරයට දිව්වා ය. එහි දී ඇය ඔහු ට කොටු විය. වියානා දෙකට නැවී සිය අත හංගා ගත්තා ය. සනාතන ඇය ව අල්වා ගෙන ඇගේ අත නිදහස් කර ගන්නට තැත් කළේ ය. 

“ඉතිං මේක මං ගන්නංකො”

ඇය සිනහ වෙමින් ම කීවා ය. ඒ සිනහව වඩාත් ඔහු ගේ මුහුණට සමීප ව දකිත්දී මධ්‍ය ස්නායු පද්ධතිය හරහා හිරියක් පැතිර යනු සනාතන ට දැනුණේ ය. පිට කොන්ද දිගේ විදුලියක් වාගේ ඒ හිරිය විහිද ගියේ ය. වියානා සිටියේ ඔහු ගේ දෑත් යුග අතරේ ය. සිනහව තුනී වී යන බවක් ඇයට දැනුණේ හෝ නැත. විදා ගත් ඇගේ දෑස් ඔහු ගේ ඇස් වල පැටලී ගෙන තිබිණ.

“ස් සො..රි…”

ඔවුන් දෙදෙනා ම පියවි ලොවට ආවේ ඒ හඬිනි. ඔවුන් දෙදෙනා ම තිගැස්සුණ සියපත් ව දුටුවේත්, උනුන් වෙතින් වහා ඉවත් වූයේත් එකට ම ය. 

“සොරී…සොරී… මං ආවෙ උඩ මොප් කරල ක්ලීන් කරල ඉවරද බලන්න…අනේ සොරී”

ඒ ගැන සමාව යදින්නට වෙන වචන සියපත් දැන සිටියේ නැති තරම ය. වියානා නොව රතු වී සිටියේ ඇයයි. වියානා සිනහ වෙමින් සියපත් ගේ අතකින් අල්වා ගත්තා ය.

“ඉතිං ඔච්චර සොරි කියන්නෙ මොකටද මෝඩයො…මේ…”

ඇය සිය අතැඟිලි සියපත් ගේ මූණ ඉදිරියේ දිගු කොට දියමන්ති මුදුව පෙන්වූවා ය. සියපත් ඒ වහා හැඳින ගත්තා ය.

“මෙයා මට දුන්න”

“මේ බොරු කියන්නෙපා”

සනාතන වහා එසේ කීවේ මූණ රතු වෙත්දී ය. සියපත් ඉදිරියේ වියානා එසේ පැවසීම ගැන සැබවින් ම ඔහු ට ලැජ්ජාවක් දැනිණ. සියපත් ප්‍රතික්ෂේප කළ මුදුව ඔහු වියානා ට දුන්නා යි ඇය සිතන එක ගැන ඔහු ට අපහසුතාවක් දැනිණ.

“මං අක්කට දෙන්න ගෙනියන්න හදනකොට උදුරගෙන මෙතන…ගෑනු කියන්නෙනං මහ..”

ඔහු ට එය කියා නිම කරන්නට ලැබුණේ ද නැත. වියානා හඬ නගා සිනහ වූවා ය.

“ඒක වියානාට ලස්සනයි”

වෙන කියන්නට දෙයක් නැති කමට සියපත් එසේ කීවා ය. 

“ඒකනෙ. මං දෙන්නෑ මේක ආයෙ”

ඔවුන් දෙදෙනා එතැන සිටියදී සනාතන පහළ මහල වෙත බැස ගියේ ය. වියානා තව දුරටත් සිනහ වෙවී සිටියා ය.

“කවුරු හරි පරණ කෙල්ලෙක්ට ගත්ත එකක් වෙන්නැති. ඉතිං මොකෝ නේ..මේකෙ කාගෙවත් නම ගහල නෑනෙ. අනික අපි කවුරුවත් මේ දැන් මෙතන ඉපදිච්ච මිනිස්සු නෙවේනෙ. අපි කාටත් ගෙවල ආපු දුරක් තියනව. හිස්ට්‍රි එකක් තියනව. ඒ හිස්ට්‍රි එක පුරාම අපි මලක් උඩට වෙලා හිටිය නෙවේනෙ. අනේ..මටනං කමන්නෑ පරණ කෙල්ලෙක්ට ගත්ත එකක් වුණාට”

සියපත් ට සිනහ නැඟිණ. වියානා ඇඟිල්ල කරකවමින් මුදුවේ හැඩ බලමින් සිටියේ කිසිදු ඊර්ෂ්‍යාවක් නැති සැහැල්ලුවකිනි. ඒ වාගේ නිදහස් හා සැහැල්ලු මනසකින් ජීවත් වෙන්නට හැකි වීම ම කෙතරම් මානසික සුවයක් දැයි සියපත් සිතුවා ය.

වියානා ට පෙම් සබඳතා කිහිපයක් ම තිබිණ. ඒවායින් සමහරක් එපා වූයේ ඇයට ය. සමහරුන් ට ඇය එපා වී ය. කොහොම වුණත් අඬන්නේ දොඩන්නේ හෝ වෛර කරන්නේ නැතිව ඒ හැම තැනකින් ම ඉවත් වන්නට හැකි වූයේ ඇමරිකාව වැනි නිදහස් රටක කුඩා කල පටන් ජීවත් වීමෙන් ලත් ආභාෂය නිසා විය හැක. දියමන්ති ජයකොඩි ඉංග්‍රීසි සාහිත්‍යය පිළිබඳ මහාචාර්යවරියක වී ද පෙරදිග සම්ප්‍රදායානුකූලව සිතන්නට වැඩි නැඹුරුවක් දැක්වූවා ය. ඒ නිසා වියානා ගේ සමාජ ජීවිතය මත ඇගෙන් යම් බලපෑමක් එල්ල නොවුණා ම නොවේ. නමුත් වියානා ජීවිතය තුළ යම් කිසි නිදහසක් සෙව්වා ය. ඒ අනුව අම්මා ගේ ද හිත නොරිදවෙනු වස් ඇය සංචරණය කළේ අම්මා විසින් දිගේලි කොට ඇති සීමාවක් ඇතුළේ ය. ඇමරිකාව තුළ මොන විදිහට හැසිරුණත් වියානා ලංකාවේ තරුණයෙකු සමග විවාහ වෙනවා නම් ජයකොඩි මැතිණිය රිසි වූවා ය. ඒ නිසා ම වියානා විදේශික තරුණයන් සමග පෙම් සබඳතා පැවැත්වූයේ විවාහ වීමේ අපේක්ෂාවක් ඇතිව නොවේ. ඇතැම් විට ඒ සබඳතා කායික ඇසුරක් තෙක් ම දුර දිග ගිය ද විවාහයක සෙවනැලි ඒ මත නො වැටුණේ එබැවිනි. ජිතේන්ද්‍ර ජයකොඩි වියානා වෙනුවෙන් මයිකල් කහවණුගොඩ වෙත විවාහ යෝජනාවක් යොමු කළේ ද දියමන්ති ගේ හීනය හැබෑ කර දෙනු වස් ය. ඇගේ හිතට එවන් නිවනක් හෝ තනා දීම සිය යුතුකම බව ඔහු පිළිගත්තේ ය. කහවණුගොඩ ලා වාගේ දැවැන්ත ව්‍යාපාරික පවුලක් ම ඒ සඳහා තෝරා ගත්තේ ද දිනෙක ඔහු ගේ සියලු ව්‍යාපාර හිමි වන්නේ වියානා ට හින්දා ය. ව්‍යාපාරිකයෙකු ට ඕනෑ සිය ව්‍යාපාර ඔහු ගේ මරණයෙන් පසු දරු මුණුපුරන් ද දියුණු කරමින් ඉදිරියට ගෙන යනු දකින්නට ය!

වියානා කුඩා කල පටන් ම සිය මව් පිය දෙදෙනා අතරේ පරස්පර බවක් දුටුවා ය. ජිතේන්ද්‍ර ලෝකය වෙතට විවෘත වන්නට වඩාත් රිසි වූ මිනිසෙකු වූ අතර දියමන්ති තමුන් වෙතට නැඹුරු වූ ගැහැනියක වූවා ය. සාදයක දී දියමන්ති ව දැක විවාහ යෝජනාව ජිතේන්ද්‍ර විසින් ගෙන එනු ලැබූ අතර දියමන්ති ඔහු හා විවාහ වූයේ විරුද්ධ වන්නට හේතුවක් ඇයට නොවූ නිසා ය. ඔහු ශීඝ්‍රයෙන් දියුණු වෙන ව්‍යාපාරිකයෙකු බව දියමන්ති ගේ පියා ස්ථිර කොට කීවේ ය. 

වියානා ට යමක් කමක් තේරෙන කාලයේ මව් පිය දෙදෙනා ජීවත් වූයේ ලෝක දෙකක ය. එක වහල යට සදා කාලයට ම ජීවත් වූවා ට ඔවුන් දෙදෙනා කතා බහ කළේ ඉතා කලාතුරකින් අත්‍යවශ්‍ය දේකට ය. ඔවුන් යා කළ පාලම වියානා වූවා ය. නමුත් ලෝකයට පෙනෙන්නට ඔවුන් ඉතා හොඳ පති පතිණියන් ය. දෙමාපියන් ය. 

වියානා තුළ මව ගැන සියුම් සංවේගයක් විය.  විශ්ව විද්‍යාලයට හා ගෙදරට සීමා වූ ඇගේ ලෝකය ඉතා කුඩා එකකි. නමුත් බුද්ධි මට්ටම සාහිත්‍යය යන විෂයන් අතින් ඇය පරතෙරට ගිය තැනැත්තියකි. පියා සාමාන්‍ය පෙළ දක්වා පමණක් පාසල් ගොස් ඇති බව දියණිය දැන ගත්තේ ඔහු ගේ කටින් පිට වූ දෙයකිනි. නමුත් ඔහු ලෝකයත් සමග ඉතා මැනෙවින් සබඳතා පැවැත්වූයේ ය. ඔහු ගේ ලෝකය අති විශාල විය. බුධ හා නෙප්චූන් අතරේ පවත්නා ග්‍රහ ලෝකයක් සේ වියානා සිය මව් පියන් ගේ ලෝක වටහා ගත නො හැකි ව ඔවුන් අතරට වී සිටියා ය. ලෝකයෙහි වෙසෙනා හැම මිනිසෙකු ම එකිනෙකාට වෙනස් බවත්, ඒ වෙනස්කම් සමග ම ඔවුන්ට එක්ව ජීවත් විය හැකි බවත් ඇය දුටුවේ ගෙදරිනි. කලබල වී යුද්ධ ඇති කර ගන්නවා වෙනුවට කැළඹිලි අඩු වී කළල් දිය පෑදෙන තුරු බලා සිටින එක පහසු බව ඇය වටහා ගත්තේ මව් පිය දෙදෙනා ගේ හැසිරීම් දෙස බලා ගෙන ය.

සදාතන විසින් ඇයව ප්‍රතික්ෂේප කිරීමත්, ඇය දුරකතනයෙන් හුරතල් වී ඇත්තේ සනාතන සමගත් යන අවබෝධය ලබන වෙලාවේ ඇය සන්සුන් වූයේත් ඒක ය. හනුමන්තා වාගේ හතර කොන ගිනි තියා ගන්නවාට වඩා සියුම් ලෙස ප්‍රශ්නයට ප්‍රවේශ වීම මගින් විසඳුමක් සෙවිය හැකැයි ඇය බලාපොරොත්තු වූවා ය. ඒ සඳහා කල් යල් බැලුවා ය.

එදා ශාන්ත විසින් අවවාද කිරීමෙන් පස්සේ සුපුන් සියපත් දෙස ඇහැක් ඇර බැලුවේ නැත. මග දී දුටුවත් මග හැර ගියේ ය. මේ තත්වය ඔවුන් ගේ හිත් වලට පහසුවක් විය. මුල් දින වල පංකජී පාසල් ගොස් පැමිණෙන වෙලාවට ගෙදර ගොස් යළි සියපත් පැමිණි පසු කඩයට ගිය සුජීවා, එය ද නවතා දැමූයේ වරදක් වෙන්නට ඉඩක් නො පෙනුණ නිසා ය. පාසල් නිම වී පන්ති යන පංකජී බොහෝ විට යළි පැමිණියේ සියපත් එන වෙලාවට ම වාගේ ය. සුපුන් ගැන තිබූ සැක බිය ඒ විදිහට කෙටි කාලයක් තුළ තුනී වී ගියේ ය. ජීවිතය යළි සුපුරුදු මාර්ගයේ ගමන් කරමින් තිබිණ.

ජගත් සමගින් ගෙදර යමින් සිටි එක හවසක, බොරලැස්ගමුවේ වර්ණ සංඥා අසල දී සියපත් ගේ ඇස් ඉදිරියට ඇදෙන යතුරු පැදියක පැටලී ගත්තේ ය. ඒ යතුරු පැදිය සුපුන් ගේ බව හැඳින ගන්නට ගත වූයේ තත්පරයකටත් අඩු කාලයකි. බයිසිකලය වාහන අතරින් රිංගා ගොස් දෙහිවල පාරට හැරිණ. පිටුපස අසුනේ හිඳ සුපුන් ගේ උරහිසෙන් අල්වා ගෙන සිටියේ පාසල් නිල ඇඳුම් හැඳි පංකජී බව හැඳින ගන්නට සියපත් පමා වූවා ය. නොහොත් උවමනාවෙන් ම පමා කළා ය. ඒ සිය නැගණිය නොවේ කියා විශ්වාස කරන්නට සියපත් ට උවමනා විය. කලබලයට එවැන්නක් දුටුවා කියා සිතන්නට ඇය උත්සාහ කළා ය. නමුත් ගෙදරට යන තුරු ම හිතේ වූයේ ඉදිරියට ඇදී ගිය සුපුන් ගේ යතුරු පැදිය ය. එහි පිටුපස සිටියේ පංකජී නොවේවා යි සියපත් සිතින් පැතුවා ය. නමුත් ඒ ඇය ම බව හදවතේ එක පැත්තක් ඉකි බිඳ හඬමින් සාක්ෂි දුන්නේ ය.

සියපත් ගෙදර යන විට පංකජී පැමිණ සිටියේ නැත. ඇය කඩයට ද නො ගොස් ගෙදර පැමිණියේ හිතේ වූ වියවුල් බව නිසා ම ය. නො සන්සුන් ලෙස ගෙවී ගිය හෝරාවකට පමණ පසු ඇය ආවා ය. කිසිවක් සිදු නොවූ සේ ඇය ආවා ය. කලබල වී ප්‍රශ්න නොකරන්නට සියපත් සිතා උන්න ද පංකජී දුටු විට එසේ කළ නො හැකි විය. 

“බොරු කියන්න හදන්නෙපා මට. ඇත්ත කියනවා. මං මගෙ ඇස් දෙකටම දැක්ක. තමුසෙ සුපුන් ගෙ බයික් එකේ නේද ආවෙ…මොකද්ද ඌත් එක තියන ගනුදෙනුව…ආ…කතා කරනව. මොකද්ද ඌත් එක්ක තියන සම්බන්දෙ…”

සියපත් යක්ෂාවේෂයෙන් කෑ ගැසුවා ය. නමුත් පංකජී වචනයක් කතා කළේ නැත. 

“අනේ මගෙ රත්තරං නංගියෙ..මොකද්ද ඔයා මේ කරන්න හදන්නෙ…සුපුන් කියන්නෙ කොල්ලෙක්ද…තව ටික කාලෙනෙ ඉවසන්න තියෙන්නෙ. විභාගෙන් පස්සෙ ඔයා හොඳ කොල්ලෙක් එක්ක යාළු වෙන්න. අපි එපා කියන්නෑ. සුපුන් එක්ක ඔයාගෙ සම්බන්දයක් නෑ නේද නංගි…නිකං නේද බයික් එකේ ගියේ…”

සියපත් පුළුවන් තරම් ආදරයෙන් කතා කළා ය. නමුත් පංකජී වචනයක්වත් කතා කළේ නැත. ඇගේ පාඩුවේ ඇඟ පත සෝදා ඇඳුම් මාරු කර ගෙන ඇඳට වැටුණා ය. සියපත් වඩාත් නො සන්සුන් වෙමින් සිටියා ය.

“ඇයි තමුසෙ කතා කරන්නැත්තෙ…මගෙ සීමාව පන්නන්න එපා නංගි. ඇත්ත කියනව. සුපුන් එක්ක තමුසෙගෙ සම්බන්දයක් තියනවද…”

“මොන මළ වදයක්ද මේ…ගෙදර ආපු වෙලාවෙ ඉඳං කනක් ඇහිල ඉන්න නෑනෙ. ඔව් ඔව් තියනව. සම්බන්දයක් තියනව තමයි”

බෝම්බයක් පුුරන්නා සේ වේගවත් ව එසේ කියා දැමූ පංකජී ගස්සා ගෙන බිත්තිය පැත්තට හැරුණා ය. සියපත් ට දැනුණේ ඇය වට කොට මුළු ලෝකය ම භ්‍රමණය වන්නා සේ ය. අත දිග හැර ඇඳ කොනක් අල්වා ගත් ඕ, බිම ඇද වැටෙන්නට පෙර එහි හිඳ ගත්තා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles