සියක් සියපත් 33

සියපත් සිටියේ ගේ අමදිමිනි. ගෙදරින් පිට වීමට පෙර හැමදාමත් පුරුද්දට ඕ ගේ මිදුල් ඇමදුවා ය. ඒවා ගැන සුජීවා ගේ ඒ හැටි උනන්දුවක් නැත. වෙලාවක් ද නැත. මේ ගරා වැටෙන්නට සූදානම් වන පැරණි නිවස අලුත්වැඩියා කොට වින්ටේජමය පෙනුම රැකෙන සේ පිරියම් කළ යුතු යයි සියපත් සිතුවා ය. කෑම කඩයෙන් ලැබෙන ආදායම නිසා එහි කුළිය ද ගෙවා ගෙන ගෙදර කටයුතු බලා කියා ගන්නට තාත්තා ට පිළිවන. දන්නා කාලයක පටන් ඔවුන් සිටියේ පිළිවෙළක් නොමැති මේ ගෘහයේ ය. එය වසර විස්සකින්වත් පිරියම් කොට ඇතැයි සිතිය නොහැක. වහළේ සිදුරු ය. ලී දිරා ගෙන යයි. බිම සිමෙන්ති පදාස පිටින් ගැලවී තිබේ. ඇතැම් තැනෙක ශාන්ත සිමෙන්ති දමා පිරිසකර කොට ඇත. බිත්ති වල ද හැම තැන ම කැඩුම් බිඳුම් ය. පුංචි වුණත් ලස්සන පිළිවෙල ගෙයක ජීවත් වීම ඕනෑ ම කෙනෙකු ගේ මානසිකත්වය ඉහළ තලයක පවත්වා ගැනීමේ ලා ඉවහල් වේ. දැන් ඔවුන්ට සිය වර්තමානය ලස්සනට ගොඩ නගා ගැනීමේ හැකියාව උදා වී තිබිණි ද පංකජී ඇති කර ගත් පටලැවිල්ල නිසා කිසිවෙකු ගේ හිත නිරවුල් නැත. කිසිවක් ගැන උනන්දුවක් ඇති නොවේ. කළ යුතු ම අත්‍යවශ්‍ය කටයුතු ටික කරගෙන ඉන්නවා පමණකි. අනාගතය ගැන නිදහස් ශුභ සිහිනයක් දැකිය නො හැකි ය. ඉඳහිට සදාතන සමග තනි වූ වෙලාවක ද පංකජී වෙනුවෙන් ඇගේ ඇහේ නැගෙනා කඳුළක් පිසින්නට ඔහු ට සිදු වෙනවා පමණකි. මේ වගේ පසුබිමක් තුළ සදාතන ට ඈ එපා වී යනවා නම් ඒ ගැන සියපත් ට පුදුම නැත. වියානා වාගේ තරුණියක ඔහු ගේ මනාලිය වෙනවා නම් ඔවුන් ට සුබ පතා පසෙකට වන්නට වුව හිත හදා ගන්නට ඇයට පිළිවන.

“අක්කෙ…”

පාසල් යනු පිණිස මිදුලට ද බැසි පංකජී නතර වී හැරී බැලුවා ය. කොස්ස අතේ තියා ගෙන ම සියපත් බැලුවේ ඇය කුමක් හෝ අමතක කොට මිදුලට බැස්සා යයි සිතා ගෙන ය. පංකජී අක්කා වෙතට දිව ආවා ය.

“හැරෙන්නැතුව අමතක වෙච්ච දේ කිව්වනං මං ගෙනත් දෙනවනෙ”

කියා සියපත් සිතින් සිතුවා පමණකි. එය කියන්නට පෙර පංකජී ඇගේ බෙල්ලේ එල්ලී ගත්තා ය.

“මං ආදරෙයි”

එපමණක් කියා ඇය දිව ගෙන ගියා ය. පාසල් බස් රිය අල්වා ගන්නට බැරි වෙතැයි සිතිවිල්ලක් ඇතිව නැතිව ගියේ අවිනිශ්චිත ගැස්මක් ද සියපත් තුළ දනවමිනි. දැනෙනා අමුත්ත කුමක් දැයි ඇයට තේරුණේ නැත. අද නංගී ව පාසල් නොයවා ගෙදර තියා ගත්තා නම් හොඳ යයි ඇයට සිතුණේ පංකජී ගුරු පාරේ නො පෙනී ගියාට පස්සේ ය.

සුපුන් බයිසිකලය සේදුවේ ය. ඉඳහිට ගීයක් උරුහම් බෑවේ ය. ඔහු ට ජයග්‍රාහී හැඟීමක් දැනේ. අද ඔහු පංකජී ව පාසල් නිල ඇඳුම පිටින් ම පන්නා ගෙන යන්නේ ය. පංකජී සඳදිය සූරියගොඩ, සුපුන් පෙරේරා සමග පැන යනු ඇත!

සුපුන් අත සුදු මුදලක්වත් ඇත්තේ නැත. ඔහු හිතෙන් ගණන් හිලව් හැදුවේ ය. බයිසිකලයේ පොත තියා ගෙන මුදලක් දෙන්නට, මුදල් පොලියට දෙන්නෙකු එකඟ කරවා ගත හැකි විය. ඒ මුදලෙන් බයිසිකලයට තෙල් ගසා ගත යුතු ය. ශාන්තලාට දවසකින් දෙකකින් හොයා ගත නො හැකි දුරකට ගොස්, ලාබ කාමරයක සැඟවී ගෙන සිටීම සුපුන් ගේ අරමුණයි. අතේ මුදල් ඉවර වන විට යන්නට වෙන තැනක් නොවේ. ගෙදර පැමිණිය යුතු ය. එතකොට ශාන්තලාට කරන්නට දෙයක් නැත. එක්කෝ පංකජී ව ගෙදර කැටිව යා යුතු ය. නැතහොත් සුපුන් ට විවාහ කොට දිය යුතු ය. ඒ කුමක් කළත් ඔවුන් පරාජිත ය. සුපුන් දිනුම් ය. සියපත් ගෙන් පළි ගන්නට හොඳ ම විදිහ මෙයයි. ඇය පොඩි කාලේ සිට ම උඩ පැන්නා වැඩි යයි සුපුන් සිතයි. ඇගෙන් ගත නො හැකි වූ වාඩුව පංකජීව මේ තත්වයට පත් කිරීමෙන් ගත හැකි ය. ශාන්ත ගෙදරට ම ඇවිත් ඔහු ට අපහාස කොට ගියේ ය. සියපත් ව අත්හැර ඔහු ට ගැලපෙන ගෑනියක ගන්නැයි අවඥාවෙන් කීවේ ය. ඉතින් ඔහු මේ විදිහට එය සිදු කරනු ඇත. 

ඇස් විවර වන විට වියානා සිටියේ සනාතන ගේ යහන මත්තේ ය. ඔහු ගේ අතක් ද කකුලක් ද ඇගේ සිරුර මතින් වැටී, දඬු අඬුවකට සේ ඇය හිර වී තිබිණ. එහෙම ම හිඳ සනාතන ගේ මුහුණ දෙස බැලු වියානා ගේ දෙතොල් අතරට නිරායාස සිනහවක් ආවේ ය. ඇය ඔහු වෙත යොමු වී තවමත් නිදනා සනාතන ගේ ලවන් සිප ගත්තා ය. සනාතන නින්දෙන් අවදි වී වියානා දෙස බලා ඇය තවත් තදින් වැළඳ ගත්තේ ය. 

“මං රූම් එකට යන්න ඕන”

වියානා මිමිනුවා ය.

“තව ටිකක් ඉන්න”

නිදිමතෙන් පියවෙන දෑස් ඇතිව සනාතන ඇය තුරුළු කොට ගත්තේ ය. වියානා නෙතු විවර කර ගෙන ම මේ සිදු වූව ගැන සිතන්නට උත්සාහ කළා ය. ඒ කිසි සේත් බලාපොරොත්තු වූ යමක් නොවේ. නමුත් ඒ ගැන වියානා ගේ සිතේ කම්පාවක් හෝ පසුතැවීමක් නැත.  කහවණුගොඩ මැදුරේ දී ඇය වෙනුවෙන් වෙන් වූ කාමරය පිහිටියේ උඩු මහලේ ය. ඒ නිවුන් සොයුරන් ගේ කාමර වලට ප්‍රතිවිරුද්ධ පැත්තේ ය. ඒ රාත්‍රියේ වෙනදා වාගේ වියානා ට වැටුණ ගමන් නින්ද නො ගියේ සදාතන විසින් ඉල්ලා සිටින ලද උදව්ව ගැන සිතමින් සිටි නිසා ය. සියපත් සේ ම සදාතන ද සතුටු වෙන ලෙසින් එය කරන්නට ඇය සිතුවා ය. ඒ සිතිවිලි පරම්පරාව නින්ද ඈතට ගෙන යන්නට ඇත.

 සනාතන කාමරයේ දොර හැර ගෙන පිටතට ආවේ ඔහුට ද නින්ද අසලක නොවූ බැවිනි. පහළට ගොස් ශීතකරණයෙන් ඇපල් යුෂ වීදුරුවක් දමා ගෙන යළි මතු මහළට එන විට වියානා ආලින්ද කොටසේ සක්මන් කරමින් සිටියා ය. 

“තාම නිදි නැද්ද…”

ඔහු ඇය ළඟ නතර වූ ගමන්, සනාතන අත වූ ඇපල් යුෂ වීදුරුව ඔහු ගේ අතත් එක්ක ම දෑතින් අල්වා ගෙන ඕ උගුරු කිහිපයක් බීවා ය.

“මාත් තිබහෙ හිටියෙ. පහළට යන්න බය හිතුණ”

ඔහු වෙත එසැවුණ වියානා ගේ දෑස් මධු විතක් සේ සනාතන ට පෙනිණ. ඉතා කෙටි කොට කලිසම ද ඊට මත්තෙන් හැඳි ලොකු සැහැල්ලු ටී බැනියම ද නිසා ඇය වඩාත් දඟකාර ලෙස පෙනුණේ ය. හිතිවිලි කැළඹෙනු දැනුණෙන් ඔහු ඇගෙන් මිදී කාමරය දෙසට ගියේ ය.

“සනාතන. මට හෙල්ප් එකක් ඕනෙ…සදාතනයි සියපතුයි වෙනුවෙන්…ඇත්තටම මේක මට තනියම කරන්න අමාරු නිසා උදේට ඔයාට කතා කරනව කියලයි හිතං හිටියෙ”

වියානා ඔහු පසු පස කාමරයට ම ගියා ය. සනාතන ඇපල් යුෂ උගුරක් බීවේ ය. හැකි තාක් ඇය වෙතින් දෑස් ඉවත් කර ගෙන ඉන්නට ඔහු උත්සාහ කළේ ය. 

“මං දන්නව සදාතන ආදරේ කරන්නෙ සියපත්ට කියල”

ඇය යහන මත හිඳ ගත්තා ය. සනාතන ඇදෙස බැලුවේ අනුකම්පාවෙනි. ඇයට වරදක් සිදු වී නම් ඒ වරදේ කොනක සනාතන ද හිඳී. ඇය සිය විවාහය ගැන සිහින ඇහින්දේ ඔහු සමගින් ය. වීදුරුවේ ඉතිරි ඇපල් යුෂ ටික ඇය වෙත පානා ගමන් ඔහු ඇයට සමීප ව යහනේ හිඳ ගත්තේ ය.

“එක අතකට සදාතන කියන්නෙ මාත් එක්ක වචනයක්වත් කතා කරලවත් නැති මනුස්සයෙක්නෙ. ඉතිං මං කොහොමද ඒගොල්ලො අතරට පැනල ඔඩ් වෙන්නෙ…මට කරන්න තියෙන්නෙ එක දෙයයි. මේ මැරේජ් එකට කැමති නෑ කියල තාත්තිට කියන එක”

ඇය බිම බැලුවා ය. යහන මත වූ ඇගේ අතැඟිල්ලෙහි දියමන්ති මුදුව දිළිසේ. සනාතන ඒ අතැඟිල්ල සියතින් ගත්තේ නිකමට ය. නමුත් ඒ ක්ෂණික විදුලි සැර ඔහු ගේ සියොළඟ පුරා විහිද ගියේ ය. විරෝධය පාන්නට බැරි කමක් වියානා ට වූවා නොවේ. නමුත් ඇය අවනත වෙමින් සිටියා ය. මුල සිට ම ඇය වෙත වූයේ සදාතන නොව සනාතන ගැන හැඟීමක් බව ඔහු ගේ ආක්‍රමශීලී හැසිරීම් ළඟ වියානා තේරුම් ගනිමින් ද සිටියා ය.

ඇය ඔහු ගේ අතත් කකුලක් සිය සිරුරෙන් පසෙකට කොට නැගී සිටිනා උත්සාහයක් ගත්තේ තවත් අඩ හෝරාවකට පමණ පස්සේ ය. ජනේල වීදුරු අතරින් සුදු පාට එළිය කාන්දු වෙමින් තිබිණ. ගෙදර අය අවදි වෙන්නට පෙර කාමරයට යන්නට ඇයට ඕනෑ විය. ඕ සනාතන ගේ කම්මුලක් තදින් සිප ගත්තා ය. ඔහු ඇගේ බඳ වටා සුරත දමා ගත්තේ ය.

“මං යන්න ඕන”

වියානා තීරණාත්මක ව කීවා ය.

“මාත් එක්ක තරහයිද ඔයා…”

සනාතන දෙඩුවේ ඇස් වසාගෙන ම ය.

“ම්හු. ඒක වැරැද්දක්නං…ඔයත් එක්ක එකතු වෙලා මාත් ඒ වැරැද්ද කළානෙ. මං යන්නං”

පසු තැවීම ගින්නක් වාගේ සනාතන අවුලුවා ලන්නට වූයේ වියානා කාමරයෙන් නික්ම ගියාට පස්සේ ය. ඇගේ සුවඳ ඔහු වෙත දැවටී ඇත්තා සේ දැනිණි. දනි පනි ගා නැගිට යහන මත හිඳ ගත් හෙතෙම අත් දෙකෙහි හිස හොවා ගත්තේ ය. ඒ තරම් වගකීම් විරහිත ලෙස තමන් හැසිරුනේ කෙසේ දැයි සනාතන ට සිතා ගත නො හැකි ය.

සියපත් කහවණුගොඩ මැදුරට ආවේ වියානා ඉන් නික්ම යන්නට හදත්දී ය. වියානා සියපත් ව වැළඳ ගත්තා ය. ඒ ඇයි දැයි සියපත් ට තේරුණේ නැත. නමුත් අමුත්තක් ඇයට දැනිණ. හද ගැස්මෙහි වේගවත් රිද්මයක් ද ඇය අත් වින්දා ය. සියපත් නොදරු බැල්මකින් බලා සිටියදී වියානා සමු ගත්තේ සියපත් ගේ කම්මුලකට තට්ටු කොට “ඔයා කොච්චර අහිංසකද” කියා ය. සියපත් ට මුකුත් ම තේරුණේ නැත. සදාතන සේ ම සනාතන ද කලින් ම ගෙදරින් නික්ම ගොස් තිබිණ. උදයෙන් යන බව සදාතන කීවේවත් නෑ කියා සියපත් සිතුවා ය. නමුත් දෛනික වැඩ අතරේ ඒ සිතිවිල්ල යට ගියේ ය.

සනාතන සිටියේ පැටළුම් සහිතව ය. කලිසම් සාක්කු වල අත් දෙක ඔබා ගෙන ඔහු සදාතන ගේ කැබින් එක තුළ ඒ මේ අත සක්මන් කළේ ය.

“වියානා දන්නව සියපත් ගැන”

ඔහු එය කියා ගත්තේ සෑහෙන වෙලාවකට පස්සේ ය. 

“හ්ම්”

සදාතන කෙටි සුසුමක් හෙළුවේ ය. 

“නොදැන ඉන්නවට වැඩිය එහෙම හොඳයි කියල මට හිතුණ”

“ඒ කෙල්ලත් පව් ඕයි”

වෙනදා වාගේ “එහෙනං තමුසෙ වියානාව බඳිනවකො” කියා සදාතන කීවේ නැත. ඔහු ට ඇය ගැන කැමැත්තක් නොමැති බව සනාතන කිහිප විටක් හඟවා තිබේ. 

දිගින් දිගට ම කල්පනා කළ සනාතන වියානා ට දුරකතන ඇමතුමක් ගත්තේ ය. එතකොට ඇය දිය නා කාමරයට ආවා විතර ය.

“ඔයාගෙ වැඩේට කීයටද මං එන්න ඕනෙ…”

“මං තව ටිකකින් කන්ෆර්ම් කරන්නං සනාතන”

“තරහද…”

“නැහ්”

“නෑ…”

“ජස්ට් ෆොගෙටබවුට් ඉට්”

“කොහොමද එහෙම අමතක කරන්නෙ…අපි බඳිමු”

“නෝහ්. ඒක වෙන්නෑ. මං කැමති නෑ”

වියානා දුරකතන සම්බන්ධය බිඳ දමා දුරකතනය පසෙකට විසි කොට කොට්ටයක් බදා ගෙන ඇඳට වැටුණා ය. සනාතන දුරකතනය මේසය මත තබා දෑතින් ම හිස බදා ගත්තේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles