ඉරිදා ට එළිය වැටුණේ කල් ඇතිව ම ය. නැතහොත් ඒ රැයේ සියපත් ට හරි නින්දක් වූයේ නැත. හැමදාම හමු වෙන කෙනෙකු වෙනුවෙන් වුණත් බලාපොරොත්තුවක් දල්වා ගෙන හිඳීම තිගැස්මක් දනවයි. ඒ බලාපොරොත්තුවේ පහන අවට ආලෝක කදම්බයක් වැටී දීප්තිමත් ව ඇති අයුරු අයස්කාන්ත ය. ඇය ට සදාතන කහවණුගොඩ වෙනුවෙන් පිළිගන්වන්නට අවැසි රස බොජුන් සංග්‍රහයක් ම නොවේ. එක පුංචි සිහින මල්ලකි. ආදරය පිරි දෑසකින් හෙලනා බැල්මකි. අංශුවක් ගානේ, සෛලයක් ගානේ ස්නායුවක් ගානේ සෙනෙහසින් සන්තෘප්ත වූ හදවතකි.
ඇය උදයෙන් ම ගේ දොර පිරිසිඳු කළා ය. අතු පතු ගෑවා ය.
“බාස් කෙනෙක් බලල ගෙයි වැඩේ බාර දෙමු තාත්තෙ”
බලාපොරොත්තු වලින් ද ආශාවන් ගෙන් ද සුසර වූ සරකින් කීවා ය.
“ඔය තරමට මොනා අස් කරනවද…මේ ගේ දැකල නැති කෙනෙක් එනව නෙවේනෙ”
පංකජී අක්කා ව අවුස්සා ගනු වස් කීවා ය. නමුත් සියපත් බැල්මක්වත් හෙළුවේ නැත. වෙන කාට නැත ද සදාතන ගැන නංගී ට රහසක් සඟවන්නට නැති තරම ය. ඔහු ගැන කියත්දී පංකජී ගේ මූණට එන සිනහවත් බැල්මත් හොරයක් අල්වා ගත්තා වාගේ එකකි. සියපත් හැම විට ම ඒ බැල්ම මගහරී.
සුජීවා උදේ සිට ම ඉව්වා ය. ශාන්ත අත් උදව් දුන්නේ ය. කෑම සුවඳ අහල පහළ සුළඟේ මුහු වී තිබිණි.
සදාතන ආවේ දහයට විතර ය. මෝටර් රථය මිදුලේ නතර වන විට ගෙදොරකඩ උළුවස්සට හේත්තු වූ සියපත්, ඔහු රියෙන් බහින විට මිදුලට බැස සිටියා ය. සදාතන ව ඇයට පෙනුණේ කුමාරයෙක් වාගේ ය. ඇය දෑස් පුරා ඔහු දෙස බලා සිටියා ය. ඒ සිහින් ඇස් මත අලුත් සිනහවක් තැවරී තිබිණි. ඔහු මේ තරම් කඩවසම් ව පෙනෙන්නේ කොහොම දැයි ඇය ඇස් පිය සලා සිතුවා ය.
“නංගිට පොඩි ගිෆ්ට් එකක් ගෙනාව. එදා කලබලේට එහෙම දෙයක් කරන්න බැරි වුණානෙ”
සදාතන සියපත් අත පුංචි ලස්සන බෑගයක් තැබුවේ ය.
“මට ඔයාව පරිස්සං කරල දුන්නට. මීට වැඩිය එයාට සලකන්න ඕනෙ. අපි එයාට හොඳටම උගන්නමු. එයා ඔසී වල හරි වෙන රටක හරි යුනි එකකට යන්න කැමතිනං එහෙම යවමු”
සියපත් දෙතොල් තද කොට ගත් සිනහවෙන් ඔහු දෙස බලා සිටියා ය. ඒ වෙලාවේ ඇගේ හදවත හැඟුම් පොදියකි. ඇයට ඒ එකදු හැඟීමක් හෝ වෙන් කොට හැඳින ගත හැකි වූයේ නැත. සදාතන කෙරේ අතිමහත් ස්නේහයකින් ඈ දෝරෙ ගලමින් සිටිනා බවක් නම් දැනිණ. එය ඇස් තෙත් කරනා හැඟීමකි. ඔහු ඇය ගැන පමණක් නොව ඇගේ දුප්පත් පවුල ගැනත් සිතත්දී, ඔවුන්ටත් කරුණා දයා බින්දුවක් බෙදා දෙත්දී, ඇයට මහත් පූර්ණ බවක් දැනේ. ගෑනු ළමයෙකුට පෙම් කරනා පිරිමියෙකු සෙවීම අසීරු නැත. නමුත් ඇය හදවතින් බැඳී සිටිනා සියල්ලක් ද තමන්ගේ කියා පිළිගත හැකි පිරිමියෙකු සොයා ගැනීම අසීරු නොව දුෂ්කර ය. ගැහැනු සිතක් එවන් සුව කලාපයක අතිශය සැහැල්ලුවෙන් බව බොහෝ පිරිමින් දන්නේ ද නැත.
“මට මොනාද ගෙනාවෙ…”
අවසන ඇය දෙතොල් හැඩ කොට හුරතල් සරකින් ඇසුවා ය. සදාතන ගේ ලස්සන ම සිනහව පිපිණි.
“මං ආවට පස්සෙ තව මොනාද ඉතිං”
“ඔය සදාතන අයියට ගෙට එන්න දෙනවකො. මග නතර කරගෙන ම කේළං කියනවද කොහෙද”
පංකජී දොරකඩ සිට කෑගෑවා ය. සදාතන සිනහ වෙවී පෙරට අඩියක් තැබුවේ ය. සියපත් ට ඔහු ගෙන් ඇස් ඉවත් කොට ගන්නට හිතෙන්නේ නැත. ඒ තරමට ම අද ඔහු ආකර්ෂණීය ය. සැහැල්ලු ය.
“ඔය කොල්ලව ගිලින්නද හිතං ඉන්නෙ…”
පංකජී සියපත් ගේ කනට කොට ඇසුවා ය. ඇය නංගී ගේ අත් ගොබය කෙනිත්තුවා ය.
“ම්…ඔයාට තමයි තෑගි ගෙනත් තියෙන්නෙ. අපිට නෑ”
“ම…ට…”
“සුපුන් එක්ක කරපු වීර ක්‍රියාවට. තව පොඩ්ඩෙන් අයියයි නංගියි වීරයො වෙන හැටි බලන්න තිබුණ”
සියපත් නෝක්කාඩු කීවා ය. ඒ සමග ම ඇයට සනාතන සිහි විය. වියානා එදා පින්තූර පෙන්වූ වෙලාවේ සිට ඔහු ට ද එහෙම කෑම මේසයක් ඕනේ කියමින් සිටියේ ය.
“මං කතා කළා යං කියල. වෙන දවසක එන්නං කිව්ව”
මේ ගමනට එක් වන ලෙස සදාතන සනාතන ට ඇරයුම් කළේ පෙර දා රාත්‍රියේ ය. නමුත් ඔහු අදි මදි කළේ ය.
“බෑ බෑ මන්නං එන්නෑ. අර වියානාගෙ කෝල්ස් වලට මං ආන්සර් කරල අන්තිමට වෙච්ච දේ දැක්කනෙ…තමංගෙ පවුල් ප්‍රශ්න වලට තනියම ෆේස් කරන එකයි”
“ඉතිං වියානා මොකෝ…ඕන්නං බඳින්න පුළුවන්නෙ…ඔය ඉන්නෙ”
සනාතන ඒ කතාව එතනින් නතර කළේ හිතා මතා ම ය. වියානා ව විවාහ කොට ගැනීම සිය යුතුකමක් නොව වගකීමක් බව ඔහු දනී. නමුත් විවාහයකට යන්නට ඇය එකඟ නොවෙන්නට හේතුවක් ඔහු දන්නේ නැත. මුලින් වියානා පිළිබඳ කිසිදු හැඟීමක් නොවී ද සියපත් සම්බන්ධයෙන් ඇය ප්‍රතිචාර දැක්වූ ආකාරය දෙස බලා සිටියදී සනාතන තුළ ඈ ගැන පැහැදීමක් සේ ම අනුකම්පාවක් ද ඇති විය. තමන්ට හිමි වෙන්නට නියමිත දෙයක් වෙනකෙකු ට හිමි වෙන්නට යනවා කියා සිතෙත්දීත් වියානා උපේක්ෂා සහගත වූ අයුරු ගැන ඔහු සංවේදී වෙමින් සිටියේ ය. ඇය වූ කලී ලොකු හදවතක් ඇති සංවේදී ගෑනු ළමයෙකු යයි ඔහුට හැඟෙමින් තිබිණ. එදා රාත්‍රියේ සිය හැඟීම් පාලනය කර ගන්නට බැරි තරමට ඔහු පුපුරා ගියේ ඒ සියුම් සිතිවිලි ද සමග ය. නමුත් වියානා ඒ විදිහට ඔහු ප්‍රතික්ශේප කිරීම සනාතන ට තේරුම් ගත නො හැකි දෙයකි.
ඒ ඉරිදාව සතුට දෝතින් ගෙන ඇවිත් තිබිණ. ශාන්ත සදාතන සමග කුටු කුටු ගා බීර කෑන් කිහිපයක් ද කටගැස්මක් ද ටීපෝව මතින් තබා ගත්තේ ය. සියපත් ගේ ඇස් වල තරවටු බැල්මක් විය. සදාතන දිගට ම සිනහ වෙමින් සිටියේ ය.
ශාන්ත මේසයට තට්ටු කරමින් ජෝතිපාල ගේ ගීයක් ගයන්නට පටන් ගත්තේ ය.
“මේ…සීත සුව දෙන රැයේ…පිපුණ සුවඳ මලේ…දෙඅත ගනිමින් දෙපය තබමින් රඟමු ආදරයේ…මේ සීත සුව දෙන රැයේ පිපුණ සුවඳ මලේ…
ඔබට ලංවී සිටින කල් හී…ලෝකෙම මා තුරුලේ…මේ සීත සුව දෙන රැයේ පිපුණ සුවඳ මලේ…
ඔබගෙ ලොවෙහී පායා හිරු වී…මම ඉමු සියලු කලේ…මේ සීත සුව දෙන රැයේ…පිපුණ සුවඳ මලේ…”
පංකජී බිස්කට් ටින් එකකට තට්ටු කරමින් තාල ඇල්ලුවා ය. මීට පෙර ඒ ගීතය එක වතාවක් හෝ අසා නො තිබී ද සදාතන ඒ මිහිර තුළ කිමිදෙමින් සිටියේ ය. සියපත් මුළුතැන්ගෙයත් ආලින්දයත් අතරේ ආරුක්කුවට හේත්තු වී ගෙන සිනහව තද කර ගෙන බලා සිටියා ය. වරින් වර සදාතන ඇදෙස බලයි. ඔහු මීට පෙර මෙවන් අත්දැකීමකට මුහුණ දී නැති බව ඇයට සහතික ය.
සුජීවා විටින් විට සිනහ වෙමින් ඒ සිනහව ගිල ගත්තා ය. ඇගේ හදවතේ මතක කන්ද පුපුරා යමින් තිබිණ. මුලින් ම ඔහු දුටු දා හලාවත සිට පිටකොටුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ දී, මිතුරන් කිහිප දෙනෙකු සමග ඔහු ගයමින් සිටියේත් ඔය ගීතය ය. ඇය තවත් බිත්තර දෙකක් බැද ටීපෝව මතින් ගෙන ගොස් තැබුවා ය.
“සදාතන අයිය සින්දුවක් කියමු නේ දැං…”
ඒ යෝජනාව පංකජී ගෙනි. සදාතන මූණ රතු කර ගත්තේ ය.
“තාත්ත කියයි. මං සින්දු කියන්න දන්නෑ”
ඔහු සියපත් දෙස බැලුවේ ඇගෙන් පිළිසරණ පතන්නා මෙනි. ඇය දෙතොල් තද කොට ගෙන සිනහ වූවා විතර ය.
“ඒනං බොරු. සින්දු කියන්න දන්නැති වෙන්නෙ කොහොමද…”
“ඇත්තටම දන්නෑ. වොශ් රූම් ගියාමවත් මන්නං සින්දු කියල නෑ”
“අනේ වද දෙන්න එපා පොඩී අයියට”
අවසන සදාතන ව ගලවා ගත්තේ සුජීවා ය. නමුත් පංකජී ආදරයට එකට එක කීවා ය.
“අම්මට මේ තාත්ත සින්දු කියනව අහං ඉන්න ඕන වෙලා”
“මෙයාගෙ කටනං…”
කෑම මේසය රස සුවඳ ඉතිරුණ එකක් විය. සදාතන ඒ ඉදිරියේ සිට ගෙන මොහොතක් බලා සිටියේ ය.
“අපේ සුජීවා ශිල්ප දක්වන්නෙ ඔහොම තමයි”
ශාන්ත විහිළුවක් කළේ ය.
“හැබැයි අම්මට උයන්න පුළුවන් වුණාට දුවලට බෑ හොඳේ”
සියපත් පංකජී ට රැව්වා ය.
“නෑ ඉතිං කලිං කියල තියන්න එපැයි”
“බෙදා ගන්න පුතේ”
සුජීවා සදාතන අතට පිඟානක් දුන්නා ය. ඔහු මේසය ළඟ හිඳ බත් හැන්දක් බෙදා ගත්තා පමණකි. හැම කෙනෙක් ම වට වී ඔහු ගේ බත් පත මාළු පිනි වලින් පිරවූහ. ඒ තරම් කන්නට බැරි බව දැන සිටිය ද ඒ දෝරෙ ගලන ආදරණීය බවට සදාතන රිසි වූයේ ය. විශේෂයෙන් ම සුජීවා ගේ ආදර කරුණාවට ඔහු ලොබ විය. ඉතා ළාබාල වියෙහි දී අහිමි වී ගිය අම්මා ගැන මතකය, සුජීවා ගේ ළෙංගතු බව ළඟ අලුත් විය. ඇය ‘මේව රසයි’ කියමින් තව තවත් බෙදුවා ය.
“සර් ඔච්චර කන්නෑ”
අවසන සියපත් කීවා ය.
“කොල්ලො ටිකක් වැඩිපුර කෑවට මුකුත් වෙන්නෑ අනේ”
“හොඳ වෙලාවට අපේ අම්මට පුතෙක් නොහිටියෙ. හිටියනං පණ යනකං කවයි”
සුජීවා ගේ හිත සනසන්නට කෑවාට අන්තිමට සදාතන ට දැනුණේ බඩ උස්සා ගත නො හැකිවා වාගේ ය. කාලයක් තිස්සේ අහිමි වී තිබි, නමුත් කුමක් දැයි හරියට නො දැන සිටි යමක් ඒ හෝරා කිහිපය තුළ සදාතන ට හමු විය. ඔහු නික්ම ගියේ කිහිප වරක් එසේ කරන්නට ගොස්, තව ටිකක් ඉන්නයි කාගෙන් හෝ ඉදිරිපත් වූ ඉල්ලීමක් නිසා ය.
“මං ආසයි මේ පවුලට…ඒක හරි අවංක ආදරයක්…”
රියට ගොඩ වෙන්නට සූදානම් වී සදාතන හෙමිහිට මිමිණුවේ ය. සියපත් වෙන් ව යන්නට බැරි වේදනාව සඟවා ගෙන සිනහ වූවා ය.
“අපිට සර්ට දෙන්න තියෙන්නෙ ඒ ආදරේ විතරයි”
ඔහු ගියාට පස්සේ මුළු ගෙදර ම ඇසිල්ලකින් පාළු වී ගියේ හරියට කාලාන්තරයක් තිස්සේ හිටපු කෙනෙකු හදිසියේ යන්න ගියා මෙනි. නමුත් සුජීවා ගේ ද ශාන්ත ගේ ද සිත් වල සතුටක් විය. පංකජී ඇයට ලැබුණ වටිනා අත් ඔරලෝසුවේ හැඩ බලමින් සතුටු වූවා ය.
“යන්න හිතෙන්නෑ”
කියා සියපත් ගේ දුරකතනයට වට්සැප් පණිවිඩයක් ආවේ ය. ඇගේ පපුව දැවිණි.
“අනේ ඉතිං…”
යහනේ වැතිර ගෙන ඇය ඉක්මනින් අකුරු කළා ය. ජංගම දුරකතනය දෙස බැලූ සදාතන ඔහු ගේ ලස්සන සිනහව නගා ගත්තේ ය.
“ඉන්න කියන්න පුළුවන් වුණානං!”
රිය අයිනකට කොට නතර කළ ඔහු සියපත් ට ඇමතුමක් ගත්තේ ය.
“ඇත්තටම යන්න බෑ වගේ”
‘යන්න දෙන්නත් බෑ වගේ තමයි’ කියා සිතුණ සිතිවිල්ලට වචන දෙන්නට ඇය ඉක්මන් නොවුණා ය.
“එහෙනං ඉන්න”
“පර්මිශන් නෑනෙ ඉතිං”
ඇය දුරකතනය සවනට වඩාත් තද කර ගත්තා ය. වචන කෝටි ගණනකින්වත් විස්තර කරන්නට බැරි ස්නේහයක් රුධිර සංසරණය හා මුහු වී තිබිණි. සියපත් ගේ කම්මුල් පුපුරු ගැසුවේ ය.
“පරිස්සමෙං යන්න”
ඒ වචන දෙක අතරේ, පිරිමියෙකු වෙනුවෙන් ගැහැනියකට දරා ගත හැකි ප්‍රේමයේ පරිසමාප්තිය තිබූ බව සදාතනට ඉඳුරා විශ්වාස ය!