කාලය ගෙවුණේ හී පහරක වේගයෙනි. සියල්ල සතුටෙන්ම, සිතූ පරිද්දෙන්ම සුබවාදීව නිමවුණායැයි කියන්නට හැකිනම් සිතට සතුටක් බව ඇත්තක් නමුත් ජීවිතයේ සෑම මොහොතක්ම එසේ සුබවාදීව නොගෙවෙන බව අපට අරුමයක් නොවේ.
අනුපටත් උශාලිටත් තම ආදරය සපුරාගනිමින් විවාහයකට එළඹෙන්නට බොහෝ දුක් කම්කටොලු බාධක මග හරින්නට සිදු වූ බව නොරහසකි. එහෙත් සැබෑ ආදරය කෙදිනක හො දිනන බව පසක් කරමින් ෂෝබිතාගේ මරණයෙන් වසර එකහමාරකට පමණ පසුව විවාපත් වන්නට අනුපටත් උශාලිටත් හැකි විය. ඒ දෙමව්පිය ආශිර්වාදය මැදය.
බිරිඳ මිය ගිය, දරුවකු හිඳින පිරිමියෙකුට දුව දෙන්නට බැහැකි කියා තැවුණ රණවීර මහත්මියද, නංගීට ඔයිට වඩා හොඳ කටයුත්තක් කරගන්නට හැකි බවත්, අනුප විසින් නංගීව රවටා ඇති බවට කියා නිවස දෙවනත් කල කිශාල්වත් තමා වෙත නම්මා ගන්නටත්, තමා කෙරේ යහපත් ඇසකින් බලනු පිණිස හරවාගන්නටත් අනුපට මහත් වෙහෙසක් දරන්නට වු බව කිවයුතුමය.
අනෙක් අතට උශාලි වැනි සුන්දර තරුණියක තම නිවසට පිලිගන්නට කුලරත්න නිවස මග බලාඋන්නාය. දුලන්‍යා ඒ සියල්ලටම වඩා උශාලි නිවසට එනතුරු ඇඟිලි ගනිමින් හුන්නාය.
අවසානයේ ආදරණිය හදවත් ද්විත්වයක් සියල් නෑ හිතවතුන්ගේ ආශිර්වාද මැද එකට එක්වූයේ මැයි මාසයේ වසන්තමය සුන්දරත්වයකින් පිරුණු දවසකය. සුදෝ සුදු සාරියකින් සැරසී. සරලව එහෙත් සුන්දරව සරසා තිබූ ලුණුගඟ උද්‍යානය මැදින් තමා වෙත ඇවිද එන උශාලි තුලින් අනුපට ෂෝබිතාගේ මතකය දිග හැරුනේ නැතැයි කිව නොහැක.
එහෙත් අනුප ෂෝබිතාව ඒ මොහොතේ මතක් කරේ ආදරයෙනි. මේ මහාර්ඝ සිත තමා හිමි වූයේ ෂෝබිතා නිසාවෙන් බව අනුප අමතක නොකලාය. අනෙක් අතට ආදරයේ සැබැ අරුත එකිනෙකා සැනසීමත්, එකිනෙකා තේරුම් ගැනිමත් බව තේරුම්ගන්නට කටයුතු සලසවන ලද්දේ ෂෝබිතා විසින් බව අමතක කරවන්නට අනුපට හැකි වූයේ නැත.
ජීවිතය එසේ ගලායමින් විසි එක් වසරක් ගෙවී තිබුනි.
අද කුලරත්න නිවසට සුවිශේෂී දිනයකි.
උදෑසන දෙකහමාර වෙද්දීත් කුලරත්න නිවසේ තිබුනේ පුදුමාකාර කලබලයකි. පිච්ච මල් දැමූ ජල බඳුන අතට ගෙන උශාලි සෙමෙන් පියවර මැන්නේ උඩුමහෙලේ සකසා තිබූ අනුපගේ කාර්‍යාල කාමරය වෙතය. තාත්තාගේ කාර්‍යාල කාමරයේ උන් දුලන්‍යා හැරී දොරටුව දෙස බලද්දී අම්මා සුදු මල් දැමූ වතුර වීදුරුවක් අතින් ගෙන තමා දෙස සතුටත් දුකත් මිශ්‍රිත හැඟීමකින් බලා හිඳින බව දුලන්‍යා දැක්කාය.
දෑස් කඳුලට බරවෙද්දී “අම්මා” යන වදන මුවින් පිටවුනේ ඉකිබිඳුමක් සමගය.
උශාලි දුලන්‍යා වෙත ගියේ දෙනෙත් බිත්තිය දෙසට හරවාගනිමිනි. ඒ බිත්තියේ එල්ලි හිඳ සිනාසෙන්නී ෂෝබිතාය,දුලන්‍යාගේ මවය. තමාට පෙර ඇයට ජීවිතය දුන් මවය.
“පහණ පත්තු කරල අම්මට වැඳල යන්න පුතේ”
උශාලි කිව්වේ දුලන්‍යාගේ උරහිසට අත තබමිනි. විසි එක් වසරකට පෙර ඇයගේ හිස අත ගෑ අන්දමින් දැ හිස අතගාන්නට අපහසුය. ඇය තාත්තා මෙන් උසය. කෙට්ටුය. අම්මා තරම්ම සුන්දරය. උශාලි තරම්ම නිවුණු සැනහුණ ගුණ ඇත්තීය.
දුලන්‍යා අම්මා අත වූ මල් බඳුන ගෙන අම්මාගේ ජායාරූපය අද්දරින් තබා පහන දල්වා වැඳ සමුගත්තාය. අනතුරුව උශාලි වෙත හැරුණාය. බඳා වැලඳගැනීම සෙමෙන් ඉකිබිඳුමක් වන්නට ගෙවුණේ මොහොතකි.
“මෙච්චර හොඳ දවසෙ අඬන්න තියාගන්න එපා පුතේ”
ඒ වදන් කියද්දී තමන්ගේ හඬ ද හිඳී යනු උශාලිට දැනුනි. තම දියණියගේ විවාහය දිනය ඕනෑම අම්මා කෙනෙකුට යලි යලිත් මතක් කරමින් සතුටෙන් හඬන්නට හේතු කාරණා සපයන්නක් බව අමුතුවෙන් කියා දිය යුතු නොවේ. මේ විසි එක් වසරකට පසු එළඹී තිබෙන්නේ ඒ දුකත් සතුටත් එකට කැළතුණ සුන්දර දිනයයි.
“අම්මා ඉඳියෙ නැත්තම් අපිට මෙච්චර හොඳ දවසක් එන්නෙ නෑ අම්මෙ. තැන්ක්‍යු වෙරි මච්”
මේ පාසල් යන්නට පටන් ගත් පසු අඬමින් විත “ඉස්කෝලෙ ලමයි මට විහිලු කරනව අම්මල දෙන්නෙක් ඉන්නවා කියල” පවසමින් හැඬූ කෙලි පොඩිත්ත බව උශාලිට මතකය.
“ඉතින් අම්මල දෙන්නෙක් ඉන්න එක කොච්චර ශෝක්ද? අනිත් හැමෝටම ඉන්නෙ එක අම්මයි. ඔයාට අම්මල දෙන්නෙක්ම ඉන්නවනෙ” කියමින් තමා ඇයව සැනසූ අයුරු මේ ජීවිත කාලය පුරාවටම අවසන් හුස්ම හෙලන මොහොත තෙක්ම මතක තබාගන්නට තිබුණොතින් ඒ හොඳටම ප්‍රමාණවත්‍ය.
දුලන්‍යාට සැරසෙන්නට සූදානම් කර තිබුනේද ඇයගේ විවාහ මංගල්‍ය උත්සවය පැවැත්වෙන ගෝල් ෆේස් හෝටලයේම කාමරයක වීම පහසුවකි. මැයි මාසයේ හොඳින් ඉර පායා තිබෙන දවසක සුන්දරව සැරසී හුන් මව් දෙමව්පියන්ද, සහෝදර සහෝදරියන් මැදින්ද ගාලු මුවදොර හෝටලයේ චෙකර් බෝඩ් එක මත තැනූ සුන්දර පෝරුව මත දුලන්‍යා පතිකුලයට එළඹුණි.
පිරිත් කියමින් සඟ රුවන ආශිර්වාද කරද්දී පොල් තෙල් පහන පත්තු කරන්නට පෙර උශාලි විසින් පනවා තිබූ මේසයක් මත තබා තිබුණ ෂෝබිතාගේ ජායාරූපය ඉදිරියේ පහන දල්වා වැඳ වැටෙන දුලන්‍යාගේ හැඟීම්බර ජායාරූපය කැමරා ඇසට හසුකරගවාගන්නට කැමරාකරුට හැකිවිය.
සාද කතා, රස ආහාර සහ නැටුම් ගැයුම් අවසන් වී දුලන්‍යා අතගත් කේමිත සමග හෝටලයෙන් පිටව යද්දී අනුපගේ විසල් පපුව මත මුහුණ සඟවාගමිනින් හඬන්නට වූ උශාලිව තුරුලු කරගත් අනුප අනෙක් අත තම පුතු දෙව්මිත්ගේ කර වටා දමාගෙන තම දියණිය පතිකුලයට නික්ම යනු බලා උන්නේ දෙනෙතේ කඳුලු පුරවාගෙනය.
“හැමදේටම තැන්ක්‍යු”
සියල් වේදනා ශවරය යට දිග හැර රාත්‍රී ඇඳුමෙන් සැරසී සයනයට ආ උශාලිව තුරුලට ගනිමින් අනුප එසේ පැවසුවේය.
“ඇයි තැන්ක්‍යු කිව්වේ?”
“මම මේ තැන්ක්‍යු එක ආයෙ ජීවිතේ කවදාවත් කියන එකක් නෑ. ඒත් මං වෙනුවෙන්, අපි වෙනුවෙන්, අපේ පවුල වෙනුවෙන් කරපු, කරන්න ඉන්න හැමදේටම තැන්ක්‍යු මැණිකේ. ඔයා භාරගත්තෙ බිඳිච්ච මනුස්සයෙක්ව බව මම කවදාවත් අමතක කරන්නෙ නෑ. ඒක ලේසි ගෑණියෙක්ට කරන්න පුලුවන් කැපවීමක් නෙවෙයි. ආපු දහසක් ප්‍රශ්න මැද්දෙ ඔයා මටත් වඩා හයියට ඉඳගෙන මේ පවුල මේ තරම් දුර එක්කන් ආව කැපවීම මට කවදාවත් අමතක නෑ. ඉතින් ඒ හැමදේටම තැන්ක්‍යු”
“මම ඒ හැමදේම කරේ ආදරේ හන්දා කියල ඔයා දන්නවනෙ. ඉතින් තැන්ක්‍යු කියන්න එපා, මට මූලු ජීවිත කාලෙම ආදරේ කරෝතින් ඒ හොඳටම ඇති”
සුදු සඳ එලිය තිබුනේ කාමරයේ හැර දමා තිබුන ෆ්‍රෙන්ඩ් වීදුරු ඔස්සේ කාමරය තුලට එමිනි. මේ කාලයක් තනිකමෙනුත් තවත් බොහෝ කාලයක් ආදරයෙනුත් පිරී ඉතිරුණු කාමරයක් බව සඳ එළිය නොදන්නවා නොවේ. මේකාමරය තුල සැරිසැඎඋ සියලු රහස්ද, අනුරාගයේ කෙඳිරුම්ද, වේදනාවේ ඉකිගැසීම්ද හොඳින්ම දැන හුන් සඳ එලිය මේ ස්තුතිය උශාලිට හිමිවිය යුත්තක්ම බව දැන හුන්නාය.
“ආදරේ කියන්නේ අපි හිතනවනෙ ඉඹින එක, තුරුල් වෙන එක කියල. ඒත් ආදරේ කියන්නෙ අනිත් කෙනාගෙ දුක තේරුම්ගන්න එක බව, අනික්ත් කෙනාව තේරුම්ගන්න එක බව මමත් ජීවිතේ පලවෙනි වතාවට ඉගෙන ගත්තෙ ඔයාගෙන් අනුප. මම ඔයාව හීනෙන් දැකල තියෙනව කියල මම කියල තියෙනව නේද?
ඔයා දුලන්‍යාට ආදරේ කර විදිය, ඔයා ෂෝබිතාට අන්තිම දවස් ටිකේ සලකපු විදිය දැක්කම තමයි මම ඔයාට ආදරේ කල එක ගැන මම මොන තරම් සන්තෝස වෙන්න ඕනද කියල දැනගත්තෙ. ඔයා කොච්චර හොඳ හිතක් තියෙන මනුස්සයෙක්ද කියල මට තේරුණේ.
ඉතින් මමයි ඔයාට තැන්ක්‍යු කියල කියන්න ඕන”
ඒ ඇස්වල තවමත් රැඳී තිබෙන්නේ මුල්ම වරට ඇයප සිපගත් දිනයේ දුටු අවිහිංසක කම බවත්, මනුසත්කම බවත් උශාලිගේ නෙත් වෙතට එබී හුන් අනුප දුටුවේය.
අනෙක් අතට ගෙවුණු කාලය පුරාවට ගැඹුරු කුහර දෙකක් මෙන් පෙනුන අනුපගේ දෑස පෑදී නිල් දිය පිරි දිය කඩිත්තක් තරම් සුන්දරව උශාලිද දුටුවාය.
උශාලිගේ නලලත මත තැවරුණේ නින්දට පෙර ලැබෙන සුපුරුදු හාදුවය. එහෙත් ඒ හාදුව මත ඊයේ රැයට වඩා ආදරයක් තැවරී ඇති බව උශාලි දැන හුන්නාය.
ඉතින් ආදරය එහෙමය.
තැවුණු, රිදුණු, බිඳුණු හිත් සුවපත් කරමින් අප වටා සැරසමින් හිඳී.