“මේ මොකද්ද?”
ප්‍රභාත් විසින් පෙන්නන්නට යෙදුනේ මෙයට වසර ගණනකට එහායින් තමා කල වරදක ප්‍රතිපලය. ඒ වරදින් එවන් ප්‍රතිපලයක් ඉතිරි වී ඇතිදැයි කියාවත් තමා නොදැන හුන් බව දැන උන්නේ කැළුමිණී පමනකි.
මෙතෙක් වේලා අතේ එල්ලී තිබුන අත් බෑගය බිම වැටුනේත්, ප්‍රභාත්ගේ අතින් දුරකතනය අතට ගෙන එහෙමම කැළුමිණී සෙටිය මත ඉන්දවුණේත් අනිච්චානුගවය.
නිම්න පිළිබඳ රහසක් තමා විසින් පසුසිය වසර ගණනාව පුරාවටම ප්‍රභාත්ගෙ සඟවා තබන්නට උත්සහ ගත් බව සැබෑවකි. එහෙත් ඒ අතීතය විසින් මෙව නටඹුන් සුරැකිව තබා ගන්නට ඇතැයි සිතා නොවේ. නිම්න ගැනත් ඔහු සමග තමාට තිබුන යම් තාක් දුරකට විහිදුන කායික සබඳතාවය ප්‍රභාත්ගේ සිත බිඳ දැමීමටත්, ඔහුව තමාගෙන් ඈත් කරවීමටත් එය හේතුවක් කරගනු ඇතැයි සිත තුල තිබූ බියය.
එහෙත් මේ ඒ නොකී කතා සියල්ල නොකීම ගැන පසුතැවෙන්නට පැමිණ ඇති කාලයකි.
“ඔයාට…ඔයාට කොහෙන්ද මේක?”
තමාගේ කටහඬ වෙව්ලුම්කන බවක් දැනුනද ඒ ප්රශ්නය ප්‍රභාත්ගෙන් අසන්නට සිත දැඩි කරගන්නට අපහසු වූයේ නැත. අනෙක් අතට ඒ ප්රශ්නය අසා දැනගැනීම තමන් සතු අයිතියක් නොවේද?
එහෙත් ප්‍රභාත්ගේ මුහුන දෙස කෙලින් බලන්නට බැරි හැඟීමක් සිත කොණිත්තන වගක් කැළුමිණීට දැනේ. ඒ තමන් විසින් මේ පිලිබඳව ප්‍රභාත් ව කලින් දැනුවත් කර නොතිබීම ගැන පෙලෙන වරදකාරී හැඟීමකි.එයින් මිදෙන්නට තමාට අපහසු තැන වඩා පහසු “දෙය නම් ප්‍රභාත්ගේ මුහුණ දෙස නොබලා හිඳීමය.
“මට කොහෙන්ද ආවෙ කියන එක නෙවෙයි ඕයි මම අහන්නේ? මේ මොකද්ද? තමුසෙ මේ කවුරු එක්කද මෙහෙම ගියේ? ඇයි මට මේ ගැන කිව්වෙ නැත්තෙ?”
ප්‍රභාත් ගේ හඬත් වෙව්ලන්නේ කෝපයත් කලකිරීමත් මුසු වූ හැඟීමකිනි. එය හඳුනාගන්නට අපහසු නොවේ.
“කතාකරනවා කැළුමිණී මේ කවුද? කවුරු එක්කද තමුන් මෙහෙම ගියේ?”
කියන්නට කිසිත් නොමැති තැන දෑස්වලින් කඳුලු වැක්කෙරෙද්දී වුව නිහඬව උන්නට සිතා හුන්නද ප්‍රභාත් විඩෙන් විඩේ අසන එකම ප්රශ්නය තවදුරටත් නිහඬතාවයෙන් මගහරින්නට බැරිවග ඉතින් පැහැදිලිය. එහෙත් ඇත්ත පැවසීමට මෙතරම් අපහසු ඇයි? යමක් කීම වැලැක්වීම පිණිස මෙන් දෙතොල් එකිනෙක තදින් බැඳී තිබෙන්නේ ඇයි? කම්මුල් දිගේ වැගිරී ආ කඳුලුවල ලුණු රස දෙතොල් මත ඉහිරී මුවට ගෙන එන්නේ ලුණු රසකි. ඒ ලුණු රස පිපාසයක් දනවයි. එහෙත් ඒ වතුර බිඳක් පානය කරනට අවැසි පිපාසයක් නොවේ. දෙපතුල ලඟ වැටී හෝ සමාව ඉල්ලා යලිත් වරක් ප්‍රභාත්ගේ විශ්වාසයත්, ආදරයත් දිනා ගන්නට සිත අයදින පිපාසයකි.
“කවුද මේ? තමුසෙ කවුරු එක්ක බුදියගන්න එකක්ද මේ රෙකෝඩ් වෙලා තියෙන්නේ?”
ප්‍රභාත් කලේ ඇසීමක් නොවේ කෑගැසීමකි. එය වියරුවෙන් කල කෑගැසීමකි.
තම දෙපා ගල් වී ඇති බවත් හිඳ ගෙන හිඳිනා තැනින් නැගිටින්නට අපහසු බවකුත් දැනුනද ප්‍රභාත්ගේ කෑගැසීම කුඩා ගෙමිදුල් වලින් වෙන් වී ඇති නාගරික නිවෙස් අතර ඇසේය යන බිය සියල්ලටම පෙර සිතට රිංගුවාය.
“අනේ කෑ ගහන්න එපා ප්‍රභාත්, අහල පහල අයට ඇහේවි”
කැළුමිණී ඒ වදන් පැවසුවේ බිඳුණු හඬකිනි. ඒ හඬට වඩා තමා විසින් නොකී කතාවන් නිසාවෙන් ප්‍රභාත්ගේ හිත බිඳී ඇති බව සැබෑවකි.එහෙත් මේ කෑ කෝ ගසා විසඳාගත හැකි අන්දමේ ගැටලුද?
අනෙක් අතට වර්තමාන ආදර කතාවකට මෙතරම්ම බලපැමක් කරන්න අතීතයේ හැරදමා ආ මතකයකට හැකියාවක් තිබේද?
“කෑගහන්න එපා? කැගහන්න එපා කියල මට කියන්න එපා. තමුසෙ මෙච්චර දේවල් මෙච්චර කාලයක් තිස්සෙ මගෙන් හංගගෙන ඉඳල මට කියනවද කෑ ගහන්න එපා කියල. අහල පහල අයට ඇහේවි? අහල පහල උන්ට ඇහේවි නෙවෙයි උන් තව ටික කාලෙකින් මේව දැක්කයින් පස්සෙ කොහොමත් දැනගනී උඹේ කෙරුවාව ගැන.
ලැජ්ජ නැද්ද යකෝ උඹට මෙහෙම බොරු කියන්න? පත්තිනි අම්ම වගේ මං ඉස්සරහ රඟපාද්දි උඹට නිකමටවත් හිතුනෙ නැද්ද මෙහෙම බොරු කියන්න හොඳ නැති බව?”
මෙතෙක් දවසක් ආදරයෙන් ඇමතූ ආමන්ත්රණ සියල්ල වෙනස් වෙද්දි ප්‍රභාත්ගේ මුවින් මේ වසර හතර පුරාවට කිසි දිනක අසන්නට නොලැබුණ වදන් ඔස්සේ කැළුමිණී උන්නේ තිගැස්සීය. ලෝකය තමාත් සමගින් දෙදරා ගැඹුරු ආගාධයකට ඇද වැටෙනු දැනුනද සිරුර අභ්‍යන්තරයේ හිඳ නැගී ආ සීතලකින්දෙපා ගල් වී තිබෙන නිසාවෙන් නැගී හිඳින්නට බැරි බවක් කැළුමිණීට දැනේ.
“තමුසෙ..තමුසෙ මට කිව්වෙ ඌ එක්ක යාලුවෙලා හිටිය විතරයි, කොහෙවත් ගියේවත් නෑ, අතින්වත් අල්ලල නෑ කියල නේද?
දැන් එතකොට මේ කවුද ඉන්නේ? තමුසෙ දන්නවද ඔයි එදා නිමේෂ්ගෙ පාටි එක දවසෙ කෝසලට උඹව දැක්කම තමයි මතක් වෙලා තියෙන්නෙ ඔක්කොම.
උගේ අයියගෙ ගෙස්ට් හවුස් එකටලු නේද උඹ අරූ එක්ක ගියේ?”
ඇයි යකෝ මේව මට කිව්වෙ නැත්තෙ? මම විශ්වාස කරේම නෑ කෝසලය කියද්දි. මම ඌට බැන්නම තමයි ඌ මට මේ වීඩියෝ එක එවල තිබුනෙ.
ඇයි මට මෙහෙම කරේ? ඇයි උඹ මට මෙහෙම කරේ?”
එහා පස වූ පුටුව මත ඇද වැටුණ ප්‍රභාත් හිසේ අත් දෙක ගසාගෙන එසේ අසද්දීත් කැළුමිණී උන්නේ නිහඬ සීතලකින් මිදීය. ඒ සීතලෙන් මිදී ප්‍රභාත් අසලට ගොස් ඔහුව සනසනු තබා තමාගේ දෙනෙතින් වැටෙන් අකඳුලු පිසදා ගත යුතු බවටවත් නිනව්වක් කැළුමිණීට තිබුනේ නැත.
එහෙත් හිත නිහඬ නොවේ.
“කෝසලයගෙ අයියගේ ගෙස්ට් හවුස් එකක් තියෙනව. එතන බය වෙන්න දෙයක් නෑ” කියමින් මිතුරෙකුගෙන් ඉල්ලාගත් මෝටර් බයිසිකලයක් නිම්න හා ගිය ඒ ඉරණම් ගමන කැළුමිණීට තවම අමතක නැත. එහෙත් එ ගමනේ ප්‍රතිපලය වසර හතරකට පමණ පසු තමා වෙත මේ ලෙසින් බූමරංගයක් වී එත හැකියැයි තමා කිසිදිනක සිතා නොතිබුණි.
අනෙක් අතට ප්‍රභාත් විසින් කලබල විය යුත්තේ තමා විසින් ඔහුට මේ සියල්ල රහසක් ලෙස තබා ගැනීම නොවේ නේද? ඔහු කලබල විය යුත්තේ තමාගේ පැරණි ආදර කතාවේ සලකුණු වෙනත් දෑසකට හිමි කැමරාවක සටහන් වී තිබීම ගැනය. ඔහු විසින් එයට එරෙහිව නැගි සිටිය යුතු නොවේද?
ඔහු විසින් මේ මොහොතේ කල යුත්තේ කෝසල යන පුද්ගලයාව නීතිය ඉදිරියට රැගෙන යාම නොවේද? “බයවෙන්න එපා බබා මම මේක මෙතනින්ම ඉවර කරල දානවා” යැයි පවසා තමාව අස්වැසීම නොවේද?
එදා නිමේශ් ගේ විවාහ සංවත්සර උත්සවයේදී තම ලුහුබැඳි ඒ දෑසේ හිමිකාරිත්වය මෙනෙහි කරගැනීමට කැළුමිණීට අපහසු වූයේ නැත. නිම්න සමග ගෙස්ට් හවුසියට ගිය හැම වරකම පාහේ එහි ලොබියේ හිඳි නිම්නගේ මිතුරා කෝසලය. ඔහුගේ දෙනෙත තම දෙනෙත මට ගැටෙනු වැලැක්වීමට ලැජාව සහ අපහසුතාවය නිසාවෙන් දෙනෙත් බිමට බරකරවාගෙන උන් මොහොතක වුව අහම්බයකින් මෙන් ඔහුව දුටුවා මතකය.
ඒ දෑස නිමේශ් විවාහ සංවත්සර උත්සවයේදී තමා ලුහුබඳිද්දී සිතට පිවිසි ආගන්තුක හැඟීම, සිත බියපත් කල හැඟීම්වලට තේරුමක් තිබී ඇති බව කැළුමිණීට සිතුනේත් තේරුණේත් මේ දැන් ය
ඒ සියල්ලටම වඩා තමා මේ මොහොතේ ලටයුතු කල යුත්තේ මේ වීඩියෝ පට වෙනත් අයෙකු වෙත සංසරණය වීම වලක්වාගන්නටය. මෙතෙක් කාලයක් පුරාවට ඔහු විසින් තමා ඇතුලු තව බොහෝ කෙල්ලන්ගේ නිරුවත් රූපරාමු මෙසේ පටිගත කර තබාගෙන ඇති බව නොරහසකි. ඔහුව ඒ ඔස්සේ නීතිය ඉදිරියට ගෙන ආ යුතුය.
ප්‍රභාත්ගෙන් සමාව ඉල්ලා ඒ සඳහා කටයුතු සකසා ගත යුතුය.
තමා අතීතයේ වරදක් කල බව සැබෑවකි. අනෙක් අතට තුරුණු හැඟුම් මල් මෙන් පිබිදෙන සමයක ඒ මල් වලට නිදහසේ පිබිදෙන්නට ඉඩදිම වරදක්ද?
තමා විසින් ඒ සියල්ල ප්‍රභාත්ගෙ සැඟවීම වරදකි. ඒ වරදේ සියලුම වගකීම තමා භාරගන්න බව පවසා ප්‍රභාත්ගෙන් සමාව ඉල්ලා ගත හැක. මහමෙරක් තරම් ආදරය දුන් මිනිසෙකුට අතීතයේ වූ මෙවන් දෙයක් නිසාවෙන් වසර හතරක ආදර විවාග අන්දරය අමතක කර දමන්නට නොහැක.
කැළුමිණී ප්‍රභාත්ට ලං වූයේ ඒ සිතුවිල්ල නිසාවෙනි.
“අපි දැන් මොකද කරන්නෙ ප්‍රභාත්? ඒ වීඩියෝ එක අපි කොහොමද එයාගෙන් අරගන්නේ? එයා ඒක කොහේ හරි පබ්ලිශ් කරොත් මම මොකද කරන්නේ?”
තමන්ගේ වෙව්ලුම් කන හඬ අතරින් හිස ඔසවා බැලූ ප්‍රභාත්ගේ දෙනෙතේ ඇඳී තිබුනේ දරාගත නොහැකි නිහඬ බවකි. අඳුරකි ගැඹුරකි.
“මම ගෙදර යනවා කැළුමිණී. මට මේක ටිකක් දරාගන්න අමාරුයි. මම මේ වීකෙන්ඩ් එකේ ගෙදර ඉඳල එන්නම්. අයෑම් සොරි”