දෙහිතක කතාවක් 04

“අනේ මන්දා ලමයො අපේ අම්ම මුත්ත කාලෙවත් මෙහෙම දේවල් අහල නෑ අපි. වෙන ගෙවල්වල නම් රණ්ඩු සරුවල් වෙලා ගෙදරින් පිටවෙල යන්නෙ ගෑණි නෙ. මේකෙ ඒකෙ අනිත් පැත්ත”

‍මුතුකුඩආරච්චි මහත්මිය පැවසුවේ හැඳ සිටි ගවුම් කරෙන් බෙල්ලේ වූ දහදිය බිඳු කිහිපයක් පිසදා ගනිමිනි. කැළුමිණී මේ ගමන ආවේ හිතකින් නොවේ. මේ තමා විසින් ආ යුතුමදැයි සිතිය යුතු ගමනකි. එහෙත් සිකුරාදා රැයේ තම නිවස හැරදමා තමන්ගේ මව් පියන්ගේ ගෙදර ගිය ප්‍රභාත් කිසිදු දුරකතන ඇමතුමකට නොඅමතද්දීත්, කෙටි පණිවිඩයකට හෝ වට්සැප් පණිවිඩයකට පිලිතුරු නොඑවද්දීත් මේ ගමන නොගොස් සිටින්නට බැරිකමක් කැළුමිණීට තිබුනේ නැත.

අනෙක් අතට කුමනාකාරයේ වරදක් සිදු වුවද ප්‍රභාත් විසින් තම දෙමව්පියන්ට ඒ සියල්ල එයාකාරයෙන්ම පවසා ඇතැයි කැළුමිණී අපේක්ෂා කරේද නැත.

එහෙත් ප්‍රභාත් විසින් තමාව තම විවාහක පාර්ශ්වයේ නෑයන් ඉදිරියේ පහත හෙලා ඇති බව දැනෙද්දී කැළුමිණී උන්නේ මහ හයියෙන් හඬන්නට උවමනාවකිනි. එහෙත් තමන් විසින් මෙතන කොපමණ හඬා වැලපුණද මේ මිනිසුන් කිසිසේත්ම තම හිත නිවාලන වදනක් වුව පවසන්නට මහන්සි නොවන බව තේරුන නිසාවෙන්ද ඒ කඳුලු හිත අස්සේම සිරකරගෙන ඉන්නට කැළුමිණීට සිදුවිනි. 

ඒ වනාහී හිස රිදවන්නට හේතු වන කාරණාවක් බව නොදන්නවා නොවේ. එහෙත් කරන්නට දෙයක් තිබුණේ නැත.

“අනික් එක ඉතින් මේව මේ මල්ලිට ගෙදර එන්න නෙවෙයි මැරෙන්න හිතෙන කාරණාවක්නේ”

මෙතෙක් වේලා එකිනෙකා අතර ඌ නිහඬතාවය බිඳ වැටුණේ ප්‍රභාත්ගේ අක්කා ප්‍රභාශිනීගේ කටහඬිනි. ඒ හඬේ තැවරී තිබුන අපවාදය, සමච්චලය තේරුම් ගන්නට අපොහොසත් නොවුවද නිහඬව හිඳිය යුතු බවට සිත හෙමෙන් සැරේ කියමින් උන්නාය.

වෙනදාක නම් අක්කා විසින් සිත රිදවන යමක් කියූ විට ඇයට පෙරලා යමක් කියුවද අද ප්‍රභාත් උන්නේ නිහඬව එහා කෙලවරක වූ අසුනක වාඩි වී දුරකතනය ඔබමිනි. ඔහු උන්නේ මේ තමන් අසල සිදුවන කතාබව තමාට කිසිසේත් අදාල නොවන කතාවක් මෙනි. මේ කිසිත් නොඇසුනාක් මෙනි. මුතුකුඩාඅරච්චි මහත්මියත්, එම මහතාත් තම දියණිය විසින් ලේලියගේ හිත රිදවන පිණිස කී වදන් නොඇසුණාක් මෙන් තනි වරද කැළුමිණී මත පටවා ඈත දිගන්තය දෙස බලා හිඳී.

ඒ මොහොතේ ඒ වටපිටාවේ වූ නිහඬතාවය දරාගත නොහැකි තරම් වුව කල හැකි කිසිවක්, කිව හැකි කිසිවක් ගැන පැහැදිලි අදහසක් කැළුමිණීට තිබුනේ නැත. 

“හැබෑටම ඇයි ළමයො ඔයා මෙව්ව මෙහෙම අපෙන් හංගන් උන්නෙ? මං කියන්නෙ අපෙන් හැංගුවත් පුතාගෙන් හැංගුවෙ අහවල් එහෙකටද? සුලුපරු වරදක්ද තමන්ගෙ කසාද මනුස්සයගෙන් මේ වගේ දේවල් හංගන එක. අනික රටේ ලෝකෙ මිනිස්සු මේව දැනගත්තොතින් අපි කොහොමද ලෝකෙට මුණ දෙන්නෙ? ඔය අලමයට වගේ නෙවි අපිට මූණ දෙන්න නෑ පරපුරක්ම ඉන්න බව ඔය ළමය ඉතින් නොදන්නව නෙවෙයිනෙ”

ඒ නිහඬතාවය බිඳින්නට මෙන් මුතුකුඩාඅරච්චි මහත්මිය වචන ගැලපුවද ඒ වචන මේ මොහොහේ තමන්ගේ සිත දෙදරවන හැඟීම් සමනය කරනු පිණිස ගලපාගන්නේ කෙසේද යන්න ගැන පැහැදිලි අදහසක් කැළුමිණී දැන හුන්නේ නැත.

“දැන් ඔය කියන වීඩියෝ ඔය ලමයි මේ ඉන්ටර්නෙට් එකට වගේ දැම්මොත් අපි මොකද කරන්නේ?”

“මල්ලිට පාරෙ බැහැල යන්නවත් වෙන්නෙ නැති වැඩක් තමයි ඉතින් ඒක. ඔහොම තමයි ඉතින් මව් දෙමව්පියො නැතුව හැදුනම”

මේ සියලුම වදන් වල බර පැන දරන්නට වන්නේ තමන්ට බව සිහිපත් වෙද්දී තවදුරටත් නිහඬව හිඳින්නට හැකියාවක් කැළුමිණීට තිබුණේ නැත.                

“මම ප්‍රභාත්ව බැන්දට පස්සෙ කවදාවත් වරදක් කරලවත්, ප්‍රභාත්ගෙන් කිසිම් දෙයක් හංගලවත් නෑ අම්මෙ. ප්‍රභාත් මට එහෙම එකේ මෙහෙම කරන එක කොච්චර වැරදිද? කසාද බැඳල ගෙවිච්ච අවුරුදු හතරෙ මගෙන් වෙච්ච වරදකට මෙහෙම කරානම් මම දුක් වෙන්නෙ නෑ. මම ප්‍රභාත්ව හම්බෙන්නත් කලින් මට තිබ්බ වෙන සම්බන්ධයක් ගැන කියල ප්‍රභාත් මෙහෙම හැසිරෙන එක වැරදි නැද්ද?”

කඳුලු සිරකරගෙන ඉන්නට උත්සහ කලද එය කල හැක්කක් නොවේ. කම්මුල් දිගේ ඇද හැලෙමින් තිබූ කඳුලු වරුසාව පිටි අල්ලෙන් පිසදා ගනිමින් කැළුමිණී උත්සහ කලේ කටහඬේ කිසිත් වෙව්ලීමක්, බියපත් බවක් සහ බැගෑපත් බවක් ඇති නොවනු වලක්වන්නටයි.

“ඒ උනාට ලමයො ගෑණු ලමයෙක් උනාම චරිතෙ හොඳ නැතෙයි කියන එක කසාද බඳල අවුරුදු ගාණක් ගියත් බලපානවා. ඔය ළමය අනික් එක ඒ කතා අපෙන් හංගල මේ කාරණාව කරගත්ත එකම අපිව ලොකුවට රවට්ටපු එකක්නෙ. එහෙම රවට්ටල කාරණා කරගත්තම ඉතින් කවදහරි මේ වගේ ප්‍රශ්නවලට මූණ දෙන්න වෙනවා. අනේ මන්ද දැන් ඉතින් මොනව කරන්නද කියල මේකට? ඒ උනාට ඉතින් මම නම් කියන්නේ මේ වෙලාවෙ ඉතින් පුතා කියන දෙයක් කරනව ඇරෙන්න අනේ මන්දා ඉතින් මොනා කරන්නද කියල?”

කැළුමිණී උන්නේ ඒ කතාබහෙන් සසල වූ සිත මහමෙරක් සේ දරාගෙනය. ඒ දරාගැනීම තමා විසින් කල යුතුමද යන්න පවා පැනයක් වුවත් තමන්ගේ සිත දවා හලුකරමින් ලෝ දිය ගංගාවක් මෙන් ගලායන මේ දුක වෙනත් අයක්‍ය් සමග බෙදා ගැනීමේ උවමනාවක්ද, බෙදා ගන්නට හැකි වෙනත් අයෙකුද තමාට නැති බව කැළුමිණී දැන උන්නාය.

මේ ගෙවුණ කාලය පුරාවටම තමාගේ ලෝකය කැරකී තිබෙන්නේ ප්‍රභාත් කේන්ද්‍ර කරගෙන ඔහු වටා බව කැළුමිණී තේරුම් ගත්තේ ඒ මොහොතේය.

ප්‍රභාත් නිවසට ආවේ මව් දෙමව්පියන්ගේ කියමන් මැද බව තේරුම් ගන්නට කැළුමිණී අපොහොසත් වූයේ නැත. සුපුරුදු පරිදි උදෑසන නැගිට කෑම පිස දුන්නද ප්‍රභාත් සහ තමා අතර නොබිඳිය හැකි මහා ප්‍රාකාරයක් ගොඩ නැගී ඇති බව තේරුම් ගනිමින් වුව කැළුමිණී උන්නේ ඒ ප්‍රාකාරය හෙට විනාශ වී ගොස් සුපුරුදු පරිදි ප්‍රභාත් සමග ආදරයෙන් බැඳෙන්නට දිනක්, ඉඩක් එතැයි සිතමිනි. බලාපොරොත්තු තබා ගනිමිනි.

ඒ දිනය කොපමණ දුරැති වුවද ඒ දිනය එනතුරුම තමාට ආදරයේ නාමයෙන් බලා හිඳින්නට හැකි බව පමණක් කැළුමිණී දැන උන්නාය. සියලුම රාත්‍රින් ගෙවුණේ කඳුලින් බරවය. ජීවිතයේ සමරන්නට තිබූ විශේෂ අවස්තාවන් ගෙවුණේ සුසුමින් බරවය. සිව්වන විවාහ සංවත්සරය ආවේ එයත් සමගය.

ගෙවුණ දින කිහිපය තුල කෙතරම් උණුසුම් බවක් සිත තුල සහ නිවස තුල වුවද කැළුමිණී සියලු වැඩ දහවලේම අවසන් කර සූදානම් වූයේ ප්‍රභාත් වෙනුවෙන් රාත්‍රී ආහාරය සඳහා විශේෂ යමක් පිලියෙල කරනු පිණිසයි. මේ ප්‍රයත්නය තමා විසින් නොසිතා ප්‍රභාත්ගේ සිත මත ඇති කල ඉරිතැලීම සහමුලින්ම මකාලන්නට හේතුවක් නොවුවද දියේ ගිලෙන්නට යන මිනිසා පිදුරු ගහක එල්ලීම වුව කරන බව කැළුමිණී ඉගෙන ගත්තේ පසුගිය කාල වකවානුවේය.

කජු දමා බත් සැකසුවේ ඒ ප්‍රභාත්ගේ ආසම බත් වර්ගය බව දන්නා නිසාවෙනි. පරිප්පු හින්දුමත්, ලෙමන් චිකන් දීසියත් සකසා සලාදය සකසන්නට කැළුමිණී සලාද කොල සහ ගර්කින් ගෙඩිය සෝදා එලවලු කුඩය මත තැබුවාය. අන්නාසි ගෙඩිය ලෙලි ගසා ගෙන තිබීම සියල්ල පහසු කරවන්නකි. උල් තුඩ සහිත පිහිය ගෙන අන්නාසි ගෙඩියේ දෙපස රැස්ස යවා ලෙලි ගසා ඒ ලෙලි කුණු කූඩයට දැමුවාය.

දොර සීනුව නාද වූයේ සලාද කොල කඩා සලාද දීසියේ අතුරා ගර්කින් කොටු කපා බඳුනට දමා අන්නාසි ගෙඩිය කපන්නට සැරසෙද්දීය.

ඒ ප්‍රභාත් බව සහතිකය. ඔහු හැරෙන්නට එන්නට කිසිවෙකු නොමැති බව කැළුමිණී හොඳාකාරවම දනී. ගවුම වටා ඔතාගෙන උන් ඒප්‍රණය ගලවන්නටවත් පමා නොවී නිවසේ ප්‍රධාන දොර වෙත නික්මුණේ කිරිල්ලියක මෙනි. සතුටෙනි. ප්‍රභාත්ගේ මුහුණේ සිනහවක් දකින සුපුරුදු හැඟීමෙනි.

විවර වුණු දොර ඉදිරියේ ප්‍රභාත් උන්නාය.

සුපුරුදු සිනහව මුව මත ඇඳී නොතිබුනාය. එහෙත් මෙතෙක් දිනක් ප්‍රභාත්ගේ දෙනෙතේ නොදුරු දීප්තියක් එහි විය. මුහුණ මත කොපමණ අන්දකාරයක් ඇඳී තිබුනද ප්‍රභාත්ගේ දෙනෙතේ කෙලවරක රැඳී තිබුන ඒ තාරකාමය ආලෝක පුංජය කැළුමිණීගේ සිත මත බලාපොරොත්තු දහසක් දල්වන්නට විය.

“කලින් ආවද?”

ඒ වදන් ප්‍රභාත්ගේ සවන් මත රැඳුණාද කියාවත් අදහසක් නොවුවද කැළුමිණී එයාකාරයෙන් හෝ සිත සනසාගත හැකි වීම ගැන සැනසුනාය.

“ඔයා වොශ් එකක් දාන් එන්න, මම සැලඩ් එක හැදුවම කෑම කන්න පුලුවන්” කියමින් කැළුමිණී මුලුතැන්ගෙය වෙත නික්ම ගියේත් ප්‍රභාත් නිහඬවම කාමරය වෙත නික්ම ගියේත් රික්තයක් එහි ඇතිකරමිනි. එහෙත් කැළුමිණී උන්නේ බුබුලු දමන සතුටකිනි. මෙතෙක් දිනක් ප්‍රභාත්ගේ මුහුනේ ඇඳී තිබූ නොසතුට මදක් හෝ අවම වී ඇති බව දකින්නට ලැබීම එයට හේතුව විය.

අන්නාසි ගෙඩියේ රැස්ස කැපුණේ ඉක්මණිනි. මෙතෙක් දවසක් වේදනාව නිසාවෙන් හිත මේ උල් පිහිය තරම්ම වේදනාවෙන් මුවහත් වී තිබුන බව කැළුමිණීට මතකය. එහෙත් දැන් හිත මදක් හෝ ඒ වේදනාබරින් නිදහස් වී තිබේ.

උගුර පාදන හඬ ඇසුනේ පසුපසිනි. වොශ් එකක් දමා ගැනීමට ගියායැයි සිතූ ප්‍රභාත් මුලුතැන්ගෙයි දොර අසල හිටගෙන උන්නේ කාර්‍යාලයට ඇඳගෙන ගිය ඇඳුම පිටින්මය.

“අප්පා බඩගිනිද? අනේ පොඩි වෙලාවක් දෙන්න ප්‍රභාත්, අන්නාසි එක කැපුව සැලඩ් එක කැපුව ඩිනර් රෙඩි හොඳේ. සොරි අනේ ඔයා පරකු වෙයි කියල හිතල මම සැලඩ් එක හැදුවෙ ටිකක් පස්සෙ”

වෙන දිනක නම් මෙවන් දෙයකට මෙතරම්ම සමාව ඉල්ලීමක් නොකලද පසුගිය දින කිහිපයම ගෙවුණේ සමාව ඉල්ලීම මැදය. මේ වදන් වී මුවින් පිටවූයේ ඒ පුරුද්දය.

“ම්ම්ම් මට දෙයක් කියන්න තියෙනවා”

ප්‍රභාත් ඒ වදන් පැවසුවේ පැකිලෙමිනි. ඒ හඬේ වූ ගැඹුරු බව සිත සසල කරන්නක් වුවද කැළුමිණී අන්නාසි ගෙඩියටම නෙත යොමා උන්නාය. උල් පිහිය අන්නාසි ගෙඩිය මත එහෙ මෙහෙ දුවන්නට වූයේ පිස්සුවෙනි. එහෙත් සවන් තිබුනේ ප්‍රභාත් වෙතටම යොමු වීය.

“මට ඩිවෝස් එක ඕන කැළුමිණී”

කඳුලක් ගිලිහී නෙතින් වැටුනේත් කඳුලුබර දෙනෙත් ප්‍රභාත් වෙත හැරුනේත් එකම වෙලාවේය.

ප්‍රභාත් උන්නේ කුස්සියේ ජනේලයෙන් පෙනෙන සැඳෑ අඳුර දෙස බලාගෙනය. ඒ දෙනෙත් තමාව නොසොයන බව කැළුමිණීට තේරුණද තම දෙනෙත් තිබුණේ ඔහු වෙතම යොමු විය.

“මට වෙන අෆෙයාර් එකක් තියෙනවා”

මෙතෙක් වේලා අන්නාසි ගෙඩිය මත ඉබාගාතේ යමින් උන් උල් පිහිය අත්ල මත රුධිර සලකුණු අඳිද්දී වුව කැළුමිණී උන්නේ එක එල්ලේම ප්‍රභාත් වෙත දෙනෙත් තබාගෙනය.

බියකරු අන්ධකාරයක් තමා අවට ගිලගන්නවා පමණක් කැළුමිණිට මතකය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles