මා හිස පිරිමැද 14

තාත්තා නාන කාමරයේ වැටුණේ ය. ඔහු ගේ හිස සින්ක් එකේ වැදී පැලී ගොස් තිබිණ. ඒ වෙලාවේ මා සිටියේ විශ්ව විද්‍යාලයේ දේශනයක් අතරේ ය. නාන කාමරය දෙසින් ආ හඬ නිසා, තාත්තා ගැන විපරමින් සිටින අක්කා ගොස් බලන විට ඔහු ලේ පෙරා ගෙන සිහිසුන් ව එහි වැටී සිට ඇත. සේවකයන් ගේ උදව් ඇතිව තාත්තා ව පෞද්ගලික රෝහලක් වෙත ගෙන යන ගමන් අම්මා ට කතා කොට අක්කා මට ද පණිවිඩය දුන්නා ය. මම ඒ මොහොතේ ම රෝහලට ගියෙමි.

තාත්තාව ශල්‍යාගාරයට ගෙන හිසෙහි පැලුම සඳහා මැහුම් යොදන්නට කටයුතු කොට තිබිණ. එය බාහිර වශයෙන් සිදු වූ පැල්මක් නිසා බරපතල තත්වයක් නොවන බව ද අප කලබල විය යුතු නැති බව ද වෛද්‍ය අදහස විය. මටත් අක්කාටත් සැනසෙන්නට එය හේතුවක් වූයේ ය.

“මේ මනුස්සයට එක විදිහකට ඉන්න බෑ. කරදරමනෙ කරන්නෙ. මං මේ මීටින් එකක ඉන්නෙ. දැන්ම එන්න බැරි වෙයි”

කියා අක්කා කතා කළ වෙලාවේ අම්මා දෝෂාරෝපණය කොට තිබේ. 

“එහෙම තමයි ඒගොල්ලො. පෞද්ගලිකත්වය අදාලම නෑ. ගෙදර මිනිස්සුන්ටත් වඩා රටේ මිනිස්සු ගැන හිතනෝ”

මම සමච්චලයෙන් කීවෙමි.

“එක අතකට රැස් පෙන්නල යන්න බොඩිගාඩ්ල වට කරගෙන අම්ම මෙතනට එන්නැති තරමට හොඳයි”

අක්කාට ද වූයේ එවන් අදහසකි. තුවාල පැල්මට මැහුම් දමා ප්‍රතිකාර කිරීමෙන් පස්සේ සිහිය ලද ඉක්බිතිව තාත්තා සන්සුන් වී සිටියේ ය. වැටුණේ කොහොමද කියා අප ඇසුවාට ඒ ගැන කියන්නට හරි මතකයක් ඔහු ට වූයේ නැත.

“ලිස්සන්නැති”

තාත්තා අවිහිංසක ලෙස කීවේ ය. මගේ සේ ම අක්කා ගේ ද බඩ පපුව දැවීමක් හට ගන්නට ඇත. වයසට යන විට චක්‍රානුකූලව මිනිස්සු නැවත පොඩි ළමයින් ගේ තත්වයට පත් වෙති.

“දැං මේ වයසක අපි නිසා දරුවන්ටත් කරදරේ”

“තාත්ත කොහොමද අපිට කරදරයක් වෙන්නෙ…”

 තාත්තාව බලා ගැනීමට නො හැකි වීම ගැන අක්කා හදවතින් ශෝක වූවා ය. ඇය ගෙදර සිටියදීත් තාත්තා වැටී මේ විදිහේ තුවාලයක් සිදු වීම ඇයට දරා ගත නො හැකි විය.

“බාත් රූම් කියන ඒව වයසට යනකොට මාරක උගුලක්ද කියලත් හිතෙනව. බාත් රූම් වල වැටිල ජීවිතේ පවා නැති වෙන එක එන්න එන්නම වැඩියි. වැටෙද්දි මොකක් හරි එකක ඔළුව වදින්න පුළුවන් නිසයි අවදානම වැඩි. අපේ හුඟක් නාන කාමර ඉඩ කඩ ඇති ගොඩක් ලොකු ඒව නෙවෙයිනෙ. කොහොම වැටුණත් ඔළුව වදින්න තැනක් තියනව”

වෛද්‍යවරයෙකු තාත්තා බලන්නට කාමරයට පැමිණි වෙලාවක අප සමග කීවේ ය. අලුත් භීතියක් අපේ හදවත් වලට රිංගා ගත්තා කියා සිතමි. අප කුඩා කල අතුරු අන්තරාවක් වන්නට නොදී බලා කියා ගෙන උස් මහත් කිරීම දෙමාපියන්ට අභියෝගයක් වන්නට ඇත. නමුත් ගිලන් වෙමින් හා වියපත් වෙමින් හිඳින මව් පියන් බලා ගැනීම දරුවන්ට ඊටත් වඩා අභියෝගයක් වෙතැයි දැන් මට සිතේ.  ඊට හේතුව ඔවුන් ශරීර වලින් දුර්වල වෙමින් යාම ය.

අම්මා ට අද එන්නට වෙන්නේ නැතැයි ඇය ඇමතුමක් දී කීවා ය. බල කොට ඇය ගෙන්වා ගැනීමේ උවමනාවක් අපට ද දැනුණේ නැත. බැඳීම් යනු ඉබේ ඇති විය යුතු දේවල් ය. හැඟීම් යනු ඉබේ දැනිය යුතු දේවල් ය. ඒවා බාහිර හේතු මත බලයෙන් ඇති කරන්නට උත්සාහ කිරීම විහිළුවකි. තාත්තා තනි වී නැති බව ඔහු ට හඟවන්නට මාත් අක්කාත් දෙදෙනා ම ඔහු ට ළඟින් ම සිටියෙමු. කෙසේ වෙතත් කිසියම් කම්පිත බවක් තාත්තා වෙතින් දැකිය හැකි විය.

“ලොකු දුව මෙහාට වෙලා ඉන්න ඕන නෑ. හෂාන් ආවහම ගෙදර යන්න. මගෙත් ටිකට් කපයි”

තාත්තා එසේ කියත්දී මාත් අක්කාත් මූණෙන් මූණ බලා ගත්තේ අක්කා ටික දිනක සිට අපත් සමග ගෙදර සිටි බව තාත්තා ට අමතක වූයේ ද යන ගැස්මෙනි.

“මං ඇවිත් යන්නං තාත්තව බලන්න”

මා තාත්තාට සිදු වූ හදිසි අනතුර ගැන ද අම්මා අද රෝහලට නො එන බව ද කී විට විදුර කීවේ ය. අම්මා එන්නේ නැති බව දැන සිටි නිසා මම උඩ පැනගෙන කැමති වීමි. එදා ඔහු ගේ බෝඩිමේ හෝරා කිහිපයක් ගත කොට ආවාට පස්සේ මට විදුර හමු වී තිබුණේ නැත. ඒ ගමන කිසිදු අවදානමකින් තොරව අවසාන වූ අපේ මතක ඉතිහාසයේ සදාදරණීය දිනයක් වී ද, අවදානම ගැන හිතා මා පාලනය විය යුතු බව මම තදින් හිතට අවධාරණය කළෙමි.  අඩු තරමින් මගේ අවසාන විභාගය නිම වී උපාධි ප්‍රදානෝත්සවය සිදු වෙන තුරු හෝ ඉවසීමෙන් කටයුතු කළ යුතු බව අක්කා ද තදින් කියා සිටියා ය. 

“අම්ම එන්නැති නිසා ඇවිත් ගියාටනං කමක් නෑ. බැරි වෙලාවත් අම්ම ආවොත් අපි කියමු තාත්තගෙ යාළුවෙක් කියල”

මේ වෙලාවේ අක්කා ද විරුද්ධත්වයක් නොපා අනුබල දීම නිසා සැබවින් ම මම ඒ මොහොත ඉතා ආදරයෙන් බලාපොරොත්තු වීමි. යම් කිසි විදිහකින් බලාපොරොත්තු නොවූ ලෙස අම්මා පැමිණියහොත් තාත්තා අප වෙනුවෙන් පෙනී සිටිනා බවට සැකයක් ද අපට නොවී ය.

ඔහු කාමරයේ දොර හැර ගෙන ආවේ අලුත් හිරු කිරණක් වාගේ ය. විදුර වරදත්ත ගේ ප්‍රභාමත් තීක්ෂණ දෑස් යුග්මය ද මායාකාර සිනහව ද ඔහු අවට ලෝකය වසඟ කර ගන්නා සුළු ය. 

“කොහොමද තාත්තෙ…”

කියා ඔහු තාත්තා වෙත නැඹුරු වී විමසත්දී හිරු සඳු එක වර පෑයූවා සේ මගේ හදවත එළිය විය. 

“දැං හොඳයි. මේ ළමයි මේ නිකං බොරුවට බය වෙලා කලබල වෙනව”

තාත්තා සිනහ වෙවී කීවේ ය.

“ඒ වුණාට තව ටිකක් රෙස්ට් කරල ඉමු තාත්තෙ. තුවාලෙ සනීප වෙන්න දවස් කීපයක්වත් යයිනෙ”

ඉන්පසු තාත්තා දේශපාලනය ගැන කතාවක් ඇද ගෙන විදුර එක්ක කියවූයේ ය. විදුර ඒවාට ලොකුවට පැටලී කතා කළා නොවේ. නිකමට හා හ්ම් පිළිතුරු දුන්නේ ය. ඒ තාත්තා ගේ හිත රිද්දන්නට ඕනෑ නැති කමට විය යුතු ය. වැඩිපුර කතා කරන්නට එපා කීවාට තාත්තා අහන්නේ නැත. විශේෂයෙන් ම දේශපාලකයන්ට දොස් පවරන්නට කෙනෙකු හමු වූ කල ඔහු නිහඬ කිරීම පහසු නැත.

“ඔහොම ගිලින්න වගේ බලං ඉන්න එපා අප්ප”

මගේ ඇස් චුම්බක බලයකින් වාගේ විදුර වෙත ම එල්ලී ගෙන තිබියදී අක්කා මගේ කනට කොට විහිළුවක් කළා ය. මම ලැජ්ජාශීලී සිනහවකින් බිම බැලුවෙමි. වැඩි වෙලා ගත නොකොට විදුර පිටත්ව යාමට සූදානම් වූයේ ය. පිටස්තර තැන් වලට ගිය විට ඔහු එබඳු ආරක්ෂක පියවරයන් අනුගමනය කරනා බව මේ වන විට මම දැන සිටියෙමි. රෑ වන තුරු ම ඔහු අපත් සමගින් කතා කර කර මෙතැනට වී ඉන්නවා නම් පාළුවක් නැති බව ඇත්ත ය. නමුත් ඇමති පවුලක ගිලන් කුටියක එසේ රැඳී හිඳීමේ අවදානම ගැන මගේ හිත ද අනතුරු නො හැඟෙව්වා නොවේ.

විදුර තාත්තා ගෙන් ද අක්කා ගෙන් ද සමු ගත්තේ ඉතා ළෙංගතුව ය. 

“මං පහළට ගිහිං එන්නං”

මම අක්කාට ඇස් වලින් කීවෙමි. ඇය ඇස් වලින් ම එකඟ වූවා ය. කාමරයේ දොර වසා ගෙන පටු කොරිඩෝරයෙහි ඔහු ට ලංව මා ඇවිද ආවේ අප්‍රමාණ වූ ආදරයක් හදවත දරා ගෙන ය. ඇතැම් විට මා තනිව සිනහ වන්න ද ඇත.

“මේ හැම තප්පරේකටම මං හරි ආදරෙයි”

ඉතා ම පුංචි දැරියක ගේ තත්වයට මම මනසින් පත් වෙමින් සිටියෙමි. විදුර හිස හරවා බැලුවේ ස්නේහයෙනි. වචන වලින් මොනවාවත් ම නො කීව ද ඔහු ගේ ඇස් කතා කරමින් තිබිණ. සිනහ වෙමින් තිබිණ. ආදරය ප්‍රකාශ කරමින් තිබිණ. ඔහු ගේ අතක එල්ලෙන්නට තදින් ම මට ඕන වුණේ ය. නමුත් ඔබට දිව්රා කියමි. මම මගේ හිත පාලනය කර ගතිමි. මා පෙම් කරන්නේ සාමාන්‍ය කොල්ලෙකුට නොව ජීවිත අවධානමක් ඇති මාධ්‍යවේදියෙකුට ය. එසේ ම මා ද ඇමතිනී වජිරපානී වික්‍රමබාහු ගේ දුවණිය ය. අප දෙදෙනා ගේ ප්‍රේමය යනු අවදානම දෙගුණ වන තැනකි. ඕවා හිතට ඒත්තු ගන්වන එක පහසු නැත. හිතට ඕනෑ ම දඟකාර තිසුරි බණ්ඩාරනායක ගේ හැබෑ චරිතයට ආරූඩ වී ප්‍රේමය විඳින්නට ය.

“ඒත් මට දුකයි අප්ප…මේ ගෙවිල යන්නෙ කාලෙනෙ…මීට වඩා මට ඔයා ළඟින් ඉන්න ඕනෙ”

අප පටු කොරිඩෝරය පසු කොට විවෘත අවකාශයකට පිවිසියෙමු. විදුලි සෝපාන පෙළ වන්නේ ඉන් ඔබ්බෙහි ය. ඒ විවෘත අවකාශයේදී එකවර ම මා විදුර දෙස බලත්දී ඔහු මා පසු කොට ඉක්මන් ගමනින් ඇවිදිමින් සිටියේ ය. සිදු වූයේ කුමක් දැයි සිතා ගන්නට මම උත්සාහ කළෙමි. කිසිවක් ම නොකියා මගෙන් ඉවතට ඔහු ඇවිද යන්නේ ඇයි? මා සිහිනයක් දකිමින් සිටිනවාද කියා සිතත්දී ඒ මේ අත ඇවිද යන සෙනග අතරින්, හුරුපුරුදු ඒ කඩිනම් ගමන මගේ නෙතට හසු විය. අම්මා! අම්මා ගේ උස් අඩි පාවහන් වල හඬ අන් සියල් හඬවල් පරයා මගේ සවන් මත පතිත වන්නට විය. සැබවින් ඒවා ටක ටකස් ගා ඇවිද්දේ මගේ පපුව මත ය. හොල්මනක් දැක්කා සේ කම්පනයෙන් යුතුව මම ඇය ඉදිරියේ නතර වීමි.

“කොහෙද තිසුරි මේ යන්නෙ…”

එහෙම ප්‍රශ්නයකට පිළිතුරක් මා සූදානම් කර ගෙන සිටියේ නැත. 

“අ..කැන්ටීන් එකට. බඩගිනියි. දවල්ට කාලත් නෑ තාම මං”

කොහෙන් ඒ වචන කටට ආවාද කියා මා දන්නේ නැත.

“ඉතිං ගෙදරින් ගෙන්නගන්න එපැයි”

“දැනට ශේප් වෙනව මොනාහරි අරං”

“ඕගොල්ලොත් අනේ මන්ද”

එහෙම කියමින් අම්මා මා පසු කොට ඉදිරියට පිය නැගුවා ය. එහෙම ම නතර වී මම ඇය කොරිඩෝවට අවතීර්ණ වන තුරු බලා සිටියෙමි. විදුර කොහේ වාෂ්ප වී ද යන ප්‍රශ්නය මා අභියස නැගී සිටියේ ඉනික්බිති ය. මම කැරකී ඔහු සොයමින් ටිකක් ඉදිරියට ගියෙමි. විදුලි සෝපාන ඇති ඉසව්වේ බිත්තියකට හේත්තු වී ගෙන, දෑත් පපුවේ බැඳ ගෙන මා එන තුරු ඔහු බලා සිටියේ ය. විදුලි සෝපානයක් විවර වී කිහිප දෙනෙකු පිටතට වූහ. හිස් වූ එයට අප දෙදෙනා ගොඩ වූයේ කතා කර ගෙන සිටියා වාගේ ය. විදුර එහි අයිනකට ගොස් අත් දෙක කලිසම් සාක්කු වල ඔබා ගත්තේ ය.

“මොකද්ද ඒ වුණේ…හීනයක් වගේ”

මම ඔහු ගේ අතක මගේ දෑතින් ම එල්ලී ගතිමි. විදුර අනිත් අතින් රැවුල් කොට සහිත නිකට පිරිමදිමින් තනිව සිනහ වූයේ ය. ඒ නම් ග්‍රහ මාරුවකි. පළපුරුදු මාධ්‍යවේදියා ගේ තියුණු උකුසු ඇස් වලට ඈතදී ම අම්මා හසු වී ඇත. අම්මා එනවායි වචන වලින් කීවේ නම් මා කලබල වන බව එසැනෙන් කල්පනා කළ ඔහු, කිසිත් ම නොකියා, මා හා පැමිණි කෙනෙකු නොවන ලෙසින් මට ඉස්සර වී ඉක්මන් අඩි තබා තිබේ. 

“අදනං දෙයියොද කොහෙද අපිව බේරුවෙ”

“ඔව් ඔව්. මගෙ දුර දකින ඇස් නෙවේ”

විදුර මවෙත හෙලූ බැල්ම පුදුම තරම් පෙම්වන්ත ය. 

“හරි ඉතිං…ඔයා දෙවියෙක් තමයි”

මම ඒ පපුවට මගේ හිස යන්තම් තියාගෙන මිමිණීමි.  මහිස් මුදුනට ඉක්මන් හාදුවක උණුහුම දැනිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles