ඩි සේරම් මාවතේ තාරාගෙත් චිරායුගේත් නිවහන පිරී තිබුනේ සැඳෑ සාදයක සිරියාවකිනි. විවිධ වර්ණ ඇඳුම්පැලඳුම් වලින් සැරසුණු පුද්ගලයන් ද කන්කලු සංගීත නාදයන්ද කුසගින්න අවුලුවන ආහාර සුවඳින්ද ඒ පිරී තිබුණි.
එහෙත් තාරා උන්නේ ඒ වර්ණයන්ගෙන්වත්, සුවඳින්වත්, ගී හඬින්වත් මත් වූ හදවතකින් නොවේ. තමා මේ මොහොතේ මෙහි උන්නද තමාගේ හදවත තවමත් තිබෙන්නේ ඊයේ දිනයේ වයිබ්ස් කැෆේහි මහිල් සමග ගී ගයමින් උන් තරුණිය ලඟ බව තාරාට රහසක් නොවේ.
ඇය එතරම්ම තමගේ සිත කලබල කරන්නට කලේ කුමක්ද යන්න ගැන තාරාට සිතාගන්නට නොහැක. ඒ ඇගේ වීණ නාදයක් බඳු හඬ ද? නොඑසේනම් කලබල මීන දෑස ද, නැතිනම් ඇය මහිල්ට සමීප වූ උන් විලාසයද? නැතිනම් ඒ තුනමද?
නැවුම් වත්සුණු රොනින් මත් වී
සිහින නිම්නය ආ… සුපුශ්පිත වෙයි
සිහින් හඬකින් මහද අමතයි
මුදා හැර දා පවුරු සිරි යහනේ
රත් දෙතොල සොලවමින් ඇය මහිල් දෙස බලා ඉන්නේ සරාගී දෙනෙතකිනි. මහිල්ගේ පසින් එයට සුපුරුදු සිනාවෙන් පිලිතුරු දෙමින් ගිටාරය වයමින් උන්නා හැරෙන්න සරාගී බවක්, ආරාධිත බවක් පල නොවූ තරම් ය. එහෙත් එවන්‍රත් පැහැ දෙතොලකට, එවන් කැරලිකාර කෙහෙ රැල්ලකට, එවන් සරාගී නෙතකට මහිල් වන් වැඩුණු ශක්තිමත් තුරුණු හිතක් තමා නතු කර ගන්නට නොහැකි ද?
තාරාගෙ හදවත ගිලන් කරේ ඒ හැඟීමයි. මෙවන් උත්සවකාරී මොහොතක වුවත් මල මිනියක් මෙන් හිඳින්නට තාරාට ඉඩකඩ සැලසුවේ ඒ හැඟීමයි.
“මහිල් මොන ගැණු ළමය එක්ක කතා කරත් ඔයා හිත රිද්දගන්නෙ ඇයි?” තාරා ඇසුවේ කණ්ණාඩියෙන් පෙනෙන තමන්ගේම රුවෙනි.
එහෙත් ඒ ප්‍රශ්නයට පිලිතුරක් නැත. සිත කෙලවරක කොහෙදෝ හිද යම් හඩක් එයට හේතුව ආදරය බවත්, මහිල් ගැන් ඇති ලෝබකම බවක් කියන්නට තැනුවද එය පිලිගන්නට කිසිත් අදහසක් තාරාට නැත.
මහිල් යනු තමාට ආදරයෙන් වෙලෙන්නට හැකි අන්දමේ මිනිහෙක්ද?
ඒ ප්‍රශ්නය අසමින්ම තාරා නාන කාමරයෙන් එලියට ආවාය. නිවසේ කොතෙක් සෙනග පිරී උන්නද ඒ සියල්ලන්ම පාහේ චිරායුගේ නෑයන් ය. තාරාගේ නෑයන්‍ය කියා ආරාධනා කරන්නට උවමනාවක් තාරාටවත් තිබුනේ නැත. ඒ මක්නිසාද යත් චිරායුගේ නෑයන් හමුවේ ඔවුන්ගේ වදන් හමුවේ තමන්ගේඅම්මලා අක්කලට දොස් අහන්නට ඉඩක් තබන උවමනාවක් තාරාට නොවූ නිසාය.
චිරායුත් මාධනීත් අනිත් අයත් උනුන් හා කතා බස් කරමින් උන්නේ තාරා කියා කිසිවෙකු මෙහි නැති විලාසයෙන් ය. වෙන දවසක වූවා නම් එය සිත රිද්දගන්නට හේතුවක් වුවත් මහිල් සහ නම නොදත් ඒ ගායිකාව ගැන සිතුවිලි වලින් පිරී තිබුණ සිතට එය අස්වැසිල්ලකි.
තාරා නිදන කාමරයේ විවෘත සඳලුතලයට වී පහත උද්‍යානයේ පෙනෙන උත්සවශ්‍රීය දෙස බලා උන්නේ මලානික දෑසිනි. ඒ උත්සවශ්‍රීයෙන් ගිණිකන නොවැටුන දෙනෙතකිනි.
කෙතරම් සුන්දර දේ දෙනෙත ඉදිරියේ තිබුන ද තාරාගේ හිත තිබුනේ මහිල් සමග ගී ගැයූ ඒ තරුණියගේ සරාගී දෙනෙත් බැල්ම ලඟ හදවත නතර කරගෙනය. ඒ දෙනෙත් වල රැඳී තිබුණ තමන්ගෙන් වසර කිහිපයකට පෙර ගිලිහී ගිය තාරුණ්‍යය ලඟය. මහිල්ව හසුරුවා ගත හැකි ඇය වෙත නම්මාගත හැකි සොඳුරු බව අබියසය.
“තාරා”
ගැස්සුණු තාරා හිස හරවා බලද්දී කාමරයට ඇතුලුවන දොර අසල සිටගෙන උන්නේ චිරායුය. රාත්‍රී සාදයකට සුදුසු ලෙස මනාව කඩවසම්ම සැරසී හුන් චිරායු දොරටුව අසල හිටගෙන තාරා දෙසම බලා උන්නේ හිනාවක්වත් දෙතොලේ නැතුවය.
තාරා ඇයි කියා ඇසුවේ නැත. එහෙත් ඒ ප්‍රශ්නාර්තය දෙනෙතේ රැඳී තිබුන නිසාවෙන්දෝ චිරායු කාමරය ඇතුලට ආවේ දොර මදක් අඩවන් කරගෙනය.
“තාරා ප්ලීස් පහලට ගිහිල්ලා කට්ටිය එක්කන්කතා කරනවද? ඒ මිනිස්සු හිතාවි අපි අතරෙ ප්‍රශ්නයක් තියෙනව කියල ඔයා මෙහෙම කාමරේට වෙලා ඉද්දි මම එලියට වෙලා ඉන්න කොට”
වෙන මොහොතක නම් චිරායු සමග පැටලෙන්නට, චිරායුට එරෙහිව යමක් කියන්නට මේ වදන් හේතුවක් වුවත් තාරා මේ මොහොතේ උන්නේ කිසිවකට හිතක් හෝ පණක් නැතුවය. චිරායු පැවසූ දේට හිස සොලවා ඇඳගෙන උන් දිගු ගවුම එක පැත්තකින් මදක් ඔසවාගෙන තාරා කාමරයෙන් පිට වූවාය. ඒ තම සුපුරුදු වේගවත් ගමනින් නොව අලස ගමනකිනි.
තාරාට යන්නට ඇර චිරායු ඒ පසුපසින්ම ආවේය. දෙදෙනාම පඩිපෙල බැස්සේ එකම මොහොතකය. තාරාට එහා පැත්තෙන් චිරායුය.චිරායුගේ එහා පැත්තෙන් තාරා ය. මෙයට මාස ගණනාවකට පෙර මේ ලෙසින්ම තමා නිවසේ පැවති තම විවාහ සංවත්සරය වෙනුවෙන් පැවැත් වූ සැඳෑ සාදයකදී චිරායු සමගින් මෙලෙස මේපඩිපෙල බැසගිය හැටි තාරාට මතකය. එහෙත් ඒ මෙසේ ඈත් වී නාඳුනන්නන් ලෙස නොවේ. දිගු ගවොම පැටලී තමා ඇද වැටේයයි බියෙන් තමන්ගේ ඉණවටා අත දමා උන් චිරායු කෙනෙකු සමගිනි.
ගෙවුණු කාලය තමන් තුලත් තමන් අතරත් කෙතරම් වෙනස්කම් දුරස්තකම් ඇති කර තිබේදැයි සිතෙද්දී තාරා නොදැනුවත්වම ගැඹුරු හුස්මක් පිටවිය.
ඉදිරියම එක එල්ලේ බලා උන් චිරායු තාරා දෙස උවමනාවෙන් බැලුවේ ඒ හුස්මේ සැඟවී තිබුණු ගැඹුරු හඩ නිසාවෙන්මය.
තාරා කොපමණ වෙනස් වීද? වෙනදා සඳක් සේ බැබලෙමින් තිබූ ඇගේ මුහුණ මලානික වී තිබේ. ඉහල මිලකට මිලදී ගත් වත්සුණු වලින් වසාලිය නොහැකි අන්දමින් ඇගේ දෙනෙත් යට රැලි මතුවී තිබේ. ඇගේ දෙනෙත් බැල්ම මලානික වී තිබේ.
“ඕනවට වඩා නිදහස දුන්නමත් මචං ගෑණුන්ට පිරිමින්ව එපා වෙනවා”
තාරා වෙනදාටවඩා වෙනස් වී ඇති බවත් තමන්ගේ මව් දෙමව්පියන්ටත් තමන්ටත් සැරෙන් කතා කරන බවත් බෙදාහදා ගන්නට චිරායුට උන් එකම මිතුරා විදත් ය. විදත් විවාහයෙන් වෙන්වුනේ විවාහ වී වසරක් ගතවෙන්නටත් පෙරය. ඒ නිසාවෙන්ම විදත් උන්නේ සමස්ත කාන්තා සංහතිය ගැනම තරහකිනි.
“තාරාට වෙලා ඇත්තෙත් ඒක. කරන්න දෙයක් නැතිකමට රස්සාවට යනව. ඕන වෙලාවක ඕන අහක යන්න කාර් එක තියෙනව. උඹ නැතිවෙන්න හම්බ කරනවා. ඉතින් සැප වැඩි. ප්‍රශ්න නෑ. ප්‍රස්න නැති එකම උන්ට ප්‍රශ්නයක්”
වොඩ්කා උගුරක් දෙකක් බොන ගමන් විදත් කියන්නේ ඔටර්ස් ක්ලබ් එකේදීය. ලයිම් පෙත්තක් එක්කල ජින් වීදුරුවක් තොලගාමින් චිරායු ඒ අසා ඉන්නේ බරැති කල්පනාවක ගිලීය.
සතියේ දවස් පහමත් සති අන්තයේත් රාත්‍රියවනතුරු කාර්‍යාලයේ වැඩවලට තමන් මහන්සි වන්නේ ඊලඟ උසස්වීමත් වැටුප් වර්ධකයත් සමග මෙයට වඩා වැඩි නිදහසක් ලැබෙන බව දන්නා නිසාවෙනි. ඊලඟ උසස්වීම සඳහා ඇති පුරප්පාඩුව මකාලන්නට තවත් බොහෝ දෙනෙක් බලා හිඳින බව චිරායුට රහසක් නොවේ. මේ මහන්සිය ඒ වෙනුවෙනි. මේ.කැපවීම ඒ වෙනුවෙනි. අවසානයෙන් එයින් ලැබෙන මුදලින් සැප විදින්නේ තමා පමණක් නොවේ. ඒ තාරාටත් හිමි ය. එහෙත් ඇය ඉන්නේ ඒ වගක් නැතුවාක් මෙනි. නිතරම කෝප ගන්නා, සමච්චල් සහගත වදන් පවසනා තාරා කෙනෙකු නැතුව වෙහෙසී එන තමා සතුටෙන් පිලිගන්නා තාරා කෙනෙකු උන්නා නම් කොපමණ හොඳ දැයි චිරායු සිතූ වාර අනන්තය.
“අනේ මන්ද බං, වෙලාවකට මට හිතෙනව සල්ලි හම්බ කරන එක පැත්තක තියල ගෙදරට වෙලා ඉඳල බලන්න තාරා එතකොටවත් හිනාවෙලා ඉඳිවිද කියල. මං කිසිම වරදක් නොකර මෙහෙම කරද්දි මට උනත් යකා නගින එක අහන්න දෙයක් නෑනෙ. වැඩ ඇරිල ඇවිල්ල තියෙන දෙයක් කාලා බීල ෆිල්ම් එකක් බලල ආතල් එකේ ඉන්න පුලුවන්කම තියෙද්දිමේ නිකන් ඔලුවටකරදර දාගන්නවා”
තමන් විදත් ට එසේ කියූ හැටි පවා චිරායුට මේ මොහොතේ මතක් වුණාය. එහෙත් පලමු වතාවට තාරාගේ මලානික මුහුණ දෙස බලා ඉද්දී “මගෙ අතිනුත් වරදක් වුණාද?” කියා නොහිත ඉන්නට හැකියාවක් චිරායුට තිබුනේ නැත.
පහල මාලයට ආ චිරායු දෙසත් තාරා දෙසත් මාධනී බැලුවේ නොපහන් බැල්මකි.
“සාරියක් අඳින්නෙ නැතුව මෙතන පලපු ගවුමකුත් ඇඳන්. විගඩං නෙ. මේ මිනිස්සු ඉන්නවකියලවත් හිතලහරිහමං එකක් අඳින්න බැරි ද මං අහන්නෙ”
කියා මාධනී කෙඳිරුවේ කුලතුංග ගේ කණටය. බැදපු ඉස්සෙක් මුව රුවා ගනිමින් උන් කුලතුංග මාධනී දෙස බැලුවේ සමච්චලයටය.
“ඔයාට ඒ වගේ ඇඳුමක් අඳින්න බැරි හන්ද මේ තරුණ කෙල්ලන්ට ඉරිසියා කරන්න එපා මාධනී. ඒ මේ තරුණ ළමයිනෙ”
මාධනී කුලතුංග දෙස බැලුවේ පිපිරෙන නෙතිනි.
කුලතුංග එතනින් නික්මී ඈත් හිඳ ඔහුට අත වැනු වෙනත් මිතුරන් පිරිසක් වෙත ගියේ ඒ බැල්ම දරාගන්නට බැලුවය.
නෑයන් සමග කතා බස් කරද්දී කෘතිම සිනාවක් දෙතොල නංවාගන්නට සමත් වුවද තාරා උන්නේ හිතේ සතුටකින් නොවේ. එකාතකින් මහිල් විසින් සිත මත ඇතිකල කුතුහලය මුසු දුකය. අනෙක් අතින් තමන්ගේම නිවසේදී තනි වීඇතැයි දැනෙන හැඟීමය.
ඒ හද ගිලන් කරන්නකි.
“ආයෙ මම කවදාවත් වයිබ්ස් එකට යන්නෙවත් මහිල්ව මීට් වෙන්නෙවත් නෑ”
තාරා තමන්ටම කියාගත්තේ ඒ වේදනාව දරාගන්නට නොහැකි තැනමය.