උත්සව කාලේ මහත් නොවී බඩපැලෙන්න කෑම කන්නේ කොහොමද ?

“කොච්චට අඩුවෙන් කෑවත් මහත්වෙනවා අනේ”

“ඔයා නම් කොච්චර කෑවත් මහත්වෙන්නෙ නෑ”

මේව ඉතින් නිතරම අපිට අපේ එදිනෙදා ජීවිතේ ඇතුලෙ ඇහෙන දේවල්නේ. ඒ නිසාම අපි හිතුවා ඔයාලා එක්ක බෙදාගන්නවා කියල ඇත්තටම කොහොමද මහත් නොවී තමන් ආස දේවල් කන්නෙ බොන්නෙ කියලා. මොකද ගොඩක් වෙලාවට අපිට කොච්චර ඇඟ ගානට තියාගෙන ඉන්න උවමනාව තිබුනත් කෑවොත් මහත්වෙනවා කියන බය හිතේ තිබුන උනත් ආස කෑම දැක්කම නොහිතාම අත යනවනෙ ඒවට.

ඉතින් ඇත්තටම මහත් නොවී කන්න පුලුවන්ද?

1. Alarm එකකට කන්න

ටොපික් එක කියෙව්වම ඔයාලට හිතෙන්න පුලුවන් එහෙම කන්නත් Alarm තියෙනවද කියල? ඔව් තියෙනවා. ඒකට කියන්නෙ බඩගින්න කියල. දකින දකින දේ කන්න ආස හිතෙන බව ඇත්ත. ඒ උනාට පුතේ එහෙම කාලා නම් ඉතින් මහත් නොවී ඉන්නවත් ඔයාගෙ බර පාලනය කරගන්නවත් බෑ. ඒ නිසා ඔයාගෙ බඩගිනි Alarm එක වැඩකරන වෙලාවට විතරක් කන්න පුරුදු වෙන්න.

බඩගින්න කියන්නේ ඔයාට “ආහ් දැන් කන්න වෙලාව හරි” කියන එක. ඉතින් ඒ වෙලාව මග ඇරගන්නවත්, ඒ වෙලාවට කලින් නිකන් බඩගින්නක් නැතුව අනන් මනං කන්නවත් පුරුදු වෙන්න එපා.

2. කෑම කන වේගෙ අඩු කරන්න

බර අඩුකරගන්න, එහෙම නැත්තම් මහත් නොවී කන්න පුලුවන් තව විදියක් තමයි කෑම කන වේගය පාලනය කරගන්න එක. ඒ කියන්නෙ අර උඩ කිව්ව බඩගිනි Alarm එක වැදිච්ච ගමන් ඔයා අතට අහුවෙන හැම දේම කාගෙන කාගෙන යන්න එපා. මොකද එහෙම කරලාත් ඔයාට මහත් නොවී ඉන්න නම් බෑ.

ඉතින් බඩගිනි උනාම ඔයා පිඟානට මොනතරම් කෑම බෙදාගත්තත් ඔයා ඉස්සෙල්ලා එකෙන් කොටසක් විතරක් කන්න. ඒ ටික කාලා බලන්න තව ටික වෙලාවකින් ඔයාට ආයෙමත් බඩගිනි එනවද කියල. එහෙම එනවනම් විතරක් අර දෙවන කොටසත් කන්න.

එකපාර ගොඩක් දේවල් කනවට වඩා පොඩ්ඩ පොඩ්ඩ වෙලාවල් අතර තබාගෙන කන එකත් හරිම Effective කියල තමයි අන්තර්ජාලයේ සඳහන් වෙන්නෙ.

3. බඩ පිරුණම කන එක නතර කරන්න

සමහරු ඉන්නවනෙ කලිසමේ බොත්තම හෙමත් ඇරගෙන පුලුවන් තරම් බඩට කෑම පුරවගන්න අය? එහෙම කෙනෙක් නම් වෙන්න හිතන්න එපා. ඔයාට බඩගිනි උනාම ඕනවට වඩා බෙදාගන්න යන්න එපා. පොඩි ප්‍රමාණයක් බෙදාගන්න. ඒ ටික කාලා බලන්න ඔයාගෙ බඩ පිරෙනවද කියල? පිරුනෙ නැත්තම් තව ටිකක් බෙදාගෙන කන්න.

එහෙම නැතුව බඩගින්නක් නැතුවත්, බඩ පිරුණට පස්සෙත් බෙදාගත්ත ඔක්කොම ජාති බඩට පුරවගන්න හිතන් ඉන්නවනම් පුතේ මහත් නොවී කන හීනෙ අමතක කරල දැම්ම නම් වඩා ලේසියි.

4. Stress eating

මේක නම් ගොඩක්ම මේ හදාගත්ත කරදරයක්නේ. විහින් දාගත්ත එක. ඔෆිස් එකේ වැඩක් නිසා හරි, ගෙදර ප්‍රශ්නයක් නිසා හරි ඔලුව පොඩ්ඩක් කරදර වෙච්ච ගමන් තමන්ගෙ බඩජාරිකම් ඔක්කොම ඒ ඔස්සෙ යවන අය ඕකට ලේබල් එකක් දාගෙන තියෙනවනෙ Stress Eating කියල.

ඇත්තටම එහෙම Stress උනාම කන්න හිතෙනවමනම් අනේ ඔය චොකලට් වගේ පැණිරස ජාති නැතුව ඇඟට ගුණ දෙයක් කන්න. එහෙම නැතුව කිසිම හේතුවක්, බඩගින්නක් නැතුව කන්න යන්න එපා. Stress නම් කන එක දෙවනි තැනට තියල පොඩ්ඩක් උණු වතුරෙන් ඇඟ හෝඳගන්න එක, ෆිල්ම් එකක් බලන එක, සින්දුවක් අහන එක වගේ අහිතකර බව අඩු Option එකකට යන්න.

5. ඔයාගේ පෙනුම ගැන හැමෝටම කලින් ඔයා හිතන්න

මහත් වෙච්ච ඇඟ ගැන දුක් වෙන ගමන් අනිත් පැත්තට බඩට පීසා කෑලි පුරවන කෙනෙක් නම් ඉතින් මේ ගැන කතා කරල වැඩක් නෑ නේද?

ඔයා බලාපොරොත්තු වෙන දේවල් ලබාගන්න ඔයා වඩාත්ම ආස දේවල් කැපකරන්න වෙනවා. අපිට රැවුලයි කැඳයි දෙකම බේරගන්න බෑනෙ. හැම තිස්සෙම. ඒ නිසා ඔයා පීසා, චිකන් බකට්ස් වගේ පිටි සහ කෘතිම දේවල් පාවිච්චි කරල හදපු කෑම බීම වගේම පැණිරස ජාති කන එක අඩු කරන්න.

ඒ වෙනුවට ඔයාට බඩගිනි වෙන වෙලාවට වඩාත් ගුණදායක, ශරීරයට අහිතකර නොවන දේවල් කන්න පුරුදු වෙන්න.

6. පලතුරු සහ එලවලු ජාති

“පලතුරු සහ එලවලු කෑවට මහත්වෙන්නෙ නෑ” කියල අපි හිතනවනෙ. ඒ උනාට ඔයා කන පලතුරු සහ එලවලු මත ඒ කතාව සහමුලින්ම වෙනස් වෙන්න පුලුවන්.

සීනි කියන්නේ ශරීරයේ බර වැඩිකරන්න හේතුවන ප්‍රධාන සංඝටකයක්නෙ. ඉතින් ඔයා ඔය මහ ගොඩක් කන්න බලාපොරොත්තුවෙන් ඉන්න පලතුරු වල මොනතරම් සීනී ප්‍රමාණයක් අඩංගුද කියන දේ ගැන සැලකිලිමත් වීම ඉතාම වැදගත්.

ඉතින් මේ වගේ දේවල් ඔස්සේ ඔයාට පුලුවන් ඔයාගෙ බර වැඩිකරගන්නෙ නැතුව, එහෙම නැතිනම් මහත් නොවී කන්න. ඕනම දෙයක් ඕනවට වඩා හොඳ නෑ කියන එක ඇත්තක්. ඒක ඔයා ආස කෑම ඕනවට වඩා කනව වගේම ආස දේවල් මුකුත් නොකා ඕනවට වඩා ඩයට් කරන එකත් ප්‍රශ්නයක්.

ඉතින් මේ ගෙවන ජීවිතේ ඔයා ආස විදියට, ආස දේවල් කන බොන ගමන් ගෙවන්න ඒ දේවල් පමණට වඩා පරිභෝජනය නොකර හිඳීම ලොකු උදව්වක් වෙන්න පුලුවන්!

Related Articles

Don't Miss


Latest Articles