මා හිස පිරිමැද 22

ජීවිත වලට සතුටු කාල වගේ ම නරක කාල ද උදා වන්නේ ය. මේ මගේ ජීවිතය පසු කොට යමින් පැවතියා වූ නරක ම කාලයකි. එහෙව් භීම සමයෙක පපුවට තුරුලු කොට ගෙන හිස පිරිමදිමින් හිත සනහාලන මිනිසුන් විරල ය. විදුර වරදත්ත මා ඉදිරියේ එහෙම පිරිමියෙකු වෙමින් සිටියේ ය. එතෙක් වසර විසි එකක් ඔහු නැතිව කෙසේ මා තනිව ජීවත් වූයෙම් ද කියා සිතා ගත නො හැකි තරමට, ඔහු නැති තැන මා අබ්බාගත වන ලෙසක්  දැනෙන තරමට ඔහු මගේ සියල්ල වෙමින් සිටියේ ය. 

තාත්තා ගේ අහිමි වීම කියන්නේ ගෑනු ළමයෙකුට සියල්ලෙහි අහිමි වීම ය. ඉන් පසුව භෞතික වශයෙන් මොනවා තිබුණ ද කවරක් ලබා ගත්ත ද පියවිය නො හැකි හිස් තැනක් ඇගේ ජීවිතය මත්තේ සදාකාලික ව ඉතිරි වේ. මට තාත්තා අහිමි වූයේ මරණයෙන් නොවේ. හොරු අරගෙන ගියා වාගේ ය. උදේ ගෙදර සිටි ඔහු දවල් මා ගෙදර එන විට නො සිටියේ ය. ඉන් පසු දින ගණනාවක් ගෙවී තිබිණි ද ඔහු සොයා ගත හැකි වූයේ නැත. බිරිඳක වශයෙන් අම්මා ඇයට ඇමතිවරියක වශයෙන් ලැබී ඇති බලය හා වරප්‍රසාද ද පාවිච්චි කරමින් තාත්තා සොයා ගන්නට වෙහෙසෙනවා මම දුටුවෙමි. විටෙක ඇය අදෘශ්‍යමාන බලවේග වල පවා පිහිට පැතුවා ය. ඒ සියල්ල ඇගේ රංගනයෙහි කොටසක් විය නො හැකි ද යන සැකය ඇතැම් විට මා තුළ ඇති නොවූවා ම නොවේ. කෙසේ වතුදු ඇය සැබෑ බිරිඳක ගේ භූමිකාව ඒ වෙලාවේ රඟපෑවා ය. අම්මා රඟපානවා යි සිතුණ වෙලාවට මම ඇය සමග රණ්ඩු කර ගතිමි. ඇයට බැන්නෙමි. දොස් කීවෙමි. තාත්තා ට මෙවැනි ඉරණමක් අත් වෙන්නට මුළුමනින් වගකිව යුත්තේ අම්මා යයි සිතා ගෙන චෝදනා කළෙමි. ඇතැම් විටෙක ඇය පව් කියා සිතුවෙමි. 

කෙසේ වතුදු මේ විදිහට ක්ෂණයකින් තාත්තා අහිමි වී යාමත්, ඔහු සොයා ගන්නට කළ යුතු හා කළ හැකි සියල්ල ඉෂ්ට සිද්ධ කිරීමෙන් පස්සේත් ඔහු සොයා ගත නො හැකි වීමත් යන තිත්ත ඇත්ත මත මම විඩාපත් ව සිටියෙමි. ඒ වෙලාවේ සඳුන් රුකක් සේ අතු පතුර විදා ගෙන මා සිය රැකවලෙහි තියා ගත්තේ විදුර ය. අහිමි වීමක දරුනු පිරිපතයකින් පීඩා විඳිත්දී හිස පිරිමැද හිත හදන්නට අපමණ උතසාහ කළේ ඔහු ය. 

මේ මොහොතේ මා විදුර ගේ පපුතුර හිස හොවා ගෙන, දෑතින් ඔහු බදා වැළඳ ඉකි බිඳ හැඬුවේ ආයේ කවරදාකවත් මට මගේ තාත්තා දැක ගන්නට ඉඩක් නොලැබෙනු ඇත යන සංවේගයෙනි. ඔහු ස්නේහයෙන් මා තුරුලු කොට ගෙන, ඕනෑ තරම් හඬා දුක තුනී කර ගන්නට ඉඩ දී සිටියේ ය.

“අඬල ඉවරද…ම්…”

ඉකිළුම සන්සුන් වූ පසු ඔහු ගේ මුදු පිරිමි හඬ සවන් පත් ළඟ ඇසිණි.

“ඇතුළට ඇවිත් බලන්න කවුද ඉන්නෙ කියල”

මම බොඳ කඳුළු දෑසින් ම ඔහු දෙස බැලුවෙමි. විදුර ගේ සිහින් ඇස් සිනහ වූයේ ය. අනතුරුව ඔහු මගේ පිට මත අතක් තබා මාව බෝඩින් කාමරය තුළට යොමු කළේ ය. කුඩා තනි යහන මත කෙනෙකු නිදා සිටියේ ය. තාත්කා! මගේ තාත්තා!!

“තාත්..ත”

මට කෑ ගැසිණ. ඒ කෑ ගැසිල්ලට නිදා උන් තාත්තා අවදි වූයේ ය. මම එතැනට පැන තාත්තා තදින් වැළඳ ගතිමි. සතුට වාවා ගත පො හැකි කමට මම හයියෙන් සිනහ වීමි. ඒ සිනහව තරමක් විකාරරූපී වූවා ද කියන්නට මා දන්නේ නැත. සැබවින් මම පිස්සු වැටී සිටියෙමි.

“තාත්තෙ…ඔයා කොහේ ගියාද…මොකද දෙයියනේ වුණේ…කමන්නෑ. හරි කමන්නෑ. දැන් ඔයා ඉන්නවනෙ. මේක හීනයක් වගෙයි මට. තාත්තෙ ඔයා නේද මේ ඉන්නෙ…”

තාත්තා බදා ගෙන උමතුවෙන් වාගේ කියවන මදෙස මේ වෙලාවේත් ඔහු බලා උන්නේ මා කුඩා සාවියේ දී සේ ම දයා අනුකම්පාවෙනි.

“අනේ මන්දා මොනා වුණාද කියල. පොඩි පුතා මෙහෙ මොනාද කරන්නෙ…මේ පුතා හරියට මහන්සි වුණා”

මා විදුරට වාචිකව කිසිත් කීවේ නැත. කොහොම ස්තූති කරන්න ද? නමුත් ඇස් පිරෙන්නට ඔහු දෙස බැලුවෙමි. ඔහු සිය සිහින් ආදරබර දෑසින් තව තවත් ආදරය ම දැනෙන්නට හැරියේ ය.

තාත්තා ගැන ඉඟියක් ඔහු ට ලැබී තිබෙන්නේ ජනරාව පාඨකයෙකු ගෙනි. විදුර පළ කළ පුවත්පත් දැන්වීමෙහි පළ වූ තාත්තා ගේ සේයාරුවට සමාන පුද්ගලයෙකු කළුතර බෝධිය අසල ගැවසෙන බව ඒ පුද්ගලයා දුරකතනයෙන් දැනුම් දී තිබේ. විදුර එවෙලේ ම ඒ බව මට නො කියා ඇත්තේ මා බලාපොරොත්තු අලුත් කර ගෙන යළි ඒවා බිඳ ගෙන කම්පා වෙතැයි සිතා ය. එවෙලේ ම කළුතර ගොස් දුරකතන ඇමතුම දුන් තැනැත්තා හමු වන විට තාත්තා බෝධය අසල පාර අයිනේ බිම හිඳගෙන සිට ඇත.

“තිසුරි බණ්ඩාරනායකව දන්නවද තාත්ත…”

තාත්තා ට ලං ව විදුර අසා ඇති මුල් ම ප්‍රශ්නය එයයි.

“මගෙ පොඩි දුවනෙ”

තාත්තා සතුටු සිනහවකින් කියා තිබේ. 

“ඒකනෙ. තිසුරි තාත්තව හැමතැනම හොයනව. යංකො. මං එයා ළඟට එක්කං යන්නං”

කී පමාවෙන් තාත්තා ඔහු සමග ඇවිත් තිබේ. ඒ වන විටත් ඔහු හිඳ තිබෙන්නේ දින ගණනාවක් තිස්සේ හැඳි ඇඳුම් කිළිටි වී අපවිත්‍ර ව ය. බෝඩිමට තාත්තා ගෙන ආ විදුර මුලින් ම කර තිබෙන්නේ ඔහු ට දිය නා ගන්නට සලස්වන එකයි. තාත්තා සිටියේ විදුර ගේ කොටු කමිසයක් හා සරමක් හැඳගෙන ය. මේ දින ගණනාව පුරා නො කැපූ සුදු රැවුල් කොට තාත්තා ගේ මූණ පුරා වැවී තිබිණ. වෙන කිසි දා ක නොවූ විරූ තරමට ඔහු  වියපත් පැහැයකට හැරී තිබේ. තාත්තා ගේ ඇස් වල අහිංසක අසරණ බවක් වැක්කෙරෙනු මම දුටිමි.

“අහුවෙච්ච බස් වල නැගල හිතුන තැන් වලින් බැහැල අන්තිමට තාත්ත නතර වෙන්න ඇත්තෙ එතන. එයාට ආපහු එන්න පාර අමතක වෙලා තිසූ. මේ සැරේ කොහොම හරි හම්බ වුණානෙ. ඒත් මීට පස්සෙ මීට වැඩිය  හුඟාක් පරිස්සමෙන් තාත්තව බලා ගන්න වෙනව. එයාට ඇහැ ගහගෙන ඉන්න කෙනෙක් පඩි දීල හරි තියාගන්න වෙනව”

“අනේ ඔව්. ඔයාගෙං මං ආයෙ කිසිම දෙයක් ඉල්ලන්නෑ. මට ඕනෙම කරන කෙනාව ඔයා මගෙ කකුල් දෙක ළඟටම ගෙනත් දුන්නනෙ. තාත්තව හොයා ගන්න බැරි වුණානං ආයෙ කිසි දවසක කාටවත් පුරවන්න බැරි හිස් තැනක් මගෙ ජීවිතේ ඇති වෙන්න තිබුණ”

“අපි තාත්තව බලා ගමු”

විදුර ඒ දුන්නේ ප්‍රතිඥාවක් සේ ය. ධාතු සපිරි කරඬුවක් වඩම්මනවා සේ මම තාත්තා ව ගෙදර කැටිව ආවෙමි. ඔහු හමු වූයේ ජනරාව පුවත්පත හරහා වීම අම්මා ට මදිපුංචිකමක් සරි වූයේ ය. නමුත් ඇය වැඩිපුර ඒ ගැන කතා නොකළා ය. කෙසේ හෝ තාත්තා හමු වීමේ සැනසීම ඇගේ ඇස් වලින් මට දකිත හැකි විය. ඒ වෙලාවේ ම අම්මා තාත්තා වෙනුවෙන් සේවකයෙකු යෙදවූවා ය. එක මොහොතකටවත් ගෙදරදී හෝ පිටත දී තාත්තා ට තනි වීමට ඉඩ නො තැබීම ඔහු ගේ රාජකාරිය බවට පත් විය. ඩිමෙන්ශියාව ගැන සේ ම සිය සැමියා ගැන ද අම්මා බරපතල ලෙස සිතූ ප්‍රථම වතාව එය කියා සිතමි. හැම අඳුරු වලාවක ම රිදී ඉරක් ඇත යන කියමන සත්‍යය ය. හැම නරක සිදුවීමක ම යහපත් ප්‍රතිඵලයක් ද තිබේ. තාත්තා අතුරුදන් වූ එකෙන් අම්මා ද බිරිඳක ය යන සත්‍යය ඇය සේ ම අප ද පසක් කර ගන්නට ඇත. තාත්තා නැතිව ගෙවුණු දින ටික කල්ප කාලීන වේදනාවක් අපට උරුම කොට දුන්නේ ය. ඒ නිසා ම තාත්තා ගේ වටිනාකම වැඩි වැඩියෙන් අපට දැනෙන්නට ඇත. මහානර්ඝ වස්තුවක් සේ රෝගී තාත්තාව රැක බලා ගැනීමේ මෙහෙයුම අප විසින් දියත් කන්නට යෙදුණේ ඉනික්බිති ය. 

“කොහොමහරි අන්තිමට අපේ මස්සිනාට පට පට ගාල ලකුණු ටික වැටුණ නේ…”

අක්කා විහිළු කළා ය. මම ආඩම්බර මොණරියක සේ සතුටු කොපුල් පුම්බා ගතිමි. 

“කොහොමත් එයා හොඳ බෑනා කෙනෙක් තමා”

“කාටද…වජිරපාණී වික්‍රමබාහුටද…”

අක්කා හඬ නගා සිනහ වූවා ය. ඇය ක්‍රම ක්‍රමයෙන් දික්කසාද නඩුවකින් වැරදිකාර පුරුෂයෙකු ගෙන් වෙන් වීමට තීරණය කළ ශක්තිමත් ගැහැනියක වෙමින් සිටියා ය. ඇගේ ඇස් වල, දීප්තිමත් දූරදර්ශී බවක් ඇවිත් නවාතැන් ගත්තේ ය. නිරතුරු ඇය බලාපොරොත්තු සහගත සිනහවකින් දවසට මූණ දුන්නා ය. හෙට දවසේ තනිකඩ ගැහැනියක ලෙස ජීවිතය භාර ගැනීමට ශක්තිමත් මානසිකත්වයක් ගොඩ නගමින් සිටියා ය.

“එයා හොඳ බෑනා කෙනෙක් වගේම ඔයාට හොඳ හස්බන් කෙනෙන් වෙයි නංගි. ඔයාගෙ ළමයින්ට හොඳ තාත්ත කෙනෙක් වෙයි. එහෙම කෙනෙක් ළඟ ඔයා සතුටෙන් ඉන්න තමයි ඕනෙ. ගෑනියෙක් පිරිමියෙක්ව බැඳගෙන මොනාද බලාපොරොත්තු වෙන්නෙ කියල පහු ගිය දවස් වල මං ටිකක් තදට හිතුව. කොහොම කාව බැන්දත් අන්තිමට වෙන්නෙ එකම දේ කියල හුඟක් මිනිස්සු හිතං හිටියට…ඒක එහෙමමයි කියන්න බෑ නංගි. කෙනෙක්ට කසාදෙක එල්ලිල ඉන්න මොකක් හරි හේතුවක් තියෙන්න ඕනෙ. හෂාන් බැඳල හිටියෙ මං නොවී එච්චර ඉගෙනගත්තෙ නැති ජොබ් එකක් කරන්න බැරි එයාගෙං යැපෙන එක එකම මාර්ගෙ කරගත්තු ගෑනියෙක් වුණානං…හෂාන් මොන නැටුම නැටුවත් ඒ කසාදෙ එල්ලිල ඉඳියි. ඒ ගෑනිට ජීවත් වෙන්න තියන මාර්ගෙ එයා නිසා. මට එහෙම නැති නිසා මට එහෙම ඉන්න ඕනත් නෑ. සමහර විට හර්ෂ එක්ක ජීවත් වෙන්න තිබුණනං…එයාගෙං මට වරදක් වුණත් මං ඉවසයි. ඒ මට දැනුණ ආදරේ තියෙන්නෙ එතන නිසා. විදුර ඔයාට ලෝකයක් කියල මං දන්නව. එදා කොෆී ශොප් එකේදි එයා ඉස්සරහ ඔයාගෙ ඇස් වල තිබුණෙ එහෙම හැඟීමක්. විදුර වුණත් ඔයා දිහා බැලුවෙ අත් ඇරල දාන්න බැරි ලෝබ කමක් තියන ඇස් දෙකකින්. ඔයාල දෙන්නගෙ ලෝකෙ හැම තැනම ආදරේ පිරිල තියෙයි. ඔය දෙන්නටම ඒ කසාදෙ එල්ලිල ඉන්න ආදරේ කියන පොදු හේතුව තියෙයි. ඒක නිසා මොන ප්‍රශ්න ආවත් ඔයා විදුරව අත්ඇර ගන්න එපා”

අක්කා කතා කළේ සිය අත්දැකීම් මතිනි. විදුර වරදත්ත නම් වන දේශපාලන සතුරාට සිය දියණිය දෝතින් පිළිගන්වන්නට වජිරපාණී වික්‍රමබාහු කිසි දා එකඟ නො වන්නී ය. ඒ නිසා නියත වශයෙන් ම මට තෝරා ගැනීමක් සිදු කරන්නට නියමිත වනු ඇත. ඒ අම්මා ද විදුර ද ලෙසිනි. ගෑනු ළමයෙකුට සිය ජීවිතයේ දී මූණ දෙන්නට සිදු වන දරුණු ම ස්වයංවරය වූ කලී එයයි. 

මැතිවරණ ප්‍රචාරක කටයතු ජයට ම කෙරී ගෙන ගියේ ය. අම්මා අතිශය කාර්ය බහුල වී සිටියා ය. ඒ අතරේ එක වතාවක් විදුර සමගින් දුර ගමනක් ගිහින් ඒමේ දොළක් මා තුළ උපන. අක්කා මගේ අශාව ගැන විරෝධය පෑවේ නැත.

“හෂාන් එක්ක නරා දුකක් විඳිද්දි මට රහසෙං හිතෙන් සතුටු වෙන්න හරි තිබුණෙ කැම්පස් එකේදි හෂාන් එක්ක එකතු කරපු මතක විතරයි. ඔයා ගිහින් එන්න. හැබැයි රෑ වෙන්න කලින් ගෙදර එන්න හරිද…තාත්ත නැති වුණාට පස්සෙ අම්ම අපි ගැනත් හොයනව බලනව වැඩියි. එග්සෑම් ඉවර නිසා ඔයා ඇයි එළියට ගියෙ කියල අම්ම මගෙන් අහන්න පුළුවන්”

අවදානම් රස විඳින්නට ඇති නැඹුරුව මානව ජාන වල ප්‍රමුඛ ලක්ෂණයක් විය යුතු ය. ඒ නිසා මම ඒ අවදානම කැමැත්තෙන් භාර ගතිමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles