වෙනස් රසකින් යුතු බත් වර්ග තුනක් හදමු ද ?

අපි කතාවටත් කියනවනෙ බත් කියන්නෙ ශ්‍රී ලාංකීය අපේ ජාතික ආහාරය කියල. 

ශරීරයට අහිතකර කෑමක් විදිහට අද බොහෝදෙනෙක් බත් කන එක ප්‍රතික්ෂේප කරත් ඒක සම්පූර්ණ වැරදි වැටහීමක්.

හරි විදිහට ආහාරයට ගත්තොත් බත් කියන්නෙ දෛනික කාබෝහයිඩ්‍රේට් අවශ්‍යතාව සම්පූර්ණ කරන්න පුළුවන් පෝෂණය පිරුණු ආහාරයක්.

ඉතිං විශේෂ අවස්ථාවකදි සාමාන්‍යයෙන් හදන එළවළු බත්, කහබත් සහ ෆ්‍රයිඩ් රයිස් වර්ග ඇරුනම නිර්මාංශ ඔබටත් කන්න පුළුවන් රසම රස වගේම පෝෂණයෙන් පිරුණු බත් වර්ග තුනක් පිළියෙල කරගන්න විදිහ ඔබට කියල දෙන්නයි අපි අද සූදානම් වෙන්නෙ.

එහෙමනම් බලමුද මේ බත් වර්ග මොනවද කියල?

Beans Rice 

අවශ්‍ය ද්‍රව්‍ය

  • හොඳින් සෝදා වතුර පෙරාගත් බාස්මතී සහල් 200g (ඔබ කැමති සහල් වර්ගයක් භාවිතා කරන්න පුළුවන්)
  • රතු පාට බෙල් පෙපර් 150g ක්
  • කොළ පාට බෙල් පෙපර් 150g ක් 
  • පොඩියට කපාගත් සුදුළූනු මේස හැඳි 02 ක්
  • තම්බා පොතු ඉවත්කර බ්ලෙන්ඩර් කරගත් තක්කාලි 175ml ක්
  • මිරිස් තේ හැඳි 01 ක්
  • ගම්මිරිස් තේ හැඳි ¼ ක්
  • සූදුරු තේ හැඳි 01 ක්
  • තම්බන ලද මුං ඇට කෝප්ප 125g ක්
  • තම්බන ලද බඩ ඉරිඟු ඇට 125g ක් 
  • රස අනුව ලුණු
  • වතුර 
  • ලූණු කොළ

සාදාගන්නා ආකාරය

මුලින්ම භාජනයක් ලිපතබා එයට තෙල් ස්වල්පයක් එකතු කරගන්න.

තෙල් රත්වන විට කපාගත් ලූණු, බෙල් පෙපර් එකතු කර හොඳින් කලවම් කරන්න.

ලූණු තැම්බෙන තුරු විනාඩි 03 ක් පමණ තබා එයට සුදුළූණු එකතු කරන්න.

නැවත හොඳින් කලවම් කර විනාඩියක් පමණ තබන්න. 

දැන් එයට පොඩිකරගත් තක්කාලි එකතු කර හොඳින් කලවම් කරන්න.

සහල්, මුං ඇට සහ බඩ ඉරිඟු ඇට එක්කර හොඳින් කලවම් කරගන්න.

දැන් බත් ඉදීමට ප්‍රමාණවත් තරම් වතුර තබා (බාස්මතී සහල් නම් වතුර 225ml ක් පමණ) හොඳින් කලවම් කර පියනකින් වසන්න.

සාමාන්‍ය ගින්දරේ සහල් තැම්බෙන තුරු පිසගන්න.

බත් හොඳින් තැම්බුණු පසු කපාගත් ලූණු කොළ දමා කලවම් කරන්න. 

ලිපෙන් ඉවත්කර මඳ රස්නෙන්ම පිළිගන්වන්න.

Chili Garlic Rice 

අවශ්‍ය ද්‍රව්‍ය

  • බාස්මති හෝ ඔබ කැමති වර්ගයකින් බත් කෝප්ප 01 ක් 
  • සිහින්ව පෙති කපාගත් සුදුළූණු කෝප්ප ¾ ක්
  • සිහින්ව කපාගත් වියළි මිරිස් කරල් 3 ක් 4 ක් (කෑලි මිරිස් යොදා ගන්නත් පුළුවන්)
  • ලුණු කුඩු
  • ගම්මිරිස් කුඩු 
  • ලූණු කොළ
  • තෙල් 

සාදාගන්නා ආකාරය 

මුලින්ම භාජනයක් ලිප තබා එයට තෙල් එකතු කරන්න.

තෙල් රත්වූ විට ලියාගත් සුදුළූණු එකතු කර හොඳින් කලවම් කරන්න.

සුදුළුණු රන්වන් පාටට බැදෙන තුරු තබා එයට කපාගත් වියළි මිරිස්, රස අනුව ලුණු සහ ගම්මිරිස් කුඩු එකතු කර කලවම් කරගන්න.

දැන් එයට පිසගත් බත් එක්කර හොඳින් කලවම් කරන්න.

ලිප නිවා සිහින්ව කපාගත් ලූණු කොළ එකතු කර හොඳින් මිශ්‍රකර උණුසුම්ව පිළිගන්වන්න.

Lemon fried rice

අවශ්‍ය ද්‍රව්‍ය 

  • බාස්මතී හෝ ඔබ කැමති වර්ගයක සහල් 300g කින් පිසගත් බත් 
  • තෙල් මේස හැඳි 03 ක් 
  • අබ තේ හැඳි 01 ක් 
  • සූදුරු තේ හැඳි ½ ක්
  • කරපිංචා කොළ 15 ක් 20 ක්
  • පොඩිවට කපාගත් ලූණු 130g ක් 
  • කොටු හැඩයට කපාගත් කැරට් 150g ක්
  • කොටු හැඩයට කපාගත් රතු බෙල් පෙපර් 150g ක් 
  • කුඩාවට කපාගත් ඉඟුරු මේස හැඳි 01 ක් 
  • කහ කුඩු තේ හැඳි 01 ක්
  • ගම්මිරිස් කුඩු
  • ලුණු කුඩු
  • අඟල් භාගයක පමණ කැබලි වලට කපාගත් බෝංචි 170g ක් 
  • දෙහි හෝ ලෙමන් යුෂ මේස හැඳි 02 ක් 03 ක්

සාදාගන්නා ආකාරය 

මුලින්ම භාජනයක් ලිප තබා එයට තෙල් එකතු කර රත්වීමට තබන්න.

තෙල්‍ රත්වූ පසු තෙලට අබ සහ සූදුරු එක්කර අබ ඇට පිපිරීමට තබා ඉන්පසු කරපිංචා කොල එක්කර ගන්න.

දැන් එයට පොඩිවට කපාගත් ලූණු, කැරට් සහ බෙල් පෙපර් එක්කර හොඳින් කලවම් කරගන්න.

ලූණු තැම්බී අවසන් වුන පසු ඉඟුරු, කහ, රස අනුව ලුණු සහ ගම්මිරිස් කුඩු එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න.

විනාඩියක් පමණ තබා එයට බත් සහ බෝංචි එක්කරහොඳින් කලවම් කරගන්න.

බෝංචි තද කොළ පැහැයට තැම්බීගෙන එන විට ලිප නිවා ලෙමන් හෝ දෙහි යුෂ එක්කර හොඳින් කලවම් කර මඳ රස්නෙන්ම පිළිගන්වන්න.

එහෙමනම් මේ බත් වර්ගත් හදල බලන්න ආදරෙන් ආරාධනා කරන ගමන්ම අපි අද ඔබෙන් සමුගන්නවා.

නැවත මෙවැනි රසවත් ලිපියකින් හමුවෙමු.

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles