මා හිස පිරිමැද අවසාන කොටස

අද අපේ විවාහයේ දස වන සංවත්සරය යි. රාත්‍රී භෝජනය සඳහා විදුර ගේ සහෝදරියන් තිදෙනා ගේ පවුල් තුන ද මගේ අක්කා ගේ පවුලේ අය ද අපේ නිවෙසට පැමිණීමට නියමිත ය. ඊට පෙර මම, කාලයකට පෙර විදුර විසින් ලියන්නට යෙදුණ සටහන් පොත නැවත ද කියවීමි. මගේ ඇස් වල මේ දැනුත් කඳුළක තෙත තිබේ. 

මීට දස වසරකට පෙර ඔහු මට පෑ ආදරය අද ද එලෙසමයි කියා කීවොත් මා කියන්නේ මුසාවක් වනු ඇත. අද ඒ ප්‍රේමය බොහෝ විපර්යාසයන්ට ලක් වී තිබේ. කාලයත් සමග එහි මුහුණුවර, හැඩ තල, වර්ණය වෙනස් වී තිබේ. නමුත් එදා තිබූ විදුර ගේ ප්‍රේමය අංශුවකිනුදු අඩු වී යයි කිව හොත් මට පව් සිදු වනු ඇත. සියලු වෙනස්කම් සිදු ව ඇත්තේ ඔහු ගේ පිරිමි ප්‍රේමයේ පරිනතියක් ඇති කරමිනි.

අපට කුළුඳුළේ උපන්නේ පුතෙකි. ඔහු විදුර ගේ කපාපු පළුවක් යයි දකිනා හැම කෙනෙකු ම කියත්දී මා තුළ ඇති වන්නේ සාඩම්බරයකි. පුතාට වසර තුනකට පස්සේ අපේ ලෝකයට එන රෝස බෝනික්කියට ද විදුර ගේ මුහුණ කට පෙනුම බැලූ බැල්මට ම පිහිටා තිබේ. 

“එකෙක්වත් මං වගේ නෑ”

කියා බොරු නෝක්කාඩුවකින් කීවාට ඔවුන් විදුර වගේ වෙන එක මට මහත් සතුටකි.

“මං අම්මි වගේ”

පුංචි කමට දියණිය මගේ ගෙල බදා ගෙන කියයි. ඒ, ඔවුන් පියා වගේ වූ එක ගැන මා දුකෙන් යයි ඇය සිතනා බැවිනි. මා වගේ යයි කීවාට ඇය වැඩිපුර ආදරේ තාත්තාට බව මම දනිමි. එය එහෙම විය යුතු ය. දූ ලා වැඩිපුර ආදරේ තාත්තලා ට ය. මා ද එසේ ය. 

මගේ ජීවිතයේ පළමු වීරයා, තාත්තා, අද ජීවතුන් අතර නැත. මේ දිවියෙහි මට උහුලා ගන්නට සිදු වූ දැවැන්ත ම අහිමි වීම හා වේදනාව තාත්තා මරණයත් එක්ක නික්ම යාමයි. සැබවින් තව බෝ කාලයක් ඔහුට ජීවත් වන්නට තිබිණ. නමුත් ඩිමෙන්ශියාව තාත්තා ගේ ජීවිතය අකාලයේ උදුරා ගන්නට තරම් අකාරුණික විය. ජීවිතයෙන් සමු ගන්නා විට ඔහු සිය දියණියන් දෙදෙනාව හෝ නො හඳුනන තත්වයක පසු වූයේ ය. කිසිදු දරුවෙකුට එහෙව් දුකක් විඳින්නට නො සිදු විය යුතු ය. කිසිදු දියණියකට සිය දෙමාපියන් අහිමි නො විය යුතු ය.

තාත්තා මගේ දරුවන් දෙදෙනා ම දුටුවත් ඔවුන් ගැන ඔහු ට ලොකු මතකයක් හෝ බැඳීමක් ඇති වූවා කියා නො සිතමි. හැම වෙලාවක ම අප ඔහු ට ඒ දරුවන් කාගේ ද කියා මතක් කොට දිය යුතු වූ බැවිනි. 

විදුර ගේ මව මිය ගියේ අපේ පුතාට දෙවසරක් සම්පූර්ණ වෙත්දී ය. ඒ වන විට ඇය ශාරීරික වශයෙන් අබල දුබල  තත්වයක පසු වූවා ය. නිතර නිතර ගිලන් වූවා ය. කිහිප විටක් රෝහල් ගත ව ප්‍රතිකාර ලැබුවා ය. ඒ වන විට විදුර ගේ අම්මා ද අපේ තාත්තා ද සිටියේ අප සමග ය. අපේ අම්මා අප වෙතට පැමිණීම ප්‍රතික්ෂේප කළා ය. ඉතින් අපි ඇයට බල කරන්නට නො ගියෙමු. 

දික්කසාදයෙන් වසරක් පමණ ගත වූ තැන අක්කා නැවත විවාහ වූවා ය. ඒ ඇගේ ප්‍රථම පෙම්වතා වූ හර්ෂ සමග ය. ඒ වෙත්දීත් ඔහු අවිවාහක ව සිටි අතර, හෂාන් අතැර අක්කා මහ ගෙදර පැමිණීමෙන් පස්සේ නැවතත් ඔවුන් අතරේ ඇසුරක් ඇති වී තිබේ. අක්කා පදිංචි වී සිටියේ අම්මා ද බලා ගෙන අපේ මහ ගෙදර ය. 

මා වඩාත් ආදරය කළ මගේ තාත්තා ද විදුර ගේ අම්මා ද ඉක්මනින් අප අතැර යාම මගේ හදවතට එල්ල වූ විශාල පහරක් වූ බව කිව යුතු ම ය. නමුත් ඒ වන විට මා පුතෙකු ගේ මවක වී සිටි නිසා ද විදුර දේවදාර වෘක්ෂයක් සේ සිය සුවඳැති සිහිල් සෙවනේ මා රැක ගෙන උන් නිසා ද ඒ පිය විප්පයෝගයන් දරා ගෙන ජීවිතයට මැදිහත් සිතින් මුහුණ දෙන්නට මට හැකි විය. 

අංශභාග තත්වයට ලක් වීමෙන් පසු අම්මා ට අකමැත්තෙන් වුව සක්‍රිය දේශපාලනයෙන් ඉවත් වන්නට සිදු වූයේ ය. අප බලාපොරොත්තු වූ හෝ උත්සාහ කළ හෝ අම්මා වෙනුවෙන් ඇප කැප වූ තරම් ඉක්මනට ඇය සුව වූයේ ද නැත. ඒ ගැන දිගින් දිගට ම කල්පනා කිරීම හා තැවීම නිසා මානසික වශයෙන් ඇය තව තවත් ගරා වැටුණා ය. මනසින් වැටෙත්දී ශාරීරික වශයෙන් සුව වීම තව තවත් පසුපසට ගියේ ය. අවසන, දේශපාලනයට යොමු වීම නිසා අම්මා ට ඉතිරි වූයේ විශ්‍රාම වැටුප විතර ය.

දැන් අම්මා සිටින්නේ අපේ ගෙදර අපත් සමග ය. ඒ පසුකාලීන ව ඇය අක්කා එක්ක නිතර නිතර රණ්ඩු කර ගන්නට වූ නිසා ය. ඇය මට යම් පමණකට කීකරු වූවා ය. දැන් ඇගේ දියණිවරු දෙදෙනා ම විවාහ වී සිටිනා බෑණාවරුන් දෙදෙනා ඇය විසින්  ප්‍රතික්ෂේප කරනා ලද අය ය. නමුත් විදුර නම් කිසි දා ක, ඔහු ගේ ජීවිතය උදුරා ගන්නට තැත් කළ ගැහැනිය වී ද අම්මා ගෙන් වෛර පිරිමැසුවා නොවේ. මට හෝ අක්කා ට අත තද කොට බෙහෙත් තෙල් ගල්වන්නට බැරි නිසා, අම්මා ගේ අත පය වල ට තෙල් බෙහෙත් සාත්තුව කළේ පවා ඔහු ය. අතීතය ගැන අම්මා ඉදිරියේ ඔහු වචනයක් හෝ කතා කරන්නේ නැත..විදුර වරදත්ත කියන්නේ ඒ තරමට මහත්මා ගති ඇති මිනිසෙකි. පමා වී හෝ අම්මා ඒ බව වටහා ගන්නට ද ඇත. වතාවක් විදුර ව පැහැර ගෙන ඔහු ගේ ජීවිතය බිල්ලට ගන්නට තැත් කළ ඇය අද සැනසිල්ලේ අප ළඟට වී සිටින්නේ එබැවිනි.

පෑන පැත්තකින් තබන්නට විදුර ගන්නා ලද තීරණයේ දී ඔහු ගේ පවුලේ අය එක හෙළා ම ඒ ගැන සැනසුම් සුසුම් හෙලූහ. ඒ තරම් කාලයක් ඔහු රට හදනාතරවාරයේ උහුලා ගත් ගින්දර ගැන දන්නේ ඔවුන් ම බැවිනි. රැකියාව අත්හැරියා කියා කිසිවෙකු විදුර ව අත්හැරියේ නැත. සහෝදරියන් තිදෙනා ද අම්මා ද ඔහු වට කොට ගෙන එක රෑනක් ව සිටියෝ ය.

රැකියාවෙන් ඉවත් වී ඔහු තෝරා ගත් ව්‍යාපාරය වන්නේ පොත් ප්‍රකාශන ක්ෂේත්‍රයයි. කඩදාසි හා තීන්ත සුවඳ ඔහු ගේ ජීවිතය හා මුහු වී ඇති නිසා ඒ ගැන මම හදවතින් ම සතුටු වීමි. අනිත් අතට විදුර කියන්නේ දක්ෂ ලේඛකයෙකි. ඔහු ගේ මාර්ගය පෙහෙළි වී තිබුණේ ඒ ගම්බිම් හරහා ය.

ඉතා කෙටි කාලයක් තුළ විදුර පොත් ප්‍රකාශන ක්ශේත්‍රයේ ඉහළ නමක් දිනා ගත්තේ ය. ඒ අතරේ ඔහු විසින් ලියනා ලද ග්‍රන්ථ කිහිපයක් ද ප්‍රකාශයට පත් විය. ඉන් එකක් ජාතික වශයෙන් සම්මානයට පවා පාත්‍ර විය. නමුත් විදුර සම්මාන ගන්නට උත්සව වලට යන්නෙකු නොවේ.

“මිනිස්සුන්ගෙ සම්මාන මට ඇති. වෙන කවුරුත් දෙන ලී කෑල්ලකින් මට ඇති වැඩක් නෑ”

ඔහු පුවත්පත් සාකච්ඡාවකදී එසේ කියා තිබුණේ ය. 

අපේ ගේ ඉදිරියේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතීඥ තිසුරි බණ්ඩාරනායක සපුතන්ත්‍රී යනුවෙන් සනිටුහන් වූ නාම පුවරුවක් ගසා තිබේ. නමුත් උසාවි යන්නට මට පහසුවක් ඇත්තේ නැත. අවුරුදු නවයක පුතෙකු ගේ ද අවුරුදු හයක දියණියක ගේ ද මවක හා කාර්යබහුල ව්‍යාපාරික සැමියෙකු ගේ බිරිඳ වශයෙන් සැබවින් ම උසාවි යමින් නීතීඥ වෘත්තියේ නිරත වෙන්නට කාලයක් සොයා ගන්නට බැරි තරම ය. ඒ හින්දා මම ගෙදර ඉදිරිපස තැනූ කාර්යාල කාමරයක ඔප්පු තිරප්පු ලිවීම වැනි උසාවි යමින් සිදු කිරීමට අවශ්‍ය නොවන සරල නීති කටයුතු පමණක් කරමින් දැනට ගෙදරට වී සිටිමි. දරුවන් තව ටිකක් වැඩෙනා විට වෘත්තීය කටයුතු වලට පූර්ණකාලීනව නැඹුරු වීම මගේ අදහසයි. 

“අම්ම ඉන්නවනෙ ගෙදර. ඔයා කැමතිනං ජොබ් එක කරන්න”

විදුර මට කියයි. නමුත් අසනීප තත්වයේ සිටින අම්මා ළඟ දරුවන් තබා හිතේ නිදහසේ රාජකාරී කටයුතු වල නිරත විය නො හැකි බව මම දනිමි. අනිත් අතට මට ලොකු හදිසියක් නැත. මුතු කැට දෙකක් වන් දරුවන් දෙදෙනෙකු ගේ අනාගතය අම්මා වශයෙන් මා අත වන බව මම හොඳාකාරව දනිමි. අපේ අම්මා ට අප වෙනුවෙන් වැය කරන්නට කාලයක් තිබුණේ නැත. අපේ ළමා විය අම්මා කෙනෙකු ගේ ස්නේහයෙන් තොර වීමේ හිස්කමක් සමග ගෙවී ගිය එකකි. යමක් කමක් තේරෙන්නට ගත්දී, මගේ දරුවන්ට නම් කිසි දා එවන් ඉරණමක් අත්වන්නට නො දෙනා බවට මම දැඩිව අදිටන් කර ගෙන සිටියෙමි.

“තිසූ…ඔයා මොකද කරන්නෙ…දැං කේටරින් එකෙන් එයි හොඳේ”

කියා ගෙන විදුර කාමරයට ආවේ ය. මගේ තුරුලේ තිබූ, ඔහු ගේ අත් අකුරෙන් ලියැවුණු දම් පාට පිටවැස්මක් සහිත සටහන් පොත ඔහු හැඳින ගන්නට ඇත. ඒ පොත ළැමෙහි හොවා ගෙන තෙත් වූ ඇස් ඇතිව ද මුව මඳහසින් ද හිඳිනා මා දුටු කල ඔහු ගේ මුහුණේ වූ කලබලකාරී බව වහා වෙනස් වී, කාලයකට පෙර මා ආදරය කළ විදුර වරදත්ත සපුතන්ත්‍රී නැවත ද ඉස්මතු වූයේ ය. මේ වසර දහයට ඔහු ගේ වයස අවුරුද්දකින්වත් හෙළවී නැති තරම ය. ඒ තියුණු දෑස් ද රැවුල් කොට වැවුණු නො පිරුණු මුහුණ ද, වැළමිට සන්ධිය තෙක් අත් නැවූ කොටු කමිස ද එලෙස ම ය. හිස මත්තේ කොණ්ඩය නම් ටිකක් අඩු වී තිබේ. සුදු කෙස් ගස් සංඛ්‍යාව ද තරමක් වැඩි වී ඇතිවා විය හැක. නමුත් ඒ සුදු කෙස් හා රැවුල් ගස් විසින් ඔහු ට මවා දී ඇත්තේ වියපත් පෙනුමක් නොව පරිනත පිරිමි පෞරුෂයකි. 

“සුදු මැණික”

හෙමිහිට මවෙත පැමිණි හෙතෙම මගේ බඳ වටා දෑත් යවමින් මා සිය සිරුරට ලං කොට ගත්තේ ය. මම සටහන් පොත ඔහු ගේ පපුව මත තැබුවෙමි.

“ඔයාට පුළුවන්නෙ…මේකත් ප්‍රින්ට් කරන්න. විදුර වරදත්තගෙ ආදර කතාව උණු කැවුං වගේ කෙල්ලො පොරකකා ගන්න එකක් නෑ කියලද හිතන්නෙ…”

මගේ උරහිස් දෙක මත අත් බාහු දිග හළ විදුර යෞවන ප්‍රේමවන්තයෙකු වාගේ මගේ මුහුණට එබුණේ ය.

“එහෙමද ආස….”

මට ‘හිචිස්’ ගා සිනහ නැඟිණ.

“උඹට ආදරේ කරපු තරම විකුණගෙන කන්න තරං මං බංකොලොත් නෑ බං”

“ඒත් මං ෂයිනිට කිව්ව අපේ කතාව…එයා ලියයි දවසක”

“හ්ම්”

 මම ඒ නො පියවූ උඩු බොත්තමෙන් නිරාවරණය වූ කේෂර පපුවේ දෙතොල් තෙරපා ගතිමි. එදා වාගේ ම අදත් මේ නො පියවූ බොත්තම් වලින් නග්න වන පපුව මගේ ගැහැනු හැඟීම් ගිනි ජාලාවක් සේ අවුළුවමින් නැගී සිටී. විදුර ද ඒ බව හොඳට ම දනී. 

“බොත්තම දාගෙන ඉස්සරහට යන්න. දැං කට්ටිය එනව”

මා එය කීවේ ඔහු ගේ පපුවේ මූණ ඔබා ගෙන ම තරමක් තර්ජනාත්මකව ය. විදුර ඊට හඬ නගා සිනහ වූයේ ය.

“ඒ ඊරිසියාව තාමත් එහෙමමයි නේ…”

“ඔව් ඉතිං…වෙන ගෑනුන්ට පිස්සු හැදෙන්න ඕන්නෑනෙ නිකං අපරාදෙ”

විදුර ගේ ලවන් මගේ දෙතොල් මත රස සුවඳ තවරමින් තෙරපිණ. අපේ සිව් නෙත් අතරේ එදා ට වැඩි ආදරයක් මේ මොහොතේත් සංසරණය වූවාට සැක නැත. 

“මට මොනාද දෙන්නෙ ඇනිවසරි එකට…”

“ලෑස්ති වෙලා ඉන්නකො. මං අරං එන්නං”

විදුර කාමරයෙන් නික්ම ගියේ මා මත් කරනා බැල්මකිනි. 

අපේ තේමා වර්ණය වූයේ සුදු හා අළු ය. අපේ විවාහය දා වාගේ ම මම සුදු මැක්සි ගවුමක් ඇන්දෙමි. චූටි දූ සුදු බැලේ ගවුමකින් සැරසුණා ය. පුතා ට සුදු අත් දිග කමිසය සහ අළු පැහැති කලිසම ද හාෆ් කෝට් එක හා කරට බෝ එක ද සහිත විය. විදුර ගේ ඇඳුම ද අළු හා සුදු කලිසම් කමිස ය. කෝට් එක අතක දමා ගෙන ඔහු යළි කාමරයට ආවේ තිලිණය ද රැගෙන ය. මම හදිසි උනන්දුවකින් යහන මත තබා ඒ රන් පැහැති දවටනය ඉවත් කළෙමි. ඒ තුළ වූයේ කාලයකට කලින් ජනරාව පුවත් පතට ඔහු ගේ නමින් මා කවි ලියා යැවූ ලියුම් කවර මිටිය යි. මගේ අතින් නිම වූ, මගේ අතින් හැඩ වූ, දන්න ශිල්ප යොදා ලස්සන ම අකුරෙන් ඔහු ගේ නම ලියූ වෛවර්ණ ලියුම් කවර!

මගේ මුවට නිරායාස සිනහවක් නැගෙන්නට ඇත. මා නෙතු ඔසවා බලත්දී විදුර මගේ මූණ දෙස ම බලා සිටියේ ය. ඔහු ගේ දෙතොල් මත්තේ වූ සිනහව සිප නො ගෙන ඉන්නට මට හැකි වූයේ නැත. 

“අනේ විදුර”

මම ඔහු ගේ ගෙලෙහි එල්ලී ගතිමි. පරිස්සමට මා වැළඳ ගත් ඔහු ඉතාමත් සව්මිය ලෙස කොපුලක් සිප ගත්තේ ය. 

“මේ අනිත් තෑග්ග. ඒක කලින් එක තරං වටින්නෑ හැබැයි”

ඔහු මගේ අතැඟිල්ලට දියමන්තියක් ඇල්ලූ සුදු රන් මුදුවක් දැමුවේ ය.  

“ඊළඟ අවුරුදු දහයෙත්…ඊටත් පස්සෙ අවුරුදු දහයෙත්…ඊටත් එහා අවුරුදු දහයෙත් මට ඔයාගෙ ආදරේ මේ විදිහටම ඕනෙ තිසූ. හැම තිස්සෙම හිතෙන දෙයක් තමයි…ඔයාට වැඩිය මං අවුරුදු විසි ගාණක් වැඩිමල් නිසා මං ඉක්මනට මැරෙයි කියන එක. මැරෙන්න ලෝබයි තිසූ ඔයා දාල…පුළුවන් තරං කාලයක් ඔයත් එක්ක ජීවත් වෙන්නයි ඕනෙ”

“අනේ..මොනාද කියන්නෙ මේ…පහු වෙලා හම්බ වෙලා ඉක්මනට යන්න හිතන්නවත් එපා. ඔයාට විනාඩියකට හරි කලින් මගෙ ඇස් දෙක පියවෙන්න ඕනෙ. මොකද මං ඔයා නැතුව ජීවත් වෙන්න දන්නෑ”

උගුර රිදී, ඇස් වලට කඳුළක් මෝදු වී ගෙන ආවේ ය. මම ඉක්මන් ඇස්පිය සැළුවෙමි.

“තාත්ති සෝ…හැන්ඩ්සම්…”

හුරතල් බසින් එසේ කියමින් කාමරයට දිව ආවේ අපේ දූ කුමරියයි. ඇය පිටුපස පොඩි විදුර සිනහ වෙවී මදෙස බලා සිටියේ ය. ඔහු දැන් අවුරුදු නවයක් වයසැති කුමාරයෙකි.

“අම්මි තමයි අද ලස්සනම”

“ඔය දෙන්න නැත්තං අම්මියි තාත්තියි මෙහෙම ලස්සන වෙන්න විදිහක් නෑ මගෙ මැණික් කැට දෙක”

විදුර දියණිය වඩා ගත්තේ ය. මම පුතු ගේ අතක් අල්වා ගතිමි.

“යං”

ඔහු මගේ බඳ පිටුපසින් අත තබා කීවේ ය. මම නිදහස් අතින් ඒ අත් බාහුවේ එල්ලුණෙමි. කම්මුල එහි තද කොට ගෙන ආදරය තවත් ඔහු ට දැනෙන්නට හැරියෙමි. විදුර මහිස සිප ගත්තේ ය. 

“මගෙ ජීවිතේ තමයි ඔය තුන් දෙනා”

ඔහු ගේ හඬ බිඳී යනු මට දැනිණ. දෝණි තාත්තා ගේ ගෙල බදා ගෙන මුහුණ සිප ගත්තා ය. මට මගේ රත්තරං තාත්තා සිහි විය. 

-සමාප්තයි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles