දෙහිතක කතාවක් 30

කොපමණ වෙනත් දේ ඔස්සේ ගතත් සිතත් වෙහෙසට පත් කරද කැළුමිනී කියූ දේ අමතක කරන්නට හැකියාවක් ප්‍රභාත්ට තිබුනේ නැත. අනෙක් අතට අම්මලා වුවද මේ ඔස්සේ සිතට අරගෙන එන ප්‍රශ්නදරාගන්නට බැරිතරම් බරය.

“දැන් කැළුමිනීට හම්බෙන්න ඉන්නෙ උඹේම ළමයෙක් කියල විශ්වාසද?”

සමච්චල් සහගත සිනාවක් එක්ක අක්කා තනන්නෙ සිත අස්සේ අලුත් ගිනි පුංජයක් මවන්නට බව ප්‍රභාත් තේරුම් නොගත්තා නොවේ. එහෙත් කැළුමිනී වනා හී විවාහ ජීවිතය ඇතුලේ එවන් වැරදි නොකල අයෙකු බව අමුතුවෙන් සිතට තේරුම් කරදෙන්නට නුවුමනා බව ප්‍රභාත් දැන උන්නේය.

“එහෙම කියන්න එපා අක්කේ. කැළුමිනී එහෙම නරක මනුස්සයෙක් නෙවෙයි”

තම මුවගින් එවන් වදනක් පිටවීමට හේතුව කැළුමිනී විසින්කියූ දරුවෙකු ගැන කතාව නිසා සිත මෙලෙක වීමද නොඑසේනම් ඇය තමාගේ තෝරාගැනීම නිසා ඒ තීරණය සාදාරණීකරණය කරන්නට ගත් බොලඳ උත්සහයක්ද කියා ප්‍රභාවත්වත් දැන උන්නේ නැත.

එහෙත් ඒ වචන ප්‍රභාත්ගේ සොයුරිය වන වසුන්දර කෝප ගන්වන්නට හේතු වූවාය.

“ඒ ගෑණි මූව මෙච්චර රවට්ටලත් මූට තාම ලැජ්ජාවක් නෑනෙ. ඔය කොලඹ හතේ නෝනලව කසාද බඳිද්දිත් අපි කිව්වනෙ. ඇහුවෙ නෑ උපාදියටයි පොත්තෙ රතටයි වහවැටුනනෙ. අන්තිමේ ඔය කරගත්තෙ”

“වසුන්දරා, ඇති දැන් ඔය කට වහගනිං”

මුතුකුඩආරච්චි මහත්මිය නිවස ඇතුලේ සිට ආවේ නොනවත්වා කියවමින් හුන් වසුන්දරාගේ කතාව නවත්වන්නට කටයුතු කරමිනි. පුතා ගෙදර ආවේ බොහෝ දිනකට පසුවය. උණුසුම් තේ කෝප්පය ගෙනවිත් ප්‍රභාත් අත තබන ගමන් මුතුකුඩආරච්චි මහත්මිය දුවණියවෙත රුදු බැල්මක් හෙලුවාය. වසුන්දරා නොරිස්සුමෙන් උරිස් ගැස්සුවාය.

“මං මේ පුතාගෙන් අහන්න හිටියෙ දැන් මොකද කරන්නෙ කියල”

මුතුකුඩ ආරච්චි මහත්මිය කතාවට එළඹුනේ හෙමින් ය. මොන දේ උනත් පවුලක් කඩාගෙන ගෙදරඑන්න යැයි කියා දරුවෙකුට කියන්නට අම්මා කෙනෙකුටහිත් දෙන්නේ නැත. එතනත් ඉන්නේ කෙල්ලෙකි. අම්ම තාත්තා කෙනෙකුගේ හව් හරණක් නැති කෙල්ලෙකි. තමන්ගේ දුවට ඔහොම දෙයක් වූවා නම් තමා හැසිරෙන්නේ මෙයාකාරයෙන් නොවන බව මුතුකුඩ ආරච්චි මහත්මිය සිතා නොබැලුවා නොවේ.  එහෙත් දරුවන් උස් මහත් කර විවාහ කර දුන් පසුව උන්ගේ පවුල් ජීවිත අස්සට ඇඟිලි ගැසීමයුතු නොවන බව මුතුකුඩ ආරච්චි මහත්මිය දැන උන්නාය. 

එහෙත් ප්‍රභාත් උන්නේ ඒ ප්‍රශ්නය ඇසෙන මානයක නොවේ. සකසාගෙන ආ උණුසුම් තේ කෝප්පය ප්‍රභාත්ගේ අත උඩම නිවෙන්නට යද්දී මුතුකුඩ ආරච්චි මහත්මිය නැවත වරක් ප්‍රභාත්ගෙන් එකී ප්‍රශ්නයම ඇසුවාය

“ඈ පුතේ? දැන් මොකද කරන්න හිතාගෙන ඉන්නේ?”

“මම ඩිවෝස් එක දැම්මා අම්මේ. ඒත්…”

“දැන් දරුවෙකුත් ලැබෙන්න ඉන්න එකේ කැළුමිනී කැමතිද ඩිවෝස් වෙන්න?”

“ඒකි කැමති උනත් නැතත් මං නම් කියන්නෙ ඩිවෝස් කරන එක හොඳයි. 

ඔහොම මේ අයාලෙ ගිය, වීඩියෝ වලට නාඩගම් නටපු එකියෙක් එක්ක හිතේ සැනසිල්ලෙන් දීග කන්න පුලුවන් කමක් තියෙනවද හරිහමන් මිනිහෙක්ට.

මං නම් කියන්නෙ ඕකිට ඔහොම වෙලා මදි උඩ දාගෙන උන්…”

“වසුන්දරා මේ මං ආයෙ උඹට කියන්නෙ නෑ. පලයන් යන්න මෙතනින් මල්ලිටයි මටයි මේ කරුණු කාරණා කතා කරගන්න ඉඩ දීලා

නාඩගමක් උනානෙ මේක. උඹට කතාවක් නෑ මෙතන. පලයන් ගිහිල්ල වැඩක් බලාගනින්. අපිටත් මේ නහින දෙහින කාලෙ දෙයියනේ කියල සන්තෝසෙකින් ඉන්න හැටියක් නැති හැටි උඹලගෙ විජ්ජුම්බර හන්දා

පලයන් යන්න මෙතනින්”

කියා මුතුකුඩ ආරච්චි මහත්මිය වසුන්දරාව එලවා දැමුවාය. වසුන්දරා එතනින් ගියේ තවත් මොනවදෝ මුමුණ මුමුණ වුවද ඒ කී කිසිවක් ප්‍රභාත්ගේ කණ වැකුණා නොවේ. ප්‍රභාත් උන්නේ කෙටි කාලීන තිගැස්සුම් ප්‍රවාහයක හසු වීය. ඒ ප්‍රවාහයේ වේදනා තරංගයන් අතර එහෙ මෙහෙ ඇවිදමින් උන් ප්‍රභාත් කල යුත්තේ කුමක් දැයි කියා සිතාගන්නට නොහැකි තැනක සිර වී උන්නේය

“අනේ මන්ද පුතේ වෙච්ච දේවල් මොනවද, ඒවයි ප්‍රති විපාක මොනවද කියල දන්නෙ පුතාලා. ඉන්න බැරි නම් වෙන් වෙන එක නරකයි කියල මං කියන්නෙ නැ. ඒ උනාට පුතේ දැන් මොනව උනත් දරුවෙක් හම්බෙන්න ඉන්න එකේ ඒ දරුවව ඔහොම ඉපදෙන්න කලින් අප්පෙක් නැති දරුවෙක් කරන එක මුලු සංසාරෙ පුරාවටම අපිට කරගහන්න වෙන පවක් වෙයි පුතේ.

අනික් එක මොනව උනත් ඒ දරුවගෙත් අම්ම තාත්තා නෑ. එහෙම එකේ අපි මෙහෙම ඒ දරුවයි තව ඉපදිච්ච නැති දරුවෙක්වයි අසරණ කරන එක මොනතරම් සාදාරණ ද කියල මට හිතාගන්න බෑ පුතේ”

මුතුකුඩ ආරාච්චි මහත්මිය කතාව අවසන් කලේ ඒ වචන අවසානයේ දිග සුසුමක් හෙලමිනි. ඒ සුසුම හෙලුනේ තම පුතණුවන් විඳින දුක නිසාවෙන්ද නොඑසේනම් තම පුතු නිසාවෙන් කැළුමිණීටත් නූපන් දරුවෙකුටත් විඳින්නට වන වේදනාව ගැන සිතා ද කියා මුතුකුඩ ආරච්චි මහත්මිය පවා දැන උන්නාද යන්න සැකයකි.

ප්‍රභාත් එසේ කල්පනා ලෝකයක සිර වී හිඳිද්දී කැළුමිණී උන්නේ හිත හදාගන්නට කටයුතු කරමිනි.

උදේ වරුවේ රැකියාවට අදාල වැඩ කටයුතු අවසන් කරන කැලුමිනී දහවලට කෑම පිසුවේ සතුටිනි. මේ කාලය වන විට උදෑසන ඔක්කාරය සහ ආහාර අරුචිය වැනි ගර්භණී ලක්ශණ දකින්නට හැකි වේ යැයි නැන්දනිය මෙන්ම ගමේ මිඩ් වයිෆ් නෝනාත් සැක පහල කරද එවන් ලක්ෂණ කැළුමිනී තුලින් දක්නට ලැබුනේ නැත.

“දැනට ලොකු ගාණක් මේකෙන් හම්බුනාට මං කල්පනා කරේ නැන්දෙ පොඩි කාලයක් හරි දරුව හම්බෙන්න කලින් මොකක් හරි ඔෆිස් එකකට වගේ ජොයින් වෙන්න තිබ්බ නම් හොඳයි කියල”

රෑ කෑමට නැන්දා සැකසූ ඉඳි අප්ප සමග පොල් කූනිස්සන් මැල්ලුමත් කිරි හොඳිත් කන අතරවාරයේ කැළුමිනී කිව්වේ දවල් තිස්සේ සිතූ කාරණාවක වංහුං ය.

“ඒ කිව්වෙ පුතේ”

තවමත් ලිපේ තබා හැඳි ගාන ගමන් උන් පොල් කිරි හොද්ද බාමින් පබෝදා ඇසුවේ කුතුහලයෙනි. කොළඹින් ඈත ගමක කඳු අස්සේ හැංගුණ තැපැල් කාර්‍යාලයක සේවය කරන තමාට මේ නවීන පන්නයේ රැකියාවල් ගැන ඇති දැනුම අඩුය.

“මම දැන් හම්බකරන ප්‍රමාණෙ නැන්දෙ මටයි නැන්දටයි දරුවටයි තුන් දෙනාටම කොළඹ ගිහින්න උනත් ගෙයක් දොරක් නඩත්තු කරන්න පුලුවන් හොඳ ගාණක්. ඒ උනාට මම වැඩ කරන්නෙ පිට රට කම්පනියකටනෙ. අපි දන්නෙ නෑනෙ ඉතින් ඉස්සරහට මොනා වෙයිද කියල. මේ වෙච්ච දේවල් වල හැටියට ඉතින් රස්සාවක් ගැන උනත් නැන්දෙ මට විශ්වාස කරගෙන ඉන්න අමාරුයි.

මම හිතුවෙ මොනව උනත් ලංකාවෙ ඇතුලෙ ඔෆිස් එකක රස්සාවට ගියොත් මොනා උනත් ඒ ගැන විශ්වාස කරගෙන ඉන්න පුලුවන් නේ. ඒකයි”

“මෙහෙන් ඉතින් පුතාලගෙ උගත්කම් වල හැටියට රස්සාවක් හොයාගන්න බෑනෙ පුතේ. පුතාට එහෙම උනොත් කොළඹම තමයි යන්න වෙන්නෙ

අනේ මන්දා ඒ උනාට පුතා ඔය තත්ත්වෙන් තනියම කොළඹ ගිහින් වැඩ පල කරගන්නෙ කොහොමද කියල?”

විස්සෝප වන්නට කාරණානම් පබෝදාට එමටය. එහෙත් එහෙමයි කියා කැළුමිනී ගන්නා තීරණයකට හැකි උපකාරයක් කරනු මිසක අකුල් හෙලන අදහසක් පබෝදාට තිබුනේ නැත.

“බෑ නැන්දෙ මට කොළඹ යන්න හිතක් නෑ ආයෙ. මං බැලුවෙ මෙහෙ දෙණියාය ටවුන් එකේ තියෙනවනෙ එක එක පොඩි ශොප්ස් එහෙම. ඩයලොග් එකකුත් තියෙනව. මං බැලුවෙ එහෙම තැනකට හරි රස්සාවක් තියෙද බලන්න”

“මං මෙහෙම අහනවට පුතා මක්කවත් හිතන්න එපා. නරකද අරවින්ද මහත්තයගෙන් ඔය රස්සාවක විත්තියක් ගැන ඇහුවනම්? ඒ මනුස්සය දන්නවනෙ අපිට වඩා ඔය ටවුමෙ විස්තර ගැන”

කූනිස්සන් පොල් මැල්ලුමෙන් තව හැන්දක් කැළුමිනීගේ පිඟානට බෙදමින් පබෝදා එසේ කීවාය. 

එහෙත් ඒ ඔස්සේ දිගට සිතන්නට කැළුමිනී අපොහොසත් ය

“අනේ මන්ද නැන්දේ ඒ මනුස්සය අපිට දැනටම නොසෑහෙන්න උදව් කරල තියෙන එකේ තව උදව් පදව් ඉල්ලන්න මගෙ හිතට මොකද්ද වගේ

අහල බලන්න උනත් ඒකත් ඒ මනුස්සයට කරදරයක්නේ”

කැලුමිනීත් පබෝදාත් ජීවිතයේ ඉදිරිය ගැන මෙසේ කතා බහ කරමින් හිඳිනා වෙලාවක කොළඹ සිට නොසිතූ සිතක් දෙණියාය වෙත ළඟා වෙමින් උන්නේය.

සඳ පලුවක් අහසේ හිඳ සිනාසුනේ ඒ හදවතට මේ සියලු පැනයන් විසඳන්නට හැකි වේද යන්න ගැන කුතුහලයක සේයාවන් මවා පාමිනි

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles