දෙහිතක කතාවක් 32

“කැලුමිනී”

ඒ අතීතයෙන් ආ හඬකි. අතීතයෙන් ආ ඔහුගේ දෙනෙත් මත ගැටුණ තම දෙනෙත් වල ඇඳී තිබෙන්නෙ විමතියක ලකුණු බව කැළුමිනී තේරුම්ගත්තාය.

ඒ විමතියට සාදාරණ හේතුවක් විය. මේ වසර ගණනාවකට පෙර තමන්ව හැරදා වැඩි දුර අද්‍යාපනය හදාරන්නට පිටරටක ගිය තරුණයාය

තමන් විසින් මාස ගණනාවක් පුරාවට හඬා වැලපෙන්නට හේතු හොයාගත් අහිමි වූ ප්‍රේමයක හිමිකරුවාය

අවසානයේ තමන්ගේ විවාහය බිඳ වැටෙන්නට හේතු කාරණා ඇතිවන්නට මං තැනූ මිනිසාය

“නිම්න”

ඒ හඬ උගුරෙන් පිට වුනේ සෙම බැඳුනාක් විලසින් අපහැදිලිව ගොර හැඩිවය. මේ මොහොතේ නොවේ කිසිම මොහොතක ආයෙ දිනක නිම්නව දකින්නට වේ යැයි කැළුමිණී අපේක්ෂා කරේ නැත.

මිතුරියකගෙන් ඉල්ල ගත් තම දුරකතන අංකයට “මට ඔයාට දෙයක් කියන්න තියෙනවා” කියා පණිවිඩය එවු මොහොතේ සිට අවසාන හමුවීම සිදු වූ දින තෙක්ම තම සිතුවිලි අතර රජ කරමින් හුන් ඔහුව විවාහ ජීවිතයේ කිසිම දිනක තමාට මෙනෙහි නොවූ බව කැළුමිනීට ස්තිරය. එහෙත් අවසානයේ තමා පන මෙන් සුරැකි විවාහ දිවිය බිඳ වැටෙන්නට හේතුවක් උනේත් ඒ අමතක කර දමා තිබූ මතකයම නොවේද?

“කැලුමිනී ඔයාට කොහොමද?”

නිම්නගේ මුවිනුත් ඒ වදන් පිටවුනේ ගොරහැඩිවය. එහෙත් කැළුමිනී උන්නේ ඒ වචන වලට උත්තර දෙන මානසිකත්වයක නොවේ. නිම්නගෙන් අහන්නට එයට වඩා බරපතල ප්‍රශ්නයක් කැළුමිනීට තිබුනි.

“ඇයි නිම්න ඔයා ආවේ? මගේ ජීවිතේ තියෙන තැනටත් වඩා පල්ලෙහට ඇදල දාන්නද? එහෙම නැත්තම් ඔයාගෙ අර මහ ලොකු යාලුව කෝසල වගේ මට තර්ජනේ කරල යන්නද ඒ වීඩියෝ ලීක් කරනව කියල?

කමක් නෑ නිම්න එහෙම කරන්න. මට තව නැති වෙන්න දෙයක් නෑ. විශ්වාස කරල කසාද බැන්ද මනුස්සය කියපු කතා වල හැටියට මට තව නැතිවෙන්න චරිතයක්වත් ආත්ම ගෞරවයක්වත් නෑ. ඒ නිසා ඔයා ආයෙ හිතේ පොඩ්ඩක් හරි ඉතුරුවෙලා තියෙන සැනසීම නැති කරල දාන්න නම් කරුණාකරල ඔයා ඕන දෙයක් කරගන්න. ආයෙ මගෙ දෑහට පේන්නෙ මෙහෙ එන්න එපා. එන්න එපා”

ඒ වදන් කියා අවසාන වෙද්දි හිත පත්ලේ සැඟවී තිබුන වේදනා දියවර කඳුලු ලෙසින් නෙතින් කඩා වැටෙනු වලක්වන්නට කැළුමිනී අපොහොසත් වූවාය. දෙපා අඩපන වී යනු දැනෙද්දි පුටු විට්ටම අල්ලා ගෙන කැළුමිනී පුටුවෙන් වාඩි වූවාය.

නිම්න උන්නේ කියාගත යුත්තේ මොනවාද කියා සිතාගන්නට නොහැකිවය. පබෝදා උන්නේ වෙන්නෙ මොනවාද කියා සිතාගන්නටවත් තේරුම්ගන්නටවත් නොහැකිවය.  නිම්න යනු කැළුමිනී කලින් සබඳතාවයක් පැවැත් වූ පිරිමි ලමයා බවත්, ඇගේ විවාහය හදිසියේ මෙසේ බිඳ වැටුනේ ඒ ප්‍රේම සබඳතාවයේ නොකී කතාවන් ප්‍රභාත්ට හසු වීම නිසා බවත් පබෝදා දැනගත්තෙ කැලුමිනී කියූ දේවල් වලිනි. එහෙත් නොසිතූ මොහොතක නොසිතූ පරිද්දෙන් ඔහුව මෙසේ තම නිවස ඉදිරිපිට දකින්නට වේය කියා කැළුමිනීවත් තමාවත් කිසි දිනක අපේක්ෂා නොකල බව පබෝදාට ස්තිරය.

එහෙත් ඒ දරුවා පැමිණ තියෙන්නෙ කිසිසේත්ම නරක අදහසකින් නොවන බව පබෝදාට සිතුනේ කැළුමිනී කල දෝශාරෝපනය ඔස්සේ නිම්න විසින් පෙන් වූ වේදනාබර හැඟුම් සමුදාය නිසාය.

තරුණ කාලයේ ආසාවල් වලට වහල් වීම ආකර්ශනය ආදරය ලෙස වරදවා වටහා ගැනීම සාමාන්‍ය බවත් ඒ ඔස්සේ මෙවන් දේවල් විය හැකි බව දැන උන්නද අතීතයකට මෙසේ වර්තමානයකටත් අනාගතයකටත් විත් ජීවිත රටාවල් වෙනස් කරන්නට හැකි බව පබෝදා කිසි දිනක සිතා තිබුනේ නැත.

“පුතා ඉඳගන්න” 

පබෝදා එසේ කිව්වේ ආයාසයෙන් මුව මත ඇඳගත් සිනහවක් සමගිනි. නිම්න උන්නේ අපහසුවෙන් බවත්, ඒ අපහසුව තම දෙනෙතට පෙනිම වලක්වනු පිනිස ඔහු බිම බලා හිඳින බවත් පබෝදා තේරුම් ගත්තාය.

නිම්නට හිස ඔසවා ආයසයෙන් හෝ සිනාවකට අර අඳින්නට හැකි උනේ ඒ වදන් ඔස්සේය. එහෙත් සෙමෙන් ගැස්සෙන කැළුමිනිගේ උරහිසුත් ඒ සමගාමීව ඇසෙන හැඬුම් හඬත් දරාගන්නට අපහසුය. මේ වේදනා කන්ද කෙලවරක තමා හිඳින බව දැන දැනම මෙසේ නිහඬව සිටීම යුතු නොවන බව නිම්න දැන උන්නේය. 

“මං ඔයාව එහෙම තැනකට එක්කන් ගිහිල්ල කරේ වරදක් වෙන්නැති කැලුමිනී. ඒ උනාට ඒ උනාට එදාවත් ඉන් පස්සෙ කිසිම දවසකවත් මං ඔයාට වරදක් කරන්න හිතුවෙ නෑ. මම ඇත්තටම දැනගෙන හිටියනම් කෝසල ඒ වගේ මිනිහෙක් කියල මම කීයටවත් ඔයාව ඒ වගේ තැනකට අරගෙන යන්නෙ නෑ. මම එහෙම මනුස්සයෙක් නෙවෙයි කියලා ඔයා හොඳටම දන්නවනෙ 

මම ඇත්තටම ලංකාවට එද්දිවත් මෙහෙම දෙයක් වෙලා කියල හිතුවෙ නෑ අනික මෙච්චර අවුරුදු ගාණකට පස්සෙ. කෝසලමයි මට කතා කරලා මේ ඔක්කොම කිව්වෙ. මට ඌව මරන්න හිතුනා කැළුමිනී. ඊටත් වඩා මට පුදුම වේදනාවක් දැනුනෙ මම නේ ඔයාව එහෙම තැනකට එක්කගෙන ගියේ කියල.

කෝසලගාව තියෙන ඒ වීඩියෝස් ඔක්කොම අයින් කරල දාන්න ඕන බව මම දන්නව. ඒ උනාට මට ඒ ඔක්කොටම කලින් මතක් උනේ ඔයා කොහොමද මේවට ෆේස් කරන්නෙ කියලා.

මම හරිම අමාරුවෙන් ඔයාගෙ විස්තර හොයාගත්තෙ. ඔයා හස්බන්ඩ් ගෙන් සෙපරේට් වෙලා ගෙදරින් ගිහින් කියල දැනගත්ත උනත් ඔයා ඉන්නෙ කොහෙද කියල ඌ දන්නෙ නෑ. ඊට පස්සෙ මම ඔයාගෙ හස්බන්ඩ් ට කතා කරලා මේ විස්තර අහගත්තෙ ඔයා ඉන්නෙ කොහෙද කියල. ඔයාගෙ නැන්දගෙ නමවත් මට මතක තිබුනෙ නෑ.

අයෑම් එක්ස්ට්‍රීම්ලි සොරි කැළුමිනි.මම ඔයාට ප්‍රශ්නයක් වෙයි කියල හිතුවෙ නෑ මම නිසා කවදාවත්? මම ඕන නම් ගිහින් ඔයාගෙ හස්බන්ඩ් එක්ක උනත් කතා කරන්නම්”

නිම්න මේ සියල්ල කියන අතරවාරයේ කැළුමිනීගේ හිස මත අත තැබුවේ සමාව ඉල්ලීමකටත් වඩා මේ මොහොතේ තමා ඇය සමගම සිටින බවට පෙන්නනු පිණිසය.

තරුණ වයසේ ඇතිවන ආකර්ශනය මත කැළුමිනී සමග සබඳතාවයක් පැවැත්වූ බව ඇත්තකි. ඉන්පසුව කිසිම දිනක ඇයව මතක් උනේවත් නැති බව ඇත්තකි. එහෙත් එක් දිනක් හෝ ආදරය කල හිතකින් මෙවන් මොහොතක ඇයව තනි කරන්නට නොහැකි බව  නිම්න දැන උන්නේය. 

“අනේ මන්දා පුතේ අන්තිමේ මේ වෙච්ච දේවල් වලින් දුක් විඳින්න උනේ අපේ දරුවට තමයි” කියමින් පබෝදා දීර්ඝ සුසුමක් මුදා හැරියාය.

“මට ඇත්තටම සමාවෙන්න නැන්දෙ ඒකට. මම මාසයක් නිවාඩු දාලා ආවෙ. මම පොරොන්දු වෙනව මම ආයෙ යන්නෙ කැලුමිනීව මේ හැම ප්‍රශ්නෙකින්ම නිදහස් කරල. මට ඕන නම් කැළුමිනීගෙ හස්බන්ඩ් ට කතා කරල එක්ස්ප්ලේන් කරන්න උනත් පුලුවන්”

“ඔයා හිතනවද නිම්න ඔයා එක්ස්ප්ලේන් කරාම ප්‍රභාත් ආයෙ මාත් එක්ක සෙට්ල් වෙන්න කැමති වෙයි කියල? අනික ඔයා හිතනවද මෙච්චර දේවල් කර කියාගත්තට පස්සෙ ආයෙමත් අපි දෙන්නට එක වහලක් යටට වෙන්න පුලුවන් කියල.

අන්තිමෙ උනෙ මගෙ දරුවට තනිවෙන්න වෙච්ච එක විතරයි”

කැළුමිනී කියූ අවසන් වදන් කිහිපය ඔස්සේ නිම්නගේ දෙනෙත් විසල් ඌයේ ඒ කියූ දේ අදහාගන්නට බැරි ලෙසය.

“දරුවා? ඔයාට දරුවෙක් ඉන්නවද?”

ඇසුවා නොවේ ඇසුණාය. 

“දූට දරුවෙක් හම්බෙන්න ඉන්නෙ පුතේ” කියමින් පබෝදා කියුවේ ඒ කුතුහලය මදක් හෝ අස්වසනු පිණිසයි. නිම්න උන්නේ දෙපා අඩපණව ගියාක් මෙන්‍ ය. මේ ප්‍රශ්නය තමා සිතුවාටත් වඩා බොහෝ දුර ඇදී ගොස් ඇති බව නිම්න තේරුම්ගත්තේ ඒ මොහොතේය.

“ඔයාගෙ හස්බන්ඩ් දන්නෙ නැද්ද දරුවා ගැන?”

“ඒ ලමය කැමති නෑ පුතා ඒත් ආයෙ මේ හැමදේම අමතක කරල අලුතෙන් මේ ගැන බලන්න. දරුවා ගැන කිව්ව උනත් ඒ ළමය හිත වෙනස් කරගත්තෙ නෑ”

නිහඬවම ඈත කඳු දෙස හිස් හැඟීමකින් බලා හිඳින කැළුමිනීගෙන් එවන් පැනයකට පිලිතුරක් නොලැබෙන බව දන්නා නිසාවෙන්දෝ එයටත් උත්තර දුනේ පබෝදාමය. එහෙත් නිම්නගේ නෙතු තිබුනේ හැඬීම නිසා රත් පැහැ වූ කැළුමිනී ගේ මුහුණ මතය.

“මං ආවේ වැරදි වෙලාවකද දන්නේ නෑ” කියමින් අරවින්ද නිවසේ තණ කොල අතුරා තිබූ මිදුලට පිවිසුනේ ඒ මොහොතේය. 

අරවින්දගේ දෙනෙත් මත නිම්නගේ දෙනෙත් වල වූ කුහුලත්, කැලුමිනීගේ දෙනෙත් වල වූ වේදනාවත් මොනවට සලකුණු විය. මද පවන හමා ගියද ඒ පවනින් සනසාලිය නොහැකි අන්දමේ උණුසුම් හැඟීමක් තමනුත් ඔවුන් දෙදෙනා අතරත් හුවමාරු වන බව දැනෙද්දී අරවින්ද අපහසුවෙන් සිනහවක් මුව මත ඇඳගත්තේය.

“එන්න මහත්තය” කියමින් නිම්න අරවින්ද දෙස බලා ඉද්දීම අරවින්දට නිවසට ආරාධනා කලේ පබෝධාය.

“මේ අපේ වත්තෙ මහත්තය” කියමින් අරවින්දව නිම්නට හඳුන්වා දුන්නට නිම්නව කෙසේ අරවින්දට හඳුන්වා දිය යුතු දැයි කියා පබෝදා දැන උන්නේ නැත.

“හෙලෝ, මම අරවින්ද සූරියබණ්ඩාර”

අරවින්ද දකුණත දිගු කලේ “තමුන් කවුද?” යන කුහුල නෙතු මත අලවාගෙනය. නිම්න පුටුවෙන් නැගිට තම දකුණත දිගු කලේ ඒ කුතුහලය විසඳන පිණිස මෙනි.

“මම නිම්න වීරවර්ධන. මම කැළුමිනීගෙ පරණ යාලුවෙක්. නයිස් ටු මීට් යූ මිස්ට අරවින්ද”

අරවින්ද කැළුමිනී දෙස බැලුවේ මද සිනහවකිනි. එහෙත් ඒ සුපුරුදු දෙනෙත් වෙත යාවුණු සිනහව නොවේ. එහෙත් ඒ මද සිනහවත් අරවින්දගේ විසල් දෙනෙතත් අද්දර “බයවෙන්න එපා, මම ඉන්නවා” කියන අන්දමේ කතාබහක් ලියවී තිබෙන බව කැළුමිනී ඇඳින ගත්තාය.

වෙනදාට අරවින්ද සූරියබණ්ඩාර දේහදාරී පෞරුශය ලඟත් නොනැමෙන සිත මෙදා කිසි දිනක නොමැති පරිද්දෙන් ඔහුගේ දෙනෙත් රේඛා අතර පැටලී ඇති බව කැළුමිනීට දැනුනාය.


අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles