නම නොදන්න කදුපන්ති 05

එදා රෑ තමයි වැඩසටහන ප්‍රචාරය කෙරුණේ.අසාද් මම ලොකු අම්මා නස්‍රියා ආච්චි  අපි සේරම වහලය උඩ තරු අහස යට කෝපි බිබී වැඩසටහන ඇහුවා.

සුදු නෙළුම කෝ සොරබොර වැවේ..
මල් සුවඳ දුන් මහියංගනේ..
පුන් පෝය දා පසළොස්වකේ..
මල් නෙලා විකුණූ පන්සලේ..

රත්න ශ්‍රී විජේසිංහයන් රචිත මේ ගේය පද ඇතුලේ තියෙන්නේ ශෝකාන්තයක්…
දෙමව්පියන් උදේට හාදු දීලා අරින පාරිසරික වටපිටාවක් හැම දරුවෙකුටම නෑ..
සම්පත් බෙදීයාම වගේම සමාජ පැළැන්ති වල විෂමතාවය මේ පද අස්සෙ හැංගිලා තියෙනවා.
සුදු නෙලුම කෝ නෙළුම කෝ සොරබොර වැවේ…

මල් නෙලපු පොඩි දරුවා ආපහු එන්නේ නෑ..

සිහින් සිරිපොද වෑහුනා..
ඉවුරු දෙකොපුල සේදුනා…

මේ  අමරදේවයන්ගේ හඬින්…

අසාද්  ඈතින් පේන ලයිට් එළි දිහා බලාගෙන කෝපි කෝප්පය බීලා ඉවර කරලා තිබුනා.

හරි ලස්සනයි පුතේ..ඇත්තටම අහන් ඉන්න පුලුවන්..සින්දු තෝරන වැඩෙත් ඔයාමද කරන්නේ..

ඔව් ආච්චි .. මුල් දවස්වල නම් එයාලා උදව් උනා.දැන් නම් ඒවා කරන්නේ මම තනියම..ඒක නෙමෙයි..සර් කිව්වා ලබන සතියේ ඉදලා මේ වැඩසටහන සජීවීව කරමු කියලා.

ම්ම්.. අම්මේ ඒක මහ බරපතල වැඩක් නේද.. ලොකුඅම්මා ඇහුවෙ ඇත්තටම බය මූනකින්..

ඔවු ටිකක් වගකීම් වැඩියි තමයි. හරියට ලෑස්ති වෙලා ගියහම කරන්න අමාරු වෙන එකක් නෑ..

දැන් එතකොට කෝලර්ස්ලත් ලයිව් කනෙක්ට් වෙනවා ද.. කියලා අසාද් ඇහුවෙ ඈතින් පේන ලයිට්එලි  දිහා බලාගෙනමයි.

ඔව්.. සර් කිව්වා  කෝලර්ස්ලටත් අවස්ථාව දෙමු කියලා තමන් දන්න ලස්සන විස්තර කියන්න කියලා..

අසාද්  හිනා උනා.. හඳ නැති ඒ උනාට තරු පිරුණු අහස යට මට කේසර නැති අඩුව දැනුනේ නැහැ කිව්වොත් ඒක වැරදියි.අලුතෙන් හම්බ වෙලා තිබිච්ච රස්සාව ආසාවෙන් කරන නිසා මට හිතේ වේදනාව පාළුව දුක අමතක කර ගන්න පුලුවන් උනා කියලා හිතුවා.

එදා හැන්දෑවේ වහලේ උඩට වෙලා අර නමක් ගමක් නොදන්න කඳු පන්තිය දිහා බලාගෙන මම ඔහේ කල්පනා කර කර හිටියා.
අසාද් උඩට ආවෙ එයාගෙ ගිටාර් එකත් අරං.. එතකොට අසාත් ඇවිල්ලා සති දෙකක් පහුවෙලා තිබුණා.

කොහොමද ඔයාගේ වැඩසටහන නැගලා යනවද..

මං හිනා වුණා. ගොඩක් අය පෝස්ට් කාඩ් එවනවා. ඔයාට මේ ටිකේ ඒක අහන්න හම්බවුණේ නැද්ද.

මම දිගටම ඒක ඇහුවා.එච්චර කාලයක් ඒ වැඩසටහනේ සිද්ධ උනේ නිකම්ම නිකං ගීත ඉල්ලීම් විතරයි නේද.හැබැයි ඔයා ඔය කරන වැඩේ හොඳයි.රසවින්දනයක් නැති පරම්පරාවක් හදන එක හරි භයානකයි.ඒ වගේ මිනිස්සුන්ට දැක්මක් නැතුව යනවා.ඔප්ෂන් එකක් නැතුව යනවා.එහෙම වුණහම මිනිස්සු ප්‍රචණ්ඩ වෙනවා.ජාතිවාදය ආගම්වාදය වගේ දේවල් වලට ටක්ගාලා නම්මා ගන්න පුලුවන් වෙනවා.
රස වින්දනයක් තියෙන පරම්පරාවක සංවේදීකම කියන එක තියෙනවා .

මං හිනාඋනා . පයිලට් මහත්තයා හොඳ ඩ්‍රයිවින් වැඩේට නෙමෙයි ගුරුකමට.. ඔය කියපු ටිකත් ඇති මට වැඩසටහනේ විනාඩි දහයක් විතර කවර් කරගන්න..

අසාද්  හරි ලස්සනට හිනාවුනා.

කියමුද සින්දුවක්…

එහෙම කියපු අසාද්  එයාගේ ගිටාර් එකත් අරගෙන  වහලෙ උඩ තියෙන කොන්ක්‍රීට් ගැට්ටේ වාඩිවුණා.

ජීවිතයට මොනවා තිබුණද..
නෑ කිසිවක් ඔබවාගේ…
සැනසෙන්නම් මා…
නුඹ ලඟ නම් හැම මොහොතෙම…

අසාද්  හරි අපූරුවට පද ඇමිනුවා…

මට මතක් උනේ කේසර දවල්ට මගේ බත් එක ගේනකං මග බලාගෙන හිටපු හැටි. බත් කාලා කන අයිස් ක්‍රීම් එක යෝගට් එක බෙදාගෙන කාපු හැටි..

ඔයා   උයන බත් මේ තරම් රස ඇයි කියලා දන්නවා ද බානු.. මේ බත් වල වෑංජන වල තුන පහ වලට අමතරව ආදරය දයාව කරුණාව අන්න ඒවත් දාලයි උයලා තියෙන්නේ..
එතකොට අපි දෙන්නම හිනාවෙනවා.

ඒවා මොන කඩේද ගන්න තියෙන්නේ…

අපි දෙන්නම හිනාවෙනවා. බිත්තරේ ඔයා කන්න ඕනේ.ගෑණු ළමයිට පිරිමින්ට වැඩිය ශක්තිය තියෙන්න ඕනේ.. එහෙම කියලා කේසර මට බිත්තරය කවනවා.
ශක්තිය .. මට තනියම හිනාගියා.
සමහර විට කිව්වෙ හිතේ ශක්තිය ගැන වෙන්න ඇති .. ජීවිතයටත් වඩා විශ්වාස කරලා ආදරේ දුන්නට පස්සේ ගෑනු හිස් වෙනවා. ඒ හිස් වෙච්ච ගෑනිව අතරමග දාලා ගියහම ආයෙත් හුස්ම ගන්න අමුතුවෙන් ජීවත් වෙන්න ඉගෙන ගන්න වෙනවා..

බානු…. බානු….

අසාද්  කතා කරනකොට මාව ගැස්සිලා ගියා.

ඇයි මේ කදුලු…

අහ්…. මේ …මේ…

අසාද් ට මට බොරු කියන්න හිතුනෙ නෑ… හුළං පාරට, ඇහැට රොඩ්ඩක් ගිහින් ඔය වගේ සාම්ප්‍රදායික බොරු කියන්න මට හිතුනෙ නෑ…

බානු… කොච්චර කල් ගියත් සමහර මතකයන් තියෙනවා මලකඩ කාපු පිහි වගේ.. ඇනි ඇනී රිද්දනවා…

ඩෝරා කියන්නෙ අපේ ස්ටාෆ් එකේ උන්නු ලස්සන ම හොස්ටර්.. එයාගෙ තාත්තා අරාබි .. අම්මා ඉන්ගල්න්ඩ් සුද්දියක්. ඇත්තටම මුලින්ම මගේ හිත යන්න ඇත්තෙත් ඩෝරාගේ ලස්සනටම වෙන්න ඇති.ඒත් කාලයක් ආශ්‍රය කරනකොට මට තේරෙන්න පටන් ගත්තා ගෑනියෙකුගෙන් මම එක්ස්පෙක්ට්  කරන දේ  ඩෝරා ළඟ නැහැ කියන එක..
ඒ කියන්නේ මේ..ට්‍රැඩිශනල් පිරිමි වගේ මම කනකං ළඟ ඉන්න ඕනේ.. මම කියන හැමදේටම එකඟ වෙන්න ඕනේ කියන දේවල් නෙමෙයි..
මම එයාට රස්සාව කරන්න නිදහස දීලා තිබුණා.හැම නිදහසම එයාට දීලා තිබුණා.හැබැයි මම එක දෙයක් එයාගෙන් බලාපොරොත්තු වුණා.
රෙස්පෙක්ට් එක … එයාගේ…
එයාට ඒක ඇචිව් කරගන්න බැරුව ගියා. 

මම අසාද් දිහා  බලාගෙන හිටියා.

ආච්චි හිතාගෙන හිටියේ මම වෙඩින් එකට ලෑස්ති වෙන්න ආවා කියලා. මම එයාට ඊයේ ඇත්ත විස්තරේ කිව්වා.
මම හිතුවේ ආච්චි ගොඩක් දුක් වෙයි කියලා.ඒ උනාට ආච්චි කිව්වා නොගැළපෙන දෙයක් කර ගහගෙන දුක් විඳිනවාට වඩා හිත සන්තෝසෙන් අතෑරලා දාන එක හොඳයි කියල..

රෙස්පෙක්ට් … කියන එකෙන් ඔයා බලාපොරොත්තු උනේ මොනවද..

මෙන්න මේකයි කියලා ඇඟිල්ලෙන් ඇනලා පෙන්නන්න පුළුවන් දෙයක් එතන නැහැ. ඒ උනාට මම දැක්කේ හැමදාම මගේ අම්මයි තාත්තයි බොහොම ආදරයෙන් ඉන්න පවුලක්. සමහරවිට ඩෝරා එහෙම එයාගේ පවුල ඇතුළින් දකින්න නැතුව ඇති. ඩෝරා හරි හොඳයි.හරි කරුණාවන්තයි. ඒත් එයාව ආශ්‍රය කරනකොට මට දැනුනා එයාගේ ජීවිතයේ සමහර තීරණ වලදී මාව අමතක වෙනවා කියන එක.

එහෙම කියපු අසාද් ඉන් එහාට වචනයක්වත් කතා කළේ නැත්තේ මට වගේම එයාටත් බැඳීම් වලින් දැනිච්ච වේදනාව තදින්ම දැනෙන හින්ද වෙන්න ඇති .

ඒක නෙමෙයි. ඔයා කැම්පස් එකේ ඉන්න කාලේ ෂෝට් ෆිල්ම්ස් කලයි කියලා ආච්චි මාත් එක්ක කිව්වා. ඇයි දැන් ඒවා සම්පූර්ණයෙන්ම අත ඇරලා දාලා තියෙන්නේ..

මං හිතන්නේ ඒ වෙලාවේ මට හිනා ගියා. එදා හැන්දෑවේ අර නමක් කමක් නොදන්න කඳු පන්තිය වැහිලා යනකම්ම කවුද කින්ද මන්ද කියන්න නොදන්න තරු එක දෙක මතු වෙනකම්ම දන්න දා ඉඳන් දකින ඒත් වචනයක්වත් කතා කර ගන්න බැරි හඳ එළියට එනකම්ම මම මගේ කතාව අසාද් ට කිව්වා .

කේසර තමයි අපිට ලෙක්චස් දෙන්න හිටියේ. එයා එයාගේ සබ්ජෙක්ට් එකට උපරිමයෙන් කරන කෙනෙක්.කැම්පස් එකේ තිබිච්ච කෙටි චිත්‍රපටි අත් පිටපත් තරගයකින් මට පළවෙනි තැන හම්බවුණා.මම ඒක මගේ ෆේස්බුක් පිටුවේ දැම්මා. ඒකෙ තියෙන්නේ ඒ පිරිමි ළමයා සැක කරනවා එයාට අසාධ්‍ය රෝගයක් තියෙනවා කියලා.ඒ හින්දා එයා හිතෙන් ආදරය කරන ගෑණු ළමයට ආදරෙයි කියලා කටින් කියන්න එයා බය වෙනවා.අන්තිමේදී එයාගේ වෛද්‍ය වාර්තාව එනවා තව බොහොම ටික කාලයක් එයාට ජීවත් වෙන්න පුළුවන් කියලා.ඊට පස්සේ එයා ඒ ගෑණු ළමයට ආදරෙයි කියන්නත් මෙච්චර කල් ඒක නොකියා ඉන්න හේතුවත් කියනවා. මේ පිරිමි ළමයට ඕන වෙන්නේ එයාගේ අවසාන මොහොතේ තනියෙන් ගත කරන්න.ඒත් නොහිතපු විදිහට ඒ ගෑණු ළමයා මේ පිරිමි ළමයට මහා අසාමාන්‍ය විදිහට ආදරය කරනවා.පිරිමි ළමයාගේ ජීවිත කතාව ඉවර වෙනකම්ම එයා ළඟින් ඉන්න අන්තිමේදී ගෑණු ළමයා අවසර ඉල්ලනවා. මම හරි ආස උනා මේක කැමරාවකින් රූගත කරන්න.උනාට ඒකට බර වියදමක් යනවා.මම ලියපු අත්පිටපත සීශෙල්ස් වල ඉන්න  ලොකු බිස්නස් කාරයෙක් දැකල තිබුණා.එයා මට කතා කරලා කිව්වා මේක කෙටි චිත්‍රපටයක් කරන්න කැමතියි කියලා.මට හිතාගන්න බැරුව ගියා.සාමාන්‍යයෙන් කෙටි චිත්‍රපටි කියලා කියන්නේ ලාභයක් ලබන්න පුළුවන් දෙයක් නෙමෙයි.එහෙම දේකට මේ වගේ මනුස්සයෙක් ආයෝජනය කරන්න ඉදිරිපත් වෙන්නේ ඇයි කියන එකට මට බය හිතුනා.එත් සෑහෙන දවසක් ඒ මනුස්සයා මාත් එක්ක කතා කරනකොට කියපු එකම දේ තමයි එයා කලාවට ගොඩක් ආදරේ කරන කෙනෙක් කියන එක.ඒ වගේම එයා ගොඩක් වයස කෙනෙක්.කොහොම හරි මේ මනුස්සයා ලංකාවට ආවා.එදා චිත්‍රපටිය ගැන කතා කරගන්න මට තනියම යන්න බය හින්දා මම කේසර වත් අඬගහගෙන තමයි ගියේ.ග්‍රෑන්ඩ් හොටේල් එකේ ආරුක්කු නමපු රෑ කෑම මේසේ අපි තුන්දෙනාම චිත්‍රපටිය ගැන කතා කලේ ගොඩක් ආසාවෙන්.කේසර එයා දන්න ගොඩක් විස්තරත් ඒ මනුස්සයා එක්ක කතා කලා. චිත්‍රපටිය තිරයට ගේන්න පුළුවන් එක ගැන මම හිටිය සන්තෝසෙන් පිම්බිලා.
සෑහෙන වෙලාවක් කතා කළාට පස්සේ අපි තුන්දෙනාම එකට රෑ කෑමත් ගත්තා. අන්තිමේදී අපි යන්න නැගිට්ටහම මේ මනුස්සයා මට කිව්වා භානුශ්‍රීට හෙට පුළුවන්නම් තනියම එන්න..මම මේ හෝටලේමයි ඉන්නේ කියලා.. මම බයවෙලා වගේ බලාගෙන ඉන්නකොට කේසර මගේ අතින් ඇදගෙන එලියට ආවා.  එදා ආපහු මාව හොස්ටල් එකට ගෙනල්ලා දානකං  කේසර වචනයක්වත් කතා කළේ නැහැ.
ඊට පහුවෙනිදා ඉඳලා මට කේසරට මුහුණ දීගන්න බැරි ගතියකුත් තිබුණා.කේසර ගොඩක් මගේ හිත හැදුවා.
මේ ක්ෂේත්‍රයට එනවා නම් ඔය හිත ගලක් කරගන්න ඕනේ භද්‍රා.. කියලා කේසර කිව්වා. ඒ වගේම තමයි සියට අනූ නමයක්ම පිරිමින් කියන්නේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න මිනිස්සුන්ට.ඒ මනුස්සයා තරුණද වයසද කියන එක එතෙන්ට අදාළ වෙන්නේ නෑ.
එදා ඉදලා මම කරන කියන හැමදේම කේසරගෙන් අහලා කරන්න පටන් ගත්තා.ගුරු ගෝල සම්බන්ධය කවදා කොතැනක ආදරයක් වුණාද කියන්න මම දැනගෙන හිටියේ නෑ.දැන් හිතෙනවා මම විතරයි හිතෙන් ආදරේ කරලා තියෙන්නේ කියලා.කේසර කිව්වා වගේම එයත් පිරිමියෙක්.අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න පිරිමියෙක්..

මම විස්තරය කියලා ඉවර වෙද්දී මට නොදැනිම  අඬලා තිබුණා. වහලෙ උඩ කොන්ක්‍රීට් ගැට්ටේ හුස්ම ගන්න සද්දෙවත් ඇහෙන්නේ නැති විදිහට අසාද්  මං දිහා බලාගෙන හිටියා.

වචනයක්වත් කියන්නෙ නැති අසාද්

පායා එන  සඳ වත මනරම්
තනිකමත් බෝම සීතයි…
වාවාගෙන මහ මෙරක  තරම්
උණුසුමකින් වෙලෙමි…

සිංදුව බොහොම හෙමින් කිව්වා.

සමහර මිනිස්සු රස්සාවෙන් පීඩාවට පත්වෙනවා.සමහර මිනිස්සු මිනිස්සු හින්දා පීඩාවට පත්වෙනවා. ඒ වේදනාවට පත්වෙච්ච හිත හදාගන්න ඕන අපිමයි. කවදාවත් නැතුව මට අසාද්  ගැන දුක හිතුණා. මෙච්චර කාලයක් මට වුවමනා වෙලා තියෙන්නේ මට ඇහුම්කන් දෙන කෙනෙක් කියලා මට හිතුනා. කොයි තරම් කාරය බහුල වුණත් තමන්ගේ හිත සැනසෙන්න තමන්ට ඇහුම්කන් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්න එක තමයි ලෝකේ හොඳම දේ කියලා මට හිතුනා.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles