“කෝසල මහත්තය වෙන්නැති නේද මේ?”
කෝසල උන්නේ රාජකාරි නිම වී කාර්‍යාලයේ සිට නිවස බලා යමින් ය. එදා මදක් හවස් වූයේ ලබන සතියේ භාර දෙන්නට නියමිත කැම්පේන් එකක වැඩ අවසන් කරන්නට සිදු වූ නිසාවෙනි. නිවසට හරවන පාරේ සිටත් බොහෝ දුරක් යාමට තිබේ. ඒ පාරේ අද සියලුම වීදි ලාම්පු නිවී තිබුනේ විදුලි බිඳ වැටීමක් නිසාදැයි කියා සිතමින් රිය ඉදිරියට පැදවුවද ඒ මොහොතකට පමණි.
පාරේ අඳුරු තැනක හිඳි පුද්ගලයන් තුන් දෙනෙක් එලියට ආවේ එකපාර වාහනය මග නතර කරමිනි. නොසිතූ මොහොතක එවන් දෙයක් වූ නිසාවෙන් කටෙන් කුණුහරුපයක් ද නිකුත් වුවත් කෝසලගේ හිතට බයක් නොදැනුනා නොවේ.
මනුස්සයෙකුගේ ජීවිතයට කරදරයක් කරන්නට මග බලා හිඳින මිනිසුන් කොච්චරවත් මේ ලෝකයේ සිටී. මොවුන් තිදෙනාද තමන් මංකොල්ල කන්නට ආව පිරිසක්ද කියන බය සිතට පිවිසෙද්දී නිවසේ තමා එනතුරු බලා හිඳින අනුරාදිගේ මුහුන ඒ සිතුවිලි අස්සෙන් එබිකම්කරන්නට වූවේය.
“කවුද තමුසෙල? ඇයි මේ වාහනේ නැවැත්තුවෙ?”
“ඇයි මහත්තය අපිට වාහනේ නවත්තන්න බැරිද?” කියා තිදෙනාගෙන් වඩා උස මහත මිනිසා රැවුල පිරිමදිමින් අසද්දී අනෙක් තිදෙනාද මුව මත සමච්චල් සහගත සිනාවක් ඇඳගත්හ. ඒ එක්වන්නට හැකි සිනාවක් නොවේ. සිත කීරිගස්සන හැඟීමක් ගත සලිත කරගෙන යද්දී කෝසල වාඩි වූ පැත්තේ දොර විවර විය. රියේ වහලට එක අතක් තබා නැමුණු එක් අයෙක් “එහෙනම් මහත්තය පොඩ්ඩක් බැහැල එන්නකො” කියා කීවේය.
කෝසල උන්නේ කරකියාගන්නට දෙයක් නොමැතිවය. මොවුන්ට තමාව මරා දමන්නට පුලුවන් බවත් තමාව කොල්ලකන්නට පුලුවන් බවත් කෝසල දැන උන්නේය. එහෙත් ඔවුන්ගේ කීම නොසලකා හැර වාහනය ඇතුලේ සිටියා කියාත් තමාට වන කිසිත් හොඳක් නැත. තමාව මෙහි අමු අමුවේ මරා දැම්මද බේරගන්නට කිසිවෙකුත් කෑගැසුවද ඇසෙන්නට අහල පහලක නිවසකුත් තිබුනේ නැත.
කෝසල වාහනයෙන් බැස්සේ දෙපා වෙව්ලද්දීය.
අරවින්ද උන්නේ පුදුමාකාර සතුටකිනි. කැලුමිනි පිලි ගනිවී යැයි නොසිතා ආරාදනා කලද කැලුමිනී රැකියාව ලබාගන්නට පොරොන්දු වූවාය. කැලුමිනීගේ සුව පහසුව සඳහා පබෝදාගේ නිවසටම විත් ඇයව සූරියබණ්ඩාර තේ කම්හලේ කාර්‍යාලයට රැගෙන යන්නට අරවින්ද ඇසුවද එයට නම් පබෝදාවත් කැලුමිනීවත් කොහෙත්ම ඉඩක් තිබ්බේ නැත.
“අනේ සර් මේ රස්සාව දුන්න එකම ලොකු දෙයක්. එහෙම එකේ ආයෙ මේ ගෙදරට ඇවිත් එක්කරගෙන යන්නයි ආපස්සට ගෙනත් දාන්නයි උවමනාවක් නෑ.
මොකෝ මෙහෙම තැන්වල මිනිස්සුන්ටද ලමයි නොලැබෙන්නෙ? දැන් කොහොමත් මම මේ ජීවිතේට පුරුදු වෙන්න ඕන නේ. එහෙම එකේ මම එන්නම්.
අනික මහ දුරක් නෑනෙ. මෙතනින්ම කී දෙනෙක් යනවද එහෙ වැඩට? මට එයාලා එක්කම එන්න පුලුවන්. සර් ඒ ගැන කරදර වෙන්න එපා”
කැලුමිනී කීවාය. අනෙක් අතට අරවින්දට නොකීවාට අරවින්ද නිතරම මෙහි ඒම මෙන්ම අරවින්ද සමග රැකියාවට යාම ඒම තමාට මෙන්ම ඔහුටද අනවශ්‍ය අවදානයක් ලබා දෙන්නක් බව කැලුමිනී දැන උන්නාය. මොන දේ උනත් තමන්ට උදව් උපකාර කරන මිනිසෙකුට කතාවක් අහන්නට ඉඩක් තැබීම හොඳ නැත. අනෙක් අතට තමන් ද බොහෝ කරදර වලට මුහුණ පා සිටින්නියක. ඉතින් කරදර බව දැන දැන ඒවාට අත වනන්නට උවමනාවක් නැත.
ඉතින් කැලුමිනී වැඩට ආවෙ ෆැක්ටේරියේ වැඩට එන අනිත් කතුන් සමගය. ගමේ කාන්තාවන් සමග එක්වී ඒම හිතට එක් අතකින් අස්වැසිල්ලක් වූයේ මොන තරම් ජීවිතයට දුක රැගෙන එන ප්‍රශ්න කන්දරාවක් හිත අස්සේ පුරවාගෙන උන්නත් සිනාසෙන්නට වෙර දරමින් උන් ඔවුන් දකිද්දීය. තමාට වූ දෙයටත් වඩා ජීවිතය දුක් කම්කටොලු වලින් පිරී ඇති කාන්තාවන් හිඳින බව දැන ගැනීමම ජීවිතය දෙස වෙනදාට වඩා උපේක්ශාවෙනුත් සැනසුමකිනුත් බලන්නට කැලුමිනීට හේතුකාරණා සපයන්නක් විය.
උදෑසන ඇරඹෙන්නෙ එලකිරි යෙදූ රසබර තේ වීදුරුවකිනි. දහවලට ආහාරය නිවසින් රැගෙන එන්නට වන අතර සවස තේකත් කාර්‍යාලයෙන්ම සැපයේ. අනෙක් අතට දෙණියායේ සීතල දේශගුනය අස්සේ රාජකාරියෙ නිරත වන්නට වීමත් හිත සනසවන්නක් බව කැළුමිනීට සිතුනි.
අරවින්ද උන්නේ සතුට දා ගන්නට තැනක් නැතුවම. වෙනදාට සඳරුට වෙන් වුන මේසය අසලින්ම තවත් මේසයක් දමා කැලුමිනිට ඉඩක් සැකසූ අරවින්ද තමන්ගේ මේසය තිබූ ආකාරයේද යම් වෙනසක් කරන්නට සිතුවේය. ඒ තමාගේ මේසයේ අසුන්ගත් පසුව වඩා හොඳින් කැලුමිනී දෙස බලන්නට හැකි වන පරිද්දෙනි.
උදේ පාන්දරක කැලුමිනීගේ මේසය අසල ඇති ජනේලයෙන් කැලුමිනීගේ මුහුණ මත වැටෙන ඉර කිණිත්තක් පවා පුදුමාකාර සුන්දර ආකරයකින් දකින්නටත් රස විඳින්නටත් ඒ ඔස්සේ හැකියාවක් ලැබීම ගැන සිත ඉපිලෙමින් තිබේ.
“මෙහෙ වැඩ අමාරුද?”
අරවින්ද ඇසුවේ සඳරු නොආ දවසක හෙමින් සැරේ කැළුමිනීගේ මේසය අසලට ඇවිද යමිනි. සම්පූර්ණ වීදුරු වලින් ආවරණය වී තිබුණ කාර්‍යාල කාමරයේ හතර වටින්ම පෙනෙන්නට තිබුණේ කොල පැහැ ඇතිරිල්ලකින් වැසී ගිය තේ ගස් පිරුණු කඳු පන්තියයි. ඒ වූ කලී නෙතට රසඳුනකි.සිතට සැනසුමකි. අරවින්ද උන්නේ රසඳුනත් සැනසුමත් කැළුමිනී මත්තේ තබාය.
“නෑ, සර් කියල දුන්නනෙ. අනික මට කොහොමත් නුපුරුදු ෆීල්ඩ් එකක් නෙවෙයිනෙ”
“දැන්වත් ඔය සර් කියන කතාව අයින් කරල දාමුද අපි?” අරවින්ද එය ඇසුවේ කී වෙනි වතාවටද කියා මතක නැත. එහෙත් තවදුරටත් කැලුමිනී තමාට එසේ ඇමතීම තමාත් ඇයත් දුරස් කරන එකම හේතු කාරණාව බවට අරවින්දට දැනෙමින් තිබුනි.
එහෙත් කැලුමිනී එයට මද සිනහවක් නැගුවාය.
“දැන් නේද එහෙම කියන්නම ඕන?”
“ඇයි එහෙම කියන්නේ?”
“ඉතින් මම දැන් සර් යටතෙනෙ වැඩ කරන්නේ”
“ආහ් ඒ කියන්නෙ දැන් මට මේ සර් කියන්නෙ ඔයා මගෙ ඔෆිස් එකේ වැඩ කරන නිසා. හරි හරි හරි එහෙනම් මම ඔයාව රස්සාවෙන් අයින් කරන්නම්කෝ එතකොට මට අරවින්ද කියල කතා කරනවද?”
“ඒත් නෑ, දිගටම සර් කියල තමයි කතාකරන්නේ” අරවින්ද මේසයට අඩක් හේත්තු වී මේසය මත කොල හුලඟේ යෑම වැලැක්විම පිණිස තබා තිබූ වීදුරු කොටුව අතට ගෙන එහෙ මෙහෙ හරවමින් ඇසූ මිත්‍රශීලී බවට පිලිතුරු ලෙස කැලුමිනී එසේ පැවසුවේ රිදී පැහැකිකිණි සිනාවක් සලමිනි. අරවින්ද උන්නේ ඉපිලෙන්නට හැකි සතුටු ගංගාවක ගිලෙමිනි. වෙනදා කැළුමිනිගෙ දෙනෙත් අස්සේ දකින්නට ලැබුනු වේදනාවක අන්දකාර පැහැය කෙමෙන් පෑදෙමින් තිබෙන අයුරු දකින්නට ලැබීමම අරවින්ද ජයග්‍රහණයක් ලෙස සිතුවේය.
“මම ආසයි ඔයා මට නම කියල කතා කරනවා බලන්න” කියා කියන්නට තිබුණානම් අපූරුය. එහෙත් අරවින්දට තවමත් එය කියන්නට බියක්, තිගැස්මක් සිත පත්ලේ සැඟවී තිබුණි.
“මට සර් ලබන සතියෙ නිවාඩුවක් ගන්න පුලුවන්ද බ්‍රහස්පතින්දට?” කැළුමිනී ඇසුවේ සිනාව මදකට නතර කරගනිමිනි.
“ඇයි?” අරවින්ද එය ඇසුවා නොවේ ඇසුණාය.
“කොළඹ යන්න වෙනව සර්. නඩුවෙ සෙකන්ඩ් හියරින් එකට”
“හසිතානි මොකද කියන්නෙ? වැඩේ තව කල් යාවිලුද?”
“නෑ දෙපැත්තෙන්ම මිඋචුවක් අන්ඩස්ටෑඩින් එකක ඉන්න හන්දයි මම වන්දි මුකුත් එපා කිව්ව හන්දයි කල් යන එකක් නෑ කියල තමයි කිව්වෙ. බලන්න ඕන ඉතින්”
“නෙක්ස්ට් වීක් ඒක වැටිච්ච එක හොඳයි. ඔයාලා එක්ක මාත් කොළඹ යන්න ආවට කමක් නැද්ද? මම ඔයාට දෙයක් කියන්නත් ඉඳියෙ. සඳරුට යුනිවසිටි යන්න කලින් ලැප්ටොප් එකක් අරගෙන දෙන්න අදහසක් තියෙනව. කොළඹින් ඒක ගන්න තිබුණනම් හොඳයි කියල මම හිතුවෙ. ඔයාල එක්කම ගියොත් මටත් ලේසියි. එදා ඔයාලාව එක්කරගෙන ගිය ඩ්‍රයිවර් හොඳයි නේද?”
අරවින්ද ඇසුවේ මින් පෙර දවසක නඩුවාරයක් සඳහා කැළුමිනීටත් පබෝදාටත් කොළඹ යන්නට සොයා දුන් වාහනය ගැනය.
“සර්ට කරදර නැත්තම් විතරක් ඒ වාහනේ ලැස්ති කරල දෙන්න. ඒ මනුස්සය හොඳයි. වරදක් නෑ”
“මේ පාර ගිහින් එද්දි ඕන නම් අපෙ ගෙදර ගිහින් එමු. අම්මව හම්බුවෙන්නත් පුලුවන් නේ”
අරවින්ද එසේ කියා කැලුමිනීගේ මේසය අසලින් නික්ම ගියේය. ඒ සිනා රැලි කිණිත්තක් දෙතොල අස්සෙ රඳවාගෙන. මෙතෙක් දිනක් සිත අස්සෙ සිරකරගෙන හුන් ඒ කතාව කැලුමිනීට කියනු පිණිස ඒ ගමන මංගල ගමනක් කරගන්නට අරවින්ද සිතුවේය.