තිලකාත් ශක්‍යාත් මංජුලත් රූපවාහිනිය ඉදිරියේ වාඩි වී සිටියේ ඇස් පෙනීමෙහි හදිසි අඩුවක් සිදු වූවා සේ පුටු වඩාත් රූපවාහිනියට ලං කොට ගෙන ය. තත්පරයක් ගෙවෙන්නේ විනාඩියක් වාගේ ඔවුන් ට දැනිණ. කෙසේ හෝ අන්තිමට ඒ උදෑසන වැඩසටහනේ නම තිරය මත පතිත විය. “සුබ උදෑසනක්! ආයුබෝවන් ඔබ හැම දෙනාට ම” කියමින් සිනහවකින් වැඩසටහන ආරම්භ කළේ ප්‍රියමනාප යුවතියකි. අම්මාගේත් දුවගේත් මූණු මත සෝපාහාස සිනහ රැල් ඇඳී කම්මුල් වල මස්පිඬු ගැහී ගියේ ය.
“මහ ලොකුවට උඩ පැනගෙන ගියේ…එයයි අද වැඩසටහන කරන්නෙ කියල..මේ වෙන කවුදනෙ…”
“බොරු කයිවාරුව අම්මෙ. මේ කොහෙද හිටපු ගෙයි ගෙම්බෙක්ට කතා කරල ටීවී ප්‍රෝග්‍රෑම් එකක් කරන්න දෙන්න ඒ මිනිස්සුන්ට මොළේ අමාරුවද…”
ඔවුන් දෙදෙනා ගේ කියවීම නිසා ඒ අතරේ නිවේදිකාව කී කිසිවක් ඔවුන් ට ඇසුණේ නැත. නමුත් ඊළඟ නිමේශයේ සයුරංගනා ගේ සඳක් වන් මුහුණ ලස්සන සිනහවකින් යුතුව රූපවාහිනී තිරය මත දර්ශනය විය.
“ඔයාට ජිවිතේ කොහොම දෙයක්ද…මන්නං ආසයි ජීවිතේ සතුටු මන්තරයක් වෙනවට. හැම මොහොතක ම හිත සතුටෙන් පුරවමින්…දෙතොල් මත්තට සිනහවක් කැන්දමින්…මෘදු තාලයකින් මිමිණෙන සතුටු මන්තරයක් වෙනවට. ඒත් මුළු ජීවිතේ ම එක ම රිද්මයකට ගැයෙන සතුටු මන්තරයක් නොවෙන්න පුළුවන්. සමහරක් අහඹු නිමේශ වල දරා ගන්න අමාරු දුක් කතන්තර ඒ අතරෙ සිදු වෙන්න පුළුවන්. අන්න ඒ වෙලාවට තමයි අපි තවත් දරා ගන්න ඕනෙ. කඳුළු අතරින් හිනා වෙන්න පුළුවන් පුංචි සතුටු පෙති හොයා ගන්න ඕනෙ. අඬ අඬා වුණත් හිනා වෙන්න පුළුවන් සතුටු මන්තර මුමුණන්න ඕනෙ. ගඟක් වුණත් ලස්සන ගලමින් හිටිය උස් බිමකින් එක පාරටම පහත් බිමකට කඩං වැටෙනකොට. රිදුණා වුණත් එතකොට තමයි ආකර්ෂණීය දිය ඇලි මැවෙන්නෙ. අපේ රිදුම් අපි හංගගමු. ලෝකයට පේන්න ඕනෙ ඒ රිදුම් අතරින් අපි නගන සිනහව විතරයි. ඔයාට පුළුවන්නං තවත් මුහුණක සිනහ රැල්ලක් නංවන සතුටු මන්තරයක් වෙන්න….එහෙනං ඔයා සාර්ථක මනුශ්‍යයෙක්. අද අපිත් එක්ක කතා බහ කරන්න මැදිරියට ඇවිත් ඉන්නෙ එහෙම සාර්ථක පුද්ගලයෙක්. ඒ ගමනත් තැනිතලා බිමක ගඟක් ගලනව වගේ එකක් නෙවෙයි උස් මුදුනකින් ගඟක් පහළට පනිනව වගේ චමත්කාරජනක එකක් කියල මේ කතාබහ අතරේ ඔයාලට තේරෙයි…”
තිලකා ගේ මුව මඳක් විවර වී තිබිණ. ඇය තව තවත් රූපවාහිනී තිරය දෙසට ගෙල දිගු කොට නැඹුරු වෙමින් සිටියා ය. සයුරංගනා කතා කරන්නේ ද දිය ඇල්ලකින් වතුර කඩා හැලෙන්නා සේ ය. ඒ රිද්මයට ඇගේ ඇස් ද දෙතොල් ද සැලේ. හැඩ ගන්වන ලද ඇගේ මුහුණ වෙන කවදාටත් වඩා අලංකාරවත් ය. මනාලියක වූ දාටත් වඩා ඇය සුන්දර ය. පිරිපුන් ය. ඇගේ ඇස් සිනහ වේ. කතා කරයි. දිළිසෙයි. කිසිදු ආගන්තුක බවක් ඇය වැඩසටහන මෙහෙයවීම තුළ වන්නේ නැත. සහාය ඉදිරිපත් කරන්නිය සමග වෘත්තීය මට්ටමෙන් ඈ සිය කටයුත්ත කර ගෙන යයි. මේ සිය ලේලිය ම දැයි තිලකා ට සිතිණ. එසේ නො වන්නට විදිහක් නැත. ඇය පාන්දරින් ම සූදානම් වී එසඳි වෑන් රියට භාර දුන් ගමන් නික්ම ගියා ය. මොහොතකට පෙර තිරය මත ද ‘සයුරංගනා අබේසේකර’ යන නම සනිටුහන් විය. ඒ ඇය ය. ඇය ම ය.
“මේක කටක්ද අම්මෙ…හම්…මේ…කතුර වගේනෙ කියවන්නෙ. අර ඇවිත් ඉන්න මනුස්සයට කතා කරන්න දෙන්නෑනෙ”
ශක්‍යා කම්මුලේ අත ගසා ගෙන සයුරංගනා ගේ වරදක් සෙව්වා ය. නමුත් ඇගේ හිතේ වූයේ වෙන දෙයකි. ඇයට නෙතු අදහා ගත නො හැකි ය. හද්දා ගමේ ගොඩේ සිට සිය සොයුරා කොළඹට කැටිව ආ ගොඩේ කෙල්ල දැන් රූපවාහිනී තිරය මත වැඩසටහන් ඉදිරිපත් කරන්නියක වී සිටී. ඇය මේ තරම් ලස්සන යයි ශක්‍යා ට කවදාවත් සිතී නැත. තව මොහොතකට පස්සේ ඇය මුළු රටට ම තරුවකි. ඇය ගැන කවුරුත් කතා කරනු ඇත. ඇයව කවුරුත් දැන හඳුනා ගනු ඇත. ගම තුළ ද ඇය විශේෂ පුද්ගලයෙකු වනු ඇත. ගමේ මිනිසුන් වෙනදාට වැඩි සැලකිල්ලකින් ඇය ගැන කතා කරනු ඇත.
ඒ තරම් අඩු වයසින් ගිම්හාන් මිය ගියේ විවාහ දෝශයක් නිසා විය හැකි යයි කුටු කුටු ගෑ ඥාතීහු බොහෝ සිටියහ. සයුරංගනා අවාසනාවන්ත ගැහැනියක ලෙස හඳුනා ගත් අයට දැන් ඇය නිහඬ පිළිතුරක් දී තිබේ. සයුරංගනා තව දුරටත් ගෙදරට සීමා වූ ගැහැනියක නොවේ. ඇය සමාජ ජීවියෙකු බවට එක මොහොතකින් පරිවර්තනය වී තිබේ. ජීවිතය එහෙම ය. ඉරණම සැලසුම් සහගත ය.
“හැබැයි හොඳ පඩියක් ගනී ඈ…”
මෙතුවක් නිහඬ ව රූපවාහිනිය දෙස බලා උන් මංජුල නැගී සිටියේ එසේ කියමිනි.
“මොනා වුණත් මෙච්චර කල් ගේ මුල්ලෙ ඉඳල තියෙන්නෙ දක්ෂ ගෑනියෙක්. දැං ඉතිං රංගනාව අල්ලනව බොරු”
“දැං ඉතිං අං එයි. අඩි දෙක තුනක් උඩින් ඇවිද්දෙ නැත්තං මට උංජූ කියල කතා කරහල්ල”
තිලකා ට අනියත වේදනාවක් දැනිණ. එය ඊර්ෂ්‍යාවට ළඟ හැඟීමකි. සිය පුත්‍රයා අකාලයේ මිය ගියේ අපරාදේයි ඇයට සිතිණ. දැන් ඉතින් සයුරංගනා ට ගිම්හාන් කියන්නේ අතීතයක් පමණක් වනු ඇත කියා ද ඉක්මනින් ම ඇය අලුත් ලෝකයක කිරුළු පළඳිනු ඇත කියා ද ඇයට සිතිණ.
“කොහෙද…අපි කොච්චර උගන්නන්න හැදුවත් මෙයා ඒක කර ගත්තෙ නෑනෙ. දැන් නිකං පොටෝකොපි කඩයක් දාගෙන පොටෝකොපි ගගහ ඉන්නව. අර හද්ද ගමකිං ආපු රංගනා ටීවී එකෙං රටටම මූණ පෙන්නගෙන කතා කරනව. අපේ එවුන්ට බැරි වුණා අපිට එහෙම ආඩම්බරයක් ගෞරවයක් ගෙනත් දෙන්න”
තිලකා ඒ වේදනාවෙන් කෙඳිරි ගෑවා ය. සයුරංගනා ගේ වැඩසටහන බලන්න ම කෙටි නිවාඩුවක් ගත් මංජුල යතුරු පැදියට නැගී යන්න ගියේ ය.
“ඒ වගේ ගෑනු වාසනාවන්”
හෙල්මට් එකේ ගාංචුව දමමින් ඔහු එසේ කීවේ සමච්චල් සිනහවකිනි. එය ශක්‍යා ගේ පපුවේ වැදිණ. වැදී රිදිණ.
“ඔව් ඔව්. වාසනාව කොහොම කැරකෙයිද කියල ඉක්මනට බලා ගන්න පුළුවන් වෙයි. බලමුකො දැන් එයා කොහෙ නතර වෙයිද කියල. දංවැල් දාලවත් ආයෙ ඉස්සර හිටිය ගෑනි තියාගන්න පුළුවන් වෙන්නෑ”
ශක්‍යා සිය ඊර්ෂ්‍යාව තවත් ගැහැනියක කෙරේ වෛරී වචන සමූහයක තවරා දමා ගැසුවා ය.
තිලකා මහ ගෙදර ආවේ උදයේ ය. ඒ සයුරංගනා ගෙදරින් පිටත් වූවාට ද පස්සේ ය. ඈ ගියේ යශෝදර සමග ය. කොළඹ පාරවල් නො දන්නා කම ද රථ වාහන බහුල බැවින් තනිව රිය පදවන්නට ඇති බිය මුසු නුහුර ද නිසා ඇයට තනිව මෝටර් රථයෙහි ගමන් කළ නො හැකි ය.
“එනකොට මං බස් එකේ එන්නං. යන ගමං යශෝදර මට බස් හෝල්ට් එක පෙන්නන්නකො. මට මතක තියාගෙන එන්න පුළුවන්. ඔයා මාව බස්සල කා එක ගෙනියන්න ඔෆිස් එකට”
යශෝදර කිසිත් නො කීවේ ය. තිලකා ගෙදර සිටියදී යශෝදර සමගින් යන්නට වීම ගැන සයුරංගනා නො සිතා සිටියා ය. මන්ද ඇය මේ ගමන කෙසේ හෝ යා යුතුව තිබේ.
පිටත් වීමට සූදානම් වී සයුරංගනා ගිම්හාන් ගේ රාමු කළ පින්තූරය අතට ගෙන මඳ වෙලාවක් එදෙස බලා සිටියා ය. යටි හිතේ රිදුම් රළ පහරක් පෙරළී ගෙන ගියේ ය.
“මං වැරදි පාරක යන්නෑ ගිම්හාන්. එහෙම ගියොත්…ඔයා මට හරි පාර පෙන්නන්න”
ඇය සිතින් එසේ සිතුවා ය. යන ගමන් ඇය හා යශෝදර අතර සිදු වූයේ මේ අලුත් වෘත්තියට අදාල කතා බහ ය. වැඩ සටහනට අදාල කාරණා ගැන කලින් දවසේ අධ්‍යයනයක යෙදෙනා ලෙස ද එය ඉදිරිපත් කිරීමට සූදානම් වන ලෙස ද ඔහු උපදෙස් දුන්නේ ය. පොත පතින් හා අන්තර්ජාලය ඔස්සේ නිතර ම අලුත් තොරතුරු වලින් යාවත්කාලීන විය යුතු යයි සිහිපත් කළේ ය.
“හැම වෙලේම ඔයා තෝරගත්ත ජොබ් එක කරන කෙනෙක් සමාජයට ඉස්සරහින් යන කෙනෙක් වෙන්න ඕනෙ. තොරතුරු වලින් පෝෂණය වෙලා ඉන්න ඕනෙ. දැනුම් උල්පතක් වෙන්න ඕනෙ. කිසිම වෙලාවක හිඳෙන්නෙ නැති දැනුම් උල්පතක් වෙන්න ඕනෙ”
සයුරංගනා අසා ගෙන උන්නේ භක්තිමත් සිතකිනි. යශෝදර වූ කලී මුලින් ඇයට ඉතා දුරින් උන් කෙනෙකි. ගිම්හාන් ගේ මිතුරා ලෙස උදේ හවා හමු වී ද ඔහු පිළිබඳ විශේෂ උනන්දුවකින් ඇය යශෝදර දෙස බලා හෝ නැත. හරියට තාප්පයකින් එහා පැත්තේ උන් මිනිසෙකු ගැන දැනෙනාකාර හැඟීමකි එය. දුර නැත. නමුත් ළඟ ද නැත. නිතර ඇසට හසු වී ද උවමනාවෙන් බලා නැත. ඔහු වඩාත් ඇයට සමීප වන්නේ ගිම්හාන් මිය යාමෙන් පසුව ය. මිතුරා වශයෙන් ගිම්හාන් ගේ අඩුව පුරවන්නට ඔහු හැකි ලෙස උත්සාහ කළේ ය. නමුත් දැන් සයුරංගනා ට ඔහු දැනෙන්නේ කාලාන්තරයක් තිස්සේ ළඟින් ම උන් කෙනෙකු සේ ය. ඔවුන් ගේ ජීවිත ගැන විශාල අයිතියක් ඇති කෙනෙකු සේ ය. එසඳි ගේ පුංචි හදවතේ ලොකු ම ඉඩක් වෙන් කර ගත් ආදරණීය මිනිසා සේ ය.
ඔහු ඇය ඉදිරියේ විවර වූ මාවත වසා දැමීමට වචනයකින් හෝ තැත් කළේ නැත. ඒ වෙනුවට ඒ මාවත කටු අකුල් මඩ ගොහොරු හා ගල් මුගුරු ඉවත් කොට පැහැදුල් කරන්නට හදයි. මග පහදන්නට බලයි. දෙපස මල් පුබුදුවාලීමේ උත්සාහයක් දරයි. සයුරංගනා ගේ හදවතට ඔහු බරට දැනෙන්නට ගෙන තිබේ. ඔහු බර අඩි තබා ඇවිද යන්නට පටන් ගෙන තිබේ. ඇය ඒ ගැන කිසිත් සිතන්නේ නැත. ඔහේ බලා ඉන්නවා පමණකි.
බස් නැවතුම ඔහු පෙන්වී ය. අදට පමණක් කැබ් එකක් දමා ගෙන යන ලෙස ද කීවේ ය. හෙට සිට බස් එකේ යන්නට සයුරංගනා හිතා ගත්තා ය.
ඇය වැඩසටහන කරත්දී දිගට ම යශෝදර හිතේ හිටියේ ය. ඔහු ගේ වචන ඇයට උල්පතක් වාගේ වචන සිහිපත් කරවන්නට ඇත. වැඩසටහන අවසානයේ නිෂ්පාදන අංශයේ හැම කෙනෙක් ම ඇයට ශුභ පැතූහ. කෑම කන්නට කතා කළහ. දියණිය ගෙදර එන වෙලාවට එහි සිටිත යුතු නිසා ඒ ඉල්ලීම් ඇය ගෞරවයෙන් ප්‍රතික්ෂේප කළා ය. තේ එකක් පමණක් ඔවුන් සමගින් බීවා ය. සයුරංගනා ගේ හදවත පිම්බී තිබිණ. නමුත් එක අඩුවක් දැනී නො දැනී යන්නට වූයේ ය. මේ වෙලාවේ තදින් වැළඳ ගන්නට පාරමී හෝ හිටියා නම් හොඳයි කියා ඇයට සිතිණ. මහා පිරිසක් ඉදිරියේ විශාල තනිකමක් ඇහැට ඇඟිල්ලෙන් අනිමින් තිබිණ.. කැබ් එකක් දමා ගන්නා අරමුණෙන් ඇය අමුත්තන් ගේ ශාලාවට ආවා ය. ඒ එනතුරුත් එහි ඇය එනතුරු යශෝදර බලා සිටිතැයි හීනෙකින් හෝ සිතුණේ නැත. ඇය දකිත්දී යශෝදර නැගී සිටියේ ය. ඔහු ගේ දෙතොල් පෙති ලිහී ලස්සන සිනහවක් පිපිණි. සයුරංගනා ගල් ගැසී සිටියා ය.
“ලස්සනයි”
ඔහු මුදු ලෙස මිමිණී ය.
“ඔයා හොඳටම කළා”
“ඔයා බැලුවද යශෝදර…”
“හ්ම්”
සයුරංගනා ගේ ඇස් මත්තේ වූ වලාකුළු බර තවත් දරා ගන්නට ඇය අපොහොසත් වූවා ය. දුන්හිඳ වාගේ කඳුළු දිය ඇලි දෙකක් ඇසිල්ලකින් කඩා ගෙන වැටෙන්නට ගති. අඩියක් පෙරට තබා යශෝදර ඇය වෙතට ආවේ ය. ඊළඟ මොහොතේ සයුරංගනා හිටියේ ඔහු ගේ පපුවට මූණ තද කර ගෙන ය. ඔහු ඇය වැළඳ ගත්තේ ය.
“අඬන්න ඕන නෑනෙ ඉතිං…හොඳට කළාම හිනා වෙන්නනෙ ඕන”
තත්පර කිහිපයක් දිගු වූ ඒ වැළඳ ගැනීමෙන් උනුන් මිදුනේ ඒ පිට තැනක් බව දැන සිටි හින්දා ය. පිළිගැනීමේ යුවතිය සිනහ වූවා ය. ඇගේ නෙතු කිහිප වතාවකට ම යශෝදර ගේ මුහුණ මත දඟ කළේ ය.
“තෑන්ක් යූ යශෝදර”
ඔහු ට ස්තූති කරන්නට හේතුවක් ඇය නො දැන සිටියා ය.
“ඔයා අදත් නිවාඩු දැම්මද…”
රියට නැගෙනා ගමන් සයුරංගනා යශෝදර විමසුවා ය.
“අදනං හෙල්ලෙන්න බෑ. ශෝට් ලීව් එකක් ගත්තෙත් අමාරුවෙන්”
“අපරාදෙනෙ ආවෙ. මං යනවනෙ ඉතිං කැබ් එකක”
“ඔයා මේ පාරවල් ඉක්මනට මතක තියා ගන්න. එතකොට තනියම යන්න එන්න පුළුවන්නෙ”
“මං දන්නව මං කරදරයක් කියල”
එක නිමේශයකට ඇස් අතරේ විදුලි කෙටීමක් සිදු විය. නමුත් යශෝදර මුණිවත රැක්කේ ය. නුගේගොඩ අහස් පාලම පසු කොට අයිනකට කොට ඔහු රිය නතර කළේ ය.
“මෙතන ඉඳං යන්න පාර දන්නව නේද…”
සයුරංගනා හිස සැළුවේ දෙගිඩියාවෙනි.
“පරිස්සමෙන් යන්න එහෙනං. මං ට්‍රයිශො එකක ආයෙ ඔෆිස් එකට යනව”
“අනේ යශෝදර”
ඇගේ හදවත කෑ ගැසුවේ ය. නමුත් සයුරංගනා ගොළු වී සිටියා ය. ඇයට මතක ඈ යළි ගෙදර ගේට්ටුව ඉදිරියේ රිය නතර කරනවා පමණකි. ඒ මුළු ගමන පුරා මහ බරක් ද සංතාපයක් ද පපුව තද කරමින් තිබිණ. හැම ස්නායු තන්තුවක ම, හැම ලේ බින්දුවක ම හැම හුස්ම පොදක ම ඔහු නිහඬ ව බලා සිටියේ ය. යශෝදර!