“ප්ලීස් තාරා, මම ඉන්නෙ මීටින් එකක මට වද වෙවී කෝල් කරන්න එපා.මට ඔයා එක්ක කත කර කර ඉන්නවෙලාවක් නෑ. මොකක් හරි හදිසියක්නම් මට මැසේජ් එකක් දාන්න”
“මම දාන එක මැසේජ් එකකටවත් ඔයා රිප්ලයි කරනවද? නෑනෙ ඒකයි මම කෝල් කරන්…”
“ඔයා දාන්නෙ මේ මම කනවද බොනවද එන්නෙ කීයටද කියල අහලනෙ. තාරා මට ඒවගෙ බොරු ප්‍රශ්නවලට රිප්ලයි කර කර ඉන්න වෙලාවක් නෑ. මිනිස්සු කසාද බැන්ද කියල කන බොන ඒව වෙනස් වෙනෙ නෑනෙ.ඔයා ඇහුවත් නැතත් මම කනව. දැන් මම ඔයාගෙන් කෑවද බිව්වද කියල අහ අහ ඉන්නෙ නෑනෙ. මන් දන්නව මං ඇහුවත් නැතත් ඔයා කනව කියලා. අනික මම ගෙදර එන්නෙ මම වෙනද එන වෙලාවටම තමයි. ඒ නිසා තේරුමක් නැති කතා අහල මට මැසේජ් දාන්නවත් කෝල් කරන්නවත් එපා. ඔයා වගේ බ්‍රෑන්ඩින් ටීම් එකක ප්‍රසන්ටේශන් හද හද ඉන්න රස්සාවක් නෙවෙයි මම කරන්නෙ කියන එක ඔයා හොඳටම දන්නවනෙ
ඒ නිසා ප්ලීස් මට කතා කරන්න එපා”
චිරායු එසේ පවසා දුරකතනය තැබුවේය. එහා පසින් ඇසෙන බීප් නාදය දෙසවනින් හිස ඇතුලට ගොස් හිස කැක්කුම වැඩි කරන බවක් තාරාට දැනේ. තාරා චිරායුගේ කාර්යාල කාමරයේ දොර අසල බිම වැතිරුනාය. හිස කැක්කුමටත් වඩා දෙපා අඩපණ කරන්නට හේතුවක් වූයේ චිරායු විසින් කියූ දේවල් ය. ඒ වචන දරාගන්නට අපහසු අන්දමේ දරුණු හී සර පහර ලෙසින් තාරාට දැනුනාය.
විනාඩි කිහිපයක් බිම වැතිරී, දෙනෙත් පියාගෙන කල්පනා කරමින් උන් තාරා නැගිට්ටේ යමක් සිතාගෙනය. දුරකතන අතට ගෙන චිරායු විසින් ඇඳුම් පැලඳුම් අසුරා තිබූ ගමන් මල්ලේ ජායාරූපයක් ගෙන චිරායුට වට්සැප් කරාය. ඒ ප්‍රශ්නාර්ත සලකුනක් සමගිනි.
ඒ පණීවිඩය යවා තාරා බොහෝ වෙලා දුරකතනය දෙස බලා සිටියාය. ඒ චිරායුගෙන් පිලිතුරක් එනතුරුය.
“මම අනිද්දා අබ්‍රෝඩ් යනව ඔෆිස් එකේ වැඩකට. දැට් ඉස් වයි”
ඒ පිලිතුර තමා භාරගත යුත්තේ සතුටෙන්ද දුකෙන්ද කියා අදහසක් තාරාට තිබුනේ නැත. චිරායු නිවසින් යන්නට තීරණය කර ඇතැයි කියා සිතු සිතුවිල්ල ඇත්තක් නොවීම ගැන සිත එක්තරා අතකින් සතුටු වෙද්දි “චිරායු ඇයි මට මේ කිසිම දෙයක් කියන්නෙ නැත්තෙ?” කියන සිතුවිල්ල සිත වඩ වඩාත් රිදවූවාය.
චිරායු බිඳෙන් බිඳ තමාගෙන් ඈත්වෙන්නට හදනවාය යන සිතුවිල්ල තාරාව සහමුලින්ම පාහේ බිඳ වට්ටන්නට හේතුවක් විය.
දුකත් තනිකමත් පාලුවත් එක්විය. ඒ හැඟීම් සියල්ල කඳුලුත්, කෝපයත් ලෙස දෝරේ ගලා යද්දි තාරා ආයුර් ස්පා වෙතින් මිල දී සුවඳ විලවුන් බෝතලය ගෙන බිඳ ගැසුවාය. ඒ ගැසූ පහරවත්, ශබදයත් තමන්ගේ වේදනාව මදක් හෝ නිවාලන්නක් නොවන බව දැනෙද්දි කණ්නාඩි මේසය මත තිබූ සුවඳ විලවුන්, ආලේපන ආදිය අතට ගෙන පොලොවේ ගැසුවාය.
ඉන්පසුව ඇඳ මත වැගිරී ඇති තරම් හැඬුවාය. කෑගසමින් හැඬුවාය. කොතෙක් වෙලා හැඬුවාද කියා අදහසක් නොවුන මුත් ඒ වෙලාව ගෙවෙන තුරුත් චිරායු නිවස බලා ආවේ නැත. මෙතෙක් වේලා පිස්සියක මෙන් ඇඳ මත වැතිරී හඬමින් උන් විලාසයෙන් මිදුනු තාර කණ්ණාඩිය ඉදිරියට ගොසින් තමාගේ කඳුලින් පෙඟුනු රතුවුන, එක දිගට එකම පැත්තට හාන්සි වී හිඳීම නිසා තැලුම් පහරක් ඇඳුනු මුහුන දෙස බලා සිටියාය.
“මෙහෙම ගියොත් මට පිස්සු හැදේවි” කියා සිත කියද්දි අම්මාට කතා කර මේ සියල්ල කියා හඬා වැටෙන්නට තිබුනා නම් කියා සිතුවාය. එහෙත් එය ක්‍රියාවට නැංවිය හැක්කක් නොවේ. මේ ගින්දර අම්මාගේ සිත මත අවුලුවන්නට තමාට නොහැකි බව තාරා දැන උන්නාය.
ඒ සිතුවිල්ල පෙරදැරි කරගෙන තමන් විසින් පොලොවේ ගැසූ සුවඳ විලවුන් බෝතල් බිඳී විසිරුණු වීදුරු කටු අරන් දැමුවාය. සියලු සුන්බුන් ඉවත් කර බිම මොප් කර දැම්මද ඉහිරුණු සුවඳ විලවුන් සුවඳ කාමරය පුරා රැඳී තිබුණි. ඒ සුවඳට යටින් බිඳෙමින් පවතින විවාහයක සුන්බුන් තාරා දුටුවාය.
චිරායු ආවේ ඉන් විනාඩි කිහිපයක් ගෙවුන තැනය. වෙහෙස මහන්සි වී එන සැමියා පිලිගන්නට දොරකඩට යන්නට උවමනාවක් සිත තුල තිබුනත් දෙපා තිබුනේ අගුලු ලා මෙනි. චිරායු නිවසට එන හඬත් අනතුරුව දොර අගුලු ලන හඬත් තාරාට ඇසුණාය. එහෙත් ඇය ඇඳ මතම වැතිර සිටියා හැරෙන්නට මදක් වත් සෙලවුනේ නැත. නිද්‍රාශීලී වේදනාවක ගිලී හිඳිනවාක් මෙන් තාරා ඇඳ මතම වැටී සිටියාය.
“තාරා”
කියමින් චිරායු නිදන කාමරයට ආවේ ටයි පටිය ගලවා දමමින්, සපත්තු හඬ වේගයෙන් නිවස පුරා පැතිරී යද්දීය.
එහෙත් මදක් වත් සෙලවුනේත් තාරා නොවේ. ඇය ඔහේ උන්නාය. නිසසලව සුදු පැහැ සිවිලම දෙසම බලා උන්නාය.
“තාරා” චිරායු නැවත වරක් වේගයෙන් ඇසුවාය. චිරායු උන්නේ තාරා කෙරේ කෝපයෙනි. උදෑසන සිට වෙහෙස මහන්සි වී වැඩ කර නිවසට එද්දි නිවස තිබිය යුත්තේ කොතරම් නිසසලවද? තාරා තමාගෙ වෙහෙස නිවනු පිණිස කටයුතු කල යුතු නොවේද?
“තාරා ඇයි මේ රූම් එකේ මෙච්චර ස්මෙල් එකක් තියෙන්නෙ? මොකද්ද උනේ?”
උරහිස් දෙපසින් කෙහෙ රැලි කඩා හැලෙද්දි තාරා ඇඳෙන් නැගිට ඇඳ මත වාඩිවුනාය. ඒ යන්ත්‍රානුසාරයෙන් මෙනි.
චිරායු කාමරය මැද සිටගෙනම තාරා දෙස බලා සිටියාය. තමන් කිසිම දිනක මෙවන් තාරා කෙනෙකු දැක නොමැති බව චිරායු සිතුවාය. තමා දුටු තාරා මලක් මෙන් පිබිදී උන් අයෙකි. සුන්දර අයෙකි. මේ මේ මොහොතේ නිදන ඇඳ මත හිඳින්නිය කඳුලින් පෙඟුණු රතු පැහැ මුහුණින් බලා හිඳින්නියකි.
“බිඳුණා”
ඒ හඬන් නොවේ ගොරගෑමකි.
“මොකද්ද?”
“පර්ෆියුම් එක”
“බිඳුනා? කොහොමද?”
“අත වැදිල බිඳුණා”
තාරා මේ සියල්ලටම පිලිතුරු දුන්නේ යන්ත්‍රානුසාරයෙන් බව චිරායු දුටුවාය. ඇය පිස්සියක මෙන් ඇද මත වාඩි වී තමන් පසුකර පෙනෙන සුදු පැහැ බිත්තිය මත නෙත් යොමාගෙන එක එල්ලේ බලා හිඳී. එහි කිසිත් චලනයක් නැත. මනෝ විකාරයෙන් මෙනි.
“තාරා වට්ස් ද ප්‍රොබ්ලම්?”
චිරායු එය ඇසුවේ සෙමෙනි. එහෙත් තවමත් තාරා ලඟට විත් ඇයගෙ හිස මත අත තබා ඇයව වැලඳගෙන මෙය ඇසිය යුතු බවට සිතුවිල්ලක් චිරායුගෙ සිත තුල උපැද තිබුනේ නැත.
“නෝ ප්‍රොබ්ලම්”
තාරා එසේ කියා නෝංජල් සිනාවක් නැගුවාය. ඒ සිනහව චිරායු වෙත පෑ සිනහවකටත් වඩා තමන්ගේම අභ්‍යන්තර සිතුවිලි කෙරේ යොමු වු සමච්චල් සහගත සිනහවකි. තමන්ටම සිනහ වීමකි. තමන්ගේ අසරණ කමක් සිනා වීමකි.
“ප්‍රශ්නයක් නැත්තම් ඇයි ඔයා ඔහොම ඉන්නේ? පිස්සු හැදිල වගේ?”
“පිස්සු හැදිල තියෙන්නෙ මට දැන්”
“අනේ තාරා මේ විකාර කරන්න එපා. ප්‍රශ්නයක් තියෙනම් කතා කරන්න. නිකන් මේ ඩ්‍රාමා දාන්න එපා. ඔයාම දන්නවනෙ මම කොච්චර මහන්සි වෙලා වැඩ කරලද ගෙදර එන්නෙ? ඔයා වගේ නෙවෙයිනෙ. ඒ ගෙදර ඇවිත් ඉන්න ටික වෙලාවෙත් මගෙ ඔලුව කන්න හදන්න එපා”
“එතකොට මං ඔයාගෙ ඔලුව කන්නෙ? ඔයා මගෙ ඔලුව කන්නෙ නෑ? මං තමයි ඔලුව කන්නෙ. ඔව් ඔව් ඔව්. මං තමයි ඔලුව කන්නෙ. මං කන්නෙ ඔලු. මට ඔලු කන්නයි ඕන”
තාරා ඒ වදන් කියාගෙන ගියේ පිස්සුවෙන් මෙනි. ඇඳ මත වාඩි වී කෙස් කළඹ විසුරුවාගෙන තමා දෙසම බලාගෙන පිස්සියක මෙන් කියවන තාරා දෙස චිරායු බැලුවේ අඩ බැල්මකිනි. එය කුතුහලයත් බියත් එකට මුසු වූ බැල්මකි.
“මොකද්ද වෙලා තියෙන්නෙ? තාරාආආආඅ”
“මට නෙවෙයි චිරායු, ඔයාට මොකද්ද වෙලා තියෙන්නෙ? ඇයි ඔයා මට මෙහෙම කරන්නෙ? ඔයාට මාව මතකද? කියන්න? මාව මතකද? මාව මතකද? මම කවුද? ඇයි ඔයා මං කියල කෙනෙක් නෑ වගේ හැසිරෙන්නෙ? මට නෙවෙයි ඔයාටයි මොකද්ද වෙලා කියල මම අහන්න ඕන
ඔයා කොයි වෙලාවෙ බැලුවත් ගෙදරක නෑ. ගෙදර ඉන්න වෙලාවකවත් මාත් එක්ක කතා කරන්නෙ නෑ. මම දෙයක් ඇහුවත් ඔයාට තරහ යනවා. හැබැයි හැබැයි ඔයා හිතන්නෙ මම තමයි වෙනස් වෙලා තියෙන්නෙ. මම තමයි ඔලුව කන්නෙ. මට තමයි පිස්සු.
මට පිස්සු හැදෙව්වෙ ඔයා චිරායු. ඇයි දැන් ඔයා සද්ද නැතුව ඉන්නෙ? ඇයි දැන් නිකන් මුකුත් දන්නෙ නෑ වගේ ඉන්නෙ?
කියන්න. ඇයි? ඇයි? ඇයි?’