ගේ ළඟට එන විට සයුරංගනා දහදියෙන් නැහැවී සිටියා ය. ඇගේ හදවතට දැනුණේ වචන කෝටි ගණනකින්වත් විග්‍රහ කරන්නට බැරි හැඟීමකි. එය තමන් ගැන පමණක් දැනෙනා බියක් නොවේ. යශෝදර එහි ප්‍රධාන ම හේතුවයි. මංජුල හැසිරුණේ ඉතා ම පහත් මිනිසෙකු සේ ය. ඔහු කතා කළේ ඇය ගිම්හාන් නැති වූවාට පස්සේ යශෝදර සමග රහස් ඇසුරක් ඇති කරගෙන ඇත්තා සේ ය. කාර් එකේ දමා ගෙන ගොස් හුරතල් කොට ගෙනැවිත් දමනවායි කියත්දී ගමේ බොහෝ දන්නා හඳුනන මුහුණු ඒ අවට සිටියහ. දැන් ඔවුන් සයුරංගනා ගැන කෙසේ සිතනු ඇත්ද? එය පසෙකින් ම තැබුවත් යශෝදර ගමට මුහුණ දෙන්නේ කෙසේ ද? මේ වාගේ සිදුවීමක් ගම පුරා පැතිර යන්නේ ලැව් ගින්නක් සේ ය. මිනිසුන් වෙනකෙකු ගේ පෞද්ගලිකත්වයට අදාල ඕපාදුපයක් තලු මරන්නේ වේල් ගණනක් කුසගින්නේ හාමත් වී සිටියෙකුට රස අහරක් ලැබුණා සේ ය. මෙයින් මනතට යශෝදර ඔහු ගේ පවුලේ අය ඉදිරියේ කෙසේ නම් පෙනී සිටින්නද? ඇයට මතු නොව එසඳිට වුව තිබූ එක ම සැනසීම ඔහු ය. අනේ යශෝදර කියා කියූ පමණින් දිව එන්නට සිටි, තමන්ගේ ය යන හැඟීමක් පපුව පත්ලට ම දැනවූ මිනිසා ඔහු ය. බයක් සැකක් නැතිව ගිම්හාන් සමගින් වාගේ මග තොටක බැස යන්නට සිටි එක ම ගමන් සගයා ඔහු ය. තව මොහොතකින් ඒ සියල්ල අහිමි වී යාමට නියමිත ය. වැන්දඹු ගැහැනියකගේ නමකට ඔහු ගේ නම ඈඳී ගමේ කටකතා හැදෙනවාට ඔහු ගේ මව් පියන් කැමති වන්නේ නැත. පවුලේ වැඩිමහල් පිරිමි ළමයා වශයෙන් මල්කාන්ති ට ඔහු රජෙකු වාගේ අඩම්බරයකි. ඇතෙකු වාගේ හයියකි. ගමේ ඕනෑ ම පොදු කටයුත්තකදී මුල් තැන නිරායාසයෙන් යශෝදර ට ලැබිණ. වෙන්දේසි ඉඩම් වල අලුත් පදිංචිකරුවන් අතරේ ඔවුහු ඒ ගම් බිම් වල මුල් හිමිකරුවෝ වෙති. මෙතෙක් කලක් ගම තුළ ඔහු රක්ෂා කරගත් ගෞරවය ද නම්බුව ද එක් අනාත ගැහැනියක නිසා මොහොතකින් විනාශ වෙන්නට යයි. සයුරංගනා ගේ ඇස් වලින් කඳුළු උතුරා යමින් තිබිණ.
“ඒයි…මොකද මේ…”
රිය පෙත් මගට හැරෙත්දී යශෝදර ඇසුවේ සිනහ වී ය. ඔහු ද මෙතෙක් පැමිණියේ ඒ සිදුවීම ගැන මනස් රූප අඳිමින් හා යළි සිහි කරමින් වී ද යශෝදර ට අළුයම ලූ කෙළ පිඬක් සේ එය අතැර දමන්නට පුළුවන.
“අනේ මට හරි බයයි යශෝදර…ඔයාගෙ අම්ම දැං මොනා කියයිද…ගිම්හාන්ගෙ අම්මයි ශක්‍යායි ඇවිත් නටයි හොඳ වන්නමක්”
“අනේ මේ. ඒගොල්ලොන්ට ඇවිත් වන්නම් නටල අඩව් කස්තිරමුත් අල්ලන්නයි කියන්න…අපි නෙවෙයිනෙ වැරදි කළේ…අර ජරාසතානෙ…”
“ඒ වුණත්…ඒගොල්ලො පිළිගන්නෑ කියල මං දන්නව. මට දුක ඒ ගැන නෙවෙයි. මට හිටියෙ ඕගොල්ලො විතරයි. අම්ම කෙනෙක් වගේ ඕන දේකට අඬගහගන්න ළඟම හිටියෙ ඔයාගෙ අම්ම. එයා මං ගැන මොනා හිතයිද…මං එයාට මූණ දෙන්නෙ කොහොමද…ඕගොල්ලොත් නැති වුණොත් මට මේ දරුවත් එක්ක මගේ කියන්න කවුරුත්ම නැති මේ කොළඹ ඉන්න කාගෙ හයියක්ද යශෝදර…”
“ඔය කඳුළු පිහිදාගන්න”
ගෙදර පිවිසුම් දොරටුව පේන නො පෙනෙන මානයේ දී යශෝදර විධානයක් දුන්නේ ය. සයුරංගනා ඔහු දෙස බැලුවේ තිගැස්සීගෙන ය. මීට පෙර කවදාවත් ඔහු ඒ විදිහට ඇයට තදින් කතා කොට නැත.
“කිව්වහම අහල කඳුළු පිහිදාගන්න සයූ”
ඇය අතැඟිලි වලින් කොපුල් තල පිසදමා ගවුම් කරෙන් ද තෙත මාත්තු කළා ය. ජයරත්න ගේට්ටුව විවර කළේ ය. යශෝදර සීරුවට රිය ඇතුළට දැමුවේ ය.
“මොනා වුණත් මං නැති වෙන්නෑ. හරිද…”
රිය දොර අරින්නට පෙර ඔහු ඇදෙස බලා තිර සරකින් කීවේ ය. සයුරංගනා ඇස් වඩාත් ලොකු කර ගෙන ඇස් පිය නො සලා ඔහු දෙස බලා සිටියා ය. යශෝදර සැහැල්ලු සිනහවක් නගා ගත්තේ ය.
“මිනිස්සු අල්ලගත්ත හින්ද මට අරූට හරියට දෙකක් ඇනගන්න බැරිවුණා. ඒකයි දුක”
“කාටද පුතේ…ඇයි මොකද වුණේ..”
යශෝදර කීව ජයරත්න ට ඇසී තිබිණ. හන්දියේ දී සිදු වූ දේ යශෝදර විස්තර කළේ ය. ඒ මැද්දෙන් පනිමින් එසඳි සීයාපච්චිට සිදුවීම තවත් තහවුරු කළා ය.
“මංජුල මාම නරකයෙක් සීයපාචි. අම්මට බැන්න. අපාචිගෙ ශර්ට් එකෙන් මෙහෙම අල්ලගෙන ගහන්න ගියා. මංජුල මාම එක්ක තරහ වෙමු සීයපාචි”
“මූ ඒගමන චණ්ඩි පාට් වලින්ද එන්න හදන්නෙ…එදා කන පැලෙන්න එකක් දෙන්න බැරි වුණ වැරැද්දද මේ…හොඳයි මං බලා ගන්නංකො”
ජයරත්න සූදානම් වූයේ මහ ගෙදර යන්න ය. නමුත් ඊට පෙර ත්‍රීරෝද රියකින් තිලකා හා ශක්‍යා පැමිණියහ. ඔවුන් පැමිණ තිබුණේ ළමයින් දෙදෙනා මංජුල ළඟ දමා ය.
“හරිම ලස්සනයිනෙ සිද්ද වෙන දේවල්. දැන් අපි රෙද්දක් ඇඳගෙන පාරෙ බැහැල යන්නෙ කොහොමද දන්නෑ නේද..”
තිලකා රියෙන් බැස ගෙට ගොඩ වූයේ ම සයුරංගනා මත වරද පටවමිනි. එසඳි දිව විත් අම්මා ගේ දෙපා බදා ගත්තා ය.
“මගෙ අම්මිට බණින්නෙපා. ඕගොල්ලොංගෙ මංජුල මාම නෝටියෙක්”
ඇගේ හුරතල් හඬට කන් දෙන්නට සූදානම් බවක් තිලකා හෝ ශක්‍යා වෙත නොවිණ.
“තමුසෙ විලි ලැජ්ජාවක් කියල දෙයක් දන්නැතුවද හන්දිය මැද්දෙ මෙහෙම ප්‍රශ්නයක් ඇති කෙරෙව්වෙ ආ…හොර මිනිහලට කියල පවුලෙ එවුන්ට තඩිබාවන්න එනවද…”
ශක්‍යා සයුරංගනා ගේ මූණ ඉදිරියටම ඇවිත් චෝදනා කරත්දී නම් තව දුරටත් නිහඬ වන්නට ඇයට ඕනෑ වූයේ නැත.
“ඔයාගෙ මහත්තයනෙ අක්කෙ කාර් එක ඉස්සරහ බයික් එක හරස් කරල අපිට යන්න නොදී ප්‍රශ්න ඇති කර ගත්තෙ..මට නෙවෙයි ඔයා ඉස්සෙල්ලම එයාට කතා කරන්න. කලින් දවසකුත් මං කියන්න තියන දේ කියලයි එයාව මේ ගෙදරින් එලෙව්වෙ. මේක හරි වදයක් වුණානෙ. ගිම්හාන් නැති වුණා කියල මං මේ ඕන වෙලාවක ඕන මිනිහෙක් එක්ක ඇඳට නගින්න ලෑස්තියි කියලයි එයා හිතන් ඉන්නෙ. එහෙම නෑ කියල ඔයාවත් එයාට කියල දෙන්න. එහෙම කරනවනං මට මේ රස්සාවක් හොයාගෙන අමාරුවෙන් ඒක කරගෙන දරුව හදාගන්න ඕන නෑනෙ. ඒ වගේම එයා එහෙමයි කියල අනිත් හැම පිරිමියමත් එහෙමයි කියල හිතන්නෙපා කියල ඔයා ඔයාගෙ මහත්තයට කියල දෙන්න. ඕගොල්ලොන්ට නෙවෙයි මේක නිසා ලැජ්ජාවක් වුණානං යශෝදරලටයි වුණේ. ඒ මිනිස්සු අපිට උදව් කරන්න ඇවිත් වඳින්න ගිය දේවාලෙ ඉහේ කඩං වැටුණ වගේ වැඩක් වුණේ”
“අනේ…ඇත්තද…එයා නිකං වෙන්නැති මේ දේවාල වන්දනා කරන්න එන්නෙ”
“මං කතා කරල කියන්නංකො මල්කාන්තිටම…අන්තිමට අපිට දොස් කියන්න එපා කියල”
සයුරංගනා ගේ යටි පතුල් පවා සීතල වී ගියේ ය. නමුත් මොවුන් වළකන්නට ඇයට බැරි ය. සිදු වෙන්නට ඇති දෙයක් වුණාවේ යි ඇය හිත හදා ගත්තා ය. ගිම්හාන් මිය ගිහින් ද තවමත් ඇය ජීවත් වන්නී ය. සිදු වෙන්නට ඇති දෙයක් වළකන්නට ඇයට නොව ශක්‍ර දෙවියාටවත් හැකිය කියා පිළිගත නො හැක.
“උඹලට අමු කැවිලද යකුනේ…තමුංගෙ කුණු හත්පොලේ ගාගෙන ගඳ ගස්සගන්නෙ නැතුව ගෙදර පලයල්ල”
ජයරත්න තදින් කීව ද තිලකා එය සැලකිල්ලට ගත්තේ නැත. ඇය මල්කාන්තිලා ගේ ගේට්ටුව ඉදිරියට ගොස් කතා කරනා විටත් ඔවුන් කතා බහ කරමින් සිටියේ ඒ සිදුවීම ගැන යි.
“ඔය…මං කිව්වෙ ඕකනෙ. අපි මෙච්චර කල් ගමේ කාත් එක්කවත් ප්‍රශ්න ඇති කර ගන්නෙ නැතුව හිටපු මිනිස්සු”
මල්කාන්ති එතෙක් ඇය සිටි ස්ථාවරය තව දුරට ද ස්ථිර කළා ය.
“අනේ අම්මෙ මේ. ප්‍රශ්න ඇති කරගන්නෙ නැතුව ඉන්නව කියන්නෙ පතෝල වැටකොළු වගේ ඉන්න එකට නෙවේ. මෙන්න මෙහෙ එන්න යන්න. උන්දලට හොඳවයිං දෙකක් කියන්න”
පාරමී මල්කාන්ති ගේ අතින් ඇදගෙන සයුරංගනා ගේ ගෙදරට ගොඩවූවා ය. ඒ පසුපසින් යශෝදර ද තේමිය ද වූහ.
යශෝදර සයුරංගනා සමගින් මෝටර් රථයෙහි ගමන් බිමන් යන එක ගැන තමන් ගේ කිසිදු වගකීමක් නැතැයි තිලකා කෙලින් ම ප්‍රකාශ කළා ය.
“අපේ ආස්සරේ දැන් අවුරුදු කීයක්ද කියල මටනං මතකත් නෑ නංගියෙ. අපි අතරෙ මෙච්චර කාලෙකට උඹ නොදකින් කියල ප්‍රස්නයක් ඇති වෙලා නෑ. යශෝදර පුතා මට මගෙම දරුවෙක් වගේ නිසයි මේ කියන්නෙ. රංගනා දැං මිනිහ මැරිච්ච ගෑනි වෙච්චි…මල්කාන්ති…අපිට දොස් කියන්නෙපා මේ දෙන්න මේ රෝන්දෙ ගහන එක ගැන මිනිස්සු කතා හැදුවට. යශෝදර පුතා හන්දියෙදි සෙනග මැද්දෙම මංජුලට ගහල තියනව. මං පුතාට වරදක් කියනව නෙවේ මල්කාන්ති. මේ හැම දේම රංගනා නිසා. අන්තිමට මෙයැයිට ඉන්න ඇරල අපිට ගමෙං යන්නයි වෙන්නෙ”
“මංජුලට නිකං පාරෙ යනකොට ගහලද ඇන්ටි…”
පාරමී සමච්චලයට කට ඇද කළා ය.
“අනේ මේ පාරමී ඔයා කට වහගෙන ඉන්න. ඔයාට මේවගෙ බරක් පතලක් තේරෙන්නෑනෙ”
ශක්‍යා මූණ ඇද කර ගත්තා ය. පාරමී සිනහවක් නගා ගෙන දිගටම කතා කරන්නට වූවා ය.
“එදා ඔය මිනිහ මේ ගෙදරට පැනපු වෙලාවෙ මං හිටියනං අම්මප බයික් එක පැදං යන්න පුළුවන් විදිහට යවන්නෑ. බලන්නකො ලැජ්ජාවක් නැතුව උඩ බලාගෙන කෙළ ගහගන්න හැටි. දැං මුළු ගමම දන්නව ඇති මංජුල රංගිට අතවර කරන්න ආව කියල. පිට අයද…පවුලෙ අය නේද ඔය..”
“අපරාදෙ අයිය එක කම්මුල් පාරක් විතරක් ගහල තියෙන්නෙ. මට ඔය යකාව පාරකදි හරි අහු වුණොත්නං අණ්ඩක් කඩලයි යවන්නෙ. මුං නිසා අපිටත් ලැජ්ජයි පිරිමි වෙලා ඉපදුන එක ගැන”
ඒ තේමියයි. යශෝදර ගේ මුහුණේ සිනහ රැල්ලක් නළියමින් තිබිණ. සයුරංගනා නම් හිටියේ එසඳි වඩාගෙන නිහඬව ම ය.
“අඩේ…එතකොට එහෙනං මේගොල්ලො ඔක්කොම මෙහෙම හුටපටයක් වෙනවට කැමතියි වගේ. පවුලෙ වැඩිමල් කොලුව ළමයෙක් එක්ක කණවැන්දුං ගෑනියෙක් බැඳ ගත්තත් අවුලක් නෑ වගේ…”
තිලකා සමච්චල් හඬකින් සිනහවක් ද නැගුවා ය. ජයරත්න හිටියේ කේන්තිය ඉවසා ගන්නට බැරිව බරාඳයේ ඒ මේ අත සක්මන් කරමිනි.
“අනේ අපිනං හරී කැමතියි රංගි අපේ පවුලෙ වෙනවට. මේ චූටි එසඳි කෙල්ලටත් අපි පණ වගේ ආදරෙයි. එකම අවුල තාම රංගි එහෙම දේකට ඉඟියකින්වත් කැමැත්තක් දීල නැති එක. තිලකා ඇන්ටිට තව මොනාහරි ප්‍රශ්න තියනවද…”
පාරමී ඉතාමත් සන්සුන්ව අත් දෙක පපුවේ බැඳගෙන සිනහවක් නගාගෙන ම ඇසුවා ය. සයුරංගනා ට හැඬුණේ එවිටයි. යශෝදර ඈ අතින් එසඳිව ගත්තේ ය. පාරමී ඇවිත් සයුරංගනා ගේ බඳ වටේ අතක් යවමින් ඇය සිය සිරුරට ලං කොට ගත්තා ය.
“දෙයියංගෙ නාමෙට රංගි අක්කට පාඩුවෙ ඉන්න දෙන්නකො අප්ප. ඕගොල්ලොත් ගෑනු නේද…පව් කියල හිතෙන්නැද්ද මේ කෙල්ලට මෙහෙම වද දෙන්න…රංගි අක්කව නෙවෙයි ගෙදර ඉන්න මිනිහව හදාගන්න බලන්න ශක්‍යා අක්කෙ”
කියමින් තේමිය ගෙන් මිදුලට බැස්සේ ය. යශෝදර ද ඔහුත් එක්ක ම ගෙයින් පිට වූ අතර ඔවුන් දෙදෙන පටු මගෙහි නතර වී කතා කරමින් සිටියහ. ජයරත්න හෙමිහිට ඔවුන් වෙතට ආවේ ය.
“මුන්ට පිස්සු පුතා. මේ සිද්ද වෙන දේවල් ගැන මට හරි කණගාටුයි”
“අංකල් ගණං ගන්නෙපා අංකල්. පවුලකට ඔය මංජුල වගේ එකෙක් හිටියහම ඇති”
“මේ ළමයි පොඩි දරුවො නෙවේනෙ. යමක් කමක් තේරෙන වැඩිහිටියොනෙ දැං. ම්..ඒක නිසා…කල්පනා කරල කටයුතු කරන්න යශෝදර පුතා”
ජයරත්න යශෝදර ගේ උරහිසකට හෙමිහිට තට්ටු කළේ ය. තව දුරටත් මුණිවත රැකිය යුතු නැතැයි ඒ වෙලාවේ යශෝදර තීරණය කළේ ය.
“ගිම්හාන් මගෙ යාළුව අංකල්. සහෝදරය කිව්වත් වැරදි නෑ. ගිම්හාන්ගෙ වයිෆ්ටවත් දරුවටවත්…මගෙං වරදක් වෙන්න මං කවදාවත් ඉඩ තියල නෑ අංකල්. ඉඩ තියන්නෙත් නෑ”
එය හරියට සය කන් මන්ත්‍රණයක් සේ ය. ජයරත්න යළි ඇතුළට ගියේ සැනසිලිදායක බවක් එක්ක ය. පාරමී මල්කාන්ති සමගින් ගෙයින් පිටත් වෙමින් සිටියහ.
“අනේ අපේ මිනිස්සු නිසා මොකක් හරි හිත් වේදනාවක් වුණානං සමාවෙන්න ඕනෙ නංගියෙ”
“අයිය මොනා කියනවද මන්ද…අපි පස්සෙ ඔය ගැන කතා කරමුකො”
ජයරත්න වැරැන්ඩාවට ගොඩ වන විට අම්මාත් දුවත් උළුවස්ස උඩ දෙපසට හේත්තු වී ගෙන සිටියහ.
“ඇද්ද අහගත්ත…”
ඔහු ඔවුන් දෙදෙනා මැද්දෙන් ගෙට ඇතුළු වූයේ අඩ සිනහවකිනි.