මල්කාන්ති දෙගිඩියාවට පත් ව සිටියා ය. යශෝධර වූ කලී ඇය මුලින් ම ඇගේ කුසයෙන් බිහි කළ දරුවා ය. කුඩා කල පටන් ම ඔහු ආත්මාර්ථකාමී නොවූ යහපත් දරුවෙකු වූයේ ය. පෙර පාසලේ පටන් ම අනිකුත් දරුවන් ට උදව් කරන්නට සූදානමින් උන් කරුණාව දෝරෙ ගැලූ සිතැත්තෙකු විය. ගැටවරයෙකු ලෙස වැඩෙත්දී ඔහු ගමක ම ආදරය දිනා ගත්තේ සිය ප්‍රිය මනාප – ප්‍රසන්න ඇවතුම් පැවතුම් නිසාවෙනි. ගමෙහි, දූවරු සිටිනා බොහෝ මව්වරු යශෝදර ට ඇස ගසාගෙන සිටි බව මල්කාන්ති දනී. ඇතැම්හු ඇගේ මූණට ම ඒ බව කියා ද තිබේ. නමුත් යශෝදර ගමේ කිසිදු ගෑනු ළමයෙකු සමග පෙම් සබඳකමක් ඇති කර ගන්නට පෙළඹුණේ නැත. ඔහු එහෙම කළේ හිතා මතා ම ය. පෙම් පලහිලව් ගමෙන් පිටත තබා ගන්නට ඔහුත් ගිම්හානුත් කතා බහ කර ගත්තේ, මිය යන තුරු ම මේ ගමේ ජීවත් විය යුතු යයි දැන සිටි බැවිනි.
“ගමේ කෙල්ලෙක් එක්ක යාළු වෙලා ඉඳල බැන්දෙ නැති වුණත් නාකි වෙනකල්ම ගමේ උන්ට ඕක අමතක වෙන්නෑ. අපි මැරිච්ච දවසක වුණත් මළගෙදර ඇවිත් කියයි අනේ අපේ අරකි බඳින්න හිටිය කොල්ලනෙ කියල”
ඔවුන් එහෙම කියමින් සිනහ වූ අතීතයක් තිබේ. ඒ යළි කිසි දාක නො පැමිණෙන අතීතයකි!
ගමෙන් පිට වුව යශෝදර පෙම් සබඳකම් පවත්වා ඇත්තේ කවුරුන් සමග දැයි මල්කාන්ති දන්නේ නැත. සුළුවෙන් හෝ එවැනි සබඳකම් කිහිපයක් පැවති බවට ඉඟි නම් ඒ ඒ අවස්ථා වලදී ඇයට දැනී හා ලැබී තිබේ. ලැබුණේ නම් ගිම්හාන් ගේ විහිළු තහළු වලින් ම ය.
“මූ ඔන්න ඇන්ටිට ලේලි කෙනෙක් ලෑස්ති කරං ඉන්නව”
ගිම්හාන් එහෙම කියන විට යශෝදර ඊට එරෙහිව හෝ එකඟව කිසිදු ප්‍රතිචාරයක් නො දක්වා සිටී. අම්මා ඉදිරියේ එවැනි කාරණා කතා කරන්නට ඒ කාලේ ඔහු කොහොමත් ලැජ්ජ ය.
“අනේ අපිට කමක් නෑ ඉතිං. එයා කැමතිනං එච්චරයි. ඒ හිඟන්නියක් වුණත් අපි සතුටෙන් බාරගන්නව. හැමදාම එයාට සතුටෙන් ඉන්න පුළුවන් කෙනෙක්නං අපිට ඒ ඇති”
හැමදාමත් ගිම්හාන් ගේ විහිළු වලට මල්කාන්ති ගේ පිළිතුර වූයේ එයයි. සැබවින් සිය දරුවන් ගේ ජීවිත වලට අනවශ්‍ය ලෙස ඇඟිලි නොගසන්නට ඇය තරුණ වියේ සිට ම හිතා ගෙන සිටියා ය. අදහස් කීවා හෝ මගපෙන්වූවා මිස දරුවන් පාසල් අවධියේ දී වුව මල්කාන්ති හෝ ඇගේ සැමියා ඔවුන්ට බලපෑම් කරන්නට ගියේ නැත. එහෙමය කියා රාමනායක පවුලේ ළමයින් තිදෙනා කාගෙන්වත් වචනයක් අහ ගන්නට තරම් වරදක් ඇතිව හැදුණා ද නොවේ. ගමේ කොතැනට ගියත් කවුරුන් අතරේදීත් ඔවුන් තිදෙනාට ම විශේෂ ආදර සැලකිල්ලක් ලැබිණ. ඒ අතරින් ද යශෝදර ට විශේෂ ගෞරවාදරයක් හිමි වුණේ ය.
ළමයින්ගේ විවාහයකදී ඔවුන්ගේ කැමැත්තට මිස තමන්ගේ මිනුම් දඬු වලට ඉඩක් දෙන්නේ නෑ කියා සිතා ගෙන සිටි ඇගේ නිදහස් හිත දැන් දැන් මඳක් සැලේ. ගිම්හාන් ගේ මරණයෙන් පසු යශෝදර වඩ වඩාත් සයුරංගනා ට හා එසඳි ට සමීප වෙත්දී ඕ තොමෝ බලා සිටියේ සසැළුණ සිතිණ. නමුත් කටක් ඇර යශෝදර ට වචනයක් කියන්නට පුළුවන් කමක් ඇයට තිබුණේ නැත. ගිම්හාන් ඔහු ගේ සමීපතම මිතුරා ය. එසඳි උපන් දා පටන් ම යශෝදර ඇයට පණ වාගේ ආදරේ ය. මිතුරා ගේ වියෝවෙන් අසරණ වූ සයුරංගනා ට උදව්වක් පදව්වක් කිරීම ගැන වචනයක් කියන්නට තරම් දැඩි හිතක් මල්කාන්ති ට නොවේ. පවුලක් වශයෙන් ම ඔවුන් අන්‍යයන්ට උදව් කරනා අය වේ. දරුවන් උරුම කර ගත්තේ ද මව් පියන්ගේ ඒ හොඳ ගතිගුණයි. අනිත් අතට සයුරංගනා මොන තරම් අහිංසක ද කියා ඈ නො දන්නවා නොවේ. ඇය අසරණ වූ විට පිටුපාන්නට හැකියාවක් අම්මා කෙනෙකු වශයෙන් මල්කාන්ති ට නැත. නමුත් ගින්දරත් පුළුනුත් ලං වූ කල ඇවිලිය හැකි බව ඇය දැන සිටියා ය. අන්න ඒ ගින්නට ඇය බිය ද වූවා ය.
යශෝදර සිටිනුයේ විවාහ වන වයසේ ය. සැබවින් ඔහු ගේ සමවයස් මිතුරන් හැම කෙනෙකුම වාගේ දැන් විවාහ වී අවසන් ය. යශෝදර මෙතෙක් අවිවාහක ව සිටිනුයේ කොයි ගෑනු ළමයාගේත් මොනයම් අඩුපාඩුවක් හෝ කියා එය මගහරිමිනි.
“මෙයා අඩුපාඩුවක් නැති සර්ව සම්පූර්ණ එක්කෙනානෙ”
අම්මා නොව යෙහෙළියකගේ තත්වයට වැටී ඇය ඒ වෙලාවට පුත්‍රයාට විහිළු කරන්නී ය.
“මටතරං අඩුපාඩු නැති කෙනෙක්වනෙ බඳින්න ඕනෙ. නැත්තං අපි දෙන්නගෙම එකතු වුණාම අඩුපාඩු ගොඩයිනෙ”
ඔහු පණ්ඩිත කතාවක් විහිළුවක් සේ කියා මගහැර යයි.
යශෝදර ගේ සිත්හි සයුරංගනා ගැන හැඟීමක් වේ දැයි ගිම්හාන් ගේ මරණයෙන් පසු අනන්ත වාරයක් මල්කාන්ති ට සිතී තිබේ. ගිම්හාන් ගේ දෙණ ගෙයි තිබියදී, එය ඉදිරියෙහි හඬනා සයුරංගනා දෙස යශෝදර බලා උන් බැල්ම කිසි දා අමතක නොවන සේ මල්කාන්ති ගේ හදවතෙහි නිදන්ගත ය. සයුරංගනා වෙනුවෙන් හඬන්නට පුළුවන් කමක් ඒ වෙලාවේ යශෝදර ට වූ බව සිය පුත්‍රයා හොඳින් හඳුනන මල්කාන්ති දනී. ගෙවී ගිය පසු ගිය කාලයේ දී ඔහු සයුරංගනා ට තව තවත් සමීප වනු මල්කාන්ති බලා සිටියේ අම්මා කෙනෙකු වශයෙන් හද ගැස්මෙනි.
සයුරංගනා යනු හොඳ ගෑනු ළමයෙකු බව ඇත්ත ය. ගිම්හාන් ඇය විවාහ කොට ගෙන ඔය ගෙදරට ගෙන ආ මුල් දින වල, යශෝදරටත් එවන් ගෑනු ළමයෙකු ලැබෙනවා නම් කියා මල්කාන්ති සිතා තිබේ. සැමියාගේ වියෝවෙන් පසු ඇය කොයි තරම් දිරිය ගැහැනියක දැයි සයුරංගනා විසින් ඔප්පු කොට පෙන්වා තිබේ. උදේට රූපවාහිනී තිරයෙන් ඇය දෙස බලා සිටින මල්කාන්ති ගේ පපුව පිරේ. හැඩගැන්වීම් නිසා ඇය සුරංගනාවක සේ ය. මුළු ගමක් දැන් ඇය ගැන කතා කරයි. ගමට ඇය ආභරණයක් වී තිබේ. ගමට ඇය වටිනාකමක් දී තිබේ. ඉතින් ඇය ගැන යශෝදර ට යම් හැඟීමක් ඇති වී නම් කිම ද? නමුත් අන්න එතැනදී මල්කාන්ති පසුබායි. මොන තරම් නූතනවාදී අම්මා කෙනෙකු ලෙස දරුවන් තිදෙනෙකු ලස්සනට උස් මහත් කළ ද එතැනදී සම්ප්‍රදායික අම්මා කෙනෙකු ඇයට ආරූඩ වී ඩෙඟා නටයි. දරුවෙකුත් සිටිනා කණවැන්දුම් ගැහැනියක පාවා ගන්නේ රටේ ලෝකේ අවිවාහක ස්ත්‍රීන් නැතිවද යන සම්ප්‍රදායික ප්‍රශ්නය ඇගේ මව්වත් හදවතෙහි අවි අමෝරා නැගී සිටී. එතකොට ඇය ට සිදු වන්නේ මුණිවතින් බිම බලා ගන්නටයි. අඩුවක් නොකොට ඇස් දෙක වාගේ හැදූ ලොකු පුතාගේ විවාහය අඩුවක් කැළලක් නැති එකක් වෙනවාට අම්මා කෙනෙකු වශයෙන් ඇය කැමති ය.
එදා තිලකා හා ශක්‍යා ඇවිත් කූරු ගසා යන ලද තුවාලය නිසා පෑරී හිත රිදවා ගෙන සිටිය ද මල්කාන්ති ඒ බව ගෙදර කිසිවෙකුට ඇඟවූයේ නැත. නමුත් සයුරංගනා හැන්දෑවේ පාර අයිනේ සුදු වතුසුදු ගහේ මල් කඩනු දුටු ඕ හෙමිහිට එතැනට ගියා ය. මල්කාන්ති ට මූණ දෙන්නට බැරි හැඟීමක් සයුරංගනා ට නො දැනුණා නොවේ. නමුත් ඇය ඒ සිතිවිල්ල යටපත් කර ගෙන දුක්බර මඳහසක් පෑවා ය.
“අර දෙන්නා ගියාද…”
සයුරංගනා හිස සැළුවා ය.
“රංගනා. මං දෙයක් අහන්න ඇත්ත කියනවද…”
හදවත සෝදා පාළු කර ගෙන යන කුණාටුවක පෙරනිමිති සයුරංගනා ට දැනිණ.
“අනේ…අහන්න ඇන්ටි”
“යශෝදර ඔයාට මුකුත්…යෝජනාවක් එහෙම කරල තියෙනවද…මං එහෙම ඇහුවෙ ඉස්සල්ල අපේ පාරමී කියපු කතාව නිසා”
සයුරංගනා ගේ ඇස් බිමට හැරවිණ. ඉකි බිඳ හඬන්නට තරම් ඇයට දුක ය. නමුත් එහෙම හිතෙන හැම වෙලාවක ම හැඬිය නො හැකි බව දැන් ඇය අවබෝධ කර ගෙන සිටී.
“අනේ නෑ ඇන්ටි. කවදාවත්ම නෑ”
“එහෙනං කමක් නෑ…”
ඇයට සැනසුම් සුසුමක් හෙළිණ. සයුරංගනා ඒ බව හොඳින් ම දුටුවා ය. නමුත් මල්කාන්ති ගේ සුසුමින් සයුරංගනා ගේ හදවත ගිනි වැදිණ.
“මට ඇන්ටිව තේරෙනව.. මීට පස්සෙ මං යශෝදරගෙන් උදව් ඉල්ලන්නෑ ඇන්ටි”
“නෑ එහෙම නෙවෙයි රංගනා මං කියන්නෙ”
“මට තේරෙනව ඇන්ටි. මං නිසා ඕගොල්ලො ඔක්කොමලටම හිත් වේදනාවක් වෙනව මට බලං ඉන්න බෑ”
ඇය ගෙට ආවේ කඳුළු හිර කර ගෙන ය. නාඬා ඉන්නට ඕ හැකි තාක් උත්සාහ කළා ය. පපුව ඇතුළේ කුණාටුව නොකඩවා හමමින් තිබිණ. වරින් වර ඇස් තෙත් නො වුණා නොවේ. නමුත් ඕ ඒ කඳුළු ඇස් මත්තේ ම ගබ්සා කොට දැමුවා ය. යශෝදර ඉල්ලා හඬන්නට අවසර නැති බව ඇය සක්සුදක් සේ දනී.
නමුත් සියල්ලන් නින්දට වැටුණු රාත්‍රිය ඇගේ ගල් වූ කඳුළු දිය කොට දැමුවේ හිරු දුටු හිම සේ ය. එදා මාතර ගොස් පැමිණෙන අතරමග වැලිපැන්නේ දී වූ සිදුවීම, දිය යට ඔබා සිටි රබර් බෝලයක් සේ මතුපිටට ඇවිත් ඇය හැඬවී ය. හඬන්නේ ඇයි දැයි සයුරංගනා තමන්ගෙන් ම විමසුවා ය. සීතල හිම පියල්ලක් වාගේ ඒ එක ම එක මොහොතක මතකය ශීත හැඟීමක් දනවමින් පපුව මැද්දේ නතර වී තිබේ. ඇය ඒ හැඟීමට ආශා ය. ලෝභී ය. මෙතෙක් දිවිය තුළ කිසි ම කිසි දිනෙක ඈ එහෙව් සීතල හැඟීමක් විඳ නැති බව ඉඳුරා පැවසිය හැක. ඇගේ නළලට දැනුණ යශෝදර ගේ අත් බාහුවේ පහසත්, හිස් මුදුන ස්පර්ශ කළ ඒ දෙතොල් පහසත් දිව්‍යමය සුවයක් දනවමින් හදවතේ රහස් ගුහාවේ තැන්පත් වී තිබේ. ප්‍රේමය කියන්නේ ඒ සීතල තෙත් හැඟීමට යයි සයුරංගනා හිතා ගෙන ඉන්නේ එදා සිටයි. ප්‍රේමය! එය දිව්‍යමය සුවයක් දනවන හැඟීමකි.
නමුත් කණවැන්දුම් ගැහැනියක හා ප්‍රේමය අතරේ කවර නම් සම්බන්ධයක් ද? මේ දූපතේ මිනිසුන් ඒ තරම් මානව හැඟීම් විශ්වාස කරනා අය නොවේ. සැමියා මිය ගිය ගැහැනියක ගේ හදවත වූ කලී ප්‍රේමයට සුසානයක් මිස තිඹිරි ගෙයක් විය හැකි යයි ඔවුන් කිසි දා අදහන්නේ නැත. සිය හදවතෙහි ප්‍රේමයක් උපන්නා නම් එය උපන් ගෙයි ම මියැදිය යුතුව තිබේ!
අනිත් අතට ඒ හැඟීම ඉතිරි වී ඇති මුළුමහත් ජීවිත කාලයකට ප්‍රමාණවත් සේ සයුරංගනා ට දැනේ. හිස් මුදුනට දැනුණ යශෝදර ගේ හාදුවේ උණුහුම සදාතනික ය. දරුවෙකු සමග තනි වූ කණවැන්දුම් ගැහැනියක වෙනුවෙන් යශෝදර සිය ජීවිත කාලයෙන් වන්දි ගෙවිය යුතු නැත. ඔහු ට ඉටු කර ගන්නට ඊට වඩා අපේක්ෂා තිබේ. ඔහු ගේ ලේ ඥාතීන්ට ඒ ගැන අයිතිවාසිකමක් තිබේ.
උදේ සයුරංගනා ගේ ඇස් ඉදිමී තිබිණ. ඇය හැන්දෑවේ යශෝදර ව මගහැරියා ය. පසු දා ඔහු සමගින් රූපවාහිනී නාලිකාවට යාම ප්‍රතික්ෂේප කරන්නට බලා සිටියා ය.
“කී එක ඉල්ලුව”
කියා පාරමී ඇවිත් කීවේ සයුරංගනා කාමරයට වී පමා වෙමින් සිටියදී ය. ඇය යතුර දුන්නා ය. නමුත් කාමරයට වී පමා වෙමින් ම සිටියා ය.
“යන්නැද්ද…අන්න අරය පරක්කුයිලු”
පාරමී නැවත ද කාමරයට එබී කීවා ය. සයුරංගනා ගේ ඇස් කතා කළේ ඒ වෙලාවේ ය.
“මං කැබ් එකක් දාං යන්නං පාරි. යශෝදරට යන්න කියන්න. මං නිසා මේ වුණ දේවල් ඇති. ඕගොල්ලොංගෙ අම්මට වුණත්..මීට වැඩිය මේ දේවල් දිහා බලං ඉන්න බෑ”
පාරමී නෙතු අයා බලා හිඳ ගොස් යශෝදර සමගින් යමක් කුටු කුටු ගෑවා ය.
“සයූ…”
යශෝදර ගේ හඬ ආලින්දය මැද්දෙන් උස් ව නැඟිණ. සයුරංගනා ට කාමරයෙන් පිටතට එන්නේ නැතිව සිටිනු නො හැකි විය.
“යං”
එය ඉල්ලා සිටීමක් නොවේ. විධානයකි. ඒ විධානයෙන් ම ඔහු ගෙයින් පිටතට යමින් සිටියේ ය. පාරමී සයුරංගනා ගේ අතකින් ඇද ගෙන එළියට කැටිව ආවා ය. මල්කාන්ති ඔවුන් ගේ ගේට්ටුව ද සයුරංගනා ගේ ගෙදර ගේට්ටුව ද අතරේ තැනක දෙගිඩියාවෙන් යුතුව නැවතී සිටියා ය. ඇගේ හදවත වැරදිකාර හැඟීමකින් ගැහෙමින් තිබිණ. හෘද සාක්ෂිය ඇයට චෝදනා කරමින් තිබිණ.
“ලේට් සයූ…යමු”
එවර යශෝදර කතා කළේ ආදරබර ස්වරයකිනි. දරා ගත නො හැකි බරක් සයුරංගනා ගේ හිතට දැනිණ. ඒ ආදරයෙන් හද පිරිමැදගැනීමට ඇයට අවසර නැත.
“මං එන්නං යශෝදර. ඔයා යන්න”
කඳුළු ඇස් වල නො වූවාට වචන අතරේ දිය වී තිබිණ. ඇය කෙතරම් මෘදු භාෂිතයකින් දෙඩුවේ වී ද ඊළඟට යශෝදර කෑගැහුවේ ඇය පමණකුදු නොව මල්කාන්ති පවා ගැස්සී යන පරිදි ය.
“කිව්වහම අහල නගිනවද මගෙ යකා අවුස්සගන්නැතුව”
කෑ ගැසීමෙන් පසු ඔහු රිය දොර හැර ගෙන ඊට ගොඩවූයේ ය. සයුරංගනා පාරමී දෙස බැලුවා ය.
“නගිනව”
කියා ඇය කීවේ අභිනයෙනි. සයුරංගනා ට මල්කාන්ති දෙස බැලිණ. ඇය ඇස් වලින් ඉඟි කළේ රියට ගොඩ වෙන ලෙසයි. මිදුල අමදිමින් සිට ඇය වෙතට පැමිණ සිටි ජයරත්න සයුරංගනා ගේ හිස් මුදුන මත අත තැබුවේ ය.
“මං ගිහිං එන්නං අප්පච්චි”
ඇය හැඬුම්බරව කීවා ය. සයුරංගනා රියට නැගෙත්දී පාරමී යශෝදර ගේ පැත්තේ වීදුරුවට තට්ටු කළා ය. එය පහත් විය.
“මූණෙ හැටි. අබ කිලෝ එකක් දැම්මත් පුපුරයි”
ඇය විහිළුවක් කරන්නට හැදුවාට යශෝදර ගේ කේන්තිය තුනී වී තිබුණේ නැත.
“ඔය කෙල්ලව කන්න එපා හරිද…ඒ ළමය බය වෙලා ඉන්නෙ”
ඇය එසේ කීවේ අයියාට පමණක් ඇසෙන තරමට හෙමිනි. සිනහවක් නැති මුවින් ම යශෝදර රිය පෙරට ගත්තේ ය.
🩵කියවූ බවට සලකුණක් හෝ ඉතිරි නොකොට රහසේ ම නික්ම යන බහුතරයක් අතරේ, ඇවිත් ගිය බවට ඇඟිලි සලකුණක් හෝ තබා යන සුළුතරයක් වූ ඔබේ ආදරය මට මහමෙරකි.