අනෝරා මල් වැහි 17

“හායි”

ගී ගයා අවසානයේ මහිල් විත් තාරාට ඉදිරිපස අසුනේ වාඩිවූයේ එසේ පවසමිනි. ඒ මහා ගැඹුරක් රැඳුණු වදනක් නොවුවද මෙතෙක් දිනක් තමාත් ඔහුත් අතර වූ සියලු බැමි බිඳ හෙලන්නට ඒ වදන් සමත් වූ බව පමණක් තාරාට දැනුනි.

“හායි, අද ඉක්මනට සින්ග් කරල ඉවර කරාද?”

“ආයෙ රවුන්ඩ් එකක් තියෙනව. ඒකට යනවා”

“ඔයාට ලස්සනට සින්ග් කරන්න පුලුවන්”

“තැන්ක්‍යු”

වයිබ්ස් කැෆේ අවන්හල තිබුණේ සිහිල් මද පවනකින් විකසිත වෙමිනි. ඒ සිහිල සිත තුල බොහෝ ආනන්දනීය හැඟුම් පුබුදුවන බව තාරාට සිතුණි. එහි කිසිත් බරක් වූයේ නැත තිබුණේ සැහැල්ලුවක්ම පමණි.

“ඔයාටත් මේ ඔරේන්ජ් පන්ච් එකක්ම ඕඩර් කරන්නද?” 

තමා ඉදිරිපස අසුනේ වාඩි වී තමා දෙස සිනාමුසුව බලමින් හිඳින මහිල් දෙස බලා තාරා ඇසුවාය.

“නෑ, මම තේ එකක් බොනවා”

මහිල් කියන්නේ සිනාසෙමිනි. ඒ හිරිපොද වැස්සක් බඳු සිනහවකි. නෙත් අගින් හිත පත්ව සිත තුල සන්තුශ්ටියේ ගංගාවක් මවන්නට හේතුවන සිනහවකි. 

මිතුරු වේටර්වරයෙකුට කතා කර මහිල් තේකක් ඇනවුම් කරන අයුරුත් ඔහුගේ මුවේ රැඳී තිබුන සුන්දර සිනහවට වේටර්වරයාද සිනහවකින් පිලිතුරු දෙන අයුරුත් තාරා බලා උන්නේ නෙත් කොණිනි. තමා විවාහක බව මෙහි සිටින කිසිවෙකුත් නොදන්නා බව අමුතුවෙන් කිව යුතු නොවේ. මංගල මුදුව අතැඟිල්ලට ලොකු වැඩි වීම නිසා තාරා මංගල මුදුව නොපලඳින්නට ගෙන දැන් බොහෝ කලකි. විවාහ වූ පසුව කාන්තාවන් මහත් වන බව අම්මා පැවසුවද තමා පාර්ශ්වයෙන් ඒ කතාබහ වෙනස් වී තිබේ. 

ඉතින් මේ සිනාවන්හි තේරුම වෙනත් අරුතක් වන්නට හැක. කොල්ලන්ට ආවේණික පණිවිඩ හුවමරු කරගැනීමේ ක්‍රමයක් විය හැක. එහෙත් තමන්ට බියක් නොදැනෙන්නේ ඇයිද කියා තාරාට සිතාගන්නට නොහැක. බාගදා එයට හේතුව තමාගේ සිතේ මහිල් ගැන මිතුදමක අංකුර පමණක් පොපියමින් තිබෙන නිසාවෙන් විය හැක. මෙහි බයවෙන්නට කිසිත් වරදක් හෝ හේතුවක් නොමැත.

“මැඩම් හැමදාම ඔෆිස් ඇරිල මෙහෙ එනවද?”

තේක ලැබෙන තුරු පුටුවේ හරිබරිගැසුණු මහිල් අසයි. ඒ බිඳකටවත් ඔහුගේ සුන්දර සිනහව දෙතොලින් ඉවත් කර නොගනිමිනි.

“මම ලඟදි ඉඳල තමයි මෙහෙ එන්න පටන් ගත්තෙ. කලින් එහෙම ඇවිල්ල නෑ”

“ලේසියෙන් කෙනෙක් එන්නෙත් නෑ , ආව කෙනෙක් ඉතින් ලේසියෙන් නෑවිත් ඉන්නෙත් නෑ මෙතනින්”

“ඇයි එහෙම කිව්වේ?”

“කොළඹ මිනිස්සුන්ට වෙලාවක් ලැබෙන්නෙ හරි අඩුවෙන් නේද ඉතින් මෙහෙම තැනකට එන්න?”

“ඉතින් මේ ඕනතරම් මිනිස්සු ඉන්නෙ”

“නෑ එහෙම නෙවෙයි මම කියන්නෙ. බලන්න ගොඩකය ෆොරිනර්ස්ල. එහෙම නැත්තම්.කපල්ස්. කොළඹ ජීවත්වෙන කොළඹ රස්සාවල් කරන කෙනෙක්ට මේ වගේ නිස්කලංක තැනකට සතියෙ පටන්ගන්න දවසක එන්නෙ ලොකු එෆර්ට් එකක් දෙන්න වෙනවා”

“එහෙනං මාත් මේ ඇවිල්ල තියෙන්නෙ ලොකු එෆර්ට් එකක් දාලා” ඔරේන්ජ් පන්ච් වීදුරුවෙන් සීතල දොඩක් උගුරකින් තොල් පෙති තෙමාගත් තාරා හීන් සීරුවේ සිනසුණාය.

“නෑ නෑ මම මැඩම් ගැන නෙවෙයි කිව්වෙ” කියමින් මහිල් පෑවේ වඩා පුලුල් වූ සිනහවකි.

“මහිල් හැමදාම මෙහෙ එනවද සින්ග් කරන්න?”

ඇය තමන්ගේ නම කියන්නේ අපූරු ආකාරයකට බව මහිල් සිතුවේය. වඩා බරකර ඇය එය කියන්නේ මුලු හදවතින්මය.  

“හැමදාම එන්නෙ නෑ මැඩම්” කියා කතාව නතරකරද මම හැමදාම එන්නෙ නෑ, අද ආවෙ ඇත්තටම ඔයා එන හන්දා කියා කියන්නට තිබුණානම් හොඳ බව මහිල්ට සිතුණි. එහෙත් තවමත් තාරා කෙබඳු අයෙක්ද කියා  පැහැදිලි අදහසක් නොමැති තැන එවන් සුහදත්වයක් පෙන්වීම නුසුදුසුය. අනෙක් අතට එය තමන් ගැන අඩු තක්සේරු කර හිතන්නට තාරාට ඉඩ දීමක් නොවේද?

මින්ට් තේකෙන් එන උණුසුම් සුවඳ සිතුවිලි වලට සනීපයක් ගෙන දේ. ඒ සුවඳ වටපිටාව සුවඳවත් කරන්නකි.පුබුදුවන්නකි. 

“ඒ තේක සුවඳයි නේද?”

තාරා අසන්නීය.

“මම හරිම ආසයි මේ තේ එකට. මැඩමුත් ට්‍රයි කරල බලන්න”

“ඔයා තේ විතරද බොන්නෙ? කූල් ඩ්‍රින්ක්ස් වලට කැමති නැද්ද?”

“තේ වලට ගොඩක් ආසයි. අනික කුඉල් ඒව බිව්වම සින්ග් කරන්න ටිකක් අමාරුයි. උගුරෙ අර සෙම බැඳෙනව වගේ වෙනවනෙ”

කිසිදිනක නොදුටු පරිද්දෙන් තාරගේ ලා රෝස පැහැ දෙතොල සිනහවකින් දෙපසටවී තිබෙන අයුරු මහිල් දුටුවේය. එය පුදුමයකි. අනෙක් දවසක අපහසුවෙන් මුවගට නගා ගත් සිනහවක් මිස මෙතරම්ම සුන්දර සිනහවක් ඇගේ දෙතොල මත තමා නුදුටු බව මහිල්ට මතකය. ඒ ආයාසයෙන් නගා ගත් සිනහව පසුපස ආයසයෙන් සඟවාගන්නට තනන වේදනාවක් ඇති බව මහිල් සිතුවේය. ඒ වේදනාවට හේතුව සොයාගන්නට හිතට උවමනාය. තමාගෙනුත් එවන් වේදනාවක් ඇයට නොදෙන්නට නම් තමා එය දැනගත යුතුම නොවේද?

“මැඩම් දැන්ම යනවද?”

“නෑ තව ටිකක් වෙලා මම ඉන්නව. ඇයි එහෙම ඇහුවෙ?”

“මම එහෙනං තව සෝන්ග් එකක් සින්ග් කරල එනකම්. එතකන් තනියෙම ඉන්න පුලුවන්ද?”

“මම දැනුත් ඉන්නෙ තනියම” කියල මහිල්ට කියන්නට තිබුනානම් හොඳය. එහෙනං ඒ තනික්ම මකාගන්නට කතාබස්කරන්න කෙනෙක් හොයාගන්නට තිබුනි. එහෙත් තනිකම වනාහී ගැහැණියකට අවියක් නොවේ. එනිසාම තාරා ඒ තනිකමේ කතාව තමන්ගේ හිත අස්සේම සඟවාගත්තාය.

තමාට පිටුපා යන්නට ගිය මහිල් පියවරකට දෙකකට පසු ආපසු හැරුණේය. ඒ සුපුරුදු මන්දහාසය දෙතොලේ තබාගෙනය. ආපසු හෙමින් සැරේ තාරා වෙත ආ මහිල් මදක් රැදුණේය.

“ඇයි?” කියා ලියවී තිබුණේ තාරාගේ දෙනෙතෙය.

“මැඩම් ආස සිංදුවක් තියෙනවද? මම ඒක සින්ග් කරන්නම්?”

කිවයුත්තේ කුමක්ද කියා අදහසක් තාරාට තිබුනේ නැත. එහෙත් ඒ ඇරයුම සිත් ගත්තකි.

“ඕනම සිංදුවක් කියන්න පුලුවන්ද?”

“මැඩම් කැමති සිංදුවක් කියන්න පුලුවන්”

“මම ආස පරණ සිංදුවලට. වික්ටර් රත්නායකගෙ වගේ සිංදුවක් කියන්න පුලුවන්ද?”

එයට පිලිතුරක් නැත. එහෙත් මහිල්ගේ සිනහවම පිලිතුරකි.

“පාවේ වලා

ඈත කඳු බලා

පෑ ආදරේ අමා

මා හද මවා

මා හද මවා

කඳුලැල්ලෙන් හසරැල්ලෙන්

සිහින මැවෙනවා

ජීවිතයේ මිහිරි සුවේ

මහද නැගෙනවා

ආලෝකෙ විහිදා සංකා නැසේ

සුසුම් රැල් මැකේ

නුවන් දිය සිඳේ

පහන් පෙම දිලේ”

මහිල්ගේ ඒ ගී හඬට සමගාමීව සැඳෑ වලාකුළු ඈත කඳු බලා ගලා යන අන්දම තාරා බලා උන්නේහැඟීම් විරහිතය. තමා මේ මොහොතේ සමාධිගතව උන්නද මේ මොහොත තමාටසැබෑවටම හිමිකරගන්නට හෝ සහමුලින්ම විඳින්නට අනවසරය.

මේ තාවකාලික සොඳුරු සුයාමයකි. සදාකාලික වේදනාවකින් ගිලන් වී ඇති හදවතට මේ තාවකාලික බවත් සැනසුමකි.

ගී ගයා අවසාන කල මහිල් ආපසු එහි එද්දී තාරා උන්නේ යන්නට සැරසෙමිනි. අත් බෑගය අතට ගෙන සිමෙන්තිපඩි බැස කාරය වෙත යන තාරා අසලින්ම එහෙත් පියවරක් පසුපසින් මහිල් ඇදුණේය.

ඒ චිත්‍රයකට ගත හැකි සුන්දර දසුනකි බැස යන ඉර අව්වේ රන් පැහැ කිරණ තාරා වසා ගෙන ඉද්දී විසල් පර්වතයක් මෙන් මහිල් ඇය පසුපස ඇගේ සෙවණැල්ල වී උන්නේය.

කාරයට නැගුණු තාරා එහා අසුනෙන් අත් බෑගය සහදුරකතනය තබා මහිල් දෙස බලා සිනාසුනාය. ඒ යනු පිණිස අවසර ගන්නට මෙනි.

“පරිස්සමෙන් යන්න මැඩම්”

මහිල් එසේ පැවසුවද යන්න අදහසක් තාරාට නොතිබුණ තරම් ය.කියාගන්නට ලතවෙන එහෙත් අපහසුවෙන් හෝ කිව යුතු යමක් හදවතේ සිරවී තිබෙන්නාක් බඳි හැඟීමක තාරා ගිලී උන්නාය.

ඒ හැඟීම තමා විසින් පැවසීම තමන් සහ මහිල් අතර අනවශ්‍ය හැඟීමක් බැඳිමක් ඇති කරවාලන්නට සමත් වනුඇතිදැයි යන බිය එයපැවසීමෙන් තාරාව මදකට පසුගාමී කරවන්නකි.

එහෙත් සමහර දේවල් සිත අස්සේම තියාගැනීම සැනසීමක් සොයා යෑමට බාධක පමුණුවන්නක් නොවේද?

“මොකක් හරි ප්‍රශ්නයක් ද මැඩම්?” 

යන්නට සූදානම් වී වාහනයට නැගුනු තාරා නොයා රැඳෙද්දී මදක් උරහිස් නවා කාරය වෙත නැඹුරු වූ මහිල් ඇසුවේ කුතුහලයෙනි.

එහෙත් නිහඬවම උන් තාරා මහිල්ගේ සිනාසෙන දෙනෙත දෙස මද වේලාවක් එක එල්ලේ බල උන්නාය. අනතුරුව අසන්නට සිත තුල පොරබදිමින් උන් දෙයවෙනුවෙන් දහිරිය ගත්තාය. 

“මහිල්”

“කියන්න මැඩම්”

“මට මැඩම් කියන්න එපා. මට තාරා කියල කතා කරනවද?”

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles