යශෝදර හා සයුරංගනා නික්ම ගිය ගමන් පාරමී කළේ අම්මා ව ගෙට ඇදගෙන යන එකයි.
“අම්ම රංගිට මොනාහරි කිව්වද..”
දියණියගේ රහස් පරීක්ෂක ඇස් වලින් මුවහ වෙන එක මල්කාන්ති ට පහසු වූයේ නැත.
“නැහ්..මොනාද…”
“අම්ම මොනාහරි කියල තියනවමයි. නැත්තං රංගි අයිය එක්ක කා එකේ යන්න බෑ කියන්නෑ”
“මං මුකුත් කිව්වෙ නෑ. එදා වෙච්ච සිද්දිය නිසා වෙන්නැති”
“ඇයි අම්ම ඔයා ඔහොම…ඔයත් ඔහොම අම්ම කෙනෙක් වෙයි කියල මන්නං හිතුවෙ නෑ”
“මං රංගනාගෙන් ඇහුවෙ අයිය මුකුත් යෝජනාවක් කළාද කියල විතරයි. රංගනාගෙ හිතේ එහෙම දෙයක් නෑ. එහෙම නැති එක ලොකු දෙයක් දුව. ඔයාට තේරෙන්නෑ මේව. ඔයා හිතන්නෙ හරි සැහැල්ලුවට. ඒත් හැමදේම ඒ තරං සැහැල්ලුවට ගන්න බෑ. ඔයා කතා කරද්දි ටිකක් පරිස්සමෙන්. අයියගෙ හිතේ රංගි ගැන බලාපොරොත්තු ඇති වෙන දේවල් කියන්නෙපා. එයාට එහෙම දේකට අනුබල දෙන්න හොඳ නෑ. රංගනා කොච්චර හොඳ ළමයෙක් වුණත්…එයා දරුවෙක් ඉන්න අම්ම කෙනෙක්. අයිය බඳින්න ඕන එහෙම කෙනෙක් නෙවේ”
පාරමී අම්මා දෙස බලා සිටියේ විශ්මයෙනි. ටික වෙලාවකින් ඒ විශ්මය අපහාසයකට- උපහාසයකට හැරිණ.
“ඒ කියන්නෙ රංගි ජීවිත කාලෙම ගිම්හාන් අයිය වෙනුවෙන් ඔහොම ඉන්න ඕනද අම්මෙ…ඒ කෙල්ල ආයෙ කවදාවත් ජීවිතේ සතුටෙන් සැනසීමෙන් ගතකරන්න ඕන නැද්ද…”
“ළමයො…ඒකට ගැලපෙන කෙනෙක් එයාට හම්බවෙයි”
“ඒ කියන්නෙ රංගි කවදහරි ආයෙ බඳිනවනං බඳින්න ඕනෙ ගෑනි මැරිච්ච නාකි මිනිහෙක්ව…මටත් කවදහරි ඔය දේම වුණොත්….එදාටත් ඔයා හිතන්නෙ ඔහොමද…මටත් ආයෙ කොල්ලෙක්ව බඳින්න අයිතියක් නැද්ද…”
“මූසල කතා කියන්නෙපා. හැමෝටම එහෙම වෙන්නෑ..”
“ඕන කෙනෙක්ට ඕනම දෙයක් ඕනම වෙලාවක වෙන්න පුළුවන් අම්මෙ. ඔයාම නේද අපිට පොඩි කාලෙ කිව්වෙ…තමුන්ට වෙනවට අකමැති දෙයක් අනුන්ට කරන්න එපා කියල. මං කැමතියි අම්ම මේ ප්‍රශ්නෙ දිහාත් ඒ විදිහට බලනවනං..”
මල්කාන්ති ගේ හිතෙහි දෙගිඩියාවක් නො වූවා නොවේ. ඇතැම් විට වැරදියි කියා හොඳටම දන්නා වැරදි වල පවා එල්බගෙන ඉන්නට අපට සිදු වෙන වෙලාවල් තිබේ. මල්කාන්ති ට මේ එහෙව් අවස්ථාවකි.
රියට නැගුණාට සයුරංගනා යශෝදර ගේ මූණ දෙස බැලුවේ හෝ නැත. ඔහු ගේ ගෝරනාඩුවේ සැර තවමත් ඇගේ සවන් ඇතුළේ දෝංකාර නැගේ. ඇය මුළුමනින් සසැලී ගොස් සිටියා ය. යශෝදර ඒ විදිහට සැර කළ එක ගැන ඇගේ කිසිදු අහිතක් නැත. පුළුවන් කමක් තිබුණා නම් ඔහු ගේ පපුවේ මුහුණ හොවා ගෙන ඇය ඉකි බිඳ බිඳ හඬනු ඇත. ඒ තරම් හදවත කීරි ගැහෙනා හැඟීමකින් සයුරංගනා ගේ ගැහැනු ආත්මය පිරී තිබේ. ඒ කෑ ගැසීම ඈ තුළ දැනවූයේ බියක කැළතුන තමන්ගේ කමකි. ඒ බිය තුළ ම වන්නේ හදවතට වඩාත් සමීප බවකි. මේ මොහොතේ ඇයට ඔහු දෙස බලන්නට බැරි බියක් හින්දා නොවේ. දරා ගන්නට බැරි තරමට පපුව පුපුරවා හරින්නට හදනා වෙනයම් හැඟීමක් හින්දා ය. ඔහු ට නොව ඒ හැඟීමට ඇය තුළ බියක් වේ. හැඟීම් වූ කලී විටෙක මරණීය තුවාල ඇති කළ හැකි විස පෙවූ ඊ හිස් වාගේ ය. එහෙව් තුවාලයකින් පෑරි පෑරී ජීවත් වෙන එක පහසු නැත.
සයුරංගනා කලබල වූයේ රිය පුරුදු පාරෙන් වෙනත් පාරකට හැරුණු විටයි. ඇය වට පිට බලා ප්‍රශ්නාර්ථයෙන් යශෝදර ගේ මුහුණ දෙස බැලුවා ය.
“කොහෙද මේ යන්නෙ…”
“ශ්…”
ඔහු සිය දෙතොල් මත්තේ දබරැඟිල්ල තබා ඇය නිහඬ කරවූයේ ය. තවමත් ඔහු ගේ මුහුණේ බියකරු දැඩි පෙනුමක් වේ. ඉතින් ඇය කර බා ගත්තා ය. පුරුදු පාරේ නො ගියාට යශෝදර එක්ක යන්නට බැරි පාරක්, යන්නට බැරි ගමනක් නැතිවා සේ හදවතට දැනේ. මීට පෙර ඇයට එහෙම සුරක්ෂිත හැඟීමක් දැනුණා නම් ඒ ගිම්හාන් ළඟදී පමණකි. ඔහු ගෙන් කිසිදා ඇය කිසිවක් ප්‍රශ්න කොට නැත. ගිම්හාන් හදවත මත තබා තිබුණේ විශ්වාසය පිළිබඳ ඒ තරම් ස්ථිර වූ සලකුණකි. යශෝදර ද දැන් එහෙම ය. නමුත් ඇයට රූපවාහිනී වැඩසටහන සිහි විය. අද එහි යා නො හැකි වුව හොත් කුමක් සිදු වනු ඇත්ද? ඒ වාගේ වගකීම් සහගත වෘත්තියක වගකීම් විරහිතව නියැළිය නො හැකි ය. යශෝදර ඒ බව නො දන්නවා විය නො හැක. ඒ විශ්වාසය ඔහු මත තබා ඇය තව දුරටත් නිහඬ වූවා ය.
රිය නතර වූයේ ගිම්හාන් නිදනා සුසානය ළඟයි. බලාපොරොත්තු නොවූ කඳුළු දිය ඇලි දෙකකට සයුරංගනා ගේ ඇස් උල්පත් තැනුවේ ය. ඇය ද නො දැනී ඈ ඒ බැස යමින් ඇති පස් කන්ද ළඟ දණ ගැසුවා ය.
“අනේ ගිම්…හාන්…”
ඇයට කියා ගත හැකි වූයේ එපමණකි. කුමක්ද කියා තේරුම් ගන්නට නො දන්නා හැඟීම් සුළි සුළඟකින් මිරිකීගෙන ඇය හැඬුවා ය. ඉකිබිඳිමින් හැඬුවා ය. යශෝදර ඇය සන්සුන් වන තෙක් ම ගිම්හාන් ගේ අවසන් යහන ළඟ බිම අඩමානයට හිඳ ගෙන සිටියේ ය. ඔහු ගේ හිත ටික ටික ලිහිල් වෙමින් තිබිණ. සන්සුන් වෙමින් තිබිණ.
“උඹේ රංගිට මං ආදරෙයි ගිම්හාන්”
ඔහු මිමිණුවේ ය. සයුරංගනා ගේ පපුව ඇතුළේ බෝම්බයක් පුපුරා ගියේ ය. ඇය ඔහු දෙස බැලුවේ තිගැස්සීගෙනයි.
“නොදන්නව වගේ හිටියට එයා ඒක දන්නව. එයාට හිතෙනව ඇති උඹට වරදක් කරන්න බෑ කියල. මාත් උඹට වරදක් කරන්නෑ ගිම්හාන්. මං පොරොන්දු වෙනව මචං උඹේ වස්තුව මගෙ ඇස් දෙක වගේ බලාගන්නව කියල. උඹ දන්නව ඒක ගලේ කොටපු අකුරු වගේ පොරොන්දුවක් කියල. උඹේ රංගි මගෙ සයූ වෙනවට උඹ අකමැති නෑ කියල මෙයාට කියපං. කවුරු මොන ප්‍රශ්න දැම්මත් මං මේ දෙන්නව මගෙ අත් දෙකෙන් අතාරින්නෑ කියලත් මෙයාට තේරුං කරල දීපං. තව පහු වෙලා කියන්න හිතං හිටිය වුණත් දැන්ම මේක කියන්න වුණේ වටෙං පිටෙං එන ප්‍රශ්න වලින් ඒ දෙන්නව මුවා කරගන්න ඕන නිසයි බං. මේක උඹ මට බාර දීල ගිය වගකීමක්නං…මං ඒ වගකීමට ආදරෙත් එකතු කරං ඒක කරනව මචං. උඹ අශීර්වාද කරපං”
කඳුළු ඇලි වියළී ගියේ සයුරංගනා ගේ හිතේ වූ ගින්දරට ය. ඒ කොහොම ගින්දරක් ද? ඇගේ උගුරේ ගිනියම් ලෝහ ගුලියක් හිර වී ගෙන තිබිණ.
“සයූට ලේට් වෙනව. අපි ගිහිං එන්නං ගිම්හාන්”
යශෝදර සුසානය ළඟින් නැගී සිටියේ ය. ඒ නැගිටින ගමන් ම සයුරංගනා ගේ අතකින් අල්වා ඇය නැගිටුවාලූයේ ය. යශෝදර පසුපස ඇය ඇදී ගියේ ශරීරයක් මිස එහි හිතක් හෝ හිතිවිලි නොමැති රොබෝ කෙනෙකු වාගේ ය. තවමත් ඇයට මේ සැබෑවක් සේ නො දැනෙයි. ඒ වූ කලී අමුතු අද්භූත සිහිනයකි. සයුරංගනා හිතෙන් ඉතිපිසෝ ගාථාව සිහි කළා ය. නමුත් එය ද තත්පර දෙක තුනකට වඩා එක දිගට කළ හැකි නිරවුල් මනසක් ඇයට වූයේ නැත. ඇය බය බිරාන්ත ව සිටියා ය. අයිස් කුට්ටියක් සේ මිදී යමින් සිටියා ය. හිරු මඬලක් සේ යශෝදර ළඟින් හිඳී. ඔහු ගේ මුහුණ මත මීට ටිකකට පෙර තිබි කේන්තිය දැන් නැත. නිවී සැනැහුණ මිනිසෙකු ඇගේ දකුණු අත පැත්තේ හිඳ රිය පදවයි. සයුරංගනා අත් ඔරලෝසුවෙහි වෙලාව බැලුවා ය. තවමත් ප්‍රමාදව නැත. ඇය ගෙදරින් පිටත් වන්නේ වැඩිපුර වෙලාව තබාගෙනයි. මේක් අප් රූම් එකට සැලකිය යුතු වෙලාවක් වෙන් කළ යුතු බැවිනි. කොහොමටත් කොයි වැඩේ කරත්දීත් මඳක් කල් වෙලා ඇතිව ඒ වෙනුවෙන් සූදානම් වීම ඇගේ සිරිතයි. යශෝදර පුරුදු වාහන තදබදය වැඩි පාර මගහැර අතුරු මංපෙත් වලින් දමා වෙනදාට වැඩි වේගයෙන් රිය පැදවී ය. වෙනදාටත් කලින් ඔවුහු ගමනාන්තය කරා එළඹෙමින් සිටියහ. යශෝදර වරින් වර සයුරංගනා දෙස බැලුවේ ය. ඒ බැල්මට දැන් මඳහසක් එක් වී තිබේ. ආදරයක් එක් වී තිබේ. නමුත් තවමත් ඇය සිහිනයෙනි. තුලන ටීවී වලට ආසන්නව ගාලු පාරත් ඩුප්ලිකේශන් පාරත් යා කරනා හරස් පාරක් අයිනේ යශෝදර රිය නතර කළේ ය. වහු පැටවෙකුගේ වාගේ බියපත් ඇස් ඔසවා සයුරංගනා ඔහු දෙස කෙළින් බැලුවේ ඒ වෙලාවේ යි. යශෝදර ගේ දෙතොල් අතරේ දඩබ්බර සිනහවක් විය. ඒ සිනහවේ දිය වී ඇති අකීකරු බව ගැහැනු හදක් උමතු කරවනා එකකි. වයින් නැතිව ම මත් කරවනා එකකි.
“මෙ…තන…”
ඇය අසීරුවෙන් අකුරු ටිකක් ගලපා ගත්තා ය.
“චැනල් එක තියෙන්නෙ එහා පාරෙ. විනාඩියක දුර..”
ඇය ඔහු ගේ ඇස් දෙකේ එල්ලීගෙන ම සිටියා ය. ඒ ඇස් වූ කලී මන්දාකිණියකි. තාරකා බිලියන ගණනක කැල්ම ඒවායේ වේ. තරු මං අතරේ අතරමං වී මඳ වෙලාවක් තත්පර වීමෙන් පසු ඇය ඇස් පහළට හරවා ගත්තා ය.
“මොනාත් කියන්න තියනවද…”
යශෝදර ආමන්ත්‍රණය කරන්නේ සවනට නොව ආත්මයටයි.
“මට අඬන්නයි ඕනෙ යශෝදර”
සයුරංගනා ගේ හඬ බිඳී ගියේ ය. ඔහු සිය වමත ඇගේ උරයට මත්තෙන් දමා තමන් වෙතට ඈ බර කර ගත්තේ ය. යශෝදර ගේ උරහිස මත්තෙහි ඇය කඳුළක් දෙකක් හෙළුවා ය. තව බෝ වෙලාවක්, බොහෝමත් වෙලාවක් ඒ උරහිස් සුව යහන මත්තේ ඇස් පියා ගෙන ඉන්නට ඇත්නම් කියා සයුරංගනා සිතුවා නොවේ. නමුත් ඇයට එහෙම දැනිණ.
“අම්මගෙ හිත රිද්දන්න හදන්නෙපා..අම්ම කෙනෙක්ගෙ පපුවෙ දරුවො ගැන තියන හැඟීම්…ඒක තේරෙන්න අම්ම කෙනෙක් වෙන්නම ඕනෙ”
අන්තිමට ඇය මුදු ස්වරයකින් මිමිණුවා ය. ඒ වචන අතරේත්, අකුරු අතරේත්, පරතරයන් – හිස්තැන් අතරේත් වූයේ ආදරයයි. සුසුමක පවා වූයේ වචන කෝටි ගණනකින්වත් දැනවිය නො හැකි ආදරයයි. ප්‍රේමය කියන්නේ නො දන්වා දැනිය යුතු හැඟුමෙකි!
මග තොටෙහි ළඟ පාත කිසිවෙකු නොවන බව එක බැල්මකින් සැක හැර දැන ගත් යශෝදර, උරහිස මත නෙතු පියා හිඳින ඇගේ කොපුල් මල් පෙති මත සමනල සරින් සිය තොල් පෙති තැබුවේ ය. ඒ ලවන් කොපුල් මත තද වූයේත් සයුරංගනා ගේ ඇස් පියන් තිගැස්සී විවර වූයේත් එකට ම ය. ඇය ඉක්මන් කොට සිහි එළඹවා ගෙන ඔහු ගේ උර මඬලින් සිය හිස ගත්තා ය.
“අපි පස්සෙ කතා කරමු. ඔයාට ලේට් වෙයි”
ක්ෂණිකව රිය පණ ගන්වා ගත් යශෝදර, තුලන ටීවී ඉදිරියේ එය නතර කළේ ය. සයුරංගනා අතැඟිලි වලින් මුහුණ පිරිමැදගෙන රියෙන් බසින්නට සූදානම් වූවා ය.
“සයූ”
ඇය යශෝදර දෙස බැලුවේ මුණිවතිනි.
“අවුලක් නැතුව හොඳට ප්‍රෝග්‍රෑම් එක කරන්න”
ඇගේ දෙතොල් පෙති ලිහී තරු මල් කැකුළක් පිපිණි.
💚ඊයේ ඔබ ඉතිරි කොට ගිය ආදරයට ස්තූතියි!