කලු සහ සුදු

” අක්කේ තමුසේ ඇයි සාරංගව එෆ්බී ෆ්‍රෙන්ඩ් කෙනෙක් කරගත්තේ ? “

බියංකා තමන්ගේ අක්කාවුන නිලංකා ගේ කාමරයට කඩාගෙන වැදුණේ එහෙම අහන ගමන්

” ඇයි ? සාරංග ව ඔයාට ලියලා දීලා ද ? මම ඒ ළමයව ඇඩ් කරගත්තේ එයා කරන charity works වලට කැමති නිසා “

” කියන්න එහෙම එපා තමුසේ මගේ අක්කා කියලා හරිද ? “

” ඒ මොකද? “

” මට ලැජ්ජයි “

බියංකා එහෙම කියාගෙන කාමරෙන් එලියට ගියේ ගස්සගෙන. නංගිගේ නපුරුකම් අමුතු දෙයක් නොවෙන නිසා නිලංකාට ඉස්සර තරම් රිදුනේ නැහැ

” ඔයාගේ නංගි මාර ලස්සනයි නේද නිලංකා. ඔය දෙන්නා අක්කයි නංගියි කියන්නවත් බැහැ “

බියංකා වත් නිලංකාවත් දන්න මිතුරන් බොහෝ දෙනෙකුගෙ පොදු ප්‍රශ්නය ඒක වුණා . අම්මාගේ හැඩරුව ගත්ත බියංකා උපතින්ම පැහැපත් කෙල්ලක වීමක් , තාත්තාගේ හැඩරුව ගත්ත නිලංකා උපතින්ම අඳුරු පැහැති සමකට හිමිකම් කීමත් ,බියංකා විසින් නිලංකාගේ හිත නිතරම රිදවීමට හේතුව උනා.

තමන්ගේ මිතුරු මිතුරියන්ට අක්කාව හඳුන්වා දීමටත්, අක්කා සමග නෑදෑ ගෙවල් වල සහ උත්සවවලට සහභාගි වීමටත් බියංකා ඒ තරම් කැමැත්තක් දැක්වූයේ නැහැ.

නිලංකා උසස් අධ්‍යාපනය ලබන ගමන් රැකියාවක නිරත වෙද්දී , බියංකා රූපලාවන්‍ය පාඨමාලාවක් හැදෑරුවා.පිටරට රැකියාවක නිරත වුණ තාත්තා එවන තෑගි බෝග වලින් අඩකටත් වඩා අයිතිකර ගත්තෙ බියංකා

” තමුසෙට මේ lipstick හරියන්නේ නැහැ . මේවා ගෑවම තමුසෙ හොල්මනක් වගේ ඉඳියි”

ඇඳුම් පැළඳුම් වලට, ආභරණ වලට සහ ආලේපන වලට දහස් ගණනින් වියදම් කරපු බියංකා රූපලාවන්‍ය පාඨමාලාවට කියලා නිතරම වගේ දෙමව්පියන්ගෙන් මුදල් ලබා ගත්තා

” කවදද පොඩි දුව ඔයාගේ ඔය කෝස් එක ඉවර වෙන්නේ ? සල්ලි ගන්නවා විතරයි ඉවර වෙන පාටක් නැහැ නේ “

” අම්මලාට ඕන වෙලාවට ඒවා ඉවර වෙන්නේ නැහැ අනේ “

තමන්ගේ නංගී යන්නේ එතරම් හොඳ පාරක නොවෙන වග නිලංකාට තේරුනත් ඇය නිහඬව හිටියේ නංගිගේ නපුරුකම් වල සීමාවක් නැති නිසයි

” ඔයා උගත් ළමයෙක්නේ නිලංකා. බියංකාට ඕන දෙයක් කරගන්න ඇරලා ඔයා සද්ද නැතුව ඉන්න. එයාටම තේරෙයි දවසක “

නිලංකා ගේ හොඳම මිතුරිය වුණ රසිකා නිතරම කිව්වෙ එහෙම. බියංකා තරම් පැහැපත් නොවුන නිලංකා ගේ හිත මොන තරම් පැහැපත් ද කියලා ඇගේ මිතුරියන් ඇතුළු හැමෝම දැනගෙන හිටියා. කාර්යාලයේ වගේම අධ්‍යාපන ආයතන වල කා එක්කත් සුහදව වැඩ කරන නිලංකා ඒ වෙද්දි හිටියේ උපාධියේ අවසන් අදියරේ.

” අක්කෙ මට රුපියල් පන්දහක් දෙනවකෝ “

” පන්දාහක් ? මොකටද ? “

” ෆෝන් එකේ බිල ගෙවන්න. අම්මගෙන් ඉල්ලුවම ලබන සතියේ දෙන්නම් කිව්වා .ලබන සතිය වෙනකම් ඉන්න බෑ හලෝ මට “

උණුවෙන හිතක් ඇති නිලංකා මුදල් පසුම්බිය ඇරලා රුපියල් පන්දහසේ කොළයක් අරගෙන බියංකා ගේ අතේ තිබ්බා

” තමුසේ මාර සල්ලි කාරයෙක් නේ අප්පා “

” ඔය මම ගෙදරට බඩු ගේන්න කියලා තියන් හිටපු සල්ලි. අද එන්න රෑ වුන නිසා බඩු ගන්න බැරි වුණා “

සාමාන්‍ය වැටුපක් ලබපු නිලංකා දෙමව්පියන්ට මොන තරම් මුදල් තිබුනත් තමන්ගේ වැටුප ගෙදර අවශ්‍යතා වෙනුවෙන් වියදම් කලේ කිසිම පැකිලීමකින් තොරව

” ඒකිට සල්ලි ඕනේ උනහම තමයි උඹ මතක් වෙන්නේ . අපරාදේ නිලංකා උඹ සල්ලි දුන්නේ. මොකෝ ඕවා ආයෙ හම්බවෙන එකක්ද ?”

කවදාවත් රැකියාවක් නොකරපු බියංකා මුදල් ඉපයීමේ වටිනාකම ගැන දැනගෙන හිටියේ නැහැ . ඇයට ඕන උනේ ඇයට අවැසි දේවල් වලට ඕනෑ තරම් මුදල් වියදම් කරමින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්න විතරයි .

” මොකක්ද නංගි ඔය ඇඳුම ? කොහොමද අනේ ඕක ඇඳගෙන පාරේ යන්නේ ? “

ඉතා කෙටි සායකින් සැරසිලා කොහේදෝ යන්න සූදානම් වෙන බියංකාව දැකලා නිලංකා ඇහුවේ පුදුමයෙන් වගේ

” ඔව් ඉතින් ,කළුවට කලුවෙ ඉන්න තමුසෙට මේ වගේ ඇඳුමක්වත් අඳින්න බැහැනේ . ඊරිසියයි නේද දැක්කහම ? “

” පොඩි දුව මොකක්ද ඔය කතා කරන විදිහ? “

” ඉතිං අම්මේ මෙයා නේ මගේ ඇඳුම් වලට අනම් මනම් කියන්නේ . එයාට මේ වගේ ඒව අඳින්න බැහැ කියලා මම පලිද ? “

” හැබෑටම ඔය කොට සායකුත් ඇදගෙන කොහෙද යන්න ලෑස්ති වෙන්නෙ? මට කිව්වේ වත් නැහැනේ? “

” මට අමතක උනානේ අම්මේ. මම මේ මේ ශයිනිලා ගේ ගෙදර යන්න කියලා. ක්ලාස් එකේ එක්සෑම් ලඟයි නේ “

හැම සති අන්තයකම වගේ බියංකාට බොහෝ ගමන් බිමන් යෙදුණා. සුපිරි හෝටල් පසුබිමින් පෙනෙන ඡායාරූප දවසින් දවස නංගිගෙ ෆේස්බුක් වෝල් එක පුරා පිරෙනකොට නිලංකාට ඉවෙන් වගේ යම් යම් දේවල් වැටහුනා. යහළුවන් සමග යනවා යැයි කියමින් යන ගමන් බිමන් වලදී පවා බියංකාගේ තනි ඡායාරූප පමණක් පලවෙනකොට ඇය පිළිබඳව සැලකිලිමත් විය යුතුම යැයි නිලංකාට හිතුනා

” ඔයා ඊයෙ යනවා කිව්වේ ශයිනිලාගේ ගෙදර නේද නංගි ? “

අලුතින්ම මිලදී ගත්ත නිය ආලේපන ගල්වන බියංකා දිහා බලලා නිලංකා එහෙම ඇහුවේ මුළුතැන්ගෙයි ඉන්න අම්මට නෑහෙන්නයි

” ඔව්. ඇයි ? “

” නෑ නිකන්. මම දැක්කා ඊයේ ෂයිනි නුවරඑළියේ ගිහින් ෆොටෝස් වගයක් දාලා තියෙනවා “

” අ.. මේ.. මේ ඒවා පරණ ඒවා අනේ . ඒක නෙමෙයි, තමුසෙ මොකටද මගේ යාළුවෝ ඔක්කොම ව ඇඩ් කරගෙන ඉන්නෙ ? “

” නිකන් ඉතින් . අඳුරන්නෙ නැති අය නෙමෙයිනේ .ඒ ළමයි මෙහෙත් ඇවිත් යන්නේ ? “

බියංකා ගේ ගමන් බිමන් ගැන නිලංකාට එතරම් විශ්වාසයක් තිබුණේ නැහැ .

” උඹවත් එහෙනම් නංගි ගැන හොයපං නිලංකා “

රැකියාව අවසන් වෙලා දවසක් කෝපි කෝප්පයක රස බලන්න ගිය වෙලාවේ නිලංකා තමන්ගේ මිතුරියවුන රසිකා එක්ක නංගි ගැන කතා බහ පටන් ගත්තා

” මෙයා ෂයිනි කියන යාළුවව පාවලා දීලායි , ක්ලාස් තියනවා කියලයි තමයි ඔය සේරම ගමන් බිමන් යන්නේ රසිකා . මොනව උනත් ලඟදිම ලොකු අමාරුවක වැටෙන්න යන පාටයි “

” එයාගෙ පිට ඔපේ තිබුනට ඇතුල තනිකරම හිස් නිලංකා. ලේසියෙන් දෙයක් තේරුම් කරලා දෙන්න පුළුවන් කෙනෙක් නෙමෙයිනේ “

” ඒක නං ඇත්ත රසිකා. පුදුම හිතුවක්කාර ළමයෙක් “

තමන්ගේ නංගි ගැන උපන්න කළකිරීමක් හිතේ තිබුණත් නිලංකා නිතරම හිතුවේ ඇයට යහපතක් කරන්නයි . රසිකාගේ මෝටර් රථයට නැගුනු නිලංකා ඇයත් එක්ක තමන්ගේ ගෙදර එන්න පිටත් උනේ හදිස්සි උත්සව අවස්ථාවකට අවශ්‍ය ඇඳුමක් රසිකාට ඕන කිව්ව නිසා.

” උඹගෙ හිත හොඳ වැඩියි නිලංකා. බලපං මම කිව්ව ගමන් උඹේ ඇඳුම් පවා මට දෙන්න කැමතියි නෙ උඹ “

‍රසිකාගේ කතාවට නිලංකාගේ පිළිතුර උනේ අව්‍යාජ හිනාවක්

” හිස් අතින් උඹලගෙ ගෙදරට යන එක හොඳ නැහැ නේ නැහැනේ .මම මොනව හරි අරගෙන එන්නම් “

රසිකා එහෙම කියමින් කුඩා හෝටලයක් පේන මානයෙන් මෝටර් රථය නවත්වලා ඒ අසල තිබුණ වෙළඳසැලකට ගියා. විනාඩි කිහිපයක් ගතවෙද්දී නිලංකාට පේන මානයේ තිබුනු හෝටලයෙ ප්‍රධාන දොරටුවෙන් හුරුපුරුදු රුවක් මතුවුණා

” දෙයියනේ නංගි “

කඩවසම් තරුණයෙකුගේ අතේ එල්ලීගෙන නවාතැන් පහසුකම් දෙන හෝටලයෙන් එලියට එන සහෝදරියව අඳුර ගන්න නිලංකාට අපහසු වුණේ නැහැ. සිද්ධ උන දේ රසිකාට කියද්දිත් නිලංකාගේ දෑස් තෙත් වෙලා තිබුනා

” අද කොහෙද ගියේ නංගී ? “

හිතේ තිබුන තිගැස්සීම යටපත් කරගෙන නිලංකා එහෙම ඇහුවේ දුරකථනයටම මූන ඔබාගෙන ඉන්න නංගි දිහා බලලා

” ක්ලාස් ගියේ. ඇයි ? “

” ඔයාගේ class එක තියෙන්නෙ සුමුදු හොටෙල් එක ළඟ ද ? “

නිලංකා එහෙම අහනකොට බියංකා තිගැස්සුණා .

” මම හවස රසිකා එක්ක එනකොට ඒ හරියෙදි ඔයාව දැක්කා .ඒකයි “

” අනේ මේ.තමුසේ මගේ වැඩ වලට ඇඟිලි ගහන්නේ නැතුව ඉන්නවා “

බියංකා දුරකථනයත් අරගෙන කාමරයෙන් එළියට ගියේ කෝපයෙන් .

” ඔයා මට ගස්සගෙන ගියාට කමක් නැහැ නංගී .කවදහරි දවසක අම්මටයි තාත්තටයි රටට ලෝකෙට මූණ දෙන්න බැරි වෙන වැඩ කරන්න එපා “

නිලංකා එහෙම සටහන් කරලා බියංකාට කෙටි පණිවිඩයක් යැව්වා. නමුත් බියංකාගේ ගමන් බිමන් වල අඩුවක් නම් දකින්න ලැබුනේ නැහැ .

දින කිහිපයකට පස්සේ සමාජ මාධ්‍ය පුරා වේගයෙන් පැතිරෙන ලීක් වුන වීඩියෝ එකක ප්‍රධාන චරිතය තමන්ගෙ නංගි බියංකා කියලා නිලංකාට දැනගන්න ලැබුණේ හදිස්සියේම. නංගීගේ ඡායාරූප විවිධ අසැබි වදන් සහිතව තරුණයන් අතර හුවමාරු වන බව නිලංකාට ඇස් පනාපිටම දකින්න ලැබුණා

නිලංකා එදා ගෙදර ආවේ ලොකු කම්පනයකින් .හැඬූ කඳුළෙන් සාලයේ වාඩිවෙලා ඉන්න අම්මාවත් ,කාමරය දෙසින් ඇහෙන බියංකාගේ හැඬීමත් ඒ කම්පනය තවත් වැඩිකලා

” මේකි අපේ මූණු වල දැලි ගෑවා ලොකු පුතේ “

නිලංකා ගෙට ගොඩ වෙනවා දැක්ක ගමන් අම්මාගේ හැඬුම වේගවත් වුනා

කාමරයේ ඇඳ මත වාඩි වෙලා මහ හඬින් හඬන නංගී දැක්ක නිලංකාගේ හදවත කඩාගෙන වැටුනා

” අනේ අක්කේ “

අවුරුදු ගණනාවකට පස්සේ බියංකා ,නිලංකාව වැළඳගත්තා.

” සුදු වෙන්න ඕනේ අපේ රූපය නෙමෙයි නංගී. අපේ සිතුවිලි “

රූපයෙන් අඩු බව කියමින් තමා නිතරම අපහස කල අක්කාගේ හඬ බියංකා ට ඇහුනෙ සිහිනෙන් වගේ

More Stories

Don't Miss


Latest Articles