අනෝරා මල් වැහි 19

“මට ඉන්න විදියක් නෑ තාරා. ඔයා දන්නවනෙ මම කොච්චර ඉම්පෝටන්ට් ජොබ් එකක්ද කරන්නෙ කියල. ඔයාලට වගේ ලේසියෙන් නිවාඩු දාලා ඉන්න හැටියක් මට නෑ”

“ඔයාට එහෙම ලේසියෙන් නිවාඩු දාන්න බෑ වගේම මටඑහෙම හේතුවක් නැතුව නිවාඩු දාන්න උවමනාවක් නෑ චිරායු. නිවාඩුවක් දාලා නෙවෙයි මම වෙන ඕන දෙයක් උනත් කරනව. ඒ උනාට ඔයායි ඔයාගෙ නෑදෑයොයො දැන් ඔය හෙට එනව කියන ඔයාගෙ නැන්දයි මගෙහිත රිද්දන විදියට මම හිතන්නෙ නා මම හෙටදවසෙ මගෙ වැඩ ඔක්කොම.කැන්සල් කරල දාලා මේ නිකන් බොරුවට නිවාඩු ගන්න ඕන කියල.

මට නිවාඩු ගන්න විදියක් නෑ. මම ඕන නම්වර්ක් ෆ්‍රොම් හෝම් දාන්නම්. හැබැයි එයාලට මෙයාලට කන්න බොන්න හදන රාජකාරි මගේ ඇඟේ ගහන්න හදන්න එපා චිරායු”

තාරා වෙනස් වී ඇති බවත් තවදුරටත් වෙනස් වන්නට කටයුතු කරමින් හිඳින බවත් චිරායුට තේරුණේ ඒ වෙලාවේය. ඒ වෙනසට හේතුව තමන් විසින් ඇයව නොසලකා හැරීම බව චිරායුට මොහොතකටවත් සිතුනේ නැත. 

තාරා උඬගුවී ඇති බවත්, නපුරු කමින් තමන්ගේ නෑයන් පෙලන්නට කටයුත් කරන බවත් චිරායුට සිතේ. ඒ සිත තුල කෝපයක ගිනි දැල් නංවාලන්නට හේතුවන කාරණාවකි.

“මොකද්ද තාරා ඔයාට වෙලා තියෙන්නෙ? මොකද්ද ඔයාට අපෙඅම්මල එක්ක තියෙන ප්‍රශ්නෙ? අනික මේ ලඟඩි ඉඳලනෙ ඔක්කොම මේ. මොකද්ද ඔයාට එකපාර වෙලා තියෙන්න්නෙ?”

චිරායු ඇසුවේ දෙනෙතින් ඒ කෝපගිනි දැල් තාරා වෙත එවමිනි. දුරකතනය තිබුනේ චිරායුගේ අතැඟිලි අතරට වී තෙරපෙමිනි. 

එහෙත් තාරා ඒකිසිවක් නොදුටුවාක් මෙන් සුපුරුදු පැහැදිලි ගණන් නොගන්න ස්වරයෙන්ම කතා කරන්නට විය.

“කන්දක් උනත් එක පාර නාය යන්නෙ නෑනෙ චිරායු නේද? කාලයක් තිස්සෙ ඒ කන්දට මූණ දෙන්න වෙන එක්ස්ටර්නල් ප්‍රශ්න නිසා තමයි කාලයක් ගිහිල්ල කන්ද උනත් නාය යන්නෙ. මං කියන්නෙ ඒ කන්ද නම් මම මේ ඔයා කියන විදියට දැන් එලියට දාන්නෙ කාලයක් තිස්සෙ මට මූණ දෙන්න වෙච්ච ප්‍රස්න හන්ද මං හිතේ හිරකරගෙන් උන්නු වේදනාව චිරායු.

ඔයාට ඒ ප්‍රශ්න ඇති කරද්දි නම් ඕව හිතුනෙ නැතුව ඇති. ඒව හන්ද මම කොච්චර හිත රිද්දගත්තද කියල ඔයාට හිතෙන්නෙ නැතුව ඇති. හැබැයි දැන් මම කරන කියන එක දේකින් ඔයාගෙ හිත හරියට රිදෙනව නේද? අම්මලගෙ හිත රිදෙනව කියල ඔයාහරියට කන්සර්න් නේද?

ඔයා මං ගැනත් ඒ විදියටම හිතන්න තිබුනනෙ. මමත් මනුස්සයෙක්, මොන දේ උනත් මගෙ හිතත් රිදෙනව ඇති කියල හිතන්න තිබුනනෙ ඔයාට. 

දැන් ඔයා අම්මල ගැන විතරක් හිතන්නෙ ඇයි?”

“මොකද ඒ මගෙ අම්මල හන්ද. ඔයාට ඒ මිනිස්සු වැදගත් නැති උනාට මට ඒ මිනිස්සුන්ව වැදගත් නිසා”

මෙතෙක් වේලා මේ වදන් සියල්ල කියූ නිස්කලංක විලාසයෙන් මිදී තාරා වඩා උස් හඬින් සිනා වූවාය. එ සිනා හඬ විත් තම දෙසවන් මතපතිත වන්නේ හී සර පහරක් ලෙස බව චිරායුට දැනුනි. 

“එතකොට මම කවුද? මම ඔයාගෙ කවුද චිරායු?”

එ පමණක් කියා තාරා හිඳගෙන හුන් තැනින් නැගිට ඇඳ වෙත ගොස් හාන්සිවූවාය. නැවත මොහොතකට හිස ඔසවා චිරායු දෙස බැලුවාය. 

“එයාලට එන්න කියන්න. මම පුලුවන් සපෝට් එකක් දෙන්නම්. හැබැයි උයන්න කරන්න මට බෑ චිරායු මම වර්ක් ෆ්‍රොම් හෝම් දාන්න වෙන්නෙ මේක ප්‍රී ප්ලැන්ඩ් නැති නිසා. මම කෑම මොනවහරි ඕඩර් කරල ගන්නම්. තරහ වෙන්න එපා”

උදෑසන අවදි වූ තාරා චිරායු සඳහා උදෑසන ආහාරය පිලියෙල කරද්දිම දහවලට එන අමුත්තන්ට සංග්‍රහ කරනු පිණිස දොඩම් යුෂ ජොග්ගුවකට පුරවා සිසිල් වීම සඳහ් ශීතකරණයේ තිබුවාය. හිල්ටන් හෝටලයට කතා කර කේක් එක සඳහා ඇණවුම දුන්නාය. තමන් අද නිවසේ සිට සේවය කරන බව පවසන්නට අමන්දාට දුරකතන ඇමතුම දුන්නාය.

“මේ දැන් පණ දාගෙන උයන්න ලෑස්ති එන්න එපා වහලි වගේ. කෑම ඕන් නං ඕඩර් කරල ගෙන්නල දීපන්. උඹේ මොකක් හරි වැරැද්දක් හොයාගන්නවනෙ උන් උඹ මොනව කරල තිබ්බත්. ඒ නිසා ඕනවට වඩා කරන්න යන්න එපා”

“නෑ බං මං ආයෙ ඒ ගොං වහල් වැඩ කරන්නෙ නෑ. මම චිරායුටත් කිව්වා. කෑම හදන්න් නම් මට බෑ මොනවහරි ඕඩර් කරල ගෙනත් දෙන්නම් කියල”

“ඔව් එහෙමකිව්ව් එක හොඳයි. අන්තිමේ උඹ හදපුව කාලා උඹටත් බැණලනෙ යන්නෙ”

උදෑසනම කාර්‍යාලයේ හදිසි වැඩ කිහිපයක්ම ඉක්මනින් අවසන් කල තාරා සාලයත් කුස්සියත් අතු ගා දැමුවාය. දින දෙකකින් පමණ නිවස ඇතුලේ ඇති පැල වලට වතුර දමන්නට නොහැකි වූ නිසාවෙන් ඒ කටයුතු අවසන් කලාය. හෙට දවසේ කාර්‍යාලයට ඇඳගෙන යා යුතු ඇඳුම් පැලඳුම් කලින්ම සූදානම් කර තැබුවාය. අත් බෑගය අස්පස් කර දැමුවාය.රාත්‍රියට පිසිය් යුත්තේ මොනවාද කියා කල්පනා කරාය.

දිස්නිත් චිරායුගේ අම්මාත් දිස්නීගේ මවත් ජායාරූප ශිල්පියාත් උදෑසන දහය් මාර වන විට එන බව චිරායු පැවසුවද ඔවුන් එකොලහමාර විතර වෙද්දිත් තාරා කුතුහලයට පත් වුනාය. ඔවුන් තවත් පමා වනවා නම් දිවා ආහාරය රැගෙන ඒද යන්න කලින් දැනගත යුතුය. නොඑසේනම් තමා දිවා ආහාරය ඇණවුම් කිරීම අපරාදේය.

තාරාගේ දුරකතනයට චිරායුගෙන් ඇමතුමක් ආවේ ඒ මොහොතේය.

“හෙලෝ චිරායු අම්මල තාම ආවෙ නෑනෙ”

“තාරා අම්මාකෝල් කරා. අම්ම කතාකරල කිව්වා අද එන්න වෙනෙ නෑලු දිස්නිට හදිසියෙ වැඩකට ඔෆිස් එකට යන්න වෙලා. එයාලා හෙටලු එන්නෙ. ඔයාට හෙට ඉන්න පුලුව…”

චිරායු ඉන්පසුව කියූ කිසිවක් අසන්නට තාරා දුරකතනයේ රැඳී උන්නේ නැත. 

කෝපයට සමගාමීව සිත අස්සෙන් තමාව මෙතරම්ම නොසලකා හැරිම ගැන කෝපයකුත් අසරණ කමකුත් මතුවෙද්දී ඒ සියල්ල කැලතුණු හැඟීම් ගංගාව දෙනෙත් අගින් දෝරේ ගලා ගියාය. 

“ඇයි දෙයියනේ මටම මෙහෙම උනේ?” කියා ඉකිගසමින් හඬන තාරාගේ වේදනාව අසන්නට හිඳියේ නිවසේ බිත්ති පමණකි. 

විවාහයෙන් පසුව තමන්ගේම නිවහනේදීම තමන්ට වන මෙවන් අසාදාරණකම්, නොසලක් හැරීම් කොපමණ කාලයක් දරාගන්නට ගැහැණියකට හැකියාව තිබේද යන්න ගැන තාරා තවතවත් හිතුවාය. මේ විවාහයේ තව දුරටත් රැඳී සිටිය යුතුද යන්න ගැන තාරා තව තවත් සිතුවාය. මේ විවාහයක් පමණි. බැඳීමක් නොවේ. ආදරය නොවේ. එවන් තැනක් තව කොපමණ කාලයක් බලා හිඳින්නට වේද?

“යාලුවෙලා ඉන්න කාලෙදි තේරෙනවනම් මේ මනුස්සය තමන්ට හරියන්නෙ නෑ කියල තව දුරටත් ඒ සම්බන්දෙ අස්සෙ හිරවෙලා ඉන්න එපා. එයාව හදාගන්න පුලුවන් වෙයි කියල හිතල බඳින්න එපා. මොකද හදිසියෙ හරි එයාව හදාගන්න බැරි උනොත් ඔයාට මුලු ජීවිත කාලෙම පසුතැවෙන්නයි වෙන්නෙ”

ඉස්කෝලෙ ගෘහ විද්‍යා පාඩම අතරතුර මල්වැන්න මිස් ඔහොම කිව් හැටි තාරාට මතකය. ඒ කාලයේ තාරාට ප්‍රේමයක් තිබුනේ නැත. චිරායුව හමුවුන විට මේ සදාකාලික ආදරය බවත් ඔහු ලඟ සැනසෙන්නට හැකි බවටත් තාරා සිතුවාය. චිරායු ඒ හැඟීම ස්තිර කරන්නට කරුණු සැකසු නිසාවෙන් තාරාත් චිරායුත් විවාහ විය. විවාහයෙන් පසුව රැකියාවත් සමග චිරායු වෙනස් වීම දරාගන්නට උත්සහ කරද දැන් ඒ උත්සහය අවසානයකට එළඹ තිබෙන බව තාරා තේරුම් ගත්තාය.

මේ වරපට තවදුරටත් නොගිලිහෙන්නට තනිවම අල්ලාගෙන හිඳීමෙන් තුවාල වෙන්නේ තමන්ගේ අතත් හිතත් පමණි. ඉතින් හොඳම දේ ඒ වරපට අතහැරීම නොවේද?

වැඩ අවසන් කල තාරා මදක් වේලාසන වයිබ්ස් කැෆේ වෙත ආවේය. මහිල් ඒ වන විටත් එහිපැමිණ උන්නේ නැත. සුපුරුදු කාර්‍යාල ඇඳුමෙන් මිදී වඩා සැහැල්ලු ලිනන් ඇඳුමකින් සැරසී හුන් තාරා සුපුරුදු මින්ට් තේ කෝප්පය ඇනවුම් කරේ එහි රසයත් සුවඳත් මනස සැහැල්ලු කරවන නිසාවෙනි.

මහිල් ආවේ ආයුර් ස්පා එකෙහි වැඩ මුරය අවසන් කල වහාමය. තාරා දැන් සෑම දිනකම පාහේ මෙහි එන බව මහිල් දනී. තමා තාරා ගැන එහෙමකට කියා දෙයක් නොදන්නා වග ඇත්තකි. අනෙක් අතට තාරාත් තමා ගැන එහෙමකට කියා දෙයක් දන්නේ නැත.

අද නිස්ක්ලංකයේ තාරාගෙන් ඒ බව අසන්නටත් තමන් ගැන සැබැ තත්ත්වය ඇයට කියන්නටත් මහිල් සිතා ගත්තේය. දැන්ම මේවා කියා තිබීම එකාතකින් හොඳය. එවිට මෙය බැඳීමක් වේද නොවේද යන ගැන කලින්ම තීරණයක් ගන්නට හැක.

වෙනදා නොදකින ඇඳුමෙන් මිදී සැහැල්ලු කපු කලිසමකිනුත් සුදු පැහැ බ්ලව්සය්ක් ඇඳ කෙස් කළඹ ඔහේ උඩට කරගැට ගසා කිසිත් ආභරණයක් පලඳින්නේ නැතුව උන්නද මහිල් තාරාව වෙන කවරදාටත් වඩා ලස්සනට දුටුවේය.

එහෙත් තේ කෝප්ප දෙකක් අවසන් කර ගීතයක් හතරක්ම ගයා අවසන් වන තුරුත් තාරා උන්නේ නිහඬ වේදනාවක බව අඳුනාගන්නට මහිල්ට හැකියාව තිබුනි. 

“මොකක් හරි ප්‍රශ්නයක්ද?”

ගිටාරය අනෙක් ගායකයා අතට දී මහිල් එහි ආවේම එසේ අසාගෙනය. එක බැල්මකින් තමාගේ වේදනාව හඳුනාගන්නට මේ ඊයේ පෙරේදා හමු වූ මහිල්ට පුලුවන් වෙද්දි තමා විවාහ කරගත් චිරායුට ඒ නොදකින්නට් හැකි වූයේ ඇයද කියා තාරා සිතෙන් සැසඳුවාය.

“ඇයි එහෙම ඇහුවෙ?”

“ලොකු දුකකින් ඉන්න බව පේනව”

“මූනෙන්ද?” 

“ඇස් දෙකෙන්”

“මගෙ ඇස්දෙක බැලුවම මං දුකෙන් ඉන්නව කියල ඔයාට තේරුනාද?”

තාරාගේ හඬේ වූ වේදනාව, දුක, අසරණකම මහිල්ගේ සිත සසල් කරවන්නකි. ඒ දුකට හේතුව කුමක් ද කියා නොසිතා බැරිය.

“මට කියන්න පුලුවන් දෙයක්ද?”

“මම ඩිවෝස් වෙන්න හිතුවා මහිල්. මටතවදුරටත් එහේඉන්න පුලුවන් කමක් නෑ”

“ඩිවෝස් වෙන්න” මහිල් ඒ වදන් භාරගත්තේ තිගැස්මකිනි. සිත ගැස්සුණේ නැතැයි කියන්නට නොහැක. තාරා විවාහක බව තමා දැන නොවුන්බව මහිල්ට ස්තිරය.

“ඔයා..ඔයා බැඳලද තාරා?”

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles