අනෝරා මල් වැහි 23

“චිරායු ලමයගෙ අම්මා කතා කරා පුතේ මට” කියා අම්මා දුරකතන ඇමතුම දෙද්දීම මාධනී කුලතුංග විසින් පතුරුවන්නට හැකි හැම තැනම ගින්න පතුරුවා ඇති බව තාරා තේරුම්ගත්තාය.

“මොකද කිව්වේ එයා කතා කරල”

“අනේ මන්දන්නෙ නෑ පුතේ. මං නං කියන්නෙ ප්‍රශ්න දාගන්න එපා කියල. මොන දේ උනත් ඒ වයසක මිනිස්සුනෙ කියල හිතන්න පුතේ”

“අම්මෙ, මට ඉස්සෙල්ල කියන්න මොනවද එයා කිව්වෙ කියල. අම්ම කතාව අහල තියෙන්නෙ එක පැත්තකින් විතරනෙ. ඒ නිසා ඉස්සෙල්ල මට කියන්න එයා මොනවද කිව්වෙ කියල”

“පුතාට හොඳටම දොස් කියනව. එයාලගෙ නෑයො වගයක් ඇවිල්ල ඉද්දි පුතා හොඳා මූණ දීල කතා කරේ නෑලු. හවස ඒ මිනිස්සු ඉද්දිම පුතා කියන්නෙවත් නැතුව කොහෙද මන්ද ගියාලු. මොකද්ද පුතේ ඇත්තටම උනේ? මෙච්චර දවසක් ඒ මනුස්සය මේ දුක සැප අහන්නවත් කත කරේ නෑ. අවුරුද්දට පවා මං කතා කලොත් මිසක. එකපාර ඒ මනුස්සයම මට කෝල් කරද්දි මට හිතාගන්න බැරිඋනා”

“එකපාර වෙච්ච දෙයක් නෙවෙයි අම්මේ දැන් කාලෙක ඉඳලම ඔහොම තමයි”

තාරා ඒ වදන් කිව්වා නොවේ. කියවුණාය. නැතහොත් අම්මාගේ සිත රිදෙන පිණිස මෙවන් දෙයක් කියන්නට පෙර තාරා දහස් වරක් හිතනවාය.

“ඇයි පුතේ එහෙම කිව්වේ? මොකද්ද ප්‍රස්නෙ?” 

කියවුණු වදන් ආපසුගන්නට නොහැකි තැන තාරා තමන්ගේ වේදනාව අම්මා සමා බෙදා ගන්නට සිතුවාය. 

“ප්‍රශ්නෙ මොකද්ද කියලවත් මමතාම දන්නෙ නෑ අම්මේ. ප්‍රශ්නයක් තියෙන බවත් ඒ ප්‍රස්නෙන් දුක් විඳින්නෙ මම කියල විතරයි මම දන්නෙ

චිරායුට මම හිතන්නෙ මගෙන් දැන් තේරුමක්නෑ අම්මෙ මං හිතන්නෙ” 

කොතරම් තමා ශක්තිමත් යැයි සිතුවද ඒ වදන් අවසානයේ හඬ බිඳී ගියාය. කඳුලු බිඳක් එලියට පනින්නට කරන වෑයම වලක්වා ගන්නට තාරා අසීරූ උත්සහයක නිරත වුණාය.

“ඇයි පුතේ එහෙම කියන්නේ? මොකද්ද උනේ?”

“චිරායු මාව ගණන් ගන්නෙවත් නෑ අම්මේ. එයා මාත් එක්ක ගෙදරදි කතාකරන්නෙවත් නැති තරම්. උදේට වැඩට යනව රෑ වෙනකම් වැඩ කරල ගෙදර ඇවිල්ලත් එයා ඔෆිස් රූම් එකාස්සෙ රිංග ගෙන ඉන්නව.

එහෙම ඉඳලවත් මම චිරායු එක්ක රණ්ඩු උනේ නෑ අම්මේ. චිරායුගෙ අම්මයි අක්කයි දැන් සතියකට කලින් මෙහෙආව එයාලගෙ නෑ කෙනෙක්ගෙ දූගෙ එන්ගේජ්මන්ට් එක අපෙ ගෙදර ගන්න ඇහැකිද කියල බලන්න. අම්මා දන්නවනෙ මම මිනිස්සුන්ට උදව් නොකර ඉන්නෙ නැති බව.

මම වැඩ ඇරිල එද්දි ඒ මනුස්සය කියනව මේ ගෙදර වෙන දේවල් ගැන චිරායු මාත් එක්ක කතා කරන්න ඕන නෑලු. ඕක ව්තරක් නෙවෙයි තව නොසෑහෙන්න දේවල් කිව්ව අම්මා

මට හිතාගන්නබෑ අම්මෙ මොකද කරන්නෙ කියල. මම මේ ගෙදර ඉන්නද නැත්තම් චිරායුට ඕන දෙයක් කරගන්න කියල දමලගහල එන්නද කියල මට හිතාගන්න බෑ”

එහාපසින් ඇසෙන නිශ්ශබ්දතාවය සිතට බිය ගෙන දෙන්නකි. අම්මා හිඳින්නේ කෙමෙන් වයසට යමිනි. තාත්තා නැති වූ පසු අම්මා වයසටවඩා වියපත් වූ හැටි තාරා ඇස් දෙකෙන්ම දුටුවාය. එවන් අසරණියක වූ අම්මා ලඟ තමන්ගේ දුක මෙසේ කියන්නට වීම ගැන තාරා මොහොතකට පසුතැවුණාය. එහෙත් තමාටත් අම්මා හැර මේ සියල්ල කියන්නට කෙනෙකු නෑ නොවේද?

“කසාද ජීවිතයක් ඇතුලෙ ප්‍රශ්න නෑවිත් තියෙන්නෙ නෑ පුතේ. ඉවසන්න වෙනව ගෑණු උනාම. චිරායු පුතා එක්ක මේගැන කතා බස් කරේ නැද්ද?”

“ඉවසනව කියල මම කවද වෙනකම් ඉවසන්නද අම්මේ? අනික මේ නිකමටමාත් එක්ක කතා නොකරන චිරායු මෙහෙම දේකට මාත් එක්ක කතා කරාවි කියල අම්ම හිතනවද?” 

“මම මාමටවත් කියල බලන්නද දරුවො චිරායු පුතාට කතා කරන්න කියල. අපිට වෙන පිරිමි කෙනෙක් නෑනෙ මේ ගැන කතා කරන්න. අසංක අයියට කියන්න මම කැමති නෑ දන්නවනෙ අක්ක අන්තිමේ ඕකට කෑගහන්න ගනිවි. මාමට කියල බලන්නද මම?”

“එපා එපා මාමට නෙවෙයි අම්ම කාටවත් කියන්න යන්න එපා. මොකටද නිකන් ලැජ්ජ වෙන්නෙ, මම අම්මට කිව්වෙ අම්ම මේ ගැන ඇහුව හන්ද. අම්ම දුක් වෙන්නෙපා. මම කොහොමහරි ඉවසගෙන ඉන්නව අම්මේ”

“අනේ මන්ද දරුවො, තාත්තා තරුණ වයසෙදිම නැති උනේ අපෙ අවාසනාවටකියල මට හිතෙන්නෙ මෙන්න මෙහෙම වෙලාවට. ඒ මනුස්සය ඉඳියනම් මොනව උනත් අපිට ලොකු හයියක්නෙ. තාත්තා කොහෙ හරි ඉඳගෙන ඔයා දිහා බලාගෙන ඇති පුතේ. දුක්වෙන්න එපා”

කඳුලු පිරුණු දෑසින් අම්මා සමග දුරකතන සංවාදය අවසන් කල තාරා දුරකතනය පසෙකින් තැබුවේ මහා හුස්මක් සමගින් ය.

අම්මා ජීවිතයේ බොහෝ බර දරාගත් දරාගන්නා කාන්තාවකි. එවන් ඇය මත තම දුක් වේදනාවල බර තබන්න වීම ගැන වූ පසුතැවිල්ල රාත්‍රියේ තාරාගේ නින්ද බොහෝ දුර ගෙන යන්නට හේතු වුවකි.වෙනදාට මෙසේ රෑ වන තුරු නැගී සිටින්නේ චිරායු නිවසට එන තුරුය. සිකුරාදා රාත්‍රියක්වන නිසාවෙන් චිරායු කොහොමත් අද ගෙදර එන්නට බොහෝ පමා වනු ඇත. නින්ද එන තුරු බලාහිඳ ඇති වූ තැන තාරා මින්ට් තේ කෝප්පයක් හදා ගෙන ප්‍රයිම් ටීවී බලන්නට පටන් ගත්තය. මින්ට් තේ බොන්නට පුරුදුකරේ මහිල් ය. එයින් ලද්දේ තාවකාලික වුවත් සැහැල්ලුවකි. දැන් ඒ සැහැල්ලුව එදිනෙදා ජීවිතයේ හුරුපුරුදු අංගයක් වී අහවරය.

මැරි මයි හස්බන්ඩ් කොරියානු ටීවී කතා මාලාව බලන්නට පටන්ගෙන දැන් ටික දවසකි. තාරා වනාහී කොරියන් කතා බලන්නට ප්‍රිය කරන්නියක නොවේ. එහෙත් එහි වූ වෙනස්කතා තේමාව සිත පැහැරගන්නට හේතුවිය. ඒ කතා මාලාවේ කන්ග්-ජී-වොන් ටමෙන් ජීවිතය වසර දහයකින් ආපස්සට යන්නට තමාට ඉඩ ලැබුනහොත් එය කොපමණ අපූරුද කියා තාරා සිතුවාය.එසේවූයේ නම් බොහෝ දේ වෙනස් කරන්නට හැකි වනු ඇත. මෙයට වඩා සතුටෙන් සිතින වර්තමානයක් ලබා ගන්නට ඉඩක සකසාගන්න හැකි වෙනු ඇත.

දුරකතනය සෙමෙන් සැරේ නාද වෙන්නේ ඒ මහිල් බව කියමිනි.

දෙතොල මත සිනාවක රේඛා ඇදුනේ ඇයිද කියා තාරාට සිතාගන්නට නොහැක. එහෙත් මහිල් යනු සිතට හැම මොහොතකම සතුටක් ගෙන දෙන සාධකයක් බව තාරා වටහාගනිමින් උන්නාය.

“හෙලෝ” ඒ සිනහවට දෙතොල මත තව දුරටත් පිපෙන්නට ඉඩ දෙමින් තාරා දුරකතනයට සම්බන්ධ වූවාය.

“මං හිතුවා”

රාත්‍රියෙදී පමණක් ඇසෙන්නට ලැබෙන මහිල්ගේ ගැඹුරු කටහඬ දුරකතනය හරහා ඇදී එන්නේ මද අමනාපයක් සමග බව තාරාට තේරේ.

“මොකද්ද හිතුවෙ?”

“නිදි නැතුව ඇති කියල ඇහැරල”

“නින්ද ගියේ නෑ මහිල්. හිත හරි බරයි”

“මොකද උනේ?”

 ඒ ඇසෙන්නේ මෙතෙක්වේලා අමනාපයක් රඳවගෙන් උන් හඬ නොවේ.එයටත් වඩා ගැඹුරු එහෙත් මුදු බවකුත්, හිතවත්කමකුත් රැඳුණු හඬකි. ඒ හඬ මන්ත්‍රයක් මෙනි. සිත තුල ඇති සියලුම වේදනාවන් පවසා හිත සැහැල්ලු කරගත හැකි අන්දමේ මන්ත්‍රයකි.

“අම්මා කතා කරා”

තාරා කියන්නේ මහා හුස්මක් පහතහෙලමිනි. ඒ හුස්ම බිඳක් දුරකතනය ඔස්සේ විත් තම හිත මත මහා බරකින් පතිත වන බවක් මහිල්ට දැනේ. එහෙත් එය කරදරයක් නොවේ. තාරාගේ වේදනාවන් තමාගේ වේදනාවන් කරගෙන ඇයව ඒ වේදනාවෙන් නිදහස් කරන්නටවුව හැකි අන්දමේ හැඟීමක් තාරා වෙනුවෙන් මහිල්ගේ හිතේ පිරි තිබුණි. 

“ම්ම්ම්, මොකද අම්මා කියන්නෙ?”

“චිරායුගෙ අම්මා අපෙ අම්මට කෝල් කරලා අරව මේව කියල. වෙච්ච දේවල් නෙවෙයි ඉතින් එක දෙක කරලා. දන්නවනෙ ඉතින් අම්මලා”

“ඕව ගැන හිතන්න එපා. අනික කාගෙ අම්ම මොන දේ කිව්වත් මේ ලයිෆ් එක ඔයාගෙයි එයාගෙයි නෙ. ඒ මැදට අම්මලට උනත් එන්න ඉඩ දෙන්න එපා”

“දැන් මමයි එයයි කියල දෙයක් ඉතුරුවෙලා නෑ මහිල්. මම විතරක් එක පැත්තක ඉතුරු වෙලා. එයාලා හැමෝම එකට එකතු වෙලා” ඒ අසරණ බව කියවෙන කතාවක් වුවත් තාරා කිව්වේ හෙමින් සැරේ සිනාසෙමිනි. ඒ අසරණ කම වෑහෙන සිනාවකි.

“එහෙම හිතන්න එපා. ඔයාට ඕනම දේකට මම මට පුලුවන් තරමෙ උදව්වක් කරන්නම්”

” මට තවදුරටත් අදහසක් නෑ දිගටම මෙහෙම ඉන්න.අනික කවද වෙනකම් ඔයා එහෙම කරන්නද මහිල්. “

“මට මුකුත් ඕන නෑ. මම ඇත්තටමයි කියන්නෙ

ඔයාට මාව එපා කියන්න පුලුවන් දවසක් එනකම් මම ඉන්නම් තාරා.”

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles