ලංකාව තුළ පැහැදිලි ඍතු භේදයක් නැත ද මේ උදා වී තිබෙන්නේ ශරත් සමය යයි මිදුල අමදින ගමන් සයුරංගනා ට සිතිණ. ඉඩම් කට්ටි කිහිපයකට එපිටින් වන රබර් යායේ රබර් ගස් කොළ හලමින් නිරුවත් වෙමින් සිටී. කහ දුඹුරු පැහැයකට හැරුණු, නටුවෙන් ගිලිහුණු පත් සිය දහස් ගණනින් සුළඟ සමග එක්ව අහසේ ඉගිලී යළි පොළොවට ම පතිත වේ. එසේ සුළඟ ගෙන ආ වියළි පත්‍ර ගොන්නක් සයුරංගනා අතුගාගෙන ගියා ය. සති කිහිපයකින් වැහි දිය පොදක පහස නොලැබූ භූමිය මත දුහුවිලි වළාවන් නැංවේ. ඒ දුහුවිලි තුරු පත් මත පතිත වී ඒවායේ හරිත පැහැය මත දුහුවිලි තට්ටුවක් බැඳී ඇත. එක ම එක වැස්සකින් මේ සියල් කුණු දුහුවිලි සේදී යළි කොළ පාට ඉස්මතු වෙන හැටි සයුරංගනා මනසින් චිත්රණය කළා ය.
“රොඩු ටික එකතු කරල අර වත්තෙන් දාල ගිනිකූරක් ගැහුවනං යායම පත්තු වෙලා යයි”
ජයරත්න සිනහවකින් කීවේ ට්‍රයිඩැක්ස් මිටියාවත පෙන්වමිනි. එක ගිම්හානයක එසේ කොට ට්‍රයිඩැක්ස් මල් මියැදුණායි සයුරංගනා වරුවක් ම හැඬූ හැටි ඔහු ට සිහි වෙමින් ඇති බව ඒ සිනහව නිහඬව කීවේ ය. සයුරංගනා ගේ මුහුණට ද සිනහවක් ආවේ ඒ සිදුවීම සිහි වී ය.
“ඔන්න ඕන්නැති වැඩනං කරන්නෙපා අප්පච්චී…”
ජයරත්න තරමක් හඬ නැගෙන සේ සිනහ වූයේ ය.
“අද හෙට වහින එකක් නැද්ද අප්පච්චි…”
“පොතේ හැටියටනං වහින්න ඕනෙ. වැඩේ කියන්නෙ වැහැල වැහැල සති දෙයක් පෑව්වත් පොළොව කරකුට්ටන් වෙලා යන එකනෙ”
රාමනායක නිවසේ ගේට්ටුවෙන් මල්කාන්ති මතු වූවා ය. සයුරංගනා පාර අතුගාමින් ම ඇයට ඉක්මන් සිනහවක් දුන්නා ය.
“රබර් කොළ ගොඩ නේ..”
කියාගෙන මල්කාන්ති මඳක් පහළට, සයුරංගනා සිටි තැනට ආවා ය.
“මාත් අතුගාන්න ඕනෙ. දැනුයි ඇඳෙන් නැගිට්ටෙ”
ඇය අත් දෙක පොරවා ගත්තා ය. ඇගේ මුහුණ දෙස බලත්දී ය සයුරංගනා දුටුවේ මල්කාන්ති ගේ කට පැත්තකට ඇද වී ඇති බව. ඇය කතා කරත්දී වචන ද පැටලී ගියේ ය.
“ඇන්ටි…ඔයාට ගොත ගැහෙන්නෙ ඇයි…”
“මට…නෑ..”
“නෑ නෙවෙයි. වෙනද එහෙම නෑනෙ. කටත් පැත්තට යනව වගේනෙ”
“නෑහ්”
එක තත්පරයක් තුළ සයුරංගනා ගේ හිත ක්ෂණික තීරණයක් ගත්තේ ය.
“අපි ඩොක්ටර් ළඟට යං ඇන්ටි”
ඇය වහා ගෙට දිව මෝටර් රථයෙහි යතුර ගත්තා ය.
“පාරි ගෙදර ඉන්නවද ඇන්ටි..”
“නෑ. ඔක්කොමලම ගිහිං. මං විතරයි ඉන්නෙ”
මල්කාන්ති ගේ ගොත ගතිය එන්න එන්න ම වැඩි වෙන බවක් පෙනෙන්නට තිබිණ.
“අප්පච්චි ටක්ගාල ශර්ට් එකක් දාගන්න”
සයුරංගනා වහා ම මෝටර් රථය පිටතට ගත්තා ය.
“මට මුකුත් අසනීපයක් නෑ රංගනා”
“ඒකට කමක් නෑ. අපි ඩොක්ටට පෙන්නල එමුකො”
“මං ඇඳුමක් දාං…”
“ඇන්ටි ඕක හොඳයි. නගින්න ඉක්මනට”
රියෙහි පසුපස දොර විවර කොට බලයෙන් වාගේ මල්කාන්ති ව එහි ගොඩ කරවන්නට සයුරංගනා ට සිදු විය. රාමනායක නිවසට දිව එහි දොරවල් වසා ආවේ ද ඇයයි. නගර මධ්‍යයේ වන පෞද්ගලික ආරෝග්‍යශාලාවේ වෛද්‍යවරයා මල්කාන්ති දුටු මතින් වහා ම රෝහලකට ගෙන යන ලෙස දැනුම් දුන්නේ ය. ඒ වෙලාවේ උදෑසන වාහන තදබදය අඩු වී තිබුණෙන් ඉක්මනින් රිය ධාවනය කළ හැකි විය. ඒත් සයුරංගනා තව දුරටත් ඉක්මන් වෙමින් ද නලා හඬවමින් අනෙත් රියදුරන් වෙතින් ඉඩ ඉල්ලමින් ද පෞද්ගලික රෝහලක් වෙත රිය ධාවනය කළා ය. මල්කාන්ති ව හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කෙරිණ. රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසක් ඇය වට කොට ගත්හ. වහ වහා හදිසි ප්‍රතිකාර ඇරඹිණ. සයුරංගනා යශෝදර ට දුරකතන ඇමතුමක් ගත්තේ ඒ වෙලාවේ යි. ඔහු වහා ම එතැනට එන්නට පිටත් වෙන බව කීවේ ය.
“අවශ්‍ය දේවල් දැන් වෙනව යශෝදර. ඒක නිසා ඔයා කලබල වෙන්නෙ නැතුව පරිස්සමට එන්න”
ඇය විශේෂයෙන් ම එහෙම කීවා ය. හදිසි ප්‍රතිකාර වලින් පස්සේ, යශෝදර ද පාරමී ද රාමනායක මහතා ද එතැනට පැමිණීමෙන් පසු මල්කාන්ති ව රෝහලෙහි නේවාසික කෙරිණ.
“හොඳ වෙලාවට එවෙලෙම හොස්පිට්ල් එකට ගෙනාවෙ. නැත්තං පේශන්ට් දරුණු විදිහට පැරලයිස් වෙන්න තිබුණ. හෙමිහිට සනීප කරගන්න පුළුවන් ආ…”
වෛද්‍යවරයා ඔවුන් හමුවේ පැවසුවේ ය.
“තැන්කූ රංගි”
පාරමී සයුරංගනා ව වැළඳගත්තා ය. ඇගේ ඇස් වලින් කඳුළු ගලා ගියේ ය.
මල්කාන්ති ට දින කිහිපයක් ම රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නට සිදු විය. රුධිර පීඩනය දිගට ම ඉහළ අගයක පැවතීම නිසා ඇයට ඇඳෙන් බහින්නට හෝ අවසර නො ලැබිණ. රාමනායක ද පාරමී ද යශෝදර හා තේමිය ද මාරුවෙන් මාරුවට අම්මාගේ ගිලන් කුටියෙහි තනියට රැඳුනහ. එසඳි දමා යා නො හැකි නිසා සයුරංගනා ට එසේ කළ හැකි වූයේ නැත. නමුත් ඇය විටින් විට රෝහලට ගොස් මල්කාන්ති ගේ සුව දුක් විමසුවා ය. ගෙවල් දෙකේ ම අයටත් එක්ක එකට ම කෑම ඉව්වා ය. ඒ කෑම මේසයට යවා රාමනායක ගෙදර ඒ වෙලාවට ඉන්නා අය කැඳවා කෑමෙන් බීමෙන් සංග්‍රහ කළා ය. උදේ පාන්දර තේ එක පවා පිළියෙල කොට ජෝගුවකට දමා එහි ගෙන ගොස් දුන්නා ය. රූපවාහිනී නාලිකාවට යා යුතු සතියේ දින තුනෙහි ද එහි ගොස් ආ පසු ගෙවල් දෙකේ ම වැඩ කළා ය. පාරමී හඩකැවීම් වලට ද අම්මාගේ තනියට ද මාරුවෙන් මාරුවට ගිය බැවින් ඇය වැඩිපුර ගෙදර රැඳුණේ නැති තරමි. නමුත් රාමනායක ගෙදර ගෑනු පුළුටක් නැති අඩුව දැනෙන්නට සයුරංගනා ඉඩක් නො තැබුවා ය. ඒ ගෙදර අය හැඳ දමා තිබි ඇඳුම් පවා රෙදි සෝදන යන්ත්‍රයට දමා සේදුණු පසු ඇය වියළා නවා තැබුවා ය.
දින කිහිපයකට පසු මල්කාන්ති ව ගෙදර ගෙන ආව ද ඇඳ විවේකය ඇයට නියම වී තිබිණ. විශේෂයෙන් ම ඇගේ අධික රුධිර පීඩන මට්ටම නිසා වෙහෙසීම මුළුමනින් ප්‍රතික්ෂේප කොට තිබිණ.
“රංගනාට බුදු බව අත් වෙන්න ඕනෙ පුතේ…මාව මෙහෙම බේරගත්තට…”
එදා රෝහලේ සිට පැමිණි දා රාත්‍රියේ ඒ ගෙදර අය වෙනුවෙන් පාරමී සමග එක්ව කෑම පිළියෙල කොට තබා එන්නට හදත්දී මල්කාන්ති දෑත් එක්කොට සයුරංගනා ට ස්තූතිවන්ත වූවා ය. ඇගේ කටහඬ බිඳී හැඬුම් එන්නට ආසන්න ව තිබිණ. සයුරංගනා වහා ඒ අතැඟිලි එක් වූ දෑත් අල්වා ගත්තා ය.
“අනේ ඇයි මේ ඉතිං…ඒක ඒ වෙලාවෙ කවුරු වුණත් කරන දෙයක් ඇන්ටි. ඒක ලොකු දෙයක් විදිහට හිතන්නෙපා”
“එහෙම කියන්නෙපා. ඒ වෙලාවෙ බලෙං හරි ඔයා මාව ඉස්පිරිතාලෙට ගෙනිච්චෙ නැත්තං…මංවත් නොදැන මං ගේ ඇතුළෙම වැටිල අංශභාග ලෙඩෙක් වෙන්න තිබුණ”
“ඇන්ටිට එහෙම දෙයක් වෙන්න උරුම නැති නිසා වෙන්නැති මෙහෙම වුණේ…ඒ ගැන හිතන්නැතුව අපි ඉක්මනට සනීප වෙමු”
සයුරංගනා ගෙදර එත්දී එසඳි වඩාගෙන යශෝදර ද ආවේ ය. ඇය මුළුතැන්ගෙට ගොස් උයන්නට සූදානම් වෙත්දී ඔහු පොල් බෑයත් ගෙන හිරමණය වෙත ගියේ ය.
“අනේ ඇයි ඔය…මං පොල් ටික ගාගන්නං…ඕක තියන්න”
සයුරංගනා යශෝදර අතින් පොල් බෑය උදුරා ගන්නට තැත් කළ ද ඔහු එය දුන්නේ නැත.
“ඉතිං මං ගෑවහම මොකද වෙන්නෙ…”
ඔහු අඩ සිනහවකින් කෙළින් ම ඇගේ ඇස් දෙකට ම එබුණේ ය.
“අපේ අම්ම අසනීප වෙච්ච වෙලාවෙ ඉඳං හැම දේම හොයල බලල කරන්න ඔයාට පුළුවන්නං…අපේ ගෙදර මිනිස්සුන්ටත් එක්ක බත් තම්බල…ගෙවල් මිදුල් අතුගාල පිළිවෙලට තියල…අපේ කිළුටු රෙදිත් හෝදන්න ඔයාට පුළුවන්නං…මට බැරිද පොල් බෑයක් ගාල දෙන්න”
මොනවා හෝ කියන්නට ඕනෑ වුණත් සයුරංගනා ට කිසිත් කියා ගත හැකි වූයේ නැත.
“ඔයා වෙනුවෙන් ඊට වඩා ගොඩක් දේවල් කරන්නයි සයූ මට ඕනෙ. ඔයාගෙ පොඩි කෙල්ලට ලෝකෙ ඉන්න හොඳම අපාචි වෙන්න මං බලං ඉන්නව. ඔයා මේ රටේ මොන විදිහෙ තැනකට ගියත් හිතේ උඩින්ම ඉන්න පිරිමියා වෙලා ඉන්නයි මට ඕනෙ. මහන්සියි යශෝදර කියාගෙන ගෙදර ඇවිත් මං ළඟින් නතර වෙනවනං මට ඒ ඇති”
“යශෝ…ද…ර…”
“සෙනසුරාදාට ගමේ ගිහින් එමු. මං අම්මලට හැමදේම කියලම එන්නං”
“ඒත්..”
“ශ්…ඔයා බලං හිටියහම ඇති”
යශෝදර නුහුරට පොල් ගාත්දී පාරමී එහි දිව ආවා ය.
“ආ…මං මේ රංගිට උදව් කරන්න ආවෙ. එයා සර්වන්ට් කෙනෙක්ව අරංනෙ”
ඇය හඬ නගා සිනහ වූවා ය.
“ඔයිට වඩා වැඩ කරන්න වෙනව මල්ලි ඉස්සරහට..කෝ දෙනව දෙනව දැනට මං ඕක ගාල දෙන්නං”
පාරමී අයියා අතින් පොල් බෑය ගත්තා ය.
“අම්ම දැක්කනං හාට් ඇටෑක් එකක් එනව. ඇයි අප්ප…අතට පයට හැම දේම කරල දීල සල්මලක් වගේ හදපු කොල්ලනෙ. ගෙදර ඉන්නකොට වතුර එකක් අරං බීල නෑ. කාපු පිඟාන බීපු කෝප්පෙ හෝදල නෑ. ගෑනුන්ට වළං හිටං හෝදල දෙනව. සරම ගලෝල වළල්ලක් වගේ බිම දාල ගිය එකා…යට ඇඳුම රබර් පටියක් වගේ අඹරෝල ඔහේ ගලෝල දාපු එකා…දැං ගෑනිගෙ යට ඇඳුනුත් හෝදනව…ඔන්න අපේ අම්ම අනාගතේදි කියන්න නියමිත වාක්‍ය”
“අඩෝ…උඹේ මිනිහගෙ අම්මත් එහෙම කියයි”
“ඔව් ඔව්. දේශයේ අම්මාවරුන්ගේ කඳුළු කතාව”
සයුරංගනා සිනහව තද කරගෙන සිටියා ය. මේ දවස් වල අමුතු මිහිරක් තැවරී තියේ. තරමක් වෙහෙස දැනුණත් කියා ගන්නට නො තේරෙන ආදරයක් ජීවිතය ගැන දැනෙමින් තිබේ.
“තේකක් බොමුකො සයූ”
ඒ තේ තිබහ යශෝදර ට හෝරා කිහිපයක සිට තිබිණ. අද හවස තේ හැදුවේ පාරමී ය. ඇය පොල් ගෑම නවතා ඉණෙහි අතක් ගසා ගෙන අයියා දෙස බැලුවා ය.
“ඇයි තේ බිව්වෙ..මේ කෙල්ලට හුරතල් වෙවී වැඩ වැඩි කරන්නැතුව යනව”
“තමුසෙගෙ තේ එක පල්වතුර වගේ”
“හිටුකො…බලමුකො එහෙනං හෙට උදේටත් තේ එකක් සයූ කියාගෙන මූණ හෝදන්නෙත් නැතුවම මෙහෙ දුවං එයිද කියල. ලේසිනෙ ඕයි මෙහෙම නිදාගත්තනං”
උයන අතරේ ම සයුරංගනා ඒ තේ එක හැදුවා ය. එතකොට ම තේමිය ද එහි ආවේ ය.
“මටත් දෙනව තේ එකෙං බාගයක් හොඳේ”
ඔහු අයියා ගේ තේ කෝප්පයට එබී කීවේ ය. සයුරංගනා ඔහු ට වෙනම තේ එකක් හදා දුන්නා ය.
“රංගි බැඳල මාතරට යන්න තියෙන්නෙ. මුන්ට සාංකාව හැදිල ජරමරයක් වෙයි එහෙනං”
යශෝදර ගේ ඇස් හී ගසක වේගයෙන් සයුරංගනා ගේ ඇස් මත හැපිණ. ඇය සිනහව දෙතොල් අතරේ හිර කරගෙන ම බිම බැලුවා ය. මේ ආදරය, මේ සහෝදර බැඳීම් ඇබ්බැහියක් වෙමින් ඇති බව ඇයට ද දැනෙමින් තිබේ!