අල්ලා ගැනීම

කලනිට  දැනෙන්නේ මුලු ලෝකේම ගිණි අරගන්නවා වගේ. ඇඳෙන් නැගිටගන්න තරමට වත් පණක් නැහැ. ප්‍රෙග්නන්සි ස්ට්‍රිප් එක විශ්වාස නොකර ගර්භණී බව පරීක්ශා කරගන්න රෝහලට ගියේ හිත සැහැල්ලුව ප්‍රාර්ථනා කරගෙන. යමින් ගමන් පන්සලට පඬුරකුත් දැම්මා. ඒත් අහනා ලැබුණේ ඒ මොහොතේ කලනිට හීනෙකින්වත් අහන්න අවශ්‍ය වුණදෙයක් නම් නෙවෙයි.

“සුබ පැතුම්.. ඔයා අම්මා කෙනෙක් වෙන්න යන්නේ…”

එවෙලේ බොරුවට හිනා වෙලා කලනි ආපහු හැරුණේ කරන්න ඕනි දේ හිතාගන්න බැරුව.

සඳුන් ට ඇමතුමක් අරගෙන වෙලා තියෙන දේ කියන්න ඕනි බව කලනිට සිහිපත් වෙනකොට පැය කිහිපයක්ම ගිහින්.  මෙහෙම දෙයක් නොවෙන්න දෙන්නාම සැලකිලිමත්  වුන වග කලනිට විශ්වාසයි. තමන්ටත් වඩා සඳුන් ඒ ගැන වග වුණා.

“අපිට අපිව කොච්චරක් විශ්වාස වුනත්, අපි පරෙස්සම් වෙන්න ඕනි කලනි… ඒ අපිට මෙවෙලේ බබෙක් ඕනි නැති නිසා….”

දෙන්නා ඉතාලියට ආවේ විවාහය ලියාපදිංචි කරන්නේවත් නැතුව. එතකොට කලනිට සඳුන් මුණ ගැහිලා මාස අටක් විතරයි ගෙවිලා තිබුණේ. වයස විසි හතක තරුණියක් විදියට ඇගේ ජීවිතය ගැන  ගත්ත තීරණයට පවුලේ අය ඉඩ දුන්නත්, ඇය සඳුන් එක්ක එක නිවසක් බෙදා ගන්න තීරනය කල ආරංචියට නම් යම් යම් මතභේද, හිත් රිදීම් ඇති වුණා.

“දෙන්නාට දෙන්නා විශ්වාස එක හරි දූ .. ඒත් ඔයාලා  ආයේ ලංකාවට එන්න ඕනි….. ජීවිතේ අපිට දේවල් දෙන්නේ සැලසුම් කරලා නෙවෙයි ..ඒ නිසායි මම කියන්නේ.. ඔයාලා තරුණ ළමයි ..  ගින්දරයි, පුලුනුයි ලං කරාම ඇවිලෙන වේගේ මම කියන්න ඕනි නෑනේ …..”

අම්මා නිතරම කියන කතාවත් කලනිට සිහි වෙනවා.

“මදෑ අම්මලා ඇහේ මූනේ තියාගෙන හදපු කෙල්ල.. ඔන්න ඉතාලි ගිහිල්ලා කොල්ලෙකුත් එක්ක එකටලු ඉන්නේ…”

නැන්දා කෙනෙක් ඔය කතාව පතුරවන බව අම්මා වේදනාවෙන් කිව්වේ ඊයේ බවත් කලනිට සිහි වුනා. එවෙලෙත් අම්මට තමගේ ජීවිතේ ගැන තමන්ට වග වෙන්න පුලුවන් වග හරිම විශ්වාසෙන් කීව බවත් කලනිට සිහි වුනා.

ඒත් දැන් මේ ඇති වෙලා තියෙන තත්වය එක්ක ඉස්සරහට කරන්න ඕනි පලවෙනිම දේ ගැනවත් කලනිට අදහසක් නැහැ. ගතේ වෙහෙස නිසා අද නිවාඩු දාලා ඉන්න තීරණය කරන වෙලාවේවත් මේ තරම් දෙයක් ගැන ඉඟියක්වත් හිතේ තිබුනේ නැති බවත් කලනිට විශ්වාසයි.

හැම දේම අහිමිවෙලා ගිහින් වගේ දැනෙන හැඟීමට, තමන් තනිම වෙලා කියන හැඟීමත් එකතු වුනාම දැනෙන පීඩාකාරී හැඟීම කලනිට දැනෙන්න පටන් අරගෙන තිබුණේ. හිත එක තැනකට එකතු කරගෙන සඳුන්ට ගත්ත ඇමතුම් දෙකම විසන්ධි වෙලා යනකොට කලනිට ඇඬුණා.

ඇත්තටම සඳුන් මේ සිදුවීමට දෙන පිළිතුර මොකද්ද කියලාවත් කලනිට හිතාගන්න පුලුවන් වුනේ නැහැ. ඒ නිසාම සඳුන්ගේ ඇමතුම් විසන්ධි කිරීමෙන් ඇය තව තව අසරණ වුණ එක විතරයි වුණේ.

කලනි කාමරේ පුරාම ඇවිද්දේ හැමදේම අතාරින්න තීරණය කරගන්න හිතාගෙන. ඒත් අතෑරගන්න බැරි නේක විඪ්ඃඅ දේවල් කලනිව ආපස්සට අදින්න අරගෙන තිබුනා.

කලනි අම්මගේ, තාත්තගේ, මල්ලිගේ චායාරූප දිහා සෑහෙන්නම බලාගෙන හිටියා. මල්ලී අද එයාගේ ප්‍රේමවන්තියට ආදරේ ප්‍රකාශ කරන්න සූදානමින් ඉන්න බව කියලා එවපු කෙටි පණිවිඩ කිහිපයත් ආයේ ආයේම කියෙව්වා.

කලින් දවසක සඳුන් එක්ක වුණ අමනාපවීමකට පස්සේ දෙන්නාට දෙන්නා එකිනෙකාට සමුදෙන්නේවත් නැතුව රාජකාරි වලට පිට වෙලා ගිහින් පැය කිහිපයකින් සඳුන් එවලා තිබුන කෙටි පණිවිඩයත් කියෙව්වා.

“මම තව ටිකකින් ඔයාලාගේ ලොබි එකට එනවා.. විනාඩි පහලොවක අයුට් එකක් දාලා එන්න ඉස්සරහට…”

එදා ලොකු චොක්ලට් එකකුත් අරගෙන ඇවිල්ලා කිසිම දෙයක් නොකියා තමන්ව වැළැඳගෙන විනාඩි කිහිපයක් නිසොල්මනේම ඉඳලා, ඔහු අතින් වුන හිත් රිදවීමට සමාව දෙන්න කියලා සඳුන් ඉතාම දයාර්ද්‍රම හඬකින් කීව හැටිත්, ඊටත් පස්සේ  කොයි තරම් තරහ වෙලා හිටියත් තරහ නිවෙනකල් පේන මානේ ඉන්න කියලා ඉල්ලපු හැටිත් මතක් වුණාම කලනිට ඇඬුම් නවත්තගන්න බැරි වුණා.

කලනි සඳුන්ට කෙටි පණිවිඩයක් යැව්වා.

“මට හැමදේම නැති වෙලා ගිහින් කියලා දැනෙනවා… ගෙදර එන්න…”

පැය භාගයක් ගත වෙනකොට කලනි හිටියේ කාමරේ ඇඳ පාමුල වාඩි වෙලා. දොර ඇරෙන හඬ, උඩු මහලේ පඩිපෙල දිගේ සඳුන්ගේ බර අඩි වේගෙන් එන හඬ කලනිට ඇහුණා. කලනි බලාගෙන හිටියේ සඳුන් දොරෙන් මතු වෙනකල්.

ඒත් සඳුන් ඊළග තත්පරේ හිටියේ කලනිව වැලඳගෙන. කලනිට කිසිම දෙයක් කියන්නවත් ඉඩ නොදී, කලනිගෙන් කිසිම දෙයක් විමසන්නේවත් නැතිව සඳුන් කලේ ඇයව වැලඳගෙන හිටපු එක.

“මම අම්මා කෙනෙක් වෙන්න යනවලු…”

සඳුන්ගේ කමිසේ එල්ලීගෙන මහ සද්දෙන් අඬාගෙන කලනි එහෙම කියනකොට සඳුන්ට දැනුනේත් මුලු ලෝකෙම බර තමන් මතට  කඩාගෙන වැටුණ වගකීම. කලනි හඬා වැටෙන බවවත් අමතක වෙලා සඳුන් විනාඩි කිහිපයක්ම ඒ ඇහුණ වචන කිහිපය  ආයේ ආයෙම හිතුවා.

කලනි අක්කා කෙනෙක් වෙන්න යනවා කියන්නේ, තමන් තාත්තා කෙනෙක් වෙන්න යනවා කියන එකද කියලා ආයෙම ඇහුවා.

ඒත් එක්කම මතක් වුණේ කලනිගේ කෙටි පණිවිඩය. සඳුන් එක පාරටම කලනිව තමන්ගෙන් ඈතට කලා. ඇය දිහා හොඳටම බැලුවා. කල්ලුම් , දෑස් සිප ගත්තා.

“ඔක්කොම හරි … ඔක්කොම හරි .. මම ඃඇමදේම බලාගන්නම්…’

සඳුන් කලනිට කිව්වේ එච්චරයි. ඊට පස්සේ කලනිව බලෙන්ම ඇඟ සෝදවලා , කවලා නිදාගන්නකල් ළැඟින් වැතිරිලා හිටියා.

ඊට පස්සේ ඇය පේන නොපෙනෙන මානෙට ගිහින් ඉදිරි දවස් වෙනුවෙන් සැලසුම් හැදුවා.

කලනි ඊළඟ දවස් කිහිපය ගෙව්වේ සඳුන්ගේ දරාගන්න බැරි ආදරේ එක්ක. ඒ නිසාම  ඇය ජීවිතෙ ගැන තිබුන අවිනිශ්චිත බවෙන් යන්තමට එළියට එමින් හිටියේ.  

දවස් හයකට පස්සේ ඉස්සෙල්ලාම ආවේ කලනිගේ අම්මලා. අම්මලා දැක්කම කලනිට හිතා ගන්න බැරි වුණා.  මුලදි දැනුණ සතුට යටපත් කරගෙන ආව වරදකාරී හැඟීම එක්ක කලනි කලේ මහ හය්‍යෙන් අඬපු එක.

“මේකි බලනවකෝ… නිකන් අපි බබෙක් ගෙනල්ලා බඩට දාලා වගේ නේ මේ අඬන්නේ..”

මල්ලි කලනිව බඳාගත්තා. ඊට පස්සේ අම්මා, ඊටත් පස්සේ තාත්තා කලනිව බඳාගෙන ඉවර වෙනකල්ම කලනිගේ ඇඬිල්ල ඉවරයක් වුණේ නැහැ.

සඳුන්ගේ පවුලේ අය ආවේ ඊට පස්සෙන්දා. අය්‍ ය ලා හතර දෙනෙක්ගේ බාලම මල්ලි වුණ සඳුන්ට අය්‍යලාගේ සරදම් බස් වලින් ගැලවෙන්න නම් ඉඩක් ලැබුනේම නැහැ. දෙමාපියෝ එකතු වෙලා ඉදිරියට කරන්න යන දේ ගැන ඇහුවම කලනිට කියනන් කිසිම දෙයක් තිබුනේ නැහැ. ඒත් සඳුන්ට ඒ ගැන පැහැදිලි සැලැස්මක් තිබුණා.

“අපි මෙහෙ දී මැරි කරන්නම් අම්මේ… මේ ඉන්න තත්වේ එක්ක එහෙ මෙහෙ යන එක මෙයාට අවුල් ඇති කියලා මට හිතෙනවා… ඒත් අම්මලාට ඒක ප්‍රශ්‍නයක් කියලා හිතෙනවා නම්, අපි ඩොක්ටර්ගෙන් අහලා ට්‍රැවල් කරන්න සේෆ් කිව්වම එහෙ ඇවිල්ල මැරි කරන්නම්…. අපි මේ බබාව හදනවා…”

කලනි සඳුන්ගේ අත අල්ල ගත්තා. සඳුන් කලනිගේ දිහ අබලලා කලබල නොවී ඉන්න කියන බැල්ම එක්ක හිනා වුණා.

“අපේ කැමැත්ත ඔයාලාගේ කැමත්ත… “

සඳුන්ගේ තාත්තා ඉස්සෙල්ලාම කිව්වා.

සඳුන් කලනිගේ තාත්තා දිහා බැලුවා.

“රටේ ලෝකේ මිනිස්සුන්ට පෙන්නන්න කිසිම දෙයක් කරන්න ඕනි නෑ පුතා … අපි එහෙට ගිහින් නෑදෑයන්ට කිසි දෙයක් ඔප්පු කරන්න උවමන අනෑ… ඔය දෙන්නා එකට ජීවත් වුනා… අනාගතේ සැලසුම් කලා.. දැන් මේක අනපේක්ශිත දෙයක් …ඒත් ඔයාලා ඒක පිළිගන්න  සූදානම්…. අපි ඔයාලාගේ පිටිපස්සෙන් ඉන්නවා…. මෙහෙ මේ දේවල් ටික කරමු …”

සඳුන් කලනිගේ කර වටේ අත දාගෙන හැමෝටම ස්තූතිවන්ත උනා.

“මේ ලෝකේ හැම අම්මා තාත්තා කෙනෙක්ටම අපි දෙන්නා වගේ දරුවෝ ලැබෙන්න කියලා මම ප්‍රාර්තනා කරන්නේ නෑ.. ඒත් ඔයාලා වගේ දෙමාපියෝ හැම දරුවෙක්ටම ලැබෙන්න ඕනි ..”

සඳුන් එහෙම කිව්වේ අය්‍යලා ආයෙම සඳුන්ව උපහාසෙට අරගෙන කෑ ගහනකොට.

හිත කලබලෙන් ඉන්න එක කලනිට අපහසුවක් බව කියලා, එදාම හවස කලනිව උපදේහන සේවයකට එක්කරගෙන යන සඳුන් දිහාව අම්මලා බලාගෙන හිටියේ සැනසීමෙන්.

තවත් මෙවැනිම කතා

More Stories

Don't Miss


Latest Articles