ඉනික්බිති උදා වූ දවස් වලට යශෝදර වඩාත් රිසි වූයේ ය. පෙර කවර කලෙකවත් නොවූ විරූ තරම් වගකීම් සහගත බවක් ඔහු ගේ හිස මත පැටවී තිබිණ. නමුත් ඒ සියල්ල පුළුන් පොදක සැහැල්ලුවක් බවට පත් වන්නට ගත වන්නේ එසඳි ගේ කිරි සිනහවක් දකිනා තරම් සුළු කාලයකි. නැත්නම් සයුරංගනා ගේ මුව දෑස් වලට එබෙනා තරම් වෙලාවකි.
විවාහය කියනා නීතිමය ලියැවිල්ල නෙත ගැටෙන්නටත් පෙර ම ඔහු සැමියෙකු ලෙස ද පියෙකු ලෙස ද ඔහුට ම දැනෙන්නට පටන් ගෙන තිබිණ. අපාචී කියන විවරණයෙන් අභිසෙස් ලැබූ ඔහු එසඳි ගේ අනාගතය ගැන සැලසුම් හදන්නට ද පටන් ගෙන සිටියේ ය.
මල්කාන්ති ගේ අසනීප ගතිය සුව අතට හැරෙන්නට වූයේ හෙමිහිට ය. ඇගේ රුධිර පීඩනය දින දෙකකට වරක්වත් ආසන්න වෛද්‍ය මධ්‍යස්ථානයකට ගොස් පරීක්ෂා කර ගත යුතු විය. ඇය දිගට ම විවේක ගත යුතු ද වූයේ ය. එහෙයින් රැකියාවට යන අය සඳහා උදේ පාන්දර අවදි වී කෑම පිසීම අම්මා ට තහනම් විය. ටික දිනක් ඔවුහු පිටතින් උදේ හා දිවා ආහාර ගන්නට එකඟතාවයකට පැමිණ සිටියහ. පාරමී දිවා හා රාත්‍රී ආහාර වේල් සකසන්නට භාර ගත්තා ය.
“කඩේ කෑම කනකොට තමයි අම්මගෙ අගේ වැඩියෙන් දැනෙන්නෙ”
“කියල වැඩක් නෑ. එක්කො තෙල්. එක්කො වතුර වගේ. අයියෝ සල්ලි”
“කන්නෑ මන්නං කටක් දෙකක් කාල බඩ රවට්ටල එහෙමම විසි කරනව”
දවස දෙක ගත වෙන විට කඩකෑම ගැන පිරිමි පාර්ශවයේ චෝදනා එන්නට වූයේ එහෙම ය.
“අනේ මේ ඔය රස ගුණ බල බල ඉන්නැතුව කාල දාන එකයි. ඔන්න මටනං කියන්නෙපා පාන්දර නැගිටල උයන්න කියල”
පාරමී කල් ඇතිව ම සිය තීරණය දැනුම් දුන්නා ය.
“තමුසෙගෙ කෑම ගෙනිච්චත් ඉතිං ඒ ටික තමයි. අපි දවල්ට කන කෑමයි රෑට කන ඒවයි අතරෙ කිසි වෙනසක් නෑ. අර රෑට චුට්ටක් ශේප් වෙනව සයූස් කිචන් එකට රිංගන නිසා”
තේමිය පාරමී අවුස්සනු වස් විහිළුවක් කරයි. පාරමී ගේ කෑම වල රසයෙහි අඩුවක් හින්දා ම නොව අයිය මලෝ දෙදෙනා රෑ කෑම එක බෙදාගෙන සයුරංගනා ගේ මුළුතැන්ගෙයට යන්නට පුරුදු වූයේ දවාලේ ව්‍යාංජනයක ඉතිරියක් වුව ඇය පිඟානට බෙදත්දී එකතු කරනා ආදරය නිසාදෝ අමෘතය සේ දැනෙනා නිසා ය. ව්‍යාංජනයක් බෙදමින් ඇය හෙළනා මාතෘ බැල්ම, පිරිමි හදවතක ගිම් නිවනා නිසා ය.
“රංගි අක්කෙ කවනවකො”
කියා ඇතැම් දවසක තේමිය සයුරංගනා ලවා බත් ටික කවෝගත්තා ය.
“මේ ඉලන්දාරි දෙන්නව ඔයා ඕනවට වඩා හුරතල් කරනව රංගි”
එවන් විටෙක පාරමී තරවටුවක් කරයි. නමුත් සිය සහෝදර සමාගමය පූර්ණ වනුයේ සයුරංගනා ද සිටිනා විට යයි දැන් දැන් ඔවුන්ගේ පංචේන්ද්‍රිය ඉක්මවන්නා වූ ඉවකට දැනෙමින් තිබේ. යශෝදර ගේ පිරිමි හදවත ඒ සමාගමයෙහි දී අපරිමිත සැනසීමක් අත්විඳී. ඔහු ගේ ලෝකය එතැන ඉදි වී තිබේ. එසඳි ඇවිත් උකුලට පැන ඔහු ගේ පපුවෙහි මුහුණ තබා ගත් කල යශෝදර ට ආත්ම හතකට සැනසිල්ල සම්පූර්ණ වේ.
දිනක් සයුරංගනා ට මහ පාන්දර අවදි විය. ඇය වෙලාව බලා යහනෙන් පිබිදුණා ය. අවදි වූ එකේ අයිය මලෝ දෙදෙනාටත් ඔවුන්ගේ පියාටත් ගෙන යන්නට බත් මුල් තුනක් බැඳ දෙන සිතිවිල්ලක් ඈ තුළ පහළ වූයේ ඒ හදිසියේ ම ය. සයුරංගනා මුළුතැන්ගෙට වැදී රයිස් කුකරයට හාල් හෝදා දමා ශීතකරණය හැර බැලුවා ය. පැයක් ගත වන විට ඇය කුකුළු මස් කරියක් ද බීට් ව්‍යාංජනයක් ද පරිප්පු හිඳෙන්නට ද පිසුවා ය. එසඳිව පෙර පාසල් යැවීමට සූදානම් කරමින් ම ශීතකරණයේ තිබූ කොස් මැල්ලුම් පැකට් එකකින් මැල්ලුමක් තනා ගන්නට ද ඕ කාල වෙලාව සොයා ගත්තා ය. ලහි ලහියේ කෑම පෙට්ටි තුනකට බත් මාළු පිනි බෙදාගෙන රාමනායක නිවසට දිව ගියේ එසඳි ව ජයරත්න සමගින් ගේට්ටුව ළඟ තබා ය.
තාත්තාත් පුතාලා දෙන්නත් පිටත් වීමට සූදානම් වෙමින් සිටියහ.
“උදේ ඇහැරුන නිසා දෙක තුනක් හදල ගත්ත. වැඩිය දෙයක්නං නෑ”
ඇය කෑම පෙට්ටි තුන මේසය මතින් තැබුවේ ආපසු හැරී දිව එන සූදානමිනි. නමුත් එක මොහොතකට ඈ යශෝදර ගේ දෑස් දුටුවා ය.
“තැන්කූ සුදු මැණික. අද පින් දිදී කනව ඔයාට”
තේමිය කෑගෑවේ ය. යශෝදර ඔහු ට රැව්වේ ය.
“මෙයා රංගිට ආදර වදන් කියන්න ගිහින් කන්න තමයි ඔය හදන්නෙ”
පාරමී ඔවුන්ට පමණක් ඇසෙන සේ විහිළුවක් කළා ය. එසඳිව පාසල් සේවා රියට නංවන විට තේමිය පියාව බස් නැවතුමෙහි බස්වා එන්නට යතුරුපැදියෙහි ගියේ ය. යශෝදර හෙමි හෙමිහිට ගේට්ටුවෙන් පිටතට ආවේ ය. ජයරත්න ගෙතුලට වැදිණ. යශෝදර ගේ ඇස් වල කතන්දර දහසක් ලියැවී තිබිණ. සයුරංගනා එක බැල්මකින් ඒ කතා සිය දෑසින් අවශෝෂණය කර ගත්තා ය.
“තෑන්ක් යූ”
ඔහු සියල් හැඟීම් ඒ වචන දෙකට පමණක් ගොනු කර ගත්තේ ය.
“මොනාටද…”
“හැම දේටම…ලෝබකමක් නැතුව බෙදන ඔයාගෙ ආදරේට. ඒ ආදරේ නිසා මගෙ උං සතුටෙන් ඉන්නව දකිනකොට…”
ඔහු ට ඊට වඩා ඒ ගැන යමක් පවසා ගත නො හැකි විය. උගුරෙහි හිර වීමක් ඇති වූයේ ය. ඇස් වල තෙතමනයක් දිස්න දුනි.
“එහෙනං මාත් තෑන්ක් කරන්න වෙනව”
සයුරංගනා මුදු සරින් තෙපලා ය. ඊට වඩා ඇගේ ඇස් කතා කරමින් තිබිණ.
“මගෙ කෙල්ලට එච්චර ආදරයක් දෙනවට…එයාට එයාගෙම අපාචි ගැන මතක අමතක වෙලා යන තරං ආදරේ කරනවට…”
“මගෙනෙ ඉතිං…”
ඇය නෙතු පිය නගා බැලුවා ය. ඇස් පිල්ලම් තෙත් වී තිබිණ.
“ඒ කෙල්ල වගේම එයාගෙ අම්මත්…”
තේමිය රැගත් යතුරු පැදිය පවනට බඳු වේගයෙන් පෙත් මගෙහි ඉහළට ආවේ ය. අයියා මල්ලී පසුපසින් හිඳගත්තේ ය.
“එනකොට ඔයාට ගේන්න ඕන මොනාද කියන්න මගෙ සුදු අක්කෙ”
“මුකුත් ගෙනාවෙ නැතුවට කමක් නෑ. හැබැයි ඔය ආව වේගෙන්නං යන්නෙපා හරිද…මෙයාට දෙන්නැතුව ඔයා බයික් එක ගත්තනං ඉවරයිනෙ යශෝදර. මෙයා ඉගිල්ලෙනව”
“හරි හරි. පිටිපස්සෙ ඉන්න එක්කෙනාට සීරීමක්වත් වෙන්න දෙන්නෑ. ඒකනෙ වෙන්න ඕනෙ…”
“මොන පිස්සෙක්ද මන්දා”
සයුරංගනා ගේ කෝපි මල් සිනහව පිපෙත්දී ම යතුරුපැදිය ගැස්සී ඉදිරියට ගියේ ය. යශෝදර යන්තම් පිටුපස හැරී බැලුවේ ය. සයුරංගනා ගේ දෙතොල් පෙති වලට හිර වූ ඉසිහින් මන්දස්මිතය පවා ඔහු මැනවින් දුටුවේ ය.
හැන්දෑවේ යශෝදර එන විට සුපිරි වෙළෙඳ සැලට අදාල කොළ පාට බෑග් දෙකක් ම බයිසිකලයේ එල්ලා ගෙන ආවේ ය. පෙත් මගින් බයිසිකලයට ගොඩ වූ එසඳි ව උස්සා බිමින් තබා ඔහු ඒ මල්ලක් සයුරංගනා ගේ කුස්සියට ම ගෙන ගියේ ය. ඇය ඔහු පසුපස එහි විත් තිබිණ.
“ඇයි ඔය…”
“හෙටත් උදේට බත් එකක් හදල ඕනෙ”
“ඉතිං අනේ…”
“උදේට හදන්න මොනාත් ගෙයි තියනවද දන්නැති නිසා ගෙනාවෙ. කෑම එක රසයි ආ…අර කොස් මැල්ලුම මට කන්න හම්බුන්නැති තරං…කොල්ලො සෙට් එක ඒක තප්පරේට ඉස්සුව”
“මං ආයි හදල දෙන්නං”
යශෝදර දෑත් සාක්කු වල ඔබා ගෙන හිස මඳක් ඇද කොට ගෙන ඇදෙස බලා සිටියේ ය. ඔහු ගේ මුහුණ මත යන්තම් දහඩිය බිඳු නැගී තිබිණ. වෙහෙසට පත් වත මඳක් අඳුරට හැරී ඇති බව ද ඇයට දැනිණ.
“මහන්සිද..”
ඇය මුදු භාෂිතයෙන් විමසුවා ය.
“දැං නිවුණ”
“මං තේකක් හදන්නං”
සයුරංගනා විද්‍යුත් කේතලයේ පේනුව සවි කරනා විට පිටුපසින් යශෝදර ගේ සමීප වීමෙහි උණුහුම නො දැනෙන ගාණට දැනිණ. ඇය හිටියේ කර කැපූ සැහැල්ලු ගවුමක් හැඳ ය. හවස දිය නා තිබි හින්දා උනා දැමූ වරල එක් උරයකින් ඉදිරියට වැටී තිබිණ.. නිරුවත් වූ අනිත් උරය කිරි ගරුඬ පැහැයෙන් බැබළිණ. අක්බඹර රොදක් ඒ ගෙල සිප ගෙන සිටියේ ය. සයුරංගනා හැරෙන්නට පෙර ඒ අක්බඹර රොද පතිත වූ ගෙල සිප ගන්නට යශෝදර සමත් විය. විදුලි දහරක් සයුරංගනා ගේ සිරුර දිග දිව ගියේ ය. ඒ තරංගයෙහි කම්පනය ඇය හැරෙත්දී ඒ දෑස් මත සුසර වෙමින් තිබිණ. වැලමිට සන්ධියට කමිස අත් නැවූ ඒ අත් බාහු වල රෝම කූප වලින් කාන්දු වූ අන්වීක්ශීය දහදිය අංශුවක් පවා ඇය දුටුවා ය.
“ආදරෙයි”
රැවුල් කොට වලින් ගහන වූ යශෝදර ගේ මුහුණේ සයුරංගනා ගේ ඇස් නතර විය. ඔහු ගේ තැඹිලි පාට තොල් කොනක් වෙව්ලා ගියේ ය. ඒ වචනය පිරිමි මුවකින් ඇය ඇසූ පළමු වතාව ඒ බව තහවුරු කරගනු වස් සයුරංගනා මතකය දිග මොහොතක වේගවත් ගමනක් ගියා ය.
“අපාචි…එන්නකො අපි බිල්ඩින් බ්ලොක්ස් වලින් ලොක් කූ පැලස් එකක් හදමු”
එසඳි ඇවිත් යශෝදර ගේ අතැඟිල්ලකින් අල්වා ගත්තා ය. යශෝදර පහත් වී දැරිය වඩා ගත්තේ ය.
“අපි ලස්සන පැලස් එකක් හදාගමු..ඔයා තමයි ඒ පැලස් එකේ ප්‍රින්සස්”
“එතකොට අම්මි…”
එසඳි දෝතින් ම යශෝදර ගේ මුහුණ ඇය වෙතට හරවා ගත්තා ය. හැම විට ම ඇය ඔහු ගේ මුළුමහත් අවධානය ම බලාපොරොත්තු වන්නී ය.
“අම්මි තමයි ක්වීන්”
යශෝදර එක් අතක් සයුරංගනා ගේ බඳ පිටුපසින් යවා යන්තමින් ඇය ඔහු වෙතට ලං කොට ගත්තේ ය.
“ඔය දෙන්න ළඟදි මං නිකංම රජෙක් වෙනව”
සිය බඳ අල්වා ගෙන සිටිනා යශෝදර ගේ අත, සයුරංගනා ඉතා තදින් මිරිකා අල්වා ගත්තා ය. ඒ මොහොත එතැන එහෙම ම නතර කර ගන්නට ඇත්නම් යන හැඟීමෙන් ඇය දෝරෙ ගලමින් සිටියා ය.