ශයිනි හෝටලයේ නොමැති වගට තහවුරුවක් ගැනීමට අකලංක ට තිබූ එකම ක්‍රමය ඇයට කෙටි පණිවිඩයක් යැවීම වු නිසා අකලංක අමයුරු දිසානායක ගේ ගිණුමට පිවිසියේ ය. ඇය සිටින්නේ නුවර සිට පැමිණෙන අතර වාරයේ වග පැවසිණි. යම් කාරණා කිහිපයක් පැහැදිලි කරගැනීමට අවශ්‍ය නිසා සවස හයට පමණ මැසෙන්ජර් ඇමතුමක් ගන්නා ලෙස පවසා අමයුරු ගේ ගිණුමෙන් බැහැරට වූ අකලංක ප්‍රබාත් ට හිස සැලුවේය.
දෙදෙනා දිවා ආහාරය ඇණවුම් කර ගෙන්වා ගත්තේ කාමරයටය. කාමරය වෙන් කලේ ප්‍රබාත් නමටය. දිවා ආහාරය ගෙන අවසානයේ දෙදෙනා වෙන් වෙන්ව හෝටල් බිමෙහි ඇවිද යමින් කාර්‍යමණ්ඩලය බිලීබා ගැනීමෙහි නියැලුණෝය. අකලංක ඉතා පහසුවෙන් වේටර්වරියන් දෙදෙනෙක් කතාවට අල්ලා ගත්තේය. එසේ වුවද ශයිනිගේ ගුණ වැයීම් මිසෙක අන් තොරතුරක් ලැබුණේ නැත. ප්‍රබාත් වෙතින් තිබුනේද එවන්ම තත්වයකි. ලැබුණ බෝනස් නිසා එහි දැන් සිටින්නේ ශයිනි වන්දනාමාන කරන්නට පවා සූදානම් කාර්‍යමණ්ඩලයකි.
සවස පහට පමණ දෙදෙනා හෝටල භූමියෙන් පිටත තොරතුරු සෙවීම සඳහා සංවිධානය වූහ. අසල මාවත් දෙකෙහිම කුඩා කඩ කරමින් උන් අයෙකු හා ඇරඹූ සල්ලාපය ඔවුන් සොයා ආ කාරණාවට මාවතක් තැනුවේය
” හෝටලේ ඉන්නේ මහම කුම්මැහියෝ…හෝටලේ දහ ජරාව ඔක්කොම පිටිපස්සෙන් බට දාලා ගඟට දාන්නේ… උන්ට ලේසිවට… ඒකට මිනිස්සු උද්ඝෝෂණය කරාම පොලිස්සිය ගෙන්නොලා මිනිස්සුන්ට තග දාලා වැඩේ ඉවර කෙරෙව්වා..
දැන් බොරුවට එතන මඟුල් පෝරු හදන ස්ටේජ් එකක් ගහලා … එතන තමා මහත්තයෝ ඒත් ගලිය තියෙන්නේ… වලක් කපලා ඒකට ජරාව යන්න නොදී, මේ අහිංසක මිනිස්සු ඇඟ පත හෝදගන්න, සත්තුන්ට බොන්න දෙන ගඟට අරිනවනේ…”
අකලංක වඩා උනන්දු වූයේය. හෝටලය තුළින් ගං පෙදෙසට යන මං සලකුණු හිතෙන් සකසා ගත්තේය. අවශ්‍ය නම් බෝට්ටු සංචාරයක් වුවද ඉල්ලා ගත හැක. හෝටලය බෝට්ටු සංචාර සඳහා ආරක්ශාකාරීව පහසුකම් සපයන බව ප්‍රදර්ශනය කර තිබූ බව ඔහුට මතකය.
දෙදෙනා යළි හෝටළය තුළට පිවිසියේ අඳුර සමඟය. රාත්‍රී ආහාරය ද කාමරයටම ඇණවුම් කර ගත් දෙදෙනා මොණරවිල හොටෙල්ස් පිළිබඳව තොරතුරු ලබා ගැනීමට ගාල්ල මහ නගර සභාවේ නිළධාරියෙකු වෙත යොමු කල යුතු ලිපිය සම්පාදනය කලෝය.
රාත්‍රී ආහාරයෙන් පසු දෙදෙනාට දෙදෙනා කිසිත් දොඬමළු වූයේ නැත. ප්‍රබාත් ජංගම දුරකතනයෙන් චිත්‍රපටයක් නරඹන්නට වැටුණේය. අකලංක යමක් ගලපා ලියන්නට උත්සාහ කරමින් උන්නේය. දෙදෙනා නින්දට වැටුණේ එකිනෙකට වෙනස් මානසිකත්ව සමඟිනි.
පසුදින ප්‍රබාත් ඇහැරෙන්නට පෙරම අකලංක පෝරු ඉදිකිරීම වෙනුවෙන් සකසා තිබූ පීඨිකාව නැරඹීමට ගියේ, මංගල උත්සවයක් උදෙසා සුදුසු බව පරික්ශා කිරීමට අවැසි වග පවසමිනි. එය පැහැදිලි කිරීමට පැමිණි සේවකයා උපරිම වෙර දරමින් විවාහ දිනය හෝටලය සඳහා ලබා ගන්නට උත්සාහ කරමින් උන්නේය. අකලංක උන්නේද ඔහු වෙත පතිත වන බෝලයට සුපරික්ෂාකාරීව පහරදෙන ප්‍රතිපත්තියේය.
සේවකයා සමඟ දෙබසින් සොයා ගත හැකි වූ කාරණාව එහි වූ වේදිකාව අලුතින් ඉදි කල බව පමණි. අකලංක ඉන් පසුව පසෙක වූ උද්‍යාන අලංකරණ කාන්තාවක හා කතාවට වැටුණාය. ඇය උන්නේ ශයිනි හා කෝපයෙනි.
මින් පෙර කාමර පිරිසිදු කිරීමේ අංශයෙහි උන් ඕ යම් හේතුවක් නිසා පිටත මිදුල් ප්‍රදේශයට මාරු කර දමා තිබුණි. ඕ දැන උන් සියල්ල ඉතා පහසුවෙන් වැමැරුවාය. කුඩා ස්කැවේටරයක් මඟින් කාණු කපා, බට එලා ගඟ දෙපස වූ කඩොලාන අතරින් අපද්‍රව්‍ය බැහැර කෙරෙන ආකාරය ඕ හොඳින්ම දැන උන්නාය.
අකලංක සහ ප්‍රබාත් පෙරළා නවාතැනට පැමිණියෙර් එදිනම රෑ බෝ වෙද්දීය. ශයිනි සමඟ කතා බහ අකලංක සිතා මතාම මඟ හැර පසුදිනට කල් තැබුවාය. ගෙවන්නට පොරොන්දු වූ මුදලින් ඇය අර්ධයක් තැන්පත් කර ඇත. මෙම ලිපිය පල වූවාට පසු ඇය ඉතිරි අර්ධය ගෙවන්නේ නැති වග අකලංක හොඳින්ම දනී. එහෙයින්, එම මුදල් පිළිබඳව යම් එකඟතාවකට පැමිණීම වැදගත්දැයි ඔහු සිතුවේය
“දැන් උඹ කොහොමටත් ඔය ලැබුණු සල්ලි වෙල්ෆෙයාර් එකෙන් අර ඉස්කෝලෙට දාන එකේ ආයේ සල්ලි ඕන් නෑ බං..එතන තුනක් නෙහ්…”
ප්‍රබාත් උන්නේ අකලංක ගේ වෙස් මුහුණු ජීවිතයේ මේ කාර්‍යාය ගැන යම් අපැහැදීමකිනි. ශයිනිගේ මුදල් ලබා ගන්නා කාරණයට සියයට සියයක් ප්‍රතිවිරුද්ධ කාරණාවක් සිදු කර ඇය අපේක්ෂා භංගත්වයට පත් කිරීම පිළිබඳව ප්‍රබාත් උන්නේ පැහැදීමෙන් නොවේ. එහෙත්, මොණරවිල හොටෙල්ස් තුළින් සිදු දන පරිසර ව්‍යසනය සඳහා සාක්ශි හොඳින්ම ලැබුණාට පසුත් අකලංක නැවැත්වීමෙ උවමනාවක් ඔහුට තිබුණේ ද නැත.
අකලංක රැය නිදි වරා ලිපිය සම්පාදනය අවසන් කලේය.කිහිප වරක්ම යළි යළි සැකසුම් කරමින්, වඩා ආන්දෝලනාත්මක වැකිය මාතුකාව ලෙස උපුටා ගත්තේය
“ගිං ගං කොමළිය – වනසන කොමළිය”
ප්‍රබාත් හිස පසෙකට ඇල කර, ඇස් හීනි කර අකලංකට දුන්නේ ධනාත්මක බැල්මකි. පත්තර රස්සාවේ ඉව අකලංක ට කොහොමටත් තියෙන බවට ප්‍රබාත්ට මීට වඩා ඉඟි අවැසි නැත.
උදෑසන දෙදෙනාටම නැවුම් බලාපොරොත්තු සමඟ විය.
“අද අර ශූට් එකෙ ඇඳුම් ටික පොඩ්ඩක් ෆයිනලයිස් කරගන්න එන්න පුලුවන් ද ඇහුවා බං…”
ප්‍රබාත් කීවේ දෙදෙනා පිටත්ව යන්නට සූදානම් වෙද්දිය.අකලංක හිසසැලුවේය. ලිපිය පුවත්පතෙහි ඊමේලයට දමා අවසන් නිසා, සංස්කාරකවරයා ගේ ඇමතුම බලාපොරොත්තුවෙන් අකලංක උදේ වරුවට විශේෂ වැඩක් යොදාගෙන තිබුණේම නැත.
ශයිනි හා ඇමතුමට සම්බන්ධ වීමද යුතු නැතැයි සිතමින්, ඔහු ඇය අවහිර කර දැම්මාය. හිතට දැනෙන වටහා ගත නොහැකි තිගැස්මේ හේතුව නිසා ඔහු කිහිප වරක්ම වතුර වීදුරු කිහිපයක් ම හිස් කලේය.
“මොකෝ උඹ…”
ප්‍රබාත් විමසුවේ, එක තැනක නොඉඳ නවාතැනෙහි එහෙ මෙහෙ යන මිතුරා දෙස බලමිනි. අකලංක එයටද කිසිත් නොපවසා හෙල්මටයද ගෙන පිටතට ආවේය.
ප්‍රබාත් එනතුරු ඔහු යළි අවහිර කර තිබූ ශයිනි මොණරවිලගේ මැසෙන්ජර් සාකච්ඡාව කියෙව්වේය.
“අපරාදේ.. මේකිගෙන් සල්ලි නොගෙන ඉන්න තිබුණා…”
ප්‍රබාත් එය අනුමත කරමින් හිස සලමින් මෝටර් සයිකලයට නැග්ගේය.
“ඔව්.. දැන් අස්වයා පැනලා ඉවරයි …”,
” විස්සෝප වෙන එක නවත්තපං…”
අකලංක එයට හිස සැලුවේය. ප්‍රබාත් මෝටර් බයිසිකලය පණ ගන්වා ගේට්ටුවෙන් පිටතට දැමීමෙන් පසු, ගේට්ටුව අගුළු දමා අකලංක යතුරු පැදියට ගොඩවූයේය. ඇත ; යම් කණස්සලක් ඇත. අකලංක දිගු සුසුමක පැටලෙන්නට තීරණය කලේය.
උදෑසන වරුවම ගෙවුණේ ඇඳුම් තෝරාගැනීම් කටයුතු සඳහාය. අකලංක පැමිණ ඇති වග දැනගෙන බන්ධනාද කඩිමුඩියේ අදාල වෙළඳසැල වෙත ආවාය. ඇය පැමිණෙන විට අකලංක උන්නේ සියළු කටයුතු අවසන් කර, පිටව යන්නට සූදානම් වෙමිනි. එහෙත් බන්ධනාගෙන් ඉඩක් ලැබුණේ නැත. ඕ ඇඳුම් තෝරාගැනීම සඳහා පසුදින එන වග පවසා අකලංක සමඟ කෝපි කෝප්පයක් බොන්නට යන්නට සූදානම් වූවාය.
පැමිණියේ යතුරු පැදියේ වග පැවසූවාට, ඇයට ඉහිළුම් තිබුණේ නැත. ඕ වහා පික් මී මෝටර් රියක් සඳහා වෙන් කිරීමක් දැම්මාය.
| අපේක්ෂා ගුණරත්න |