මා හද තුළ ඔබ 03

මත්තෙගොඩ- පිටකොටුව බස් රථය ඉදිරියට ධාවනය වෙමින් තිබිණ. වහ වහා සිය රියෙන් බැස ගත් සමනල් දිවයුරු රණසිංහ, එදෙස බලා ගත්තේය. වංගුවෙන් හැරී බසය නො පෙනී ගිය පසු ඔහු ට සුසුමක් හෙළිණ. මේ වගේ උදෑසන කාර්ය බහුල හෝරාවක ඔය බසය හඹා ගොස් පලක් නැති බව ඔහු දනී. අනිත් අතට එසේ වීම මගින් තඹරු කෝප වන්නට වුව බැරි නැත. ඇය වූ කලී සාමාන්‍ය ස්වරූපයේ කෙල්ලක නොවේ. එනයින් ඇගේ හිතට අත තැබිය යුත්තේ ප්‍රවේසමෙනි. එය ඇයට වදයක් නොවෙනා පරිදි ය. ප්‍රථම පියවර වශයෙන් මේ ප්‍රමාණවත් යයි සිතමින් සමනල් රියට නැගිණ. මුලින් ම කළ යුත්තේ ඇය ඔහු ට විශේෂ බව තඹරු ට දැනෙන්නට හැරීමයි.

ඔහු ඊළඟ පියවර තැබුවේ හැන්දෑවේ ය. එදා උදේ වරුවේ වැදගත් ව්‍යාපාරික හමුවක් පැවතිණ. ඔහු බිග්මැච් මිතුරන් වෙත ගියේ ඉනික්බිති ය. පිට්ටනියේ දී දන්නා කියන ගෑනු ළමයෙකු ගෙන් බොළඳ උදව්වක් ඉල්ලන්නට ඔහු ට සිදු විය. එනම් කේක් ඇන්ඩ් කොෆී වෙත කතා කොට තඹරු ව දුරකතනයට කැඳවා දෙන ලෙසයි.

“මොනා…ද හලෝ…තාම මේ වගේ සීනිබෝල වැඩ කරනවද…අපිනං මේව ඉස්කෝලෙං අස් වෙනකොටම නැවැත්තුව”

“හරි හරි පැහෙන්නැතුව උඹ ඔය කෝල් එක ගනිං”

ස්ථාවර දුරකතනයට පිළිතුරු දුන්නේ රන්මුතු ය. තරුණියක කතා කොට තඹරු ව ඉල්ලූ විට ඈ ඉහළ මහල දෙස බලා,

“බබූ…මේ කෝල් එකක් ඔයාට”

කියා හඬගෑවා ය. සමනල් ගේ දුරකතනය සවනේ තබා ගෙන උන් යුවතියට සිනහ නැඟිණ. ඇය ඒ සිනහව පාලනය කර ගත්තේ අතින් මුව තද කොට ගෙන ය.

“බබෙක්වද උඹ මේ දාං ඉන්නෙ..”

නොසන්සුන් කැළඹීමක් තුළ දියවෙමින් සිටියා මිස සමනල් පිළිතුරු දෙන්නට ගියේ නැත.

තඹරු ඉක්මනින් පිය ගැට පෙළ බැස ආවා ය. නමුත් ඈ තුළ කුහුලක් තිබිණ.

“කවුද මේකට ගන්නෙ…”

රන්මුතු දෙඋරහිස් හැකිළුවා ය.

“හෙලොව්”

යුවතිය අතින් දුරකතනය සමනල් අතට මාරු විය.

“ඕන්නං මට උදේ බස් එක ෆලෝ කරන්න තිබුණ. මං එහෙම කළේ නැති වුණාට..”

ඒ මුරණ්ඩු හඬින් තඹරු හෝරා ගණනක් පස්සට විසි වූවා ය.

“මට මොබයිල් නම්බර් එක දෙන්න”

“මොකටද..”

තඹරු ඒ තනි වචනය පිට කළේ හැකිතාක් තමන් පාලනය කොට ගෙන යි. මේ කතා බහ අම්මාට අමුත්තක් නො දැවිය යුතු ය.

“ෆෝන් නම්බර් එකක් ඉල්ලන්නෙ කතා කරන්න කියල ඔයා දන්නවනෙ”

“නෑ…මං හිතන්නෙ ඕන නෑ”

කේන්තිය සාමාන්‍ය වචන වලින් බැහැර කිරීම කෙතරම් අසීරු දැයි ඇය මේ අත්විඳින්නේ ප්‍රථම වතාවට ය. සමනල් ගේ මුව මත අඩ සිනහවක් විය. ඔහු වූ කලී ලෙහෙසියෙන් පරාජය බාර ගන්නා කොල්ලෙකු නොවේ. අවශ්‍ය දේ කෙසේ හෝ තමන් සතු කර ගන්නා මුරණ්ඩු හිතුවක්කාරකම මතක සන්දියේ පටන් ඔහු සතු ය.

“හරි ඔයා මොබයිල් නම්බර් එක දෙන්නැත්තං මට දිගටම ලෑන්ඩ් ලයින් එකට කතා කරන්න වෙයි”

තඹරු දත් ඇඳි තද කොට ගත්තා ය. මේ කොල්ලා නම් මහා කරදරකාරයෙකි. නමුත් අම්මා ඔබ මොබ සරණ නිසාවෙන් ඔහු ට ලුණු ඇඹුල් ඇතිව යමක් කියන්නට ඇයට නො හැකි ය. අනිත් අතට මේ හිතුවක්කාරයා දිගින් දිගට ම ස්ථාවර දුරකතනයට කතා කරන්නට ගතහොත් අම්මා නිසැකව ම ඒ ගැන ප්‍රශ්න කරන බව තඹරු දනී. පිරිමි ළමයින් ගැන ගෙදරින් විමසීම් ඇයට පුරුදු ම නැත. විවාහ වන වයසේ සිටියාට, පිරිමි ළමයෙකු ගැන අම්මලා අස කතා කරන්නට වුව ඇය තවමත් ලැජ්ජාශීලී ය.

“මොකද කියන්නෙ…ඔය දෙකෙං කෝකද හොඳ..”

තඹරු ජංගම දුරකතන අංකය කියා ගෙන ගියා ය. ජයග්‍රාහී සිනහවකින් සමනල් එය ඔහු අත වූ අනිත් දුරකතනයෙහි සනිටුහන් කොට ගත්තේ ය. ඉනික්බිති ඇය රිසීවරය තැබුවේ සමුගැනීමකින් හෝ තොරව යි. හිතේ වූයේ රිසීවරය දමා ගසන්නට තරම් කේන්තියකි. නමුත් අම්මා සිටින නිසා ඈ එය තැබුවේ මල් වට්ටියක් තරම් පරිස්සමෙනි.

“කව්ද…”

“පරණ යාළුවෙක්. එයා ළඟ මගෙ මොබයිල් නම්බර් එක තිබිල නෑ”

එපමණකි. රන්මුතු දියණිය ගේ හැම දේ ම ප්‍රශ්න කරන්නේ ඈ ගැන අහිතකින් නොවේ. පුරුද්දට ය. තඹරු වූ කලී ඇගේ හොඳ ම මිතුරියයි. ඈ කුඩා සා වියෙහි පටන් ම හිතේ තියෙනා හැම දුකක් කරදරයක් ම වක්කඩ කැඩුවා සේ රන්මුතු කියවූයේ දියණිය සමගිනි. ඇතැම් විට ඒවා තඹරු ට තේරෙන්නට ඇත. ඇතැම් විට නො තේරෙන්නට ද ඇත. නමුත් ඇය කුඩා කල පටන් ම හැකි තාක් අම්මා සනසා තබනා ආදරණීය දියණියක වූවා ය. වචන වලින් උපදෙසක් දිය නො හැකි වෙලාවක නම් අම්මා ගේ හිස පිරිමැද කොපුලෙහි හාදුවක් තැබුවා ය. සිය ජීවන පිරිපත දියණිය සමග බෙදා හදා ගැනීමෙන් රන්මුතු සැහැල්ලුවක් ලැබුවා ය. තඹරු ද පුරුදු වූයේ දෛනික ජීවිතයෙහි සිදු වන සෑම සියලු දෙයක් ම ගිරවියක සේ අම්මා සමග දොඩවන්නටයි. පාසලේ දී ද ඉනික්බිති විශ්ව විද්‍යාලයේ දී ද සිදු වූ සියල්ල ගෙදර ඇවිදින් ඇය අම්මා ට ඇසෙන්නට කීවා ය. සඳැස් ඊට ප්‍රතිවිරුද්ධ ආකාරයේ දරුවෙකි. ඔහු ගෙන් වචනයක් ගන්නවා යනු ඉබ්බන්ගෙන් පිහාටු ගැනීමක් සරි වේ. සියල්ල තිබුණේ ඔහු ගේ හදවත තුළ ය. ඒ කිසිවක් කිසිවෙකුට නො පෙන්වා සිටීමට ඔහු ප්‍රවේසම් විය. විටෙක මේ ගැන රන්මුතු කණස්සලු වූවා ය.

“තාත්තණ්ඩිම තමයි”

පුත්‍රයා සම්බන්ධයෙන් අම්මා හිත හදා ගත්තේ එසේ සිතා ය.

කවදාවත් නැතිව මේ සිදුවීමේ දී අම්මාගෙන් යමක් වසංගන්නට වීම ගැන තැවුලෙනි තඹරු යළි කාමරයට ගියේ. බිග් මැච් කොල්ලන්ගේ කරදරය ගැන ද පෙර දා කීවාට, තරු ඇස් ඇත්තා උදේ මත්තෙගොඩට පැමිණ සිටි බවක් නො කියා ඇය ඒ රහසක් සේ හදවතේ තියා ගත්තා ය. අම්මා ට නො කියා හිත තුළ සඟවා ගත් එක ම රහස එය බවට පත් වූයේ එසේ ය. දැන් කතා කළේ ඔහු බව ද ඇය නො කීවා ය. ඒ අනුව දැන් රහස් දෙකකි. මේ කොල්ලා කරන්නට යන්නේ කුමක් ද?

උදේ අනපේක්ෂිත ලෙස ඔහු දුටු විට සැබවින් ඇය කැළඹී ගියා ය. වහ වහා බසයට ගොඩ වූ පසුවය ඇය ඒ සිදුවීම ගැන යළි මෙනෙහි කළේ. එසේ නම් පෙර දා නුගේගොඩ සිට මත්තෙගොඩ බසය හඹා විත් තිබෙන්නේ තරු ඇස් තියෙන කොල්ලා ගේ උවමනාවටයි. ඒ කැබ් රිය පැදවූයේ ඔහු ය. නමුත් අද ඔහු පැමිණ සිටියේ එම රියෙහි නොවේ. එක වතාවක් පමණක් අහම්බෙන් දුටු කෙල්ලක ඒ විදිහට හඹා යන්නට කොල්ලෙකුට සිතිය හැකි ද? එසේ නම් ඒ ඇයි?

“මොන එකක් නිසා හරි අන්තිමට වුණේ මට හිටගෙන චප්ප වෙලා බස් එකේ යන්න වෙච්ච එක”

ඇය කේන්තියෙන් සිතුවා ය. සල් ගස් හන්දියෙන් බසයට නො නැගී මත්තෙගොඩ බස් නැවතුම තෙක් ඇය උදේට ඇවිද යන්නේ එතැනින් නැග කවුළුවක් අයිනේ හිඳගෙන රීඩ් මාවත තෙක් ම කල්පනාවක් දමා ගෙන යා හැකි නිසාවෙනි. කලබල වී ඒ අවස්ථාව අහිමි කර ගත් මෝඩ කම යයි, සෙනග ගොඩේ තෙරපෙත්දී ඇය සිතුවා ය.

ජංගම දුරකතනයට නැවත ඔහු කතා කරාවියි සිතුව ද එසේ වූයේ නැත. දිය නා ඇඳට වැටුණ තඹරු ගේ නෙතු පියවීගෙන එන වෙලාවේ ට්‍රම්පට් හඬින් ඇය තිගැස්සී අවදි වූවා ය.

“බබූ…බබූ…අනේ චුට්ටක් එන්නකො පැටියො”

රන්මුතු ගේ හඬ ද ඒ අතරින් ඇසිණි. තඹරු ඇඳෙන් බිමට පැන්නා ය. ඇගේ හද ගැස්ම සිය දහස් වතාවකින් උච්ච වී තිබිණ. අඩ නින්දකින් පිබිදී, ටිකකට පෙර දිය නා ගෙන සිහිලැල් වූ කෙල්ලක තිගැස්මෙන් පිය ගැට පෙළ බැස එන හැටි සමනල් දිවයුරු රණසිංහ බලා සිටියේ ඇස් වල සිනහවක් තවරා ගෙන ය.

“අනේ බබූ චුට්ටක් උදව් කරන්න මැණික”

කෝපි හදන්නට සැරසෙන ගමන් රන්මුතු කලබලයෙන් කීවා ය. තරු ඇස් තඹරු ගේ ඇස් වල ගෑවෙමින් නො ගෑවෙමින් තිබිණ. මේ කොල්ලා අල්ලන්නට හදනා කස්තිරම කුමක්දැයි නො දැන ම යුවතිය බන්දේසි වල වූ කෑම මේස මත තැබුවා ය. සමනල් ගේ මුළු මුහුණේ ම වූයේ ජයග්‍රාහී බවකි. තඹරු කියන්නේ අභියෝගයක් නම් ඔහු ඒ අභියෝගයට මුහුණ දෙන්නට ඉත සිතින් සූදානම් ය. මුලින් ම ඔහු ට උවමනා ඇගේ හදවත මත සලකුණක් තබන්නටයි.  ඔහු ට ඇය කෙතරම් විශේෂ ද යන අදහස ඈ තුළ කාවද්දන්නටයි. ඒ වෙනුවෙන් කළ හැකි ඕනෑ ම දෙයක් කරන්නට ඔහු සූදානම් ය.

“අවන් එකේ කේක් එකක් තියනව. මං ඒක ගේනකල් ඔයා පොඩ්ඩක් බලන්න”

කියමින් රන්මුතු මුළුතැන්ගෙට දිව්වා ය. තඹරු අයකැමි කවුන්ටරයේ අසුනට බර වී කැල්කියුලේටරය මත අතැඟිලි දිවවූයේ ඉක්මන් හුස්ම සන්සුන් කර ගැනීමේ උත්සාහයක් දරමිනි. ඒ අවසරයෙන් සමනල් අයකැමි කවුන්ටරය ළඟට වූයේ ය. කොල්ලන් සූ දමන්නට ද ට්‍රම්පට් වයන්නට ද පටන් ගත්හ. එක් වැලමිටක් කවුන්ටරයට බර කොට ගෙන, පැත්තකට ඇල වී අඩ සිනහවකින් හිඳිනා ඔහු ඇගේ ගැහැනු පපුවේ පදාසයක් නාය යවන්නට සමත් වූයේ ය. හුස්ම අල්වාගෙන වාගේ ඇය දෑස් ඔහු වෙත දැල්වූවා ය.

“හරි හරි ඔහොම යං සමනල්”

කොල්ලෙකු හඬගෑවේ ය. සමනල්! ඒ නමින් ඇගේ සවන් පිරිණ.

“චුට්ටක් හිනාවුණාට මුකුත් වෙන්නෑ”

ඔහු මිමිණුවේ ය. ඇය තමන්ට ම රවා ගත්තා ය.

“හෙට උදේටත් මං එතන ඉන්නව. කා එකට නැග්ගෙ නැත්තං කැම්පස් එක ළඟට වෙනකල් පස්සෙං එනව. හවසටත් ආයෙ මේ වගේ මෙහෙට එනව”

කේක් තැටිය ඔසවා ගෙන එන රන්මුතු දුටු ගමන් සමනල් මඳක් ඉවතට හැරී ශීතකරණයෙන් සිසිල් බීම බෝතලයක් ගත්තේ ය. කන් වලින් දුම් දමන්නා සේ ද කම්මුල් පුපුරු ගසන්නා සේ ද තඹරු ට දැනෙමින් තිබිණ. අහම්බෙන් මහ මගදී දුටු කොල්ලෙකු මේ තරම් සිය හදවතට බලපෑම් කරනා කරදරකාරයෙකු වෙතැයි කොහොම හිතන්න ද?

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles