සඳක් කළ සක්මන් -13

ආකාශ් සඳයුරු ගුරුගේ මේසය වෙතට ඇවිත් දෑත් එහි තබා ගෙන මවෙතට බර වූයේ ය. හිරු දුටු හිම පියල්ලක් සේ, මට දැනුණේ මා දිය ව යන්නට පටන් ගෙන ඇති බවකි. 

“ඔහොම එන්නැතුව ඉන්නෙපා පූජා…මං කොහොමද ඔයාව දකින්නැතුව ඉන්නෙ…”

තව දුරටත් මා කියා කෙනෙක් නැති තරමට මා දිය ව ගිය සෙයක් දැනෙන්නට වූයේ ය. මම බිම බලා ගෙන ම සිටියෙමි. ඔහු මවෙත නැඹුරු වී ගෙන සිටියේ ය. ඒ හුස්මක් පවා මගේ මුහුණේ වැදෙන තරම් විය. 

“හෙලෝ හෙලෝ” කියන නෙරංජලා ගේ හඬ ආලින්දය දෙසින් ඇසුණේ ය.

“කෝ අනේ කවුරුත් නෑනෙ. බොර්වට රිං කරනව….අපිට මේ ගෙවල් වල වැඩ නෑ වගේ”

කියමින් ඇය ආලින්දය දිගේ එන බවක් දැනිණි. සියත වූ ජංගම දුරකතනය දෙස බලාන ආකාශ් යමක් සිදු කළේ ය. නැවතත් ගෙදර දුරකතනය හැඬවෙන්නට විය.

“ඔයා ද ඒක කළේ…”

මා ඇසුවේ ගෙදර දුරකතනය හඬවා නෙරංජලා ව මෙතැනින් යවීම ගැන ය.

“ඇත්තටම මං ආදරෙයි. එග්සෑම් ඉවර වෙනකල් මං ඒක හිතේ තියං හිටියෙ ඔයාට නිදහසේ ඒ වැඩේ කරගන්න දෙන්න ඕන නිසා”

“අනේ අයියෙ…නොකෙරෙන දේවල් ගැන කතා නො කර ඉමු”

“මොකද්ද නො කෙරෙන්නෙ…”

“මං වගේ කෙනෙක්ව ලේලි කර ගන්නවද මේ දෙමව්පියො…”

“විකාර නැතුව හෙට උදේ දහයට ටවුන් එකේ බස් ස්ටෑන්ඩ් එකේ ඉන්න. මං එතනට එනව”

“මට බෑ”

“හැබැයි ඇත්තටම මං එනව හොඳේ. රස්තියාදු කරවන්නනං හදන්නෙපා මාව”

“මොකෙක්වත් නෑ අනේ. බොරුවට රිං කරල කට් කරනව. කුලප්පුවද කොහෙද”

කියා ගෙන නෙරංජලා පැමිණියා ය.මට හිචිස් ගා සිනා ගියේ ය. ඒ, එය කළේ ආකාශ් වන නිසාවෙනි. ඔහු මදෙස බලා රැව්වේ ය.

“මේ අවුරුද්දෙ අලුතෙං ඇවිත් තියන පොත් නේද පූජා…ටික දවසකට අපි දෙන්නට කන්නෙවත් නැතුව කරන්න වැඩක් තියනව”

“හ්ම්…මේ අලුත් පොත් වලිං එන සුවඳට මං හරි ආසයි”

මම පොතක් නාසයට ලං කොට සිම්බෙමි. ආකාශ් ගේ ඇස් වල වූයේ සංසාරේ පුරා හුරු පුරුදුයි සේ මට දැනුණ විදිහේ බැල්මකි. 

“සමහර දේවල් හරි පුදුමයි”

හිතා මතා මා එය කීවා නොවේ. නමුත් මේ වෙලාවේ මගේ හදවත කතා කරමින් තිබිණි.

“කවුද හිතුවෙ මට ආන්ටිලගෙ ගෙදර දොරවල් මෙහෙම ඇරෙයි කියල…මෙහෙ මේ තරං පොත් ගොඩක් තිබිල ඒ ලෙවල්ස් ඉවර වුණ දවසෙ ඉඳලම මට ඒව කියෝ කියෝ ඉන්න ලැබෙයි කියල”

කඳුළක තෙත මගේ ඇස් වලට දැනෙන්නට වූයේ ය. 

“අනේ දරුවො…දෛවය මොනා කරන්න ඉන්නවද කියල කවුද දන්නෙ…ඔයා ඩොක්ට කෙනෙක් වෙලා…ටික කාලෙකිං ස්පෙෂලිස්ට් ට්‍රේනිං එකට ගිහිං ඇවිත් එහෙම ලංකාවෙ ලොකු කන්සල්ටන්ට් කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම දවසක අපි ලෙඩ වෙලා අනේ ඩොක්ටර් කියාගෙන ඔයාව චැනල් කරල එන්න පුළුවන් බෙහෙත් ගන්න. ජීවිතේ කියන්නෙ එහෙම දෙයක් දරුවො. අද තියෙන දේ නෙවෙයි හෙට අපි ළඟ තියෙන්නෙ”

ආකාශ් මුළුතැන්ගෙයින් නික්ම යන්නට හැරුණේ ය. නෙරංජලා වහා ඔහු ඇමතුවා ය.

“පුතා මං තේ හදනව දැං”

“මං එන්නං වොෂ් එකක් දා ගෙන”

මට නම් දැනුණේ තව දුරටත් මෙතැනට වී ඉන්නට නො හැකිවා මෙනි. නෙරංජලා ගේ වහල යට හිඳ ඇය ව රවටමින් ඇගේ පුතු සමග මා රහසිගත කුමන්ත්‍රණයක් කරනවා සේ ය මට දැනෙන්නට වූයේ. එය දැන ගත හොත් ඇය කෙසේ ප්‍රතිචාර දක්වනු ඇත්ද? එදා ට මේ තිබෙන්නා වූ කරුණාව තව දුරටත් පවතිනු ඇත්ද? 

“මාත් එහෙනං යන්නං ආන්ටි”

“මේ මොකද අනේ මේ…හදිස්සියෙ දුවන්නෙ….කෝච්චිය අල්ලගන්නද…”

මෝඩ සිනහවක් පානු මිස මට වෙන කරන්න ට දෙයක් වූයේ නැත.

“ඉන්න…තේ ටිකක් එහෙම බීල යමු. ඔය පොත් කීපෙකුත් ගන්න”

“ආන්ටි කියවල ඉවර වුණාම ගන්නං”

“ඇයි මට කලිං ඔයා කියෙව්වහම අකුරු අඩු වෙනවද…පිස්සු නැතුව ගන්න පූජා”

හදවත මත මහත් බරක් පැටවෙන්නට වූයේ ය. එක මේසයෙහි හිඳ තේ බීවාට ආකාශ් දෙස බලන්නේ හෝ නැතිව ඉන්නට මම ප්‍රවේසම් වීමි. මේ දේවල් ගියා දැනටමත් දුර වැඩි ය. 

“මතකනෙ….හෙට උදේ දහයට”

මා ඔවුන් ගේ නිවෙසින් පිටත් වන්නට හරිත්දී මිදුලට බට ආකාශ් කීවේ ය.

“අනේ අයියෙ මට එන්න බැරි වෙයි”

මට ඕනෑ වූයේ එවන් හමු වීමක් වලකා ලන්නට ය. නියපොත්තෙන් කැඩිය හැකි දේ නියපොත්තෙන් ම කඩා දමන්නට ය. 

“මං එනව”

ඔහු හිතුවක්කාර දඩබ්බර ස්වරයකින් කීවේ ය. මම එක අවිනිශ්චිත බැල්මක් පමණක් හෙලා ගෙදර ආවෙමි.

අලුත් ම අලුත් පොතක් අතෙහි වූවාට මට එය කියවන්නට හිතක් වූයේ නැත. හිත බෙහෙවින් අවුල් ව ද අයාලේ දුවමින් ද තිබිණ. ඒ තරම් නො සන්සුන් බවක් ඊට පෙර කිසි දා ක මා අත්විඳ නැති බව සහතික ය. 

නෙරංජලා ට හොර රහසේ ආකාශ් හමු වන්නට යාමේ අරුත කුමක් ද? ඇය ට රහසින් එවැන්නක් වූවාට ඇය දැනුවත් ව එවැන්නක් විය නො හැකි ය යන්න නොවේ ද? දැන දැන ම පඹ ගාලක පැටලෙන්නට හැදීම කෙතරම් අනුවණ ක්‍රියාවක් දැයි මම හොඳට ම දැන සිටියෙමි. නමුත් හදවත ඇතුළේ තිගැස්ම කැලතුණ මිහිරියාවක් වූයේ ය. ඒ තිගැස්ම ද මිහිරියාව ද සංස්ථානික මහා ධමනිය දිගේ පොම්ප කරනු ලැබ සිරුරේ හැම රුධිර කේෂනාලිකාවක් දිගේ ම සංසරණය වන්නට වූයේ ය.

මා රැය පහන් කර ගත්තේ අසීරු ව්‍යායාමයකිනි. නමුත් පාන්දර යාමයේ නින්ද ගියේ ය. යළි මා අවදි වන විට අටහමාර ද පසු වී තිබිණ. 

මා නො ගියොත් ආකාශ් ඇවිත් මග රස්තියාදු වෙනු ඇත යන සිතිවිල්ල මට වද දෙන්නට වූයේ ය.

නවයයි පණහට ගේ ළඟින් යන බසයේ නැගී මම නගරයට ගියෙමි. දෙපා වල යටි පතුල් පවා හිරි වැටී තිබුණ සෙයකි. ඒ මා මේ විදිහට තරුණයෙකු හමු වන්නට ගිය ප්‍රථම වතාව ය. මා මේ යන්නේ ඔහු සමග කතා කොට ඔහු ට තත්වය පැහැදිලි කර දී  ඒ සියල්ල මෙතෙකින් සමාප්ත කරන්නට යයි මම හිතට ඒත්තු ගන්වන්නට උත්සාහ කළෙමි.

මා බස් එකෙන් බහිත්දීත් ආකාශ් රිය නවතා ගෙන බලා සිටියේ ය. මම ඉක්මනට ඉදිරි අසුනට නැගී දොර වසා ගතිමි. කෙතරම් බියක් මා පෙළුවේ ද යත් මට දහඩිය දමා තිබුණේ ය. ඔහු දෙස නො බලා ම මම රිය කවුළුවෙන් පිටත බලා ගතිමි.

“ආවෙ නැත්තං ඉතිං බලා ගන්න තිබුණා”

රිය පෙරට ගනිමින් ඔහු මිමිණී ය. මම හිස හරවා ඔහු දෙස බැලීමි. ආකාශ් මදෙස බැලුවේ නැත. ඒ මුවග දඩබ්බර සිනහවක් දඟ කරමින් තිබිණි.

“මං ආවෙ…නැත්තං නිකං බොරුවට පාරෙ රස්තියාදු වෙන නිසා”

“ඒ කියන්නෙ ආදරෙයිනෙ…ඒකනෙ මං පාරෙ රස්තියාදු වෙනවට දුක”

මට සිනහ නැගිණි. ඔහු ගේ හිතුවක්කාර කම් මා හිතුවාට වඩා බෙහෙවින් වැඩි ය.

“මොනා කියෝනවද මන්දා”

“ඇයි නැද්ද…හරි නැත්තං කියන්නකො ඔයා මට ආදරේ නෑ කියල”

“අයි…යෙ…පොඩි ළමයෙක් වෙන්න හදන්න එපා. මට ඊට වැඩිය හිතන්න දේවල් තියෙනව. අනිත් එක…”

“මොකද්ද අනිත් එක…”

“අපි මුකුත් නොතේරෙන අය නෙවෙයිනෙ. කවදාවත් සිද්ද නෙවෙන දෙයක් මත්තෙ නැහෙන්න හදන්න ඕන නෑ”

“ඉපදෙන්න ඉන්න ළමයින්ට කේන්දර හදන්නැතුව ඉන්න පූජා”

“මට පොතක් ඉල්ලගන්නවත් ඒ ගෙදරට එන්න නැති කරන්නද හදන්නෙ…”

“ඒ ගෙදර හැමදාම තියා ගන්නයි හදන්නෙ”

“මං කිව්වනෙ නොකෙරෙන දේවල් ගැන කකා නො කර ඉමු කියල”

“අම්ම ඔයාට ආදරෙයි. අපේ තාත්තා වුණත් නරක මනුස්සයෙක් නෙවෙයි”

“හැබැයි ඒගොල්ලන්ගෙ ඒ සීමාව පැන්නොත් නරක වෙන්න පුළුවන්”

“ඒක එදාට බලා ගමු”

“මට බෑ”

“හිතුවක්කාර වෙන්න හදන්නෙපා නංගි”

“ඔයාට තේරෙන්නෑ අයියෙ…”

මොනවා කතා කළත් හිතේ යම් බරක් වූයේ ය. නමුත් ඒ හා කැලතුණ ප්‍රීති ප්‍රමෝදයක් ද මම ඇතුළාන්තයෙන් විඳ ගතිමි. ප්‍රේමය වූ කලී හිමි කර ගැනීමකින් කෙළවර විය යුතු ම දෙයක් නොවේ. හිමි නො වීම තුළ ප්‍රේමය සදාකාලික වන්නේ ය. නමුත් එතැන ඉතිරි වන්නා වූ ශෝක වේදනාව ද සදාකාලික බව මා කියවූ නවකතා පොත් වල තිබී මම හඳුනා ගතිමි. එවන් වූ වේදනාවක් අමතක කළ නො හැකි ව රහසේ කඳුළු සැලූ දින ගණන් මගේ මතකයේ වේ. පොතක ලියැවී තිබූ ප්‍රේමයක් සම්බන්ධයෙන් තත්වය එසේ නම්, මගේ ජීවිතය සම්බන්ධයෙන් ඒ සන්තාප කන්ද උහුලා ගැනීමේ දී තත්වය කෙබඳු විය හැකි ද? ඒ වේදනාවට මා කෙතරම් බිය ද කියා දන්නේ මා පමණකි.

මා තිගැස්සී පියවි ලෝකයට එළඹියේ ආකාශ් මවෙත නැඹුරු වී කම්මුලක් සිප ගනු දැනෙත්දී ය. 

“ඔයා මට ආදරෙයි”

මුළු මහත් ඔහු වෙත වූයේ, මගේ උසස් පෙළ පන්තියක යෞවනයෙකු වෙතින් හෝ මා දැක නැති දඩබ්බර බවකි.

රිය නතර වී තිබිණි. ඒ කොහේද කියා හෝ මට අදහසක් වූයේ නැත. 

“ඒක මං දන්නව. ඔයත් ඒක පිළිගන්න”

“අයියෙ”

“බහින්න”

ඒ වෙලාවට අව්ව තද ය. නමුත් දියත උයන පරිශ්‍රයෙහි වැඩුණු ගහ කොළ නිසා සිහිලැල් බවක් විය. සිමෙන්ති ගල් අතුරා කදිමට සැකසූ මං පෙත දිගේ අපි ලං ව ඇවිද යන්නට වීමු. 

“සෙකන්ඩ් ශයි කරනවද…”

“අම්මෝ නෑ”

“විභාගෙ දවස් වල ඔයා හිටපු මෙන්ටලිටි එක අනුව…රිසල්ට්ස් ගැන ශුවර් කරන්න පුළුවන් වෙයිද….”

“මන්දා…කරන්න පුළුවන් දෙයක් කරනව. ජොබ් එකක් හරි හොයා ගන්නව. ආයෙ ආයෙ ඒ ලෙවල්ස් වලට පාඩං කරන්නනං මට බෑ. මට එහෙම තත්වෙකුත් නෑ”

“වියදං ගැන හිතන්නෙපා. කරනවනං ආයෙ එග්සෑම් කරන්න”

“ආයෙ මෙහෙම මාව හම්බ වෙන්නනං එන්නෙපා අයියෙ” 

මගේ වචන වල කඳුළු බර තෙත් බවක් විය. මට එය ඔහු ට කියන්නට උවමනා ය. වඩාත් පැහැදිලි ව කියන්නට උවමනා ය. ආකාශ් සිය දිගටි ඇඟිලි වලින් මගේ අතැඟිලි පටලා ගත්තේ ය. මා මිදෙන්නට තැත් කරත්දී ඔහු තව තවත් බැඳෙන්නට හදයි. නමුත් මේ දුක් දෙන ජීවිත සංසාරයේ මේ ප්‍රේමය නිසා ගොඩ ගසා ගත හැක්කේ තව තවත් දුක් කඳක් ම බව මම දැන සිටියෙමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles