විහඟ පියාපත් 10

අමයුරු කවරෙකුදැයි කෙලෙසක හෝ සොයාගන්න බවට චරිත් පොරොන්දු වූවාට  පසු තමාට දැනෙන හැඟීමට ශයිනි නමක් දැන උන්නේ නැත. යම් සැහැල්ලුවක් ;  ඔහුගෙන් පලි ගැනීමට අවශ්‍ය නැත. එහෙත්, ඔහු එවැනි ලිපියක් සම්පාදනය කිරීමේ හේතුව දැන ගත යුතුය. ඔහු සොයා ගන්නාතුරු ඒ ලිපියේ සඳහන් කරුණු වල සත්‍ය අසත්‍යතාවය පිළිබඳව තමාම සොයා බැලිය යුතුයැයි ශයිනි තීරණය කලේය. 

මෙයයැයි කියාගන්නට නොතේරෙන හැඟීමක් නිසා පෙර දින වල වූ බිඳ වැටුණ බව අඩුවී ඇති වග ඇයට දැනෙයි. ධනාත්මක බලාපොරොත්තු වෙනුවෙන් පේවෙන්නට හිත සූදානම් බවද දැනෙයි. 

ශයිනි, චරිත් සහ තිළිණි සමඟින් හෝටලයේ අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රමවේදය සොයා බැලීමට පිටත් වූයේ ඉන් පසුවය. ඇයට නොවැටහෙන සීමාවේ සියල්ල චරිත් විසින් පැහැදිලි කරන ලද අතර, අතරමැදදී එක් වූ පරිසර නිළධාරියා ද පැහැදිලි කලේය. එහිදී මුලුතැන්ගෙයි එක් පසෙක අපද්‍රව්‍ය  මිශ්‍ර ජලය පිටත පරිසරයට මුදා හැරෙන එක් අවස්ථාවක් පරිසර නිළධාරියා ම ඉදිරිපත් වී පැවසූ අතර ශයිනි වහා එය නිවැරදි කිරීම සඳහා මුදල් වෙන් කරන ලෙස චරිත්ට දැනුම් දුන්නාය.

නන්නාඳුනන ලියුම්කරු කොහොම මොනවා ලීවද, තමා අතින් කිසිඳු වරදක් නොවන්නට සියල්ල නිවැරදි ලෙසින් තැබීමෙන් පසු කිසිවෙකු ගේ හෝ චෝදනාවකට බිය විය යුතු නැත. ඇය සිතුවේ එලෙසින් ය. 

ශයිනි දිනයේ ඉතිරි වේලාවෙන් පැය කිහිපයක් මොණරවිල හොටෙල්ස් හී අලෙවි ප්‍රචාරණ කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට වෙන් කලාය. ඒ වෙනුවෙන් මුදල් වෙන් කරන්නට ඇති හැකියාව පිළිබඳව චරිත්ගෙන් වීමසීමක්ද කර, මුදල් අනුමත කිරීම සඳහා වන ලිපිය සකසන්නට උපදෙස් දුන්නාය. 

පසුව මොණරවිල ගාර්මන්ට්ස් හී ක්ශේත්‍ර සුපරික්ෂාව ටද සම්බන්ධ වී ශයිනි යළි නිවෙසට පැමිණියේ රාත්‍රී නවයද පසුවී ගියාට පසුවය. තාත්තා ට පැවසුයේ නඩු පැවරීම පිළිබඳව සොයා බලන්නට කටයුතු කල බවය. ඊට පෙර හෝටලයේ සියළු අපද්‍රව්‍ය බැහැර කිරීමේ කටයුතු පිළිබඳව සොයා බලා සිටින වගද ඇය පවසද්දී මොණරවිල මහතා එය අනුමත කලේය. 

ශයිනි අමයුරු ගේ ගිණුම සොයා ගැනීමට තවත් මුහුණුපොත් ගිණුමක් සැකසුවාය.  ඉන් අමයුරු ට පණිවිඩයක් තැබුවාය. 

” ඔයා කල දේ පැහැදිලි මදි. ඒත් ඒකට ස්තූතියි .. ඔයා ආර්ටිකල් එක ලියන්න බේස් කරගත්ත කාරණා ඔක්කොම ඇත්ත නෙවෙයි. ඒත් ප්‍රශ්න තියෙන තැන් කිහිපයක් මම නිවැරදි කරන්න උපදෙස් දුන්නා. හැමෝම කියන්නේ ඔයාට නඩු දාන්න කියලා. ඒත් මම එහෙම කරන්නේ නැහැ….”

පණිවිඩයෙන් පසු ශයිනිට දැනුනේ සැහැල්ලුවකි. ඕ හිතේ තරමට නා ගත්තාය. යූ ටියුබය පීරමින් මින් පෙර කිසිදිනෙක සවන් නොදුන් ගීත වලට සවන් දුන්නාය.

ඉමාන් පෙරේරාගේ ගීත කිහිපයක් එක දිගටම අසමින් උන්නේ ඇයිදැයි ඇයටම වැටහුණේ නැත. ඕ නින්දට වැටුණේ සියළු පීඩාවන් දුරැර ගිය සැහැල්ලුවකිනි.

අකලංක  ශයිනි එවූ පණිවිඩය දුටුවේ පසු දින සවසය. ඒ පණිවිඩය ශයිනිගෙන් වගට දැනගන්නට ඔහුට වේලා අවැසි වූයේ නැත. ඔහු වහා හරි බරි ගැසී හිඳගත්තේය.  ප්‍රබාත් ගීයක් විසිල් කරමින් කෝපි සකසන හඬ ඇසෙයි. 

අකලංක යළි ඒ පණිවිඩය කියෙව්වේය.

” ඔයා කල දේ පැහැදිලි මදි. ඒත් ඒකට ස්තූතියි .. ඔයා ආර්ටිකල් එක ලියන්න බේස් කරගත්ත කාරණා ඔක්කොම ඇත්ත නෙවෙයි. ඒත් ප්‍රශ්න තියෙන තැන් කිහිපයක් මම නිවැරදි කරන්න උපදෙස් දුන්නා. හැමෝම කියන්නේ ඔයාට නඩු දාන්න කියලා. ඒත් මම එහෙම කරන්නේ නැහැ….”

එහි ව්‍යාජ බවක් පෙනෙන්නේ නැත. සැබැවින්ම  ඇය මේ කිසිවක් නොදැන ඉන්නවාද යන සැකය අකලංක ට යළි පැණ නැග්ගේය. ප්‍රබාත් අකලංක ගේ අමුතු ඉරියව්ව දැක කිසිවක් නොවිමසාම කෝපි කෝප්පය අකලංක වෙත පාම්න් හිඳ ගත්තේ ඇඳේම පසෙකිනි.

“අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන කෑවෝ කෑවෝ නොකියා ඕනි මඟුලක් ඈ… ඕකි ඔය බබා පාර්ට් එකෙන් එන්නේ මොකටද දන්නේ නෑනේ ..”

ප්‍රබාත්ගේ තීරණය වූයේ මේ සිදුවීම මෙතැනින් අවසාන විය යුතු බවය.  එහෙත් අකලංක පැවසූයේ හා නිර්නාමිකව දොඬමලු වී බැලීමේ වරදක් නොමැති වගය. අමයුරු ට නොව, කොහොමටත් අකලංක ට , ශයිනි හා යම් දොඬමලු වීමකට අවැසි බවක් වූයේය.

 මේ කතාබහ  දිග් ගස්සවන්නට අවශ්‍ය නොවූ බව අඟවන්නට උත්සාහ කලද,  යම් වරදකාරී බවකින් මිදෙන්නට නම් ඔහුට පැවසිය යුතු කාරණා කිහිපයක් වන බව අකලංක මිතුරාට කීවේය. දැන් ඇයගේ මේ පණිවිඩය ඒ අවශ්‍යතාවය අකලංකට ඉතා දැඩිව දනවන්නේය.

අවසානයේ ප්‍රබාත් පසෙකට වූයේය. 

“ආයේ මට නම් අනේ හුනේ ගාගෙන  එන්නෙපා බං..එච්චරයි …!!”

අකලංක ශයිනිගේ පණිවිඩය යළි කියෙවේය.

“ස්තූතියි කිව්වේ මොකටද ? නිවැරදි කරගත්ත කාරණා මොනවද ?”

ශයිනි උන්නේ ඇඟලුම් කර්මාන්තශාලාවේ මාසික සාකච්ඡාව සඳහා සම්බන්ධ වී ආපසු පැමිණෙමිනි. ව්‍යාජ ගිණුමද ජංගම දුරකතනය තුළම ස්ථාපනය කර ගත්තේ කොයි යම් හෝ මොහොතක අමයුරු දිසානායක පිළිතුරු එවතැයු වූ ගැහැණු ඉව නිසාය. ඒ පිළිතුරු එවීමට ඉන් පසුව ලබා දෙන ප්‍රතිචාරය පිළිබඳව හරිහමන් අදහසක් නොතිබුණා වුවද, ශයිනි ඒ පිළිතුර බලාපොරොත්තු වූවාය. 

ගැහැණු හිත් ය. 

මැසෙන්ජරයට පණිවිඩයක් ආ  හඬ සමඟ ශයිනි ජංගම දුරකතනය දෙස බැලුවාය. ඔහුය. අමයුරු දිසානායක;  නන්නාඳුනන අහම්බකාරකයාය.

අහම්බකාරක යැයි කියන්නටද නොහැක. ඔහු සොයාගන්නට තව කල් ඇත. එහෙත් නන්නාඳුනන අහම්බකාරක යැයි කීවාම නාඳුනන බව ද ඇත. අහම්බෙන් වීමට නියමිතවන හමුවීමද ඇත.   

“ස්තූතියි කිව්වේ මගේ සල්ලි, මටත් නොදැනීම අර තරම් වටින වැඩකට යෙදෙව්වාට… නිවැරදි කලේ තිබුණ අඩුපාඩු . ඒත් ඒවා ඔයා ලිව්ව තරම් එව්වා නෙවෙයි  ..”

ශයිනි වහා පිළිතුරු යැව්වා. සැබැවින්ම අමයුරු පිළිතුරු එව්වායැයි සිතා සතුටු වෙන්නට තරම් වත් කාලයක් ඇය ගත්තේ ඇත. ඔහු මඟහැරේවියැයි  බියෙන් මෙන් වහ වහා අකුරු ඇමිණුවාය. 

“ස්තූතිය පිළිගත්තා. සමාවෙන්න; ඒ සල්ලි ගත්තාට. මට පස්සේ හිතුණා, ඒ සල්ලි නොගන්න තිබ්බේ කියලා … මම ලීව අඩුපාඩු නිවැරදි වෙලා නැත්නම්, ප්‍රශ්නේ තවම එහෙමමයි…”

ශයිනි නළල රැළි ගන්වාගෙන පණිවිඩය යළි කියෙව්වාය. 

අකලංක මිනි පරිඝනක වෙතම දෑස් අලවාගෙන උන්නේය. ගැහැණු විශයෙහි කිසිඳු විචිකිච්චාවක් නොතිබෙනවා වුවද; දැන් දැනෙන්නේ යම් කිතියකි. එහෙත් ඒ කිතියේ ප්‍රේමය ක් නම් නැත, එවැන්නක් නොවේ. අකලංක එලෙස ද හිතුවේය. 

“ඒ සල්ලි වෙනුවෙන් ආයෙම පසුතැවෙන්න එපා.. මං කැමති දිගටම ඒකට ෆන්ඩ් කරන්න. ඒ සොසයිටි එකට මාව කන්ටැක් කරන්න කියන්න …”

ශයිනි එක් වැකියකට ගැලපෙන පිළිතුර පමණක් යැව්වාය. අකලංක එය උස් හඬින් කියෙව්වේ ප්‍රබාත්ටද ඇසෙන්නය. එහෙත් ප්‍රබාත් උනන්දුවක් නොදක්වාම ඔහු යෙදී උන් වැඩයේම උන්නේය. අකලංක ඔහුට රැවුමක් පා කලේය. යලි තිරයට එබුණේය.

“ශා… ඒක නියමයි…මම කියන්නම්…”

“හරි…”

“ඔයාගේ ප්‍රශ්නේ ඉවර නෑ මිස් ශයිනි.. තව සැලකිලිමත් වෙලා හොයලා බලන්න. වගකීම් බෙදුවට කමක් නෑ, හැම වගකීමක්ම ආයෙම ෆලෝ අප් කරන එක ඔයාගේ වගකීම…”

අකලංක එලෙස පවසද්දි, ශයිනිට එය අතිශය දයාර්ද්‍රව දැනුණේ හද ගැස්ම පවා වෙනස් තානයකට වැටෙමිනි. ඕ ජංගම දුරකතනය අසුනේ පසෙක තබා කවුලුවෙන් ඉවත බැලුවාය.  පසු වෙන කඩ වීදි වෙනදා පරිද්දෙන්ම පෙනෙයි. එහෙත් ඒවාට මොකක්දෝ වෙනසක් , අරුමයක් ආඩ්‍ය කර ගැනීමේ ආසාවක් ඇගේ සිතට දැනෙයි.

ඕ යළි ජංගම දුරකතනය ගත්තාය.

” බෙස්ට් කියන්නේ බෙස්ට් වෙන්න ඕනි. මිනිස්සු විශ්වාස කරනකොට, 1%ක් හිස් තියාගන්න. ඔයා ඒ හිස් තැන ට බැහැලා බලන්න. එතකොට ඉතුරු 99% ම  විශ්වාස කරන්න ඕනිද කියලා තේරුම් ගන්නත් පුලුවන් වේවි … ජය …!!!”

ඇයට පවසන්නට කිසිත් වූයේ නැත. හදවතට හරි බරට දැනෙන යමක් කොහේ හෝ සිට ජීවිතය ට ඇතුළු වූ වග පමණක් දැනෙයි. එහෙත්, එය කුමක්දැයි වටහා ගන්නට තරම් දැන් මනස නිරවුල් නැත. 

ඕ ගීතයක් වාදනය කර අසන්නට උත්සාහ කලාය. එහෙත්, හිත ඉල්ලන්නේ අනෙකකි. ඕ වහා මැසෙන්ජරය විවෘත කර ගත්තාය

“ඔයා කවුද ?”

අකලංක  ඒ පණිවිඩය බලාපොරොත්තු වූයේය. එහෙත් මෙතරම් ඉක්මනින් නොවේ. ඇය  අකලංක ගේ රාමුවට වැටුණේ යම් ස්ත්‍රීවාදී චරිතයක් නඩත්තු කරන්නට උත්සාහ කරන්නියක ලෙසිනි. එනිසා ඇය බිඳ හෙළීම පහසු නොවෙතැයි ඔහු සිතුවේය. සුහඳ නොවී, පැවසිය යුතුව තිබූ දෙය පවසා ඉවත් වෙන්න ට සිතුවේ ඒ නිසාය. ස්ත්‍රීන් හඹා යෑමේ කම්මැලීකමක් වූ නිසාය. 

එහෙත් ඕ දැන් යම් පිපාසාවකට වැටී ඇති වග පෙනෙයි. ඇය සන්සිඳුවන මන්ත්‍රය කිසිදිනෙක වාදනය නොකරන බවට අකලංක පොරොන්දු වූයේ තමාටමය. මේ දැන් ය. 

ඇය හා යම් සබැඳියාවක් ඇති වන්නට යන්නේ නම් එවැන්නකින්, තම ජීවිතය අනතුරක හෙලෙන වගට සැක නැත. තම අනන්‍යතාව හෙළි වීමෙ අනතුරු විවෘත වන්නේ ප්‍රබාත්  අම්මලා ඇතුලු  සැමටමය. එනිසා තමාගේ ඒ පත්තර ජීවිතය අමයුරු දිසානායක ම මිස අනෙකක් නෙවේය.

“අමයුරු දිසානායක …”

අකලංක එලෙස පිළිතුරු තැබුවේය.

“මම අහන්නේ ඇත්තටම ඔයා කවුද ?”

අකුරු පැටලෙද්දී ශයිනි වහා එලෙස විමසුවාය. ඇය අභ්‍යන්තරයේ ඇයට නොදැනෙන ගින්නක් ඇවිලෙයි. අමයුරු කරන්නේ ඒ ගින්නට හිතවත් සාධක එක් කිරීමක්ම පමණි. 

“අමයුරු දිසානායක … “

“ඒක ෆේක් එකක්… මං අහන්නේ ඇත්තටම ඔයා කවුද. ?…….!!!!”

ශයිනි දැඩි ස්වරයෙන් එම පණිවිඩය කියවමින්, ඒ ස්වරයෙන් අමයුරු ද එය කියවනු ඇතැයි සිතමින් යැව්වේ හර්ශාදී ලකුණු කිහිපයක් ද සමඟිනි. 

අකලංක ට එහි වගක් වූයේ නැත. අකලංකගේ අමයුරු පස  කිසිලෙසකවත් ශයිනිට නිරාවරණය නොවන වග  අකලංක ට ස්ථිරය. මොනයම්ම හෝ කාරණාවක් නිසා එය සිදුවන්නේ නැත. ඉතින් ; ඇයට අවැසි ඕනෑම තානයකින් විමසා බලන්නට ඉඩ දෙන්නට අකලංක තීරණය කලේය.

“හැම කෙනෙක්ම ෆේක් එකක්… මවාගෙන ජීවත් වෙන්නේ. තැනට ගැලපෙන චරිත ..”

අකලංක දාර්ශනික වැකියක් එක් කලේය.

| අපේක්ෂා ගුණරත්න | 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles