සමනල් දිවයුරු රණසිංහ ආයතනයෙහි සම්මන්ත්‍රණ ශාලාවෙහි මේසය අස හිඳ සිටියාට සිත තිබුණේ එතැන නොවේ. ඔහු ඒ කතා බහට එක් වූයේ සිහිනයකින් සේ ය. අවසන ආයතනයේ ප්‍රධාන නිලධාරීන් විසිර ගිය පසු එහි ඉතිරි වූයේ සමනල් සහ ඔහු ගෙු පියා වන ඩිලන් රණසිංහ ද ඔහු ගේ අලුත් ම ව්‍යාපාර සගයා ද පමණකි. මේ හදිසි රැස්වීම ද ව්‍යාපාර සගයා ආයතනයේ ප්‍රධාන නිලධාරීන්ට හඳුන්වා දීම හා නවතම ව්‍යාපාරික යෝජනා පිළිබඳ සාකච්ඡා කර ගැනීම වෙනුවෙනි.
“ඩිලන්ගෙ පුත්‍රයත් කම්පැනි එකේ ඩිරෙක්ටර් බෝඩ් එකේ ඉන්නව කියල මං දැනං හිටියෙ නෑ”
ලක්සිරි සමනල් විනිවිද දකිමින් ඩිලන් ට කීවේ ය. ඩිලන් ගේ මුහුණට ආවේ ආඩම්බර සිනහවකි.
“ප්‍රයිවට් යුනි එකක බිස්නස් මැනේජ්මන්ට් ඩිග්‍රි එක කම්ප්ලීට් කරල මිනිහ ඉන්නෙ ඔහොම හිටියට”
“ආ ඉස් දැට් සෝ…දැං කාලෙ අපේ කාලෙ වගේ ඩිග්‍රි එකක් ගන්න වයසට යනකල් ඉන්න ඕන නෑනෙ. නැද්ද…”
“ඒක ඇත්ත”
මිතුරන් දෙදෙනා ම එක ම සංඛ්‍යාතයකට අදාල සිතිවිල්ලකින් යුතුව සිනහ වන්නට වූහ. ඔවුන් දෙදෙනාට ම සිය දීර්ඝ වූ විශ්ව විද්‍යාල සමය සිහිපත් වන්නට ඇත. සමනල් ලැප්ටොප් එකට එබී ගෙන සිටියේ ය. නමුත් ඔහු කිසිත් දුටුවේ නැත. කිසිත් සෙව්වේ ද නැත.
“තව මෙයාට වයස තියනව තමයි ලකී. බට් මේගොල්ලො ඇවිල්ල මේ කිසී බරක් පතලක් නැතුව සැපටම හැදිච්ච කොල්ලොනෙ. මේගොල්ලො හිතන්න පුරුදු වෙලා ඉන්නෙ කිසිම මහන්සියක් නැතුව අපි හිතන පතන දේවල් අපේ දෙපා මුලට පහල වෙනව කියලයි. මං දන්නව ලකී අපේ තාත්ත මේ බිස්නස් එක පටං අරං ගොඩදාගන්න වෙච්ච මහන්සිය. මං ඇස් දෙකෙන් ඒක දැක්ක. තාත්ත එක ප්‍රින්ටින් මැෂින් එකක් අරං ප්‍රෙස් එකක් පටන් ගත්ත මිනිහෙක්. තාත්තටත් වඩා මහන්සි වෙලා මං ඒක දියුණු කළා. ලංකාවෙ හොඳම ඕෆ්සෙට් ප්‍රින්ටින් තියන ප්‍රෙස් එකක් වෙන තරමට දියුණු කළා. බර ගාණක් මැෂින් පිටරටින් ගෙන්නුව. එතනිං නැවතුණාද…මං පබ්ලිශින් පටන් ගත්ත. ලංකාවෙ අංක එකේ පත්තර කන්තෝරුවක් හැදුවෙ පුදුම කට්ටක් කාල. පටං ගත්තෙ එක කාන්තා පත්තරේකින්. ජාතික පත්තරයක් වෙනකල් පත්තර දහයක් විතර දැන් අපි මාකට් එකට දානව. ඊළඟට අපේ බුක්ශොප් චේන් එක. තව බුක් පබ්ලිශිං. ඊටත් වඩා ඉස්සරහට ගිහින් තව අඩියක් තියන්නයි අපි දැං මේ කතා කරන්නෙ. ලකී…මං මහන්සි වෙලා මේ දේවල් ගොඩනැගුවට ගොඩක් වෙලාවට මේගොල්ලො ඒ මහන්සිය ගැන දන්නෑ. මගෙ තාත්ත මේව පටන් ගන්න කාපු කටු ගැන කොහොමවත් දන්නෑ. ගොඩක් වෙලාවට ලකී තුන්වෙනි පරම්පරාවට එනකොට එහෙම වෙනව. ඕන බිස්නස් එකක් තාත්තල පුතාල හොඳට ඩිවෙලොප් කරල තුන්වෙනි පරම්පරාවට බාර දුන්නහම උං ඒක බිමටම සමතලා කරල දානව. මේ රටේ මාර ම තැනක තිබුණ බිස්නස් නෙට්වර්ක් වලට දැන් වෙලා තියන දේවල් පේනවනෙ. ඒකට හේතුව තුන්වෙනි පරම්පරාවට මේව තව ඉස්සරහට ගෙනියන්න කැප වෙන්න ඕන කියන එක ගැන අයිඩියා එකක් නැති කම. ඒකයි මං මෙයාව මෙතනට ඇදල දැම්මෙ. බිස්නස් එකක් මේන්ටේන් කරන එක…මේගොල්ලො හිතනව වගේ ගස් වලින් සල්ලි කඩන වැඩක් නෙවේ කියල තේරුං කරවන්න. සැප විඳින්නනං ඊට වඩා දුක් විඳින්න ඕන කියල අත්දැකීමෙන් ඉගෙන ගත්තෙ නැත්තං මේගොල්ලො මේව කාබාසිනියා කරල දානව”
“එක්ස්කියුස්මී”
කියාගෙන සමනල් අසුනෙන් නැගිට ගත්තේ ය. ලැප්ටොප් එකත් ගෙන සම්මන්ත්‍රණ කාමරයෙන් නික්මුණේ ය. තාත්තා ගේ ඔය එක ම කතාව මන්තරයක් සේ කී වතාවක් මුමුණා තිබේ දැයි සමනල් ට සිහි කර ගත නො හැකි තරමි. ඒ එක ම කතාව ආයෙ ආයේ අහන්නට ඔහු ට ඕනෑ ම නැත. ඔහු සිය කැබින් එක තුළට වැදුණේ ය. විධායක අසුනේ හරි බරි ගැහී, හිස අසුනට බර කොට ගෙන නෙතු පියවා ගත්තේ ය. තාත්තා ගැන ඔහු ට වන්නේ නො පහන් බවක් නොව නො රිස්සුමකි. ඩිලන් කියන කරනා දේවල් නම් ඔහු ට රුස්සන්නේ ම නැත. ඇතැම් විට ඒ සම්ප්‍රදායික පිය පුතු අරගලය වන්නට පිළිවන. ඇතැම් විට එය ඉක්මවා ගිය යමක් ද ඩිලන් පිළිබඳ සමනල් තුළ අසහනකාරී බවක් ඇති කරයි. අම්මා ගැන ඡායා මාත්‍රයක් ඔහු ගේ සිත්හි ඇඳී මැකී ගියේ ය. මෙසේ හිත නො සන්සුන් වන බොහෝ අවස්ථා වල අම්මා ගැන ඒ ඡායාවක් වන් මතකය හිතේ එහෙ මෙහෙ වෙයි. අම්මා ගැන ද ඔහු ට තිබෙන්නේ පහන් හැඟීමක් නොවේ. කවරක් ඔවුන් අතරේ සිදු වී ද ඇයට ඔහු අතැර නොයන්නට තිබිණ. තාත්තා අතැර යන්නට ම ඕනෑ වී නම් කුඩා සමනල් පැටියාව ද රැගෙන යන්නට තිබිණ. ඔහු අතැර දමා ගොස් ඈ කළේ ලොකු වරදකි. තාත්තා කෙනෙකුට දරුවන් වෙනුවෙන් ඉර හඳ හෝ ලබා දිය හැකි වන්නට පුළුවන. නමුත් අම්මා කෙනෙකු ගේ ආදරය ලබා දිය නො හැකි ය. ඒ තාත්තා දෙවන මවක ගෙනාවා කියා කිසි සේත් ඒ හිස්කම් පියවා දැමිය හැකි නොවේ.
ඩිලන් සමනල් ට කිසිදු අඩුවක් දැනෙන්නට ඉඩක් නො තැබූ බව ඇත්ත ය. නමුත් ඔහු ගේ ළමා මනසේ සේ ම තුරුණු හදවතේ ද තිබුණා වූ හා තිබෙන්නා වූ අඩුව සපුරා දෙන්නට ඔහු ට කිසි සේත් හැකි නොවේ. ගැහැනියක, අම්මා කෙනෙකු, සොයුරියක හෝ අඩු ම තරමින් මිත්තණියක නැති ගෙදරක, පිරිමින් දෙදෙනෙකු අතරේ යහපත් සන්නිවේදණයක් පවත්වා ගෙන යාම කොහෙත් ම හැකි නොවේ. දංවැලක පුරුක් සේ ඔවුන් එක රැහැනක ගැට ගසනුයේ එකී කාන්තාවන් කිහිප දෙනෙකු හෝ කෙනෙකි. ඩිලන් ගේ දෙවන බිරිය ලෙස පැමිණි ස්ත්‍රියට තාත්තා හා පුතා යා කරන පාලමක් තැනිය නො හැකි වීම ගැන පුදුම විය යුතු නැත. ඩිලන් කෙසේ වී ද සමනල් නම් එවැන්නක් බලාපොරොත්තු වූයේ හෝ මතුවට බලාපොරොත්තු වන්නේ ද නැත.
ටයි පටිය පහළට අදිමින් බුරුල් කළ සමනල්, ජංගම දුරකතනය අතට ගත්තේ ය. තිරය මත තඹරු පියුම්රා දිවාකර අහංකාර බැල්මෙන් ඉවත බලා ගෙන සිටී. සමනල් ගේ මුව මතට නිරායාස සිනහවක් ආවේ ය. ඇගේ මුව මත එක සිනහ බින්දුවක් නැතිවා වී ද ඔහු ගේ මූණට සිනහවක් ගෙනෙන්නට ඇය සමත් ය. එහෙව් මායා බලයක් ඇයට තිබේ. සමනල් වහ වහා “මතක් වෙනව ගොඩක්” කියා වට්සැප් පණිවිඩයක් ලියා, එය ඇයට යවනවා ද නැත්ද කියා සිතමින් මඳක් තත්පර වෙමින් සිටියේ ය. එය දුටු විට ඇගේ මූණ කෝපයෙන් නො සන්සුන් වෙන හැටි සිහි වී ක්ෂණික සිනහවකින් ඔහු පිපිණි. තවත් වරක් නොසිතා ම ඔහු ඊ හිස මත ඇඟිල්ල තැබුවේ ය.
තඹරු සිටියේ දේශනයක් අවසානයේ මිතුරියන් දෙදෙනා සමගින් දේශන ශාලාවෙන් පිටතට එමිනි. බෑග් එකෙන් ජංගම දුරකතනය අතට ගත්දී ම පැමිණි වට්සැප් පණිවිඩය ඇය නො සිතා ම විවර විය.
“මතක් වෙනව ගොඩක්”
බඩ පපුව අතරෙහි කුමක්දෝ සිදු විය. දත් දෙපෙළ තද කර ගනිමින් ඇය දුරකතනය බෑග් එකෙහි එබුවා ය. මේ කොල්ලා දමනය කළ හැක්කේ කෙසේ දැයි ඇය දන්නේ නැත.
හරි සලකුණු දෙක ඇසිල්ලකින් නිල් පාට වෙත්දී සමනල් නැවත ද තනිව සිනහ වූයේ ය.
දේශන අවසන තඹරු ගෙදර ගියේ ට්‍රම්පට් වාදනය හද තුළින් නැගී සිටියදී ය. ඇයට ඔහු සිහි කර ගන්නට ඕනෑ නැති වී ද දැන් දැන් ඔහු සිහි වෙන්නට පටන් ගෙන තිබේ. බිග් මැච් කොල්ලන් අදත් කේක් ඇන්ඩ් කොෆී වෙත කඩා පනීවිද යන කරදරකාරී සිතිවිල්ල ලෙස හෝ ඒ සිහිපත් වීම සිදු වෙයි.
සඳැස් එදා ගෙදර සිටියේ ය. සාමාන්‍යයෙන් ඔහු වැඩ කෝටියක් පටලවා ගත් කෙනෙකි. පාසලේ තියන තරමක් අමතර වැඩ වල පැටලී හිඳී. ශිෂ්‍ය නායකයෙකි. උසස් පෙළ සිසුවෙකු නිසාවෙන් පාසලෙන් පසු ද බොහෝ විට සති අන්තයේ ද උපකාරක පන්ති වලට යයි. ඔහු ව ගෙදරදී දැකිය හැක්කේ හාවා හඳ දකින්නා සේ හෝ කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලන්නා සේ කලාතුරකිනි. එද රාත්‍රියේ ය. පාසල් ගේට්ටුව විවර කරන්නට වාගේ ඔහු කුකුළා අතින් ගෙන ගෙදරින් නික්ම යයි.
“හෙට ඉර අනිත් පැත්තෙන් පායයිද දන්නෑ මෙයා පොතක් පාඩං කරන නිසා”
දිය නා ගෙන විත් තඹරු, මල්ලී පාඩම් කරන මේසයෙහි අනිත් පුටුව ඇද හිඳ ගත්තා ය.
“නිව්ටන් මොන එහෙකට ඇපල් ගහක් යට වාඩි වෙලා හිටියද…”
“ඈ…”
මල්ලී ගේ ප්‍රශ්නයෙන් තඹරු ට උතුර දකුණ මාරු විය.
“නෑ මං කිව්වෙ නිව්ටන්…වෙන ඉඳගන්න තැනක් නෑ වගේ මේ යකා ඇපල් ගහක් යටම ඉඳගත්තනෙ අපිට වැඩ වැඩි කරන්න”
සඳැස් කියන්නේ කවර නිව්ටන් කෙනෙකු ගැන ද කියා තඹරු ට කල්පනා වූයේ එතකොට ය. ඇය සිනහව ගිලගෙන ඔහු ගේ කනක් අඹරවමින් කතා කළා ය.
“ඇපල් ගෙඩියක් නෙවෙයි පොල් ගෙඩියක් හරි දූරියන් ගෙඩියක් හරි ඔළුව උඩට වැටුණත් තමුසෙගෙ ගොං මොළේටනං එහෙම අයිඩියා එකක් එයිද…”
“ආව්…ඉතිං අතාරිනවකො කන..”
“මොකද පොත් කියල දෙයක් පාඩං කරන්න තියනව කියල මතක් වුණේ…ටර්ම් ටෙස්ට් කියල එකක් ළඟ එනවද…”
“එහෙම එකකුත් එනව තමයි. මට දැං හිතෙනව අප්ප මැත්ස් කරන්න අරං මෝඩ වැඩක් කළාද කියල”
“ඇයි…”
“නෑ ඉතිං…අම්මට තවත් තනියම අදින්න බෑ වගේ අක්කෙ. මට අම්ම පව් කියල හිතෙනව. මොකද අරය ඉතුරු කරල තියල කාමරේට වුණා නෙවේනෙ”
“ශ්…කට කට”
එහෙම කියනා ගමන් තඹරු වහා හැරී බැලූයේ ඇහෙනා මානයක තාත්තා හිඳිනු ඇත්ද කියා ය.
“පැහෙන්නැතුව ඉන්නව හරිද…”
“අම්ම නහින නැහිල්ල ගෑනියෙක්ට තියා පිරිමියෙක්ටවත් පුළුවන්ද ඕයි…මට දැං ඕනෙ ඉක්මන්ට ජොබ් එකක් කරන්න”
“ලොකු මිනිහ වෙන්න හදන්නැතුව ඉන්නව. මට තව වැඩි දවසක් නෑනෙ. කට්ටි පනින්නැතුව පෝලිමේ එනව”
තඹරු ගේ ජංගම දුරකතනට පණිවිඩයක් එන හඬ ඇසුනේ එතකොට ම ය. ඒ සමනල් ගෙනි.
“මං ඇවිත් ඉන්නෙ. පන්සල හරියට එන්න”
“මොකක්..”
ඇයට එහෙම කියවී තිබිණ. සඳැස් අක්කා දෙස බැලුවේ ය. වෙනසක් නො හැඟවෙන සේ තඹරු අසුනෙන් නැගිට ගත්තා ය.
“පිස්සුද නැත්තං හැටිද…මං මොකටද ඔහේ කියන කියන හැටියට වැඩ කරන්නෙ”
ඇගේ ඇඟිලි තුඩු වේගයෙන් අකුරු පුවරුව මත දිව්වේ ය. දෙවරක් නො සිතා ම ඇය ඊ හිස ස්පර්ශ කළා ය. එසැනෙන් නිල් පාටින් හරි සලකුණු දෙක බැබළිණ. ‘ටයිපින්’ යනුවෙන් තිරය ඉහළ තීරයෙහි සනිටුහන් වන්නට විය.
“එහෙනං මං කැෆේ එකට එන්නං”
තඹරු ගේ කේන්තිය නිමක් නැත. මුරණ්ඩු කොල්ලෙකු සමගින් ගනුදෙනු කිරීමේ නො සන්සුන් තිගැස්ම ඇය අත්විඳිමින් සිටියා ය.
“මං එන්නං”
ඔහු වලකන්නට නම් අනිවාර්යයෙන් ඇය යා යුතු බව දැනටමත් තඹුරු දනී. විකල්ප නොමැත!