මා හද තුළ ඔබ 06

පිටපත් ටිකක් දැමූ ෆයිල් එකක් ද මුදල් පසුම්බිය ද ගෙන තඹරු පහළ මහලට ආවා ය. රන්මුතු සිටියේ වීදුරු ගබඩ් පිරිසිඳු කරමිනි. හෙට උදයෙන් ම අලුත් කෑම ගබඩා කරන්නට හිස් වූ ශෝකේස් පිසදමා පිරිසිඳු කොට තබනා එක ඇගේ පුරුද්දයි. වෙහෙසකර දවසක අවසන් හෝරා කිහිපය වී ද රන්මුතු කඩිසර ය. වෙහෙස ය කියා මහන්සි ය කියා හිතට ඒත්තු ගන්වන්නට ඇය කැමති ම නැත. කේක් ඇන්ඩ් කොෆී වසා දැමුවාට පස්සේ ඇයට වන එක ම සැනසිල්ල දිය නා ගෙන විවේක ගත හැකි වීමයි. රෑ කෑම පිළියෙල කොට තබන්නේ විශ්ව විද්‍යාලයේ සිට පැමිණීමෙන් පසු තඹරු ය. ඉතින් රන්මුතු සෝෆාව මතට වැටී කකුල් දෙකත් උඩට ගෙන ටෙලිනාට්‍ය පෝලිම නරඹයි. ඇයට දවසේ තිබෙන එක ම විනෝදාස්වාද මාර්ගය එයයි. සති අන්තයේ නම් ඇය රියැලිටි තරු වැඩසටහන් නරඹයි. ඒවා දෙස බලා ගෙන අම්මා තනිව සිනහ වෙනු දකින තඹරු ගේ හදවත දැවී යයි. ඇතැම් විට පාඩම් කරන්නට අසීරු වී ද රූපවාහිනියේ හඬ අඩු කරන්නැයි ඇය නො කියා සිටී. ගැහැනුන් වූ කලී කැළැල් ද තුවාල ද වේදනා හා කැක්කුම් ද කඳුළු ද සිනහවකින් මුවහ කර ගත හැකි අපූරු සත්ව කොට්ඨාශයකි.

“කොහෙ යන්නද බබූ…”

තඹරු පිය ගැට පෙළ බැස එන විට රන්මුතු තරමක විශ්මයකින් එසේ විචාලේ පිටතට යන බවක් තඹරු කියා නො තිබි හින්දා ය. ගෙදරට අඳිනා වීස්කෝස් කොට කලිසම් කෑල්ලක් වෙනුවට ඇය ත්‍රී ක්වාටර් කලිසමක් හැඳ සිටිනු දුටු පමණින් ඒ පාරට යාමට බව අම්මා දනී.

“කමියුනිකේශන් සෙන්ටර් එකට ගිහිං එන්නං. අසයිමන්ට් එකක ප්‍රින්ටවුට්ස් ගන්නයි බයින්ඩ් කරගන්නයි තියනව”

“ඉතිං දරුවො දැං කළුවරත් වැටීගෙන එනවනෙ”

“කමන්නෑ ඉතිං…මහ දුරකට යනව නෙවේනෙ. අනික මේක නුපුරුදු පාරක්ද…”

“මල්ලි ඉන්නවනෙ. එයාව අඬගහං යන්නකො”

“ඕන්නෑ අම්මෙ. අනික එයා පාඩං කරනව. ඉඳල ඉඳල පාඩං කරන්න ඉඳගත්ත වෙලාවෙ කාලෙ කාගෙන මගෙ පාළු මකන්න එන්න ඕන නෑ”

“එහෙනං ඔයාට උයන්න කලින් ඔය වැඩේ කරන්න තිබුණනෙ අනේ”

“අනේ මේ මං යකෙක්ටවත් බය නෑ. අනික මේ මත්තෙගොඩට රෑ වෙනවද අනේ මෙච්චර ඉක්මනට. වහල දාල ගිහිං දැං අම්ම වොශ් දාගන්න”

“තව පාං ටිකක් තියනව. හෙට ඉස්කෝල නිසා සැන්ඩ්විච් පාන් ගන්න කට්ටිය එනව තාම”

තඹරු මගට වූවා ය. ලා අඳුර අතරින් නියොන් එළි එක දෙක දැල්වෙමින් තිබේ. හැන්දෑවේ වට පොද වැස්ස නිසා හාත්පස නැවුම් ප්‍රබෝධයක් වේ. මේ වෙලාවට මත්තෙගොඩ වඩාත් ජනාකීර්ණ ය. අව්ව බැස ගියාට පසු නිවාඩු පාඩුවේ මගට බසිනා ජනයා, සිය අවශ්‍යතා වෙනුවෙන් කඩ වල පිරී සිටිති. පාරේ ඔබ මොබ සරති. ඒ අතරේ ව්‍යායාම වෙනුවෙන් ඉක්මන් ගමනේ යෙදෙනා කෙනෙකු දෙදෙනෙකු ද දැකිය නො හැකිවා නොවේ. පන්සලේ දල්වන ලද පහන් වල තෙල් සිඳී තිර ඉතිරි වූ කල්හි පහන් තැටි කර වීමෙන් නැගෙනා සුවඳ ද, කට්ටකුමංජල් සුවඳ කූරු ආදියෙන් නැගෙනා දූපයන් හි සුවඳ ද, විවිධාකාර මල් වර්ග පුදසුන් මත පූජා වී පර වෙමින් යත්දී නැගෙන්නා වූ මල් සුවඳ ද එක්කාසු වූ පන්සල් සුවඳ පන්සලෙන් පිට වී මගට ද පිවිස තිබේ. තඹරු ඒ සුවඳ ආඝ්‍රාණය කරමින් පෙනහලු පුරවා ගත්තා ය. නමුත් හදවතේ නො සන්සුන් ගැස්මක් වේ. ඇය දුරට ම කළු පාට ඇක්වා රිය හැඳින්නා ය. ඊට පිට දී අත් දෙක පපුව මත බැඳගෙන සිටිනා දඩබ්බරයා ගේ මුව මත මඳහසක් පීදිණි. ඇගේ මුහුණේ වන කේන්තිය ඔහු ට ඒ දුරටත් හැඳිනිය හැකි විය.

“මං මේ ඔයාට බයේ ආව නෙවේ හරිද…කැෆේ එකට ආවත් මට කමන්නෑ. මං අම්මිට කියල තියෙන්නෙ…නුගේගොඩ ඉඳංම මාව ෆලෝ කළාට මං දන්න අය නෙවේ කියල. මං කොහොමත් දැන් පාරට එන්න හිටිය නිසයි මේ ආවෙ”

නළල රැලි නංවා ගෙන ද ඉවත බලා ගෙන ද ඇය කියවා ගෙන ගියා ය. නමුත් සමනල් ගෙන් හ්ම් හඬක් හෝ නැත. මඳ පමාවකින් තඹරු හිස නගා බලත්දී දඩබ්බරයා අතක් රියට බර කොට ගෙන පැත්තට ඇල වී ඇදෙස බලා ගෙන ම සිටියේ ය. ඒ ඇස් වල උදුල තරු කැල්මෙන් ඇය සසල ව නො ගියා නොවේ. ඊටත් වඩා දෙතොල් මත වූ දඟ සිනහව ඇගේ හිත හිර කළේ ය.

“ඉවරද බැනල”

සමනල් නිවීසැනසිල්ලේ ඇසුවේ ය. ඒ වෙලාවේ ඔහු ගේ මුහුණට ආ අමුතු අසරණ පෙනුම තඹරු ට දැකිය හැකි විය. ඒ සිනහව යට තිබුණේ කඳුළක සීතලක් බව ඇය දන්නේ නැත. නමුත් ආත්මීය වූ කිරණක් ඔහු ගේ ඇස් වලින් ඇගේ දෑස් හරහා හදවතට කිඳා බසිනු දැනිණ.

“හරි…ඇයි දැං මට එන්න කිව්වෙ…”

නො සන්සුන් බව නෝක්කාඩුවක තවරා, ඇය සන්සුන් වීමේ උත්සාහයක් දරමින් කතා කළා ය. ඇයට ම හේතු සොයා ගත නො හැකි පසුතැවීමක් හිතේ ඈතක කණාමැදිරි එළි දල්වමින් තිබිණ. අම්මා මල්ලී ට හොඳට ම බැන්නාට පස්සේ ඔහු සනසා හුරතල් කරන්නට හදනා බස තුළ ද මේ ආදරයෙන් භරිත පසුතැවීමේ තානය වන බව තඹරු ට සිහි වී එසැනෙන් අමතක ව ගියේ ය.

“ඔයාව බලන්න”

තඹරු අහසින් පොළොවට වැටුණා සේ ඒ පිළිතුරත් සමගින් ඇගේ ප්‍රශ්නය කුමක් දැයි යළි මෙනෙහි කළා ය. ඉසිහින් විද්‍යුත් කිරණයක් ස්නායු පද්ධතිය ඔස්සේ විහිද ගියේ ය. ඇයට පන්සල් සුවඳ දැනිණ.

“කෙල්ලො බලන්න ඔහොම පෙට්‍රල් පුච්චන එක අපරාදයක් කියල හිතෙන්නැද්ද…”

ඇය සමච්චලය නඩත්තු කිරීමේ උත්සාහයක් දැරුවා ය. ඔහු ගැන යම් මෘදු බවක් දැනෙමින් තිබුණේ වී ද එයට හිස ඔසවන්නට දෙන්නට ඇයට ඕනෑ නො විණ. පිරිමින් විශ්වාස කරන්නට ඇයට ඕනෑ නැත!

සමනල් පිළිතුරු දෙන්නට නො ගියේ ය. ඒ වාගේ පොදු කාරණා ගැන පෞද්ගලික මත ඉදිරිපත් කරන්නට තව ම කල් වැඩි ය.

“ඔයා…වැඩක් කරගන්න කිව්වනෙ ආවෙ. අපි ඒකට යං. යන ගමං කතා කරන්න පුළුවන්නෙ”

මොකක්දෝ හේතුවකට ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරන්නට තඹරු ඉක්මන් නො වුණා ය. ප්‍රතික්ෂේප කළ ද තරු ඇස් ඇති හිතුවක්කාර කොල්ලා ඒවා තඹයකට මායිම් නොකරන බව ද ඇය උගෙනිමින් හිඳී. අඩ අඳුරේ නියොන් එළි අතරින් ඇය පදික වේදිකාව දිග අඩියක් පෙරට තැබුවා ය. සමනල් ඇයට වඩාත් ළඟින් බරට අඩි තැබුවේ ය. ඔහු ගේ සෙවනැල්ල විටෙක දිග ම දිගට ඉදිරියට ඇදුණේ ය. තවත් විටෙක කුඩා වී පසුපසට දිව්වේ ය. මීටර කිහිපයක් දුරින් වන පහන් කණු වල විදුලි බුබුළු සියල්ල ම දැන් දැල්වේ. මග දෙපස වන කඩ සාප්පු වල ද විදුලි එළි දැල්වී ඇති නිසා මැවී තිබෙන්නේ අමුතු ම ලස්සනකි. රාත්‍රියට පමණක් ආවේණික මේ අමුතු චමත්කාරය, මත්තේගොඩට තවත් ආවේණික ය. තඹරු ඒ රාත්‍රී මිහිර විඳිමින් වඩා හෙමිහිට පිය තැබුවා ය. ඇය පසෙකින් මේ විදිහට පිරිමියෙකු ඇවිද ගොස් පුරුද්දක් මීට පෙර ඇත්තේ ම නැත. තාත්තා මුළුමනින් අක්‍රිය මිනිසෙකු වී වසර හත අටක් ගත ව තිබේ. මල්ලී පොඩි කාලේ නම් ඇය සමගින් දැවටීගෙන ම සිටියේ ය. නමුත් ඒ හැම විටෙක අම්මා කෙනෙකු වාගේ ඔහු ආරක්ෂා කළේ අක්කා වන ඇයයි. සඳැස් ඇය ඉක්මවා උස යන්නට වී තවම වසර දෙක තුනකි. ඒ වුණත් ඉඳහිට ඔහුත් එක්ක මග ඇවිදින විට හෝ පාර මාරු වන විට තවමත් ඇය නො දරුවෙකු සේ සිතා මල්ලි ගේ අතින් අල්ලා පසෙකට කරයි. පාරේ වඩාත් අයිනට කරයි. මල්ලී සම්බන්ධයෙන් ද ළමා විය ඉක්මවන විට අම්මා සම්බන්ධයෙන් ද ඇයට දැනුණේ එහෙව් වගකීමකි. වදවීමකි. වගවීමකි. ගෙදර හැම කෙනෙකුට ම වැඩිය ඇය වයසින් වැඩි බවට හිස මත පැටවුණ බරකි. පිටස්තර පිරිමි ඇසුරකට ඇයට ඉඩක් ලැබුණ විශ්ව විද්‍යාල ජීවිතය තුළ දී තඹරු වඩාත් ප්‍රවේසම් සහගත වූවා ය. මිත්‍රත්වයේ සීමාව තුළ ඔවුන් නවතා තබන්නට ඇතැම් විට ඇය අධි රංගනයක යෙදුණා ය. තමන්ගේ ම මට්ටමේ මිතුරන්ට සේ මිස ඔවුන්ට ඇය කිසිදු සුවිශේෂත්වයකින් නොසැලකුවා ය. නිතර ම ඔවුන්ට අවනතව නොව ඔවුන්ට ඉහළින් පැවතීමේ උත්සාහයක යෙදුණා ය. එහෙයින් ම පිරිමි ළමයින් අතරේ දී වුව ඇගේ පෞරුෂය පැවතියේ උස් මට්ටමක ය. බොහෝ පිරිමි ළමයින්ගේ සිත් තුළ ඈ ගැන අදහසක් වී ද එය වාචිකව ඇයට ප්‍රකාශ කරන්නට තරම් ඔවුන් දිරිමත් නොවූයේ එබැවිනි. ඒ දිරිය වඩවා ගත් කෙනෙකුට වුව තඹරු වෙතින් ධනාත්මක ප්‍රතිචාරයක් ලද හැකි වූයේ නැත.

දැන් මේ මොහොතේ සමනල් පාර පැත්තට වන ලෙස ඇය අයින් කොට ගෙන ඇවිදියි. හිතට අමුත්තක් දැනුණ ද එහෙම රැකවරණයක් ගැන පිපාසයක් සහිත මුල්ලක් නැති ගැහැනු හදක් තිබිය හැකි යයි සිතිය හැකි ද? පාර මාරු වෙත්දී ද ඔහු ඇයට වඩා අඩියක් පමණ ඉදිරියට ගොස් ඒ සඳහා අවස්ථාව උදා කර ගත්තේ ය.

“මේ විදිහට එන්නෙපා. තේරුමක් නෑ”

ගැස්සී ගිය හිතෙන් යුතුව වී ද තඹරු මිමිණුවා ය. ජීවිතයට පිරිමියෙකු සුවිශේෂ කර ගැනීමෙහි ලා කිසිදු හේතුවක් ඇයට නොවේ. ජීවිතයට පිරිමියෙකු ඕනෑ ම ද කියා ඇය දන්නේ ද නැත. එහෙම හිතන්නට හේතුවක් ද නැත.

“ඇයි…බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්න නිසාද…”

තඹරු වහා හිස හරවා සමනල් දෙස බැලුවා ය. ඒ බැල්ම තියුණු විය. ඔහු ගේ දෙතොල් අතරේ වූයේ හිතුවක්කාර සිනහවකි.

“මට ඇති බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑ. හැබැයි එහෙම හිතා ගත්තත් මට කමකුත් නෑ”

මුරණ්ඩුකමින් ඔහු ට දෙවැනි වන්නට ඇයට හිතුණේ ම නැත.

“බෝයි ෆ්‍රන්ඩ් කෙනෙක් හිටියත් මට කමකුත් නෑ”

ඇගේ පපුව දඩස් ගා හෙළවිණ. ඇය නළල රැලි නංවා ගෙන ඔහු දෙස බැලුවා ය. ඒ හිතුවක්කාර බැල්ම එහෙම ම ය. තඹරු ගේ හිත නතර වී තිබිණ. පවසන්නට යමක් ගලපා ගන්නට වචන තෝරා ගන්නට ඇය අපොහොසත් ව සිටියා ය. ඒ කැළඹීමෙන් යුතුව ම සන්නිවේදන මධ්‍යස්ථානයට ගොඩ වූ ඇය සිය කාරණාව ගැන දැනුවත් කොට යළිදු පිටතට ආවා ය. ඒ කාර්යය නිම වන්නට මඳක් වෙලා ගත වනු ඇත.

“ඔයාට අයිතිය තියනව මට කැමති නොවී ඉන්න. ඒ ගැන කිසිම තර්කයක් නෑ”

මත්තෙගොඩ නගරය පුරා දැල්වෙන විදුලි බුබුළු වල සුදු හා කහ ආලෝකය තරුණයා ගේ වත මත පතිත වී තිබේ. කෙටිවට කපා ඇති රැවුල් කොට මුහුණ පුරා ශෝකයක් තවරනු දැකය හැක. නමුත් ඔහු පරාජය භාර ගන්නට කැමති කෙනෙකු නොවේ. සිනහවක් ලෙසින් පිටමං වෙමින් තිබුණේ ඒ ආත්ම අභිමානයයි.

“හැබැයි ඔයා ගැන හිතන්නෙපා කියල මට කියන්න ඔයාට අයිතියක් නෑ. ඒක මගෙ කැමැත්ත…මගෙ අයිතිය…මට ඔයාව දකින්න ඕන වුණාම මං එනව. ඔයාගෙ ගෙදරට හරි ඇවිත් මූණ බලල යනව”

අත් දෙක ඉණෙහි ගසාගෙන තඹරු දෙතොල් තද කොට පියා ගත්තා ය. තවත් මොනවා කියන්න ද? කුමක් කියා තර්ක කරන්න ද?

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles