ආතුරයන් මැද ආදරෙන් 12

“ඒක මැරුණු මැණිකක්”..

කියලා භූ විද්‍යාඥවරු කිව්වේ එතකොටයි. ආයිත් පාරක් ජාදුව මූලික කරගෙන විකල්ප පත්තර කාරයෝ අවුළුවන්න හදපු ගින්න  බට කැලේට වතුර දැම්මා වගේ නිවිලා ගිය හැටි දැකපු කේසරයි බන්දුල ඇමතිතුමයි හිනාවුණා. රෙංගස්වාමි හැටියට පෙනී හිටපු විනෝදස්වරම් තමාට හිමි මුදලත් අරගෙන යාපනයේ තමන් රස්සාව කරන රාජ්‍ය නොවන සංවිධානයේ නිල නිවසට ආපහු  ගියා.මැණික අරං ගිය පනස් දෙනාම ආපහු ලංකාවට ආවේ ඩුබායි රත්තරනුත් අරගෙනයි.කේසරට අදාල පංගුවත්  ලැබුණා.සිද්ධිය එතැනින්ම ඉවර වුණා.ජාදු නැවතත් නිදහස් වුනා.සිද්ධිය මතු කරමින් කෑගහන්න උත්සාහ කරපු විකල්ප පත්තර සහ නිල නොවන රාජ්‍ය සංවිධානවල පිරිසට ඊට දවස් දෙක තුනකට පස්සේ විශාල මත්පැන් සාදයක් කොළඹ තරු පන්තියේ හෝටලයක පැවැත්වුණා.

කලින් දවසේ රාත්‍රියේ අති විශේෂ කෙනෙක්ව මුණගැහෙන ට්‍රාන්ස් ඒසියා හෝටලයට  කේසරව ජාදු එක්කගෙන ගියාට ඒ කවුද කියලා ජාදු  දැනගෙන උන්නේ නෑ.කේසර කිව්වෙත් නෑ..

“මං එළියට එන්න රෑ වෙයි. උඹ බුෆේ එකෙන් කාපන්. මාත් එක්ක ආවෙ කියපන්… එතකොට හරි ..අර පොලිස් කාරයෝ එළියම හිටපු දෙන්. උඹට උන්ව පේනකොට තද වෙනවා නම් ලොබියට වෙලා හිටපන්”

එහෙම කියපු කේසර දකුණු ඉන්දියාවෙන් ගෙනාපු ඉස්තරම් සුදු සරමේ රැලි අතින් හදාගෙන හෝටලය ඇතුලට නොපෙනී ගියා.

පුංචිම පුංචි වැහි පොදක් එක්ක ඇමිණිලා ආපු මුහුදු හුළඟ තෙත සේලයක් ගෑවුනා වගේ ජාදු ට දැනුනා .වාහනය ඇතුළෙදිම තමන්ගේ පිස්තෝලය හරියට තියෙනවද කියල බලපු ජාදු  ගාලු මුවදොර පිට්ටනිය දිගේ ඇවිද්දා.
කවදාවත් නැතුව තමන් මැරෙයිදෝ කියලා බය හිතුනා. හෙට උදේ ඉර උදාව දකින්න පුළුවන්ද කියලත් හිතුනා. කවුරු වෙනුවෙන්ද මම ජීවත් වෙන්න ඕන කියලා හිතාගන්න බැරුව ගියාට කවදාවත් නැතුව ජීවත් වෙන්න ඕනෙයි කියලා හිතුනා.හිතට දැනෙන මේ හැඟීම හරිම නන්නාදුනනයි කියලා ජාදුට හිතුණා.හෝටලයේ ඈත ලොබියෙන්  ඇහෙන බොක්ස් ගිටාර් වාදනය මේ වෙලාවේ තමන්ගේ හැඟීමට හරියටම ගැලපෙනවා වගේ තේරුණා.

ඇහිපියන් යට රැඳුණු
මගෙ නොවන මේ කඳුළු
නමක් නැති ඈටමයි
ඈ යන්න යනදාට
නොහඩන්න දිරි ගන්න
ආදරය ඒ වගේ

කවුරුත් නොදන්න ජාදුගේ රහස් හිතේ කොළයක ඔහේ ලියවෙමින් තිබුණා.
ගෝල් පේස් පිට්ටනියේ හිටපු වෙළෙන්දෙක්ගෙන් නළල් තිලක කොළයක් ජාදු ගත්තා.මිල රුපියල් පනහයි කිව්ව නිසා කවදාවත් නැතුව ජාදු රුපියල් සීය කොල දෙකක්ම දුන්නා.  නලල් තිලක කොළය පිටිපස්සේ ලියන්න ඕන කවිය තනියම හිතෙන් හිතුවා.
තව දවස් දෙකකින් වර්ණාසි බේබි රට  යනවා. එයාට මම වෙන මොනවා දෙන්නද ..මේ පොට්ටු  කොළය දෙනවා. බේබි මට හිනාවෙයි කමක් නෑ…
කියලා ජාදු හිතුවා.
ලොකු සර්ගේ ජනාධිපති චන්දෙට තව සති දෙකයිනෙ තියෙන්නේ මේ සේරම යුද්ධයක් වගේ දැනේවි. එතනින් එහාට වර්ණාසී බේබි කවද හරි සුද්දෙක් බඳීවි. ඒ වගේ රෝස මලකට ගැලපෙන්නේ සුද්දෙක්ම තමයි.මම බේබිට පණ උනත් දෙනවා… ඒ උනත් ඒ ආදරය කවදාවත් මට කටින් කියන්න විදිහක් නෑ..ඒ වචනය මගේ කටින් පිටවුණු දවසට මට බේබිත් නැතිවෙයි… කේසර සර්ත්  නැති වෙයි…   ආදරය විඳින්න ආදරය කරන්න මිනිස්සු පින් කරලා තියෙන්න ඕනේ.අපේ අම්මාගේ බඩට මාව ආපු දවසේ ඉඳලා අම්මා හිතන්න ඇත්තේ මගෙන් නිදහස් වෙන්නේ කොහොමද කියලයි. ඊට පස්සේ මම කවදාවත් මනුස්සයෙක්ගෙන් ආදරය කියල දෙයක් අත්විඳලා තියෙනවාද..ඉස්කෝලෙදිත් මට හම්බුනේ ගුරුවරුන්ගේ ගුටියි ටොකුයි විතරයි. ගෑනු නම් කී දෙනෙක් ජීවිතේ ඉඳලා තියෙනවාද..ඒ වුණාට උන් එකෙක් ගෙන්වත් මට මේ වගේ හැඟීමක් දැනිලා තියෙනවද.තමන්ගේ පණ උනත් දෙන්න හිතෙන ගෑනියෙක්ගෙන් වෙන්වෙලා ජීවත් වෙන්න පුළුවන් නම් මිනිහෙක්ට…මං දන්නෑ ..මට හිතාගන්න බෑ..
කියල ජාදු  තනියම හිතුවා.  පරිස්සමට තිලක කොලය උඩ සාක්කුවේ දාගත්තා.නැගෙනහිර වෙරළ තීරයෙන් ඉර උදාවෙන්න තව පැයක් විතර තියෙද්දී කේසර කලබලයෙන් කලබලයෙන් එළියට ආවා. ගෙදර එනකං වචනයක්වත් කේසර කතා නොකරපු නිසා ජාදු ත් කරදර කරන්න ගියේ නෑ.. ලොකු සර් ගැටයකට උත්තරයක් හොයනවා වගේ කියලා තනියම හිතුවා හිතුවා. එහෙම වෙලාවට කතා නොකරන්න ජාදු  දන්නවා..
වර්ණාසිගේ කාමරය අඳුරු වෙලා තිබුණා.  බේබි නිදි වගේ …

දැන් අලුත් දවසක පැය තුනකටත් වඩා ගෙවිල ගිහින්… අද පෝය නිසා උදෙන්ම නර්මදා  මැඩම් සිල් ගන්න යන බවත් ජාදු ට මතක් උනා.හැමදාම රෑට ඇහැ පිය වේගන එද්දි …කවදාවත් දැකලා නැති කවුදෝ ගෑනියෙක් පොඩි එකෙක්ව හොරෙන් හොරෙන් අරං ඇවිත් කානුවක් ළඟින් තියලා දුවනවා. ඒක හැබෑවටම දකින දෙයක් විදිහට තමයි ජාදු ට දැනුනේ.එළිවෙන ජාමේ ජාදු ට නින්ද යාගෙන එද්දිම කව්දෝ කතා කරනවා වගේ හීනෙන් වගේ ඇහුනා.

“ජාදු පුතේ …මාව පන්සලට දාලා එන්න පුළුවන්ද… ලොකු සර් නිදි.. ඇහැරවන්න තියා හිතන්නවත් බෑ.. “

තනි සුදු කපු සාරියක් ඇඳගෙන උතුරු සළුවෙන් වැහිලා හිටපු සුදට සුදේ බබලන නර්මදා මැඩම් අතේ සුදු මල් වට්ටියකුත් තිබුණා.

“හරි මඩම් යමු. මම ටක්ගාලා ලෑස්ති වෙලා එන්නම්”

කියපු ජාදු විදුලි වේගයෙන් ලෑස්ති වෙලා ආවා.නර්මදා මැඩම්ම පාන්දර පහයි හතළිහ වෙද්දී පන්සල ළඟින් බස්සපු ජාදු  සොහානාගේ කොළ කැඳ කඩේ ගාවින් නවත්තලා කොළ කැඳ වීදුරුවක් බොන්න බැස්සේ පුරුද්දට වඩා ඇගේ මහන්සිය නිවා ගන්නත් එක්ක.

එක අතකට අර කුණු ශාන්තයට ගේමක් දීලා චක බ්ලාස් කරපු එක කොච්චර හොඳද …මේ අහිංසක ගෑනු මනුස්සයා කනට ඇහෙන්න කතා කරන්නෙත් නැහැ. ලොකු සර් ළඟ සැනසිලා ඉන්න හැඩයි. ලොකු සරුත් මේ නිවුණු ගතියටයි කටහඬටයි තමයි කැමති වෙන්නේ  ඇත්තෙ කියලා ජාදු ට හිතුනා .

නින්දක් නැතුව එක දිගට රෑ දෙක තුනක් වුණත් නිදි මරන්න පුළුවන් උනත් නිදාගෙන පැයකින් එකපාරටම ඇහැරිලා ඊළඟට එක දිගටම ඇහැරිලා වැඩ කරන එක හරි අමාරු වැඩක් කියලා ජාදු ට  හිතුනා.
හෙටින් පස්සේ වර්ණාසි බේබි නෑ..ආපහු සැරයක් පරණ පුරුදු පාළු ජීවිතේ..නෑ සමහරවිට ටිකක් වෙනස් වෙයි.ලොකු සර්ගේ ඡන්ද කලබලත් එක්ක සෑහෙන කලබලයක් තියේවි. ලොකු සර්ට විරුද්ධව ඉන්න කණ්ඩායම් මොනවායින් මොනව කරයිද දන්නේ නෑනේ …හදිසියේ  හරි මෙදා පාර ජනාධිපතිවරණයෙන් ලොකු සර් පැරදුනොත්?.. මොකද වෙන්නෙ?..මොනා වෙන්නද ..ලොකු සර් නම් කොහොම හරි රට පනියි.. මේ තුන් ලෝකෙ හැංගෙන්න තැන් ද එයාට නැත්තේ.. එතකොට මට මොනවා වෙයිද …මාව අරන් යන්නේ නෑනේ… මට සිද්ධ වෙන්නේ අපායේ හරි ගිහිල්ලා හැංගෙන්න තමයි.
කවදාවත් නැතුව තමන්ට මේ විදිහට හිතෙන්නේ ඇයි කියලා ජාදු ට හිතාගන්න බැරුව ගියා.ගෙදරට වාහනය හරවන කොටම කේසර බොහොම වේගයෙන් එළියේ එහාට මෙහාට පුදුමාකාර නොසන්සුන් කමකින් ඇවිදිනවා ජාදු  දැක්කා.වර්ණාසි බේබි  නිදි ඇඳුම පිටින්ම ඔලුවත් පල්ලෙහට කරගෙන කඩා වැටිලා වගේ පුටුවක් උඩ කල්පනා කර කර හිටියා.

“උඹ මැඩම්ව පන්සල ට දැම්මද පුතේ? “

“ඔව් සර්”

“පුතේ.. මගේ කෙල්ල බේරගනින්”..

කියපු කේසරගේ ඇස් වතුර පොකුනක් වගේ පිරුනා.කිසි දෙයක් හිතා ගන්න බැරි ජාදු  බලන් උන්නේ වර්ණාසිගේ මූණ දිහා.

“ජාදු..  කර්නල් ධර්මප්‍රිය දැන් කතා කළා.. සතියක් ඇතුළත වර්ණාසි බේබිට ඇටෑක්  කරන්න එහා පැත්තෙන් ප්ලෑනක් යනවලු. වර්ණාසි බේබ ඉවර කලහම උන් දන්නවා මාවත් නිකංම මැරෙන බව…ඉලෙක්ශන් එකට තව සති දෙකයි.. මේ දවස් වල අපි හැමෝම රැස්වීම් හින්දා මාර විදිහට බිසී වෙලා ඉන්නේ..  ඒ කලබල කමම තමයි උන් ප්‍රයෝජනයට ගන්න යන්නේ … “

කිසි දෙයක් හිතා ගන්න බැරි වෙච්ච ජාදු  බලාගෙන හිටියා.

” ජාදු කටේ කෙළවත් හොලවන්නේ නැතුව… නාගයෙක් මැණිකක් රකිනවා වගේ මගේ මැණිකව රැකලා දීපන්.”…

කේසර එහෙම කියලා එකපාරටම පුටුවක් උඩට කඩාගෙන වැටුණා.

“..තාත්ති අද රෑ මගේ ෆ්ලයිට් එක.. ප්ලීස් මට යන්න දෙන්න …ඔයාලගේ මේ දේශපාලන විකාර වලට මාව ගාව ගන්න එපා…මේ වගේ විකාර අදහස් තියෙන රටක් බව දන්නවනම් මං එන්නේම නෑ …”

කියලා ඉංග්‍රීසියෙන් කියපු වර්ණාසි ගේ මූණ රතු වෙලා තිබුණා .ඒ තරහටද දුකටද ලැජ්ජාවටද කියලා හිතාගන්න ජාදු ට බැරුව ගියා…

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles