මා හද තුළ ඔබ 18

සමනල් දිවයුරු රණසිංහ කාමරයේ ඒ මේ අත සක්මන් කළේ ය. ඔහු ගේ හිත බෙහෙවින් නො සන්සුන් ය. කුණාටු සයුරක් සේ කැළඹිලි සහගත ය. ඒ නො සන්සුන් බවත් තඹරු ගේ ගෙදර ගිය ගමනත් අතරේ සෘජු සම්බන්ධයක් ඇත්තා සේ ඔහු ට දැනේ. නමුත් පටලැවුණු නූල් බෝලයක් සේ සියල්ල අවුල් ය. වියවුල් ය.

සමනල් ගේ පිරිමි පපුවේ පැත්තක රිදීමක් ඇති වේ. සිය හදවත තුළින් කවුරුවත් නැති පාළු හුදෙකලා පුස් ගන්ධයක් වහනය වන්නා සේ ඔහු ට දැනේ. ඒ පාළු පුස් ගඳ හදවත යමක් ඉල්ලා සිටී. බැගෑපත් වෙයි. ජීවිතයේ අතරමගක අතෑරී ගිය යමක් තඹරු ගේ ගෙදර ඇත්තා සේ ඔහු ට දැනෙයි.

අම්මාත් දුවත් ඔහු ට සංග්‍රහ සත්කාර කළේ අමුත්තෙකුට නොව තමුන්ගේ ම කෙනෙකුට සේ ය. ඒ තමන්ගේකම අමුත්තන්ගේ ආගන්තුකත්වයෙන් වෙන් කොට හැඳින ගන්නට හිතකට පිළිවන. තඹරු අහංකාර බව ඇත්ත ය. නමුත් ඇය අවංක ය. හෘදයාංගම ය. රැව්වත්, බැන්නත් ඒ මොකක්දෝ තමන්ගේ කමක් පපුවේ හිර කර ගෙන ය.

“අම්මල උයන කෑම විතරක් මෙච්චර රස වෙන්නෙ කොහොමද…”

කෑම කන ගමන් සමනල් විමසුවේ පොඩි එකෙකුගේ අවංක බවිනි. ඔහු ගේ ඇස් වලට කඳුළු උනන්නට තරම් එහිදී අත්විඳි සියල්ල හදවතට දැනෙනා සුළු විය.

“පුතාගෙ අම්මත් රසට උයනව වගේ”

තඹරු බියෙන් සිටි කතාව ම රන්මුතු ඇදගත්තා ය. අම්මා…සමනල් අම්මා ළඟ නොවන හුදෙකලාවක විඳවන බව දන්නා නිසා තඹරු රන්මුතු දෙස බැලුවේ මූණ ඇඹුල් කරගෙන ය. ඇගේ ඒ බැල්ම ඔහු හැඳින්නේ ය. අභ්‍යන්තර වේදනාව යටපත් කරනා සිනහ රැල්ලක් ඔහු ගේ දෙතොල් මත නැඟිණි.

“අම්ම අපි එක්ක නෑ ආන්ටි”

තඹරු ගේ නො සන්සුන් බැල්මෙහි අරුත රන්මුතු ට වැටහුණේ එතකොට ය.

“අනේ සොරි පුතා. මං එහෙම එකක් දැනං හිටියෙ නෑ”

“ඒකට කමක් නෑ ආන්ටි. මොන ශිල්ප දාල අපේ කුස්සියෙ වැඩ කරන අය උයන කෑමකවත් මට මේ රස දැනිල නෑ. ඒ රසට නමක් දෙනවනං…අම්මගෙ කෑම රස…ගෙදර හදන කෑම වගේ කියල සමහරු කියනවනෙ… අම්ම හදන කෑම වගේ කිව්වහම විශේෂයි. අම්මගෙ කෑම රස…අම්ම සුවඳ…ඒව හරි ලස්සනයි”

සමනල් ගේ දෑස් මොහොතකට පියවිණ. තඹරු බිය වී සිටියා ය. ඇය හඬන්නට ඔන්න මෙන්න වාගේ හිටියා ය. අම්මා එක්ක ඇයට කේන්තියක් ද නො දැනුණා නොවේ. කෙනෙකු ගේ හදවතේ සංවේදී ම තැනකට අත තැබිය යුත්තේ ප්‍රවේසමෙනි. අත නො තබා ම ඉන්නවා නම් වඩා හොඳ ය.

රන්මුතු, සමනල් ගේ හදවතේ වැසී තිබූ දොරටුවක් විවර කොට දැමුවා සේ ඔහු ට දැනේ. ඒ දොරෙන් පරණ සුවඳක් හමන්නට පටන් ගෙන තිබේ. ඊටත් වඩා ඔහු නො සන්සුන් කරනට තඹරු ගේ පියා සමත් වූයේ ය. ඔහු ගැන සමනල් ට දැනෙන්නේ ළය පහුරු ගාන්නා බඳු රිදුමකි. ඔහු ගේ ඇස් වල වන පිරිමියෙකුට පමණක් හැඳිනගත හැකි පශ්චත්තාපය සමනල් ගේ තුරුණු හදවතෙහි ඉසියුම් භීතියක් උපදවා තිබේ.

සියල්ල අතරින් යළි යළිත් ඔහු ට මැවී පෙනෙනුයේ තඹරු ගේ නෙළුම් පෙති ඇස් දෙකයි. අහංකාරය නමැති පටලයකින් අවරණය කරගෙන ඉන්නා ඒ ඇස් වල වන දීර්ඝ කාලීන කණස්සල්ල, විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් අනාවරණය කර ගනු ලැබූ නිදන්ගත රෝගයක් සේ ඔහු ට ප්‍රත්‍යක්ෂ ය. නමුත් ඒ හදවතට අත තබනා එක පහසු නැති බව ඔහු දනී.

“මට ඒකිව දැනෙනව බං. නොදැනෙනව නෙවෙයි එයා දැනෙන්නෑ වගේ ඉන්නව”

ඉරිදා හැන්දෑවේ සමීපතම මිතුරන් දෙතුන් දෙනාගෙන් කෙනෙකු සමගින්, රන්වන් පෙණ බුබුළු නගනා බීර වීදුරුවක් ඉදිරියේ දොඩමළු වෙමින් සමනල් සිය යටි හිත එළියට ගත්තේ ය.

“එහෙම කරන්නෙ ඒකිට මොළේ තියන නිසා. මොළේ කළඳක් හරි තියන එකෙක්නං උඹත් කරන්න ඕනෙ ඒ මිනිස්සු රැවුල ගිනි අරං ඉද්දි සුරුට්ටු පත්තු කරන්න නොයා ඉන්න එකයි”

“මට තඹරු අමතක කරන්නවත් අත්ඇරගන්නවත් ඕන නෑ නිදුක්”

“කරුණාසේන ජයලත්ගෙ නවකතාවක ඉන්න සුගත් කෙනෙක් නිමල් කෙනෙක් වෙන්න හදන්න එපා බං. ආත්මාර්ථකාමී විදිහට ලව් කරන්න ගිහිං පැත්තක ඉන්න කෙල්ලෙක්ගෙ විතරක් නෙවෙයි තමුංගෙ ජීවිතෙත් අවුල් කරගන්න හදන්න එපා”

“උඹ හිතන්නෙ මං නිමල් කෙනෙක් වෙලා තඹරුව ඉන්න තැනිනුත් පහලට ඇදල දායි කියලද…”

සමනල් ගේ මුහුණ මත අවඥාසහගත සිනහවක් විය. මිතුරා ඔහු ට නො දෙවෙනි කට කොන් සිනහවක් නගා ගත්තේ ය.

“ඒක තමයි වෙන්න පුළුවන් පොඩිම දේ..උඹලගෙ තාත්ත කවදාවත් උඹට ඒ වගේ ප්‍රශ්න තියන පවුලකට කරගහන්න දෙන්නෑ. ඒක හරිද වැරදිද හොඳද නරකද කියල තර්ක කරල වැඩක් නෑ මචං ඒක එහෙමයි. එයා උඹේ තාත්තනෙ. අම්ම කෙනෙකුත් නැතුව උඹව ඔහොම හදාගත්ත කෙනානෙ. ඒක නිසා එයාට ඒ හැම අයිතියක්ම තියනව. නෑ කියල උඹට තර්ක කරන්න පුළුවන්. හැබැයි තියනව මචං. අපි මොනාහරි ගොඩ දාගන්න කොච්චර කට්ටක් කන්න ඕනද කියල හිතහං. දෙයියනේ කියල උඹට එහෙම  නෑ. ඒ උඹ වෙනුවෙන් උඹේ තාත්ත ඕල්රෙඩි ඒ කට්ට කාල තියන නිසා. ඒක නිසා මේක උඹගෙ ජීවිතේ කියල කියන්න අයිතියක් තිබුණත් යුතුකමක් නෑ මචං”

සමනල් ගේ හිස වටා ඒ සියල්ල කැරකෙමින් තිබිණ. සිනහවක් නගා ගෙන සිටියා ට තමන් සිටින්නේ ජීවිතයේ යම් තීරණාත්මක අඩවියක බව ඔහු දැන සිටියේ ය. අවශ්‍ය වන්නේ තඹරු ගේ කැමැත්ත පමණක් යයි මෙතෙක් ඔහු විශ්වාස කළේ ය. තාත්තා මෙහෙම කතාවකට ඉඩ නොතබන බව නිදුක් පවසනා තුරු ම ඔහු ට හිතී තිබුණේ නැත. නිදුක් ගේ අම්මාව වෛද්‍ය සායනයට ගෙන යන්නට තිබුණෙන් සමනල් සිය රිය මිතුරාට දී නිදුක් ගේ යතුරු පැදියට නැගුණේ ය.

“උඹ ඕකේ නේද…බයික් එකේ යන්න බෑ වගේනං උඹ කා එක අරං පලයං. මට කැබ් එකක් කෝල් කරගන්න පුළුවන්”

“පිස්සුද බං…බියර් එකක් මොකද්ද”

ඔහු සිනහ වූයේ නො දරුවෙකු මෙනි. නමුත් බීර බුබුළු සේ හදවතෙහි පෙණ නගමින් බිඳී යන සියුම් වූ යමක් තිබිණි. සීරුමක් දැවිල්ල දිණි. නමුත් සමනල් දිවයුරු රණසිංහ යනු කිසි සේත් පරාජය භාර ගන්නා පුද්ගලයෙකු නොවන බව ඔහු දැන සිටියේ ය. ඒ හිතිවිලි කුණාටුව සමග පොර බදමින් යතුරුපැදිය පැද යන අතරේ අම්මා කෙනෙකු පාරට පැන්නේ සමනල් කිසි සේත් බලාපොරොත්තු නොවූ මොහොතකයි. එතැන පදික හුවමාරුවක් නො තිබි මුත් ඒ අම්මා බේරා ගනු වස් ඔහු බයිසිකලය පසෙකට හැරවූයේ ය. සමතුලිතබව බිඳ වැටී යතුරුපැදිය පෙරළිණ. සමනල් ඊට යට වී ගත්තේ ය. කුමක් සිදු වී ද කියා ඔහු ට සිතා ගැනීමට හෝ හැකි නොවිණ. කිහිප දෙනෙකු වහ වහා ලං වී බයිසිකලය ඉවත් කොට සමනල් නැගිටුවන විට ඔහු ට පය බිම ගසා ගත නො හැකි වේදනාවක් දැනෙමින් තිබිණ. ඩෙනිම් කලිසමට ඇතුළෙන් උණුහුම් දිය දහරක් ගලා යන්නට වූයේ ය. සිරුරට යට වූ අත හම ගොස් වනයක් සේ රිදුම් දුනි.

ළඟ ම තිබූ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් බෙහෙත් දමා ගෙන ඔහු යළි බයිසිකලය පැදගෙන ගෙදර ආවේ හිතේ හයියට ය. අත් කකුල් වලට බෙහෙත් දමා පැලැස්තර කොට තිබිණ. ඔහු බෙහෙත් බීවේ උදයේ කාර්යාලයට යා යුතු බැවිනි.

වෙනත් ඉරිදා වල සමනල්  ජිම් එකට එයි. නමුත් ඒ හැන්දෑවේ ද ඔහු ආවේ නැත. තඹරු බලා නො සිටි බව ඇත්ත ය. එනමුදු ඔහු ආවේ නැති බව ඉඳහිට ඇගේ හිත කොනිති ගසා ඇයට මතක් කළේ ය. තඹරු ගැඹුරු දිය මතුපිටක් වාගේ නිසසල ව සිටියා ය. අඩු තරමින් වෙනදා එන ස්ටිකරයක් හෝ දුරකතනයෙහි නොවූ බව ඇය දැන සිටියා ය.

සඳුදා උදා වූයේ සමනල් ට අඩිය තබා ගන්නට බැරි වේදනා රැලි ජාලයක් සමග ය. ඔහු ඔහේ වැතිර සිටියේ ය.

“අද ඔෆිස් යන්න ඕන නෑ”

ඩිලන් ගෙදරින් නික්මීමට පෙර කාමරයට කරපොවා බලා කීවේ ය. සමනල් එකඟ වන්නට හෝ විරුද්ධ වන්නට නො ගියේ ය. නිදුක් සමගින් කළ කතා බහෙන් පස්සේ දැනට ම සමනල් ට තාත්තාව සිය ප්‍රතිමල්ලවයා සේ දැනෙන්නට පටන් ගෙන තිබේ. ඒ කවදත් පියා කෙරේ ඔහු තුළ තිබූ නොරිස්සුමෙහි අලුත් වේශයකි.

සමනල් කාර්යාලයට පැමිණෙන සාමාන්‍ය වේලාව නික්ම යමින් තිබිණ. පුරුදු පරිදි වැඩ වල නිරත වෙමින් සිටියාට තඹරු ඒ බව දැන සිටියා ය. ඇයටත් නො දැනී ම ඇය විසින් යටපත් කරනා අවිනිශ්චිත බවක තිගැස්මක් වරින් වර හිතුවක්කාර ලෙස නැගී සිටියේ ය. ඒ වෙලාවට ඇය ඉදිරියෙහි වන වීදුරු කුටිය දෙස බලා යළි වැඩෙහි නිරත වූවා ය. සමනල් අද කාර්යාලයට නො එන බව ඇය පමණකුදු නොව සියලු දෙනා ප්‍රත්‍යක්ෂ කරගෙන සිටියහ.

තඹරු ගේ ඇස් නිරායාසයෙන් ඉදිරිය බැලූ එක නිමේශයක කොර ගසමින් වාගේ සමනල් කොරිඩෝරය දිග හෙමිහිට යමින් සිටියේ ය. ඔහු සිටියේ ටී බැනියමක් හා ඩෙනිම් කලිසමක් හැඳ ය. සුරතේ වැලමිටට පහළින් කොටස මුළුමනින් පැලැස්තර කොට තිබිණ. ඒ හැබෑවක් ද නැත්නම් සිය සිත තුළ දර්ශනය වූ මායාවක් දැයි තඹරු මොහොතකට තුෂ්ණිම්භූත වූවා ය. සමනල් කොර ගසමින් පඩි තුන නැග කුටියට ඇතුළු විය. එකෙනෙහි පාලිත ද ඇතුළට රිංගුවේ ය.

“තඹරු මිස්ට එන්න කියන්න පාලිත”

“මොකද සර් මේ…”

තඹරු ට තව දුරටත් අසුන්ගත ව සිටිය හැකි වූයේ නැත. ඇයටත් නො දැනී ඇය අඩියට දෙකට සිය කියුබිකල් එකෙන් නික්ම සීඊඕ කුටියෙහි දොර විවර කර ගෙන ඇතුළු වන්නට වූවා ය. තඹරු පැමිණියෙන් පාලිත පිටතට ගියේ නොසිඳුණු කුහුල් සිත දරාගෙනයි.

“ඇයි මේ…”

තඹරු ගේ ඇස් ලොකු වී තිබිණ. සමනල් සිහින් සිනහවකට ඉඩ දෙමින් ඇදෙස බැලුවේ ය.

“මොකද වුණේ කියන්නකො…කොහොමද මෙහෙම තුවාල වුණේ…කා එක ඇක්සිඩන්ට් වුණාද..කවද්ද වුණේ..”

ප්‍රශ්න පෝලිමක් හිත ළඟ විය. නමුත් ඇයට වචන කළ හැකි වූයේ ඉන් කිහිපයකි.

“පොඩි ඇක්සිඩන්ට් එකක් වුණා. බයික් එක පෙරළුණා”

“අනේ කා එකේ යන්නැතුව බයික් වල රේස් පදින්න ගියාද…ඔහොම තුවාල වෙලා බේරුණා ඇති ලොකු දෙයක් නොවී. ශුවර් එකටම අර බිග්මැච් පිස්සො එක්ක බීගෙන බයික් වල යන්නැති. තමුන්ට ලැබිල තියන ජීවිතේ කොච්චර වටිනවද කියල දන්නෑනෙ. අම්ම තාත්ත අතපය නොකඩා හදල තියන නිසා ඒක කොහොමහරි කරගන්න එපැයි නේද…හිනා වෙනව තව. කොරගගහ හරි ඔහොම ඇවිදගන්න පුළුවන් වුණා ඇති. මාස ගාණක් ඇඳක් උඩ තපින්න උනානං තේරෙයි රඟේ. අර අපේ තාත්ත අවුරුදු ගාණක් තිස්සෙ විඳින දුකක්…මිනිස්සුන්ට ප්‍රශ්න නැති වුණාම එකක් හොයාගෙන හරි ඇඟේ දාගන්න ට්‍රයි කරනව”

ඇය හුස්මක් නො ගෙන කියවාගෙන යන්නට වූවා ය. සමනල් මඳ සිනහවකින් එකත්පස්ව ඇදෙස බලාගෙන ම සිටියේ ය. කියවීම නතර වූ ඉක්බිති ඇය හයියෙන් හුස්ම ගන්නට වූවා ය. ඇයට දැනෙමින් තිබුණේ, මල්ලී සඳැස් වාගේ වූවා නම් කේන්තිය තුනී වී යන තුරු ම පහර දෙන්නට තරම් ආවේගයකි.

“මට කොහොමද අමාරුද කියලවත් අහන්න එපා…බැණගෙන බැණගෙන යන්න. මෙච්චර අමාරු තියාගෙනත් මං ඔෆිස් ආවෙ…”

ඉතිරි ටික කියන්නට බැරි දෙගිඩියාවක් ඔහු ට දැනිණ. ඒ ඇගේ ඇස් වල වූ රැවුම ඒ තරම් දරුණු වූ හින්දා ය. අසුනෙහි හේත්තු වූ ඔහු රිදුම් දෙන කකුල දිගහැරියේ ය. එහි වේදනාව ඔහු ගේ මුහුණ මත සනිටුහන් වෙමින් තිබිණ. එය වසන් කරන්නට ඔහු නැගූ අසරණ සිනහව දැක තඹරු ඉවත බලා ගත්තා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles