වර්ණාසිගේ මූණ කඳුළුවලින් හේදිලා තිබුණා.නමුත් ඉකියක ලකුණක්වත් පෙනුනේ නෑ.. ගේ වටේට හුළඟ විතරක් කෑ ගහන සද්දෙ තිබුණා. මෙච්චර කාලයක් තමන් ළඟ අම්මගේ කඳුළු ගල් වෙලා තිබිලා කියලා වර්ණනාසිට තේරුනේ ඒ වෙලාවෙ. තාත්තා මේ තරම් පහත් තත්වයට වැටුනේ ඇයි කියලත් හිතුනා.
“ජාදු”…
හමන හුළඟකටත් වඩා හෙමින් වර්ණාසි කතා කළා. ඈත අතීතයේ මුතු කැටයක මතකයක් විදියට ඉන්න නාලිකා නෝනා මේ තරම් කඳුළු ගඟක උන්න බව ජාදු හීනෙකින්වත් හිතුවේ නෑ. දේශපාලන බලය ගන්න රජ ගේම් දෙන කේසර සර් කවුද කියන්නේ හොඳින් දැනගෙන උන්නත් තමන්ගේ ගෑනිව මේ විදිහට දෙන්න තරම් නරුමයෙක් කියලා හීනෙකින්වත් හිතුවේ නෑ.නර්මදා මැඩම්ගේ කසාද මිනිහාව පරලොව අරින්න තමනුත් උදව් වෙච්ච බෝම්බ කතාව ජාදු ට මතක් වුණා.මුණ ගැහෙන හැම වෙලාවකම කටපුරා පුතේ කියලා තමන්ට කතා කරන නර්මදා මැඩම්… ඒ විස්තරය හරියටම දැනගත්තු දවසක මොනව කරයිද කියලා නිකමට වගේ ඒ වෙලාවේ ජාදු ට හිතුනා.බෝම්බ සිද්ධියෙන් දවස් තුන හතරකට පස්සේ පත්තර වල ටීවී වල දිගින් දිගටම මුළු ඇඟේම හම ගැලවුණු මුලු ඇඟම පිච්චුණු ළමයි මිනිස්සු පෙන්නන කොට මොන පව් කන්දකටද තමන් කර ගැහුවේ කියලා ජාදු ට හිතිලා තිබුනා. එදා පල්ලියේදී බෝම්බෙන් මැරිච්ච පොඩි එකෙක් ගෙ එක තාත්තා කෙනෙක් අකුණු ගගහා වහින හැම දවසකම තමන්ගේ දරුවා අකුණු වලට බය හින්දා මිනී වළ ළඟ තනි රකින්න යනවා කියලා පත්තරේ තියනවා දැකපු ජාදු කාටත් නොකියා හොර රහසේ අඬපු හැටි මතක් උනා.අපායට ගිය දවසකත් බලු වෙන්නේ අපි තමා… එතනදිත් කේසර සර් වගේ කට්ටිය පගාව දීලා බේරෙයි. ලොකු සර් එතැනදිත් අත්හිටවපු දඩුවම් අරගන මොනවා හරි එතනදිත් පගාවට පොරොන්දු වෙයි…පණ වගේ තමන් ආදරේ කරපු, රැක ගත්තු මේ මනුස්ස පරානය ඇතුලේ කතාව මේ තරම් ගඳ ගහනවද කියලා ජාදු පුදුම උනා.
කිසිම දෙයක් නොකියපු ජාදු හෙමින් සීරුවේ තමන් හිටපු තැනින් නැගිටලා ආයෙමත් වර්ණනාසී ළඟට ගිහිල්ලා ඉඳ ගත්තා. සමහර ප්‍රශ්න වලට සමහර හිතුවිලි වලට උත්තර නැති වුනත් කවුරු හරි ළඟින් ඉන්න එක ලොකු සහනයක් කියලා ජාදු ට දැනිලා තිබුණා .තමන්ගේ වේදනාවෙන් කඩා වැටිලා තියෙන හිතට සහනයක් ලැබෙන්න නම් ජාදුගෙ උරහිසට ඔලුව තියන්නම ඕන කියලා වර්ණනාසිට හිතුනා.කඳුළු ගඟක් එක්ක ජාදු ගේ දකුණු උරහිස හෙළ වෙන්න ගත්තා. වර්ණාසි මහා වේදනාවකින් අඩන්න පටන් අරගෙන තිබුණා.ඒ රැලි ගැහුනු කොණ්ඩයට ජාදුගේ අතේ ඇඟිලි සිහින් පිරිමැදුමක් ගෙනාවා.”
සමහර විට අම්මා සියදිවි නසා ගත්තා නොවෙන්න ඇති. තාත්ති අම්මව මැරුවද දන්නෙත් නෑ,”..
වර්ණාසි ඉකි ගහන අතරතුර තමන්ට හුරුපුරුදු ඉංග්‍රීසියෙන් කිව්වා.
“අනේ මගේ රත්තරන් බේබි… මට බේබි ගැන හරිම දුකයි. මේ දිනපොත බේබි අරන් තියාගන්න.. කවද හරි දවසක බේබිට ඕනෙ වෙයි. බේබි ඔය තරම් ඉකි ගහන්න එපා.”..
වර්ණාසිට දැනෙන්නේ කලකිරීමක්ද කියලවත් වර්ණාසිට තේරුනේ නෑ.තාත්තා කියන කෙනාට තවදුරටත් ආදරේ කරන්න තමන්ට පුළුවන්ද කියලා වර්ණාසිට හිතුනා.
“ජාදු මට කියන්න… මේ තරම් පහත් සතෙක් වගේ වෙන්න පුළුවන්ද මනුස්සයෙකුට.. තමන්ගේම නෝනට මේ වගේ දෙයක් කරන්න පුළුවන්ද…”..
වර්ණාසි මේ වෙනකොට තමන්ගේ හිත හොඳින්ම තේරුම් අරන් කියල හිතං ඉන්න ජාදු ගෙන් ඇහුවා.
“මටත් හිතාගන්න බෑ බේබි.. මොනවද අපිට මේ කියවන්න හම්බවුණේ කියලා. මට තේරෙනවා බේබිගේ පපුව පෑරෙන්න තරම් දුකයි කියල.. දැන් ගොඩක් වෙලා ගිහින්…මම බේබිට කන්න මුකුත් හැදුවෙත් නෑ.වෙච්ච දේවල් වෙලා ඉවරයි. අපිට ඒකේ හදන්න දෙයක් ඉතුරු වෙලා නෑ. තව ටික වෙලාවකින් සමහර වෙලාවට අපිව ගෙනියන්න ලොකු සර් එයි.. ඒ ආවහම අපි යමු. බේබි කලබල නොකර ඉන්න …අපි පස්සේ බලමු මොනවද කරන්න ඕනේ කියලා.”
වර්ණාසිට නැගිටින්න ජාදු අත දුන්නා. වර්ණාසිව කාමරයට ගිහින් බස්සපු ජාදු ආයෙමත් ගෙදර ප්‍රධාන දොර වහල අගුළු දැම්මා.
මේ තරම් හිතේ නොසන්සුන් ගතියක් ජාදු ට කවදාවත් දැනිලා තිබුණේ නෑ. වර්ණාසි බේබිවත් අරගෙන අහස දෙබෑ කරගෙන ඉමක් කොනක් නැති ලෝකෙ කෙළවරකට යන්න පුළුවන්නම් කියලා ජාදු ට හිතුනා. එලියෙ සිහින් වැස්සක් එක්ක තද හුළඟක් හමන බව ජාදු ට දැනුන. කොහේදෝ යන්න ගිහින් අතරමං වුනු නරි පැටවු රොත්තක් ගෙදරට කිට්ටුවෙන්ම හු කියන්න පටන් අරන් තිබුනා. ජාදු ට මොනවත් කරන්න බැරි ගතියක් දැනුන.එක පාරටම වැහි පොදත් එක්ක මුළු පරිසරයම අඳුරු වෙලා ගිහිල්ලා තිබුනා. ජාදු ගේ හිතට දැනිච්ච බය හින්දම පිස්තෝලය ආපහු හරිද කියලා තහවුරු කරගත්තා.
ඇයි මේ කවදාවත් නැතුව මේ තරම් හිතට බයක් දැනෙන්නේ… මේ වෙනකන් හැම දෙයක්ම හරියට සිද්ධ වුණානේ. වර්ණාසි බේබිගේ ඇහිපිල්ලමකට වත් හානියක් වෙන්න නොදී රැක ගත්තා. තව ටික වෙලාවයි තියෙන්නේ… ඊට පස්සේ බේබිව කේසර ලොකු සර්ට බාර දුන්නට පස්සේ මම නිදහස්.ලොකු සර් දිනලනං එහෙමයි… පැරදිලා නං ඒත් එහෙමයි.ලොක්කා දිනුවොත් මටත් පස්ස දාච්ච බල්ලා වගේ හතර අතේ දුවන්න තියේවි. පැරදිලා නං ලොක්ක පයිප්පෙත් කටේ ගහගෙන විස්කි බීබී උඩ බලාගෙන ඉදියි.
ජාදු පුතේ ..මෙහේ වරෙන් …කිය කිය ඉදියි.. නර්මදා නෝනත් දන්න ජාතක කතා සේරම මුල ඉඳලා අගටයි අග ඉඳන් මුලටයි කියවයි. මං… මං… තමයි තනි වෙන්නේ. තව පැය ගානකින් මං නිකම්ම නිකං ජාදු විතරයි.ෆ්ලොරිඩා ගෙ නැටුම් බලන ..ලොකු සර්ට නැටුම් දාන උන් එලෝ අරින නිකම්ම නිකං කානුවෙන් ඇහිඳ ගත්ත ජාදු විතරයි.
පරිසරයේ තිබිච්ච කළුවරත් එක්කම වර්ණාසිගේ කාමරයේ ලාම්පුවේ එළිය ඒ විදිහටම පෙනුන හින්දා ජාදු කාමරයට එබිලා බැලුවා.වර්ණාසි තවමත් ඇඳ උඩ ගල් පිළිමයක් වගේ ඉඳගෙන බලාගෙන හිටියා.
“මං මොනවා හරි ඉක්මනට බේබිට කන්න හදාගෙන එන්නම් .. එතකං බේබි ටිකක් ඇඳේ දිගා වෙලා ඉන්න.”
“ඒ ඇහෙන්නේ හුළං සද්දෙද ජාදු …”
ජාදු වර්ණාසිගෙ කාමරය මැද්දෙන් ඇවිදගෙන ගිහින් වර්ණාසි ගේ කාමරයේ ජනේලයකින් එළිය බැලුවා..
” වැස්ස ටිකක් තද වෙන්න වගේ යන්නේ .. බේබී මම තේ එකක් හරි කෝපි එකක් හරි ඉක්මනට ගේන්නම්.”
“ජාදු.. මට ජීවිතේ කවදාවත් මේ තරම් අසරණකමක් දැනිලා නෑ. මේ තරම් පැටලිලත් නෑ. මගේ හිත හොඳටම අවුල් වෙලා. මට හිත නිදහස් කරගන්න ඕනේ. ඒත් ඒ කොහොමද කියලා මට තේරෙන්නේ නැහැ. ඇයි තාත්තා එහෙම කළේ කළේ? “
කියපු වර්ණාසි කඳුළු කැට පේළියක් ආපහු මූණ දිගේ පල්ලම් බැස්සුවා.
“බේබිගේ හිතේ වේදනාව මට හිතාගන්න පුළුවන්. අපි හැමෝටම ඔය වගේ පැටලිච්ච තැන් තියෙනවා. බේබිට මම ජීවිතේ කාටවත්ම නොකියන්න හිටපු කතාවක් කියන්නම්. එතකොට බේබිට තේරෙයි ..
බේබිට විතරක් නෙමෙයි හිත හදාගන්න බැරි දේවල් තියෙන්නෙ කියල.. මේ සිද්ධිය ජීවිතේ කාටවත්ම මම නොකියන්න හිටපු කතාවක්.ඒ සිද්ධියේ තියෙන බරපතලකම භයානකකම මට තේරුනේ සිද්ධිය වුණයින් පස්සේ… ඒකට මම පුදුම තරම් හිතෙන් විඳවනවා. ඒ පාපෙට මමත් හවුල් කියලා මම දන්නවා.ඒත් දැන් මට ඒක විසඳගන්නවත් නිවැරදි කරගන්නවත් වෙලාවක් නෑ.”…
වර්ණාසි තමන්ගේ ඇඳ උඩ ඉඳගෙන කකුල් දෙක දණිස් දෙකෙන් නවලා නිකට යටින් තියාගෙන හිටියේ..ජාදු කියන්න හදන කතාව අහන්න නම් ජාදු තමා ලඟින් ඉඳගන්න ඕන කියලා වර්නාසි ට හිතුනා.වර්ණාසි කතා නොකරම ජාදු ට ඇඳේ පැත්තකින් ඉඳගන්න කියලා අතින් සංඥා කළා. වර්ණාසි කන දෙපැත්තෙ ගාන ගැට පිච්ච සුවඳට ජාදු පුදුම විදිහට ආස කළා. ෆ්ලොරිඩාගෙන් ආපු ඉම්පල්ස් සුවඳට වඩා ඒ ගැට පිච්ච සුවඳට තමං ආස වෙලා ඉන්න බව ජාදු දැනගෙන හිටියේ නෑ.වර්ණාසි ලංකාවට ආවා මුල් දවස්වල ජාදු ඒ සුවඳ එන්නේ කොහෙන්ද කියලා ඉව කළා. පාර්ලිමේන්තුව වට රවුමේ තියෙන පිච්ච වැල් වලින් අඳුරන කාකි නිල ඇදුම් ඇද ගත්ත නිලධාරීන්ගෙන් පිච්ච මල් හොරාට ඉල්ලගෙන ඇවිල්ලා තමන් නිදාගන්න ඇඳ ගාවින් ඒ දවස්වල තියාගෙන හිටියා….