රස්නෙ කාලෙට කූල් වෙන්න වෙනස්ම රසට යෝගට් හදමු..

හරිම රස්නෙයි නේද? 

වතුර, සීතල බීම වර්ග, අයිස්ක්‍රීම් කාල බීලම ඒවගෙ රසත් එපා වෙලා ඉන්න ඔයාට ඇඟ නිමාගන්න වගේම පෝෂණීය නැවුම් බවක් ලබාදෙන්න යෝගට් වලට පුළුවන් කියල අපි අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. 

හැබැයි පුරුදු යෝගට් අලුත් රසකින් රසවිඳින්න කැමති ඔයාලට ගැළපෙන ඉන්දියන් ක්‍රමයට හදන රසම රස යෝගට් වර්ග කීපයක් හදන විදිහ කියල දෙන්නයි මේ ලිපියෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ. 

එහෙනම් බලමුද හරිම ලේසියෙන් පහසුවෙන් කොහොමද යෝගට් රසඟන්වන්නෙ කියල?

අලිගැටපේර යෝගට් (Avocado yogurt) 

අවශ්‍ය ද්‍රව්‍ය

පොතු සහ මඳය ඉවත් කරගත් අලිගැටපේර ගෙඩි 01 ක්

අමු මිරිස් කරලක් (අත්‍යාවශ්‍යම නැත) 

කොත්තමල්ලි කොළ මිටක්

නිවිති මිටක් 

යෝගට් 200 g ක්

ලෙමන් ගෙඩි භාගයක යුෂ 

සූදුරු තේ හැඳි 01 ක් 

ලුණු තේ හැඳි 01 ක් 

සාදාගන්නා ආකාරය 

ඔබේ බ්ලෙන්ඩරයේ කෝප්පයට යෝගට් සහ අනෙකුත් ද්‍රව්‍ය සියල්ලම දමා මෘදු මිශ්‍රණයක් ලැබෙන සේ බ්ලෙන්ඩරය භාවිතයෙන් හොඳින් කොටාගන්න.

අතුරුපස බඳුනකට දමා සිසිල් වනතුරු ශීතකරණයේ උඩ කොටසේ තබා ආහාරයට ගන්න.

පිපිඤ්ඤා යෝගට් (Cucumber yogurt)

අවශ්‍ය ද්‍රව්‍ය

පිපිඤ්ඤා ගෙඩි ½ ක් 

යෝගට් 200 ml ක් 

ගරම් මසාලා තේ හැඳි 01 ක් 

මිරිස් කුඩු තේ හැඳි 01 ක් (අත්‍යාවශ්‍යම නැත) 

සාදාගන්නා ආකාරය

පිපිඤ්ඤා ගෙඩිය හොඳින් පිරිසිදු කර පොත්ත ඉවත් නොකර පිපිඤ්ඤා ගෙඩිය කුඩා සිහින් තීරු වලට කපා ගන්න. නැත්නම් ග්‍රේට් කරගන්න.

ග්‍රේට් කරගත් පිපිඤ්ඤා පිරිසිදු රෙදි කැබැල්ලකට දමා මුලක් ආකාරයට සකසා වැඩි වතුර මිරිකා ඉවත් කරගන්න. 

වතුර ඉවත් කරගත් පිපිඤ්ඤා කැබලි වෙනම භාජනයකට දමා ගන්න. 

එයට යෝගට් සහ ගරම් මසාලා එකතු කර හොඳින් කලවම් කරගන්න.

අතුරුපස පිළිඟන්වන භාජනයකට දමා ශීතවන තුරු අධිශීතකරණයේ තබන්න. කැමති නම් උඩින් මිරිස් කුඩු ස්වල්පයක් ඉස ආහාරයට ගන්න. 

දෙළුම් යෝගට් (Pomegranate yogurt) 

අවශ්‍ය ද්‍රව්‍ය

යෝගට් 250 ml ක් 

බැඳගත් සූදුරු තේ හැඳි ½ ක්

හකුරු හෝ දුඹුරු සීනි තේ හැඳි ½ ක් 

දෙළුම් ඇට මේස හැඳි 02 ක්

ග්‍රේට් කරගත් පිපිඤ්ඤා මේස හැඳි 02 ක් 

ලුණු කුඩු තේ හැඳි ½ ක් 

සාදාගන්නා ආකාරය

යෝගට් ටික භාජනයට දමා තරමක් හැඳි ගා ගන්න. 

අනෙක් සියළුම කළමණා යෝගට් වලට එකතු කර හොඳින් කලවම් කරගන්න.

භාජනයක දමා අධිශීතකරණයේ තබා සීතල වූ පසු කෑමට ගන්න. 

මේ සාදාගන්නා ලද යෝගට් ශීතකරණයේ ඉහළ කොටසේ තබා ශීතවූ පසු අයිස්ක්‍රීම් විදිහට කන්න වගේම ශීතකරණයට දමන්න කලින් බිරියානි, පරාටා, තන්දූරි චිකන් වගේ කෑම වර්ග සමඟ ආහාරයට ගන්න වුනත් ඔබට පුළුවන්. 

ඉන්දියානු රස අනුව සාදන මේ රෙසිපි වලින් කුළුබඩු ඉවත්කර පිපිඤ්ඤා, අලිගැටපේර සහ දෙළුම් ඇට පමණක් යොදා සකසා ගන්න වුනත් පුළුවන්. 

එහෙනම් හදල බලන්නකෝ. 

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles