දෙවන ගමන අවසන්ව ගෙවෙන දින කිහිපය පුරා අරුණලීටත් මෙනුකටත් විවාහයවෙනුවෙන් වැය කල වෙහෙස මහන්සිය නිවා ගැනීම පසෙක තබා ඔස්ට්‍රේලියාව බලා.පිටත්ව යන්නට අවශ්‍ය කටයුතු ද එයට පෙර කල යුතු කටයුතු ද අවසන් කරන්නට කාලය වැය කරන්නට වන බව දන්නා නිසාම අරුණලී සහ මෙනුක උන්නේ ඉතාම කාර්යබහුල කාලයක් පසුකරමිනි. මෙනුක විවාහය වෙනුවෙන් ගත් නිවාඩු ඔස්ට්‍රේලියව ගොසින් පසුන් දවසින් අවසන් වන බැවින් ගෙවල් දොරවල අස්පස් කරගැනීම උදෙසා වැය කරන්නට සිදු වන බව අරුණලී දනි.
තමා එහි යන්නට පෙර මෙනුක සමග ඔහුගේ හිතවත්ම යහලුවන් කිහිප දෙනෙකු එ නිවසේ නතර වී උන් බවත් මෙනුක විවාහයෙන් පසුව බිරිඳ එහි කැටුව එන බව දන්නා නිසාවෙන් ඒ මිතුරන් නතර වන්නට වෙනත් තැන ගත් බවත් අරුණලී මෙනුක ගෙන්ම දැන ගෙන උන්නාය.
“දූට එහෙ ගිහින් මුල් දවස් ටිකේ අස් පස් කරන වැඩ තියේවි නේද?”
කාමරයට වී ගෙන යා යුතු ඇඳුම් සූට් කේස් වල අසුරමින් උන් අරුණලී තම කල්පනාලෝකයෙන් තිගැස්සුනේ මෙනුක ගේ අම්මාගේ වදන් වලටය. විවාහයට කලින් මොනවහරි උදව්වක් ඕන නම් කරන්නම් යැයි කියා මෙනුකගේ අම්මා අරුණලීගේ ගෙදර ආවේ දැන් පැයකට විතර කලිනි.
සිනාසෙමින් ලෙමන් යුශ පිරුණු වීදුරුවක් අතින් අරගෙන කාමරයට ආ සුබා ලෙමන් යුශ වීදුරුව මේසය මත තබා ආපසු හැරී පීරිස් මහත්මිය දෙස බලා නැවත සිනසුනාය.
“අස්පස් කරන වැඩ තමයි අම්මෙ”
“අප්පේ ඔව්, කොල්ලො කීප දෙනෙක්ම ජීවත් වෙච්ච තැනක් හන්දා කොහොම තියෙද දන්නෙ නෑ” කියමින් මෙනුකගේ අම්මා මදක් හඬ නගා සිනාසුනාය.
අරුණලී ඒ සිනාවට එක්වුනේ කිව යුත්තේ කුමක්දැයි හරියාකාර අදහසක් නැතුවය.
“කමක් නෑ හැබැයි. මෙයාලා මේ ගෙවල් වල බෝනික්කො වගේ ලස්සනට ඉඳල කරල බැන්දයින් පස්සෙ වෙන රටකට ගිහින් තනියෙන් ජීවත් වෙන්න වෙන එක හොඳයි”
“අනේ පුතේ ඒ උනාට ඔයා තනියෙන් මහන්සි වෙන්න යන්න එපා. මෙනුකත් වැඩට ගියාම දූට උදව් කරන්නවත් කවුරුවත් නෑනෙ. එහෙ තියෙනව නේද ඔය ක්ලීනින් සර්විසස්? එහෙම එහෙකට මෙනුක ඉන්න වෙලාවක කතා කරල අස් පස් අරන වැඩ ටික කරගන්න”
“ඔව් අම්මෙ ගිහින් තමා බලන්න ඕන”
“දූට අරගෙන යන්න මම සීනි සම්බල් ටිකක් එහෙම හදා දෙන්නම්, එහෙ ඔය එලවලු ඒම මේව තිබුන උනාට දූ වේල් තුනම උයන පිහන වැඩම කරන්න එපා. පොඩ්ඩක් එහෙ මෙහෙ ඇවිදල කරල රට තොට බලන්න.
අනික අපෙ පුතා උනාට කමක් නෑ, වැඩ පල වලට උදව් ඉල්ල ගන්න දූ.නැත්තම් මේ ගොල්ලො හරියට හොර කරනව වැඩක් පලක් කරන්න කිව්වම.අනික දූ උනත් හැමදාම එහෙ ගෙදරට වෙලා ඉන්නෙ නෑනෙ. රස්සාවක් හොයාගත්ත දවසල තනියෙන් වැඩපල කරන්න බෑනෙ. ඒ නිසා මුල් දවසෙ ඉඳලම දූ මෙයාගෙන් වැඩපල වලට උදව් ගන්න
දූ දන්නෙ නෑ ම්ං කසාද බැඳල එද්දි අපෙ නැන්ද තමයි මට කිව්වෙ මහත්තයගෙනුත් ගෙදර වැඩපල වලට උදව් ගන්න කියල. ඒ උනාට මෙනුක ආච්චි නෙවෙයි ඒවට ඉඩ දුන්නෙ. හරි කතන්දර ඉස්සර ඉතින් පුතාගෙන් වැඩ පල වලට උදව් ගන්නව කියල. ඒ උනාට මම බැනුම් අහගෙනම උදව් කරගත්තා.
නැතුව බෑ දූ. මිනිස්සු කිව්වට ගෙදරවැඩ පල කරන්න ඕන ගෑණියෙක් කියල එහෙම නෑ. අපේ කාලෙට වඩා දූලගෙ කාලෙ වෙනස්. මං නම් රස්සාවක් නොකර ගෙදරට වෙලා හිටිය කියන්නකො. දුල එහෙම නෙවෙයිනෙ. ඒනිසා එකතු වෙලා වැඩ පල කරගන්න
අනික ඉතින් මේ යාලු වෙලා බැඳපු ජෝඩුවක්නෙ. ඔය මායම් ටිකක් දැම්මම වැඩ පල කරගන්න මෙයාලව අල්ලගන්න පුලුවන් දූ”
බිම බලාගෙන සිනාවෙවීම මෙනුකගේ අම්මාගේ කතාවට සවන් දෙමින් උන් අරුණලීගෙ උරහිස මත සැහැල්ලුවට අත තබමින් සුබා කාමරයෙන් නික්ම ගියේ සතුටෙනි. මොන දේ උනත් අරුණලී විවාහයෙන් සම්බන්ධ වෙන්නේ යහපත් පවුලකටය. තමන්ගේ දරුවෙකුම යැයි සිතා අරුණලීට සලකන තැනකටය.
මෙනුක උන්නේ ගෙන යන්නට අවශ්‍ය බඩු මුට්ටු කීපයක් මිල දී ගන්නට නගරයට ගොසිනි. දෙවන ගමන අවසන් වී එළඹෙන දින දෙකකින් ඔස්ට්‍රේලියාව බලා පිටත්වෙන්නට නියමිතය. විවාහයත් දෙවන ගමනත් අතර වැඩ රාජකාරි වල සිර වී සිටින්නට වන නිසා ලැබෙන ඉඩකඩේ ගෙනයන්නට අවශ්‍ය දේ ලකලැහැස්ති කරගන්නට දෙදෙනාම වෙහෙසුනාය.
අනිද්දා උදෑසන තමන්ගේ නිවසේ පැවැත්වෙන උදෑසන සෙත් පිරිත් දේශනයකට යාමට තිබේ. කිහිප වරක්ම ඔස්ට්‍රේලියාවත් ලංකාවත් අතර ගමනාගමනය කර තිබෙන මෙනුකට මේ සුපුරුදු දෙයක් උනාට මේ අරුණලී වෙනත් රටකට යන පලමු අවස්තවය. ඒ ද තාවකාලිකව, විනෝද චාරිකාව ලෙස නොව ජීවත් වනු පිණිස දිගු කාලීනවය. අනෙක් අතට මේ මෙනුකත් අරුණලීත් විවාහයෙන් පසු යන්නකි. ඉතින් ඒ ගමනට පෙරාතුව ආගමානුකූලව ආශිර්වාද ලබා ගත යුතු බව දෙපාර්ශ්වයේම දෙමව්පියන් සිතයි. එමෙන්ම විවාහයකට පෙර කොහොමත් ගෙදරක සෙත් පිරිත් දේශනාවක් කල යුතු බව ද දෙපාර්ශ්වයේම දෙමාපියන් ඒකමතිකව ගත් තීරණයකි.
ඇඳුම් පැලඳුම් අසුරාලීමෙන්ද ගෙන යා යුතු ලැප්ටොප් පරිගණක, බෙහෙත් හේත් ආදිය අසුරාලීමෙන්ද අනතුරුව කාලය ගෙවෙන්නේ විවාහය සඳහා එන්නට බැරි හිතවතුන්ගෙන් ආ දුරකතන ඇමතුම් මෙන්ම වැඩිහිටියන්ගේ අවවාද උපදෙස් වලට සවන් දෙමිනි.
“රට ගියාට කමක් නෑ දූ ජොබ් එකක් නම් නොකර ඉන්න එපා. මනුස්සය කොච්චර හරි හම්බ කරත් කමක් නෑ ගෑණියෙක්ට හයියක් තියෙන්නම ඕන”
“ඒව වගේම ඉතින් අනිත් කාරණා ගැනත් පරක්කු නොකර හිතන්න ඕන”
“අනේ මන්දා මේ ලමයි ඉතින් අම්මල තාත්තාල ලඟම උස් මහත් වෙලා ඔය නොදන්න රටවල කොහොම වැඩපල කරග්නීද කියල” යනාදී කතා සියල්ලටම පාහේ අරුණලීත් මෙනුකත් හිසා වෙමින් හිසසලා අනුමැතිය පල කලා මිස කතා දිග්ගස්සනට හෝ විරුද්ධ වන්නට සිතුවේ නැත.
දින ගෙවුනේ දෙපාර්ශ්වයම බලා උන් දිනය ලං ලං කරමිනි. මහත් සතුටකට යටින් මද කුතුහලයකුත් දෙමව්පියන් හිතවතුන් දමා යනවේදනාවකුත් නොතිබුනා නොවේ. එහෙත් ජීවිතය එන හැටියෙන් පිලිගත යුතු බව අරුණලී සිතුවාය.
තව දින කිහිපයකින් එලඹෙන විවාහයෙන් පසු තමා තව දුරටත් දුවෙක් පමණක් නොවේ. වගකීම් සහගත බිරිඳකි.
ඉතින් දැන් ජීවිතයේ ඉදිරියට මුහුණ දිය යුත්තේ ඒ වගකීම් සහගත බව සිතේ තබාගෙනමය.
“වෙඩින් එක ගන්න හිතුවෙ මෙනුක ගැන හැමදේම දැනගෙන නම් වෙන්න බෑ නේද?”
තද අඳුරු පාට ප්‍රොෆයිල් පික්චරයක් ඇති මැසෙන්ජර් ගිණුමෙන් යළිත් වතවක් අගක් මුලක් නොතේරෙන පණිවිඩයක් ඇවිත් තිබේ. තමා මෙයට පිළිතුරක් දිය යුතු ද නොඑසේනම් මේ තවත් එක් කඩාකප්පල්කාරී ක්‍රියාවක් යැයි සිතා මගහැරිය යුතුදැයි කියා අරුණලී නැවත නැවත සිතුවාය. තමාට මෙනුකව තමන්ටත් වඩා විශ්වාස බව ඇත්තකි. පෙම්වතුන් ලෙස ගෙවුණු වසර ගණනාව පුරාවට මෙනුක තමාව රැවටූ එකම එක මොහොතක්වත් අරුණලීට මතක නැත. වසර කිහිපයක සිට විදේශ රටක සේවය කලා වුවද බිඳකින්වත් ඔහුගේත් තමාගේත් ආදරය, සෙනෙහස හෝ බැඳීම අඩු නොවූ බව අරුණලීට සහතිකය. එහෙත් මෙයැයි කියා පැහැදිලි කරන්නට අපහසු සිතුවිලි පුංජයක් හදවහ කෙලවරක සිට “මේ කතාව අහපන්” යැයි කියන විධානයට නතු නොවී ඉන්නට හැකියාවක් ද තිබුණේ නැත.
“කවුද ඔයා? ඇයි මේ බොරුවට පණිවිඩ එවන්නේ?”
නොරිස්සුමක් ලෙස පිටවුණද එහි කුතුහලය ඕනෑවටත් වඩා රැඳී තිබුණ බව අරුණලී දැන උන්නාය. එහෙත් හරියාකාරව නමක් නොදන්නා මේ පුද්ගලයා කියන්නට හදන්නේ කුමක්ද කියා අරුණලීට තේරුම් ගන්නට අපහසුය. ඩෙයා ඩෙවිල් ලෙස තිබෙන නම කිසිසේත් ඔහුගේ සැබෑ නම නොවන බව දැන උන්නද මේ අද්භූත, අපබ්‍රංස පණිවිඩ ඔස්සේ ඔහු එවන්නට තනන්නේ ඩෙයාඩෙවිල් කෙනෙකු තරම්ම හදවතත් සිතුවිලිත් සපා කෑ හැකි වේදනාවක් විය නොහැකිද?
“මම කවුද කියන එක නෙවෙයි තමුසෙ හොයන්න ඕන. තමුසෙ උඩ දාගෙන කසාද බඳින්න යන්නෙ කවුද කියන එක”
මහ හඬින් ඔච්චමට සිනාසෙන ඉමොජි එකක් සමග එවා තිබූ පණිවිඩය එයයි.
“මට තේරෙන්නෙ නෑ ඔයා මොකද්ද කියන්න හදන්නෙ කියල. එක්කො කියන දෙයක් පැහැදිලිව කියනවද?එහෙම නැත්තම් කරුණාකරල මේ විකාර කරන්නෙ නැතුව ඉන්නවද මැසේජ් එව එව”
“විකාර කරන්නෙ කවුද කියල තමුසෙ මෙනුකගෙන් අහනවා. තේරෙන්නෙ නෑ කියන්නෙ තමුසෙ තොත්ත බබා නේ”
කියා ඩෙයාඩෙවිල් ඕෆ්ලයින් ගියේ සිත තුළ කුණාටු මතුකරමිනි. ඒ පුද්ගලයා විසින් කියන්නට හදන්නේ කුමක් වුවත් එහි එක්තරා විදියට සත්‍යයක් ගැබ් වී ඇතැයි කියා තමන්ට සිතෙන්නේ ඇයිද?
අරුණලී මෙනුකගෙන් මේ ගැන සිතන්නට හිතුවේ ඒ නිසාමය. ඒ සැකය දුරුකරගනු පිණිසමය. සැකයක අංශුමාත්රයක් හෝ සිතේ තබාගෙන විවාහයකයට යෑමක් ගැන සිතන්නට නොහැක. තමා මේ ගැන මෙනුකගෙන් ඇසීම පවා ඔහුගේ සිත රිදවන්නට හේතුවක් විය හැකි බව දන්නා නමුත් තවදුරටත් මෙවන් දෙයක් තනිවම දරාගන්නට නොහැක. අනෙක් අතට මේවා අම්මලාට හෝ නංගීට හෝ කියනට හැකි කාරණා නොවේ.මොන දේ උනත් තමන් තරමටම ඔවුන් මෙනුකව විශ්වාස කරගෙන හිඳියදී මෙවන් දෙයක් කීම ඔවුන්ගේ සිත මෙනුක කෙරේ බිඳවිමට හේතුව නොවිය හැකියැයි අපට කියන්නට හැකි ද?
“පිස්සුද බබා, මම දන්නෙවත් නෑ ඔය කියනමනුස්සයෙක් ගැන. මගෙ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේවත් නෑ එහෙම කෙනෙක්”
මෙනුක උන්නේ පමණටත් වඩා කලබල වීය. තමන් “මේ කවුදා අනේ? ඔයා දන්න කෙනෙක් ද? ඇයි එයා එහෙම මට මැසේජස් දාන්නෙ?” කියා අසද්දී මෙනුකගේ මුහුණ පුරා තිගැස්මක පින්සල් තුඩක් ඇඳී ගියද එහි අගක් මුලක් සිතාගන්නට අරුණලීට නොහැක. බාගදා ඒ තමන් ඔහුව අවිශ්වාස කල බව දැන පුදුමයට පත් වූ නිසාවෙන් විය හැක.
“අනේ මන්ද මට හිතාගන්න බෑ. පිස්සෙක්ද කොහෙද?ඔහොම සමහරු මැසේජස් දානවලු වෙඩින් ලං වෙද්දි” අරුණලී පැවසුවේ ආයාසයෙන් සිනහව දෙතොල් මත ඇඳ ගනිමිනි.
“කවුද…කවුද කිව්වෙ එහෙම?”
“අපෙ අම්මා කිව්වෙ. අයියෝ ඔයා තාම අවුලෙන්ද ඉන්නෙ මේකට. මම ඔයාට ඕක මුලින් නොකිව්වෙත් ඒකනෙ ඔයා කලබල වෙයි කියල. පිස්සුද බබෝ මම ඔයාව අවිශ්වාසකරන්නෙ නෑ පොඩ්ඩක්වත්”
“ඒ උනාට අපි ඔය අක්වුන්ට් එක බ්ලොක් කරල දාමු. දෙන්න ෆෝන් එක”
“එපා අනේ, අපි බලමුකො ඌ මොකද්ද කියන්න හදන්නෙ කියල”
“නෑ නෑ, මම කියන්නෙ මොකටද අනේ ඔලුවට කරදර දාගන්නෙ. දෙන්න ෆෝන් එක.මම බ්ලොක් කරල දාන්න”
“පිස්සුද අනේ, මොකටද ඔයා මේ කලබල වෙලා මෙච්චර? මොකද වෙන කෙල්ලෙක්වත් ඉන්නවද මට හොරෙන්?” කියා සිනාසෙමින් අරුණලී මෙනුකගේ අතේ එල්ලුණ විට මෙනුක අපහසුවෙන් සිනාවක් දෙතොල ඇඳගත්තද ඒ මුහුණ පුරා පැතිරී ගිය භීතිය ඉදිරිය බලා උන් අරුණලී දුටුවේ නැත.